පැවරෙන වගකීම් කැපවීමෙන් හා නොපිරිහෙලා ඉටු කරන අතර හොරකමට, මැරකමට සමීප නොවූ දේශපාලනඥයන් අතර ලක්ෂ්මන් යාපා අබේවර්ධනට හිමිවන්නේ ඉහළ තැනකි. ළඟදී බලවත් කැබිනට් ඇමැතිධුරයකින් පිදුම් ලැබූ ඔහුගේ මතවාදයයි මේ. ඔහු ගාල්ලේ මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්ද වේ.

 

ප‍්‍රශ්නය:- ඇමැති සංශෝධනයේදී ඔබට ලැබුණු නව කැබිනට් ඇමැතිකම රටේ ආර්ථිකයට හා අනාගතයට විශාල සේවයක් ඉටු කළ හැකි රැකියා සුලබ කළ හැකි ප‍්‍රබල අමාත්‍යාංශයක්. එම අසීරු අභියෝග ජයගැනීමට ඔබට ඇති දැක්ම කෙබඳුද?
පිළිතුර:- මම දරපු හැම තනතුරකදීම රටට ජනතාවට උපරිම සාධාරණය ඉටු කරන්න කැප වුණා. එජාප කාලේ විදේශ රැකියා කැබිනට් නොවන ඇමැතිකම හරහා ඒ ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් උපරිමව කැපවුණා. රට පුරා ගිහින් ජංගම ක‍්‍රමයට ඒ ප‍්‍රශ්න විසඳුවා. ඒක කවුරුත් අගය කළා. 2006 දී මම මේ ආණ්ඩුවට එකතු වුණා.

ආයෝජන හා ආයෝජන ප‍්‍රවර්ධන ඇමැති 
​ලක්‍ෂමන් යාපා අබේවර්ධන


ප‍්‍රශ්නය:- එජාපයෙන් සන්ධානයට පිල් මාරුව සිදු කිරීම ගැන අද හිතෙන්නෙ මොකක්ද? හිටපු හා උපන් දේශපාලනයම කළා නම් මීට වඩා තෘප්තිමත් විය හැකිව තිබූ බව හා මීට වඩා ගෞරවණීය බව හිතෙන්නෙ නැද්ද?
පිළිතුර:- මම එදා ගත් තීරණය ගැන ඉතා සතුටු වෙනවා. රටට අත්‍යවශ්‍ය මොහොතක ඒ තීන්දුව ගැනීම ගැන මම ඉතා තෘප්තිමත් වෙනවා. රටට වැදගත් නොවූ තැනක මම ඒ තීන්දුව ගත්ත නම් වාසි බලාගෙන ඒක කළා කියලා චෝදනා කරන්න තිබුණා. යුද්ධය දිනීම හීනයක් බව රට තුළ මෙන්ම ලෝකයත් කියපු වෙලාවේ ජනාධිපතිතුමාගේ අධිෂ්ඨානය ඊට වඩා ප‍්‍රබල බව අපි තේරුම් ගත් නිසයි ඒ තීන්දුවට මම ගියේ. ඒ නිසා රටට ජාතියට සාධාරණය ඉටු කළා කියන තෘප්තියක් මට තිබෙනවා. එජාපයේ අපි සමූහයක් ලෙසයි ඒ තීන්දුව ගත්තේ. මම දැඩි සතුටෙන් ඉන්නේ.

 


ප‍්‍රශ්නය:- ඔබ සතුටෙන් බව කිව්වත් යුද්ධය යන කාලේ ආණ්ඩුව ශක්තිමත් කිරීම මෙන්ම ජනමාධ්‍ය හරහා ජනතා මනස යුද්ධයට සූදානම් කරමින් ඊට ශක්තිය ලබාදීම ඇතුළු වගකීම් රැසක් ඔබ ඉටු කළත් ඔබට ආණ්ඩුව පැත්තෙන් සාධාරණයක් ඉටු වුණේ නැහැ නේද?
පිළිතුර:- හුඟක් අය හිතුවෙ මම කැබිනට් එකට නොයෑම නිසා මදි පුංචිකමක් වුණාද කියලයි. ඒත් ජනාධිපතිතුමා මට දුන්නේ එතුමාගේ සහෝදරයාගෙ හා රටේ වැදගත් හා ප‍්‍රබලම අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමැතිකමක්. 

 


ප‍්‍රශ්නය:- ඒත් කැබිනට් ඇමැති නොවන මේ රටේ  ඕනෑම නියෝජ්‍ය ඇමැති කෙනෙකුට ලැබෙන්නේ කාර් එකයි කොඩියයි විතරයි නේද?
පිළිතුර:- මට නම් කවදාවත් එහෙම වෙලා නැහැ. මම නිදහසේ වැඩ කළා. බැසිල් ඇමැතිතුමා මගෙන් හොඳට වැඩ ගත්තා. සංචාරක ව්‍යාපාරය තනිකරම මට පැවරුවා. මමත් කැපවෙලා උපරිමය කළා. ඇමැතිතුමාට බරක් දුන්නෙම නැහැ. සංචාරකයො ගෙන්වා ගැනීම, පහසුකම් සැලසීම අලූත් හෝටල් ඇරඹීම සේවකයන් පුහුණුව ආදී සියලූ වැඩ මම ඉටු කළා. මට නොපැවරූ වැඩ පවා කරලා ඇමැතිතුමාට රට මම යුක්තිය ඉටු කළා. සමෘද්ධි ප‍්‍රශ්නවලට පවා මම මැදිහත් වුණේ ඒ තුළයි. සත්තු වත්තේ ප‍්‍රවේශ පත‍්‍ර අක‍්‍රමිකතාවලට පවා මම මැදිහත් වුණා. ඒ නිසා මම කාර් එකයි කොඩියයි අභිබවලා ගිය නියෝජ්‍ය ඇමැති කෙනෙක්.

 


ප‍්‍රශ්නය:- ඔබේ නව වගකීම් මෙතෙක් ඉටු කළ වගකීම් වලටත් වඩා අභියෝගාත්මකයි. යුද්ධයක් ඉවර වෙලා සාමය ඇතිවූ රටකට ආයෝජන සීඝ‍්‍ර ලෙස ඒම සාමාන්‍ය දෙයක් වුණත් පසුගිය වසර දෙක තුන තුළ ආණ්ඩුවේ සද්දය හා ප‍්‍රචාරයේ තරමට ආයෝජන ආවා නම් සද්දෙ තරමට කම්හල් ඉදිවූවා නම් අලූත් රැකියා ඇති විය යුතුයි. ජනතා අත මිට සරු විය යුතුයි. ඒත් එහෙම එකක් පේන්නෙ නෑ. අනික දෝෂාභියෝගය විභාග කළ අසාධාරණ පිළිවෙත තුළ මේ රටේ නීතියක් නැති බවත් එහෙම රටකට ආයෝජකයන් නොඑන බවටත් ඇති විග‍්‍රහයට ඔබේ ප‍්‍රතිචාර?
පිළිතුර:- ඔය තර්ක මම ප‍්‍රතික්ෂේප කරනවා. ඍජු විදෙස් ආයෝජන තමයි අපි මෙතනදි සලකන්නේ. විවේචකයෝ හොඳ කියන පසුබිමක් තියෙනවා. ආයෝජන මණ්ඩලය පිහිටෙව්වේ 1978 දීයි. 1994 වෙනතෙක් ඇවිත් තියෙන්නේ ඩොලර් දශලක්ෂ 1026 යි. 95 ඉඳලා 2005 වනතෙක් චන්ද්‍රිකා යුගයේදී ඩොලර් දශලක්ෂ 1752 යි ඇවිත් තියෙන්නේ. ඒත් 2006 ඉඳලා 2012 වෙනතෙක් මේ ජනාධිපතිතුමා යටතේ ඩොලර් දශලක්ෂ 5026 ක ආයෝජන ඇවිත් තියෙනවා.

 


ප‍්‍රශ්නය:- මේ ආණ්ඩුවේ සමහර සංඛ්‍යා ලේඛන හා විග‍්‍රහ ජනතාව අන්දන ප‍්‍රචාරයට මිසක් මහ පොළොවේ පවතින යථාර්ථයට නොගැලපෙන බව සමහරු කියනවා. ඔබ ආයෝජනවලට ආදාළ මේ සංඛ්‍යා ලේඛණ සොයා ගත්තෙ කොහෙන්ද?
පිළිතුර:- මේවා ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛන. අපේ ආයෝජන මණ්ඩලයේ තොරතුරුයි මම ඔබට ඉදිරිපත් කළේ. මේ ආයෝජන හරහා ආයෝජන මණ්ඩලයට ආපු මුදල් අපි භාණ්ඩාගාරයට යවල තියෙනවා. මේක ප‍්‍රසිද්ධ කරපු දෙයක්.

 


ප‍්‍රශ්නය:- ඒත් ආපු ආයෝජන රට තුළ ස්ථාපිතවීම හා ඒ තුළින් ඇඟට දැනෙන යමක් රටට ජනතාවට සිදුවුණාද? කියන එකයි ගැටලූව වෙන්නේ. ඒත් වගකිව යුතු ඇමැතිවරයෙකු ලෙස ඔබ අසත්‍ය කියනවා කියලත් මම කියන්නෙ නැහැ. ඒත් ඔය ආයෝජන වලින් ඇතිවූ කම්හල් ඇතිවූ රැකියා කෝ?
පිළිතුරු:- මේ සංඛ්‍යා ලේඛන මම පාර්ලිමේන්තුවේදීත් කිව්වා. කවුරුවත් අභියෝග කළේ නැහැ. මේ වන විටත් අපේ වෙළෙඳ කලාප අටේ හා කර්මාන්ත පුරවර හතරේ එක්ලක්ෂ විසිහත් දාහක් වැඩ කරනවා. තව ඇබෑර්තු 20,000 ක් ඒ තැන්වල තියෙනවා. ඇඟලූම් කම්හල්වලට රැකියාවලට එනවා අඩුයි. ඒවා පරිවර්තනය කළ යුතු යුගයක දැන් තියෙන්නේ.
දැන් මට තියෙන අභියෝගය තමයි මෙරට තුළට එන ආයෝජනවලට තිබෙන බාධක ඉක්මනින් ඉවත් කරන එක.

 


ප‍්‍රශ්නය:- ආයෝජකයෙක් ලංකාවට පය තැබූ මොහොතේ ඉඳලා කම්හල ගහල ඉවර වෙනතෙක් ඔවුන් ගසාකන ආණ්ඩුවේ කොමිස් කාක්කන් ගැනද ඔබ මේ කියන්නේ? නීති හා රෙගුලාසිවල හිරවීමුත් තිබෙනවා නේද?
පිළිතුර:- ඒ හැම පැත්තම බලලා මම ක‍්‍රියාත්මක වෙනවා. ක‍්‍රම තුනකට මීට අදාළ සැලසුම ක‍්‍රියාත්මක කරන්න මම බලාපොරොත්තු වෙනවා. ආයෝජනවලට ඇති බාධක ගැන සොයන්න පෞද්ගලික අංශයේ මණ්ඩලයක් පත් කරලා මාස 02 කට වරක් ප‍්‍රගති සමාලෝචනයක් කරනවා. ආයෝජන සඳහා එන ඉල්ලූම් පත‍්‍ර සතියකට වරක් මමම අධීක්ෂණය කිරීමට බලාපොරොත්තු වෙනවා. මට විසඳුම් දීමට අමාරු දේවල් සඳහා මාසයකට වරක් ජනාධිපතිතුමා හා නිලධාරීන් එක්ක ප‍්‍රශ්න විසඳගන්න හමුවක් සූදානම් කරනවා. එතකොට අද මේ ක්‍ෂේත‍්‍රයේ තිබෙන හුඟක් ප‍්‍රශ්න හා හිරවීම්වලට විසඳුම් ලැබේවි. කාටවත් පනින්න බැරි වේවි. ඊට අමතරව ආයෝජන ප‍්‍රවර්ධන අංශය මගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය ඇමැතිවරයාට පවරනවා. වසරක් සඳහා සැලසුමක් මම එතුමාගෙන් ඉල්ලාගෙන ඉලක්කවලට වැඩ කරනවා. ඒ නිසා සැලසුමක් තුළ ආයෝජන ප‍්‍රවර්ධනය හා ඒ තුළින් රටට වාසි ගේන්න මම කැප වෙනවා. මගේ කැපවීම අමාත්‍යාංශයේ අනික් අය ගෙනුත් බලාපොරොත්තු වෙනවා.

 


ප‍්‍රශ්නය:- බැසිල් ඇමැතිවරයාගේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ශක්තිමත් දළයක් තමයි ඔබට ගැලවිලා ඇවිත් තියෙන්නේ. එතුමාගෙන් ඔබට ඍජු හෝ වක‍්‍ර බලපෑම් නෑවිත් ඉඳීවි කියලා ඔබ හිතනවද? බලපෑම් ආවොත් ඔබ මොකද කරන්නේ?
පිළිතුර:- එතුමා කවදාවත් එහෙම කරාවි කියලා මම හිතන්නෙ නෑ. එතුමා දැනටත් පැය 24 න් 18 ක් විතර වැඩ කරන කෙනෙක්. ඔහු මේ ආණ්ඩුව හදන්න ජනාධිපතිතුමා එක්කම හිටපු අයෝමය පුරුෂයෙක්. එතුමාට අවශ්‍ය මේ ආණ්ඩුවයි අපියි. ඉස්සරහට ගෙනියන්න මිසක් අනවශ්‍ය තැන්වල ඇඟිලි ගහලා ප‍්‍රශ්න ඇති කරන්න නෙවෙයි. ඒ නිසා එතුමාගෙන් මට බලපෑම් ඒවි කියලා මම හිතන්නෙ නැහැ. ඒත් එතුමාගෙන් මේ වැඩ වලට සහාය ලබාගන්න මම කි‍්‍රයා කරනවා.

 


ප‍්‍රශ්නය:- ඊළඟ ප‍්‍රශ්නය තමයි නීතියේ ආධිපත්‍ය නැති බවට විග‍්‍රහ වෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය මාධ්‍ය නිදහස නාය ගිය බවට ලෝක අපවාද නැගෙන පෞද්ගලික ව්‍යාපාර ආණ්ඩුවට පවරා ගන්නා රටකට ආයෝජකයෝ ඒවිද කියන එකයි. 2005 න් පසු ඩොලර් දශ ලක්ෂ 5026ක් මේ රටට ආයෝජන ලෙස පැමිණි බවට ඔබ කිව්වත් මේ රටේ ණයබර 2005 සිට මේ දක්වා දෙගුණ වී තිබෙනවා නේද? අනික මේ රටේ වාර්ෂික ආදායමෙන් 97% ක් දැන් ණය වාරික හා පොලී ගෙවන්න වැය වෙනවා නේද? මේ පසුබිම ආයෝජන ප‍්‍රවර්ධනයට ඉතා අහිතකරයි. ඔබේ ප‍්‍රතිචාර?
පිළිතුර:- ඒ සමහර දේවල් නිවැරදි කරන්න වෙනවා. මේ ආණ්ඩුවේ ණය ගැනීම ඉතා ඉහළ බව ඔබ කිව්වත් ණය ගන්නා ප‍්‍රතිශතය අඩු කළේ මේ ආණ්ඩුවයි. ඒ සංඛ්‍යා ලේඛන සියයට උඩින් තිබුණේ. දැන් අසු ගාණට බැහැලා. ණය ගෙවීම් හරියටම කරන රටත් ලංකාවයි. අනික ණය අරන් අපි යටිතල හදලා රටට අවශ්‍යව තැන්වලයි ආයෝජනය කරන්නේ. ගාල්ල අධිවේගය හැදුවේ නැත්නම් මෙච්චර සංචාරකයෝ එන්නෙත් නැහැ. ඒ පැතිවල අයගේ ආඳායම් දැන් ඉහළ ගිහින් දැන් ඒ පාරෙන් ආදායමකුත් ලබනවා. අනික විදුලිය නිපදවන්න ණය ගත්තා. ඒක අත්‍යවශ්‍ය දෙයක්. අද විදුලිය, පාරවල් ආදියෙන් හුඟක් ස්වයංපෝෂිත රටක් ලෙසයි අපි ඉන්නේ.
අනික යටිතල විතරක් නෙවෙයි. අපේ නිෂ්පාදනය ඉහළ දාන්නත් අපි ක‍්‍රියා කර තිබෙනවා. වී නිෂ්පාදනයේ ඉලක්ක දැන් සම්පූර්ණ කර තිබෙනවා. පොහොර සහනයත් දිගමට දෙනවා. ණය ගන්නේ ඒවා කරන්න දිවි නැගුම වැඩ සටහන හරහා රටේ විශාල ප‍්‍රගතියක් පරිවර්තනයක් ජනතාව නගා සිටුවීමක් කෙටි කාලයක දී කරන්න සැලසුම් දැන් ක‍්‍රියාත්මකයි. සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියනයකට වඩා මේ වසරේ රටට ආදායම් ඇවිත් තියෙනවා.

අනික නීතියේ ආධිපත්‍යය නැති රටක් බවට සමහරු ලංකාව ගැන කියනවා. නීතියේ ආධිපත්‍යය කැඩුවේ ආණ්ඩුව නෙවෙයි. ඒකෙ වගකීම අධිකරණයම බාරගන්න  ඕනෑ. නීතියට ගරු නොකර එළියට බැහැලා වැඩ කළේ ඒ අයයි. ඔවුන් තම ආත්ම ගෞරවය වගේම රටේ ගෞරවයත් නැති කළා. මිනිස්සු හිතපු කළු බළලා දැන් නැහැ. සියල්ල යථා තත්ත්වයට පත් වෙලා ඉවරයි. ආණ්ඩුව මේකට පැනලා නීතියේ ආධිපත්‍යය විනාශ කරන්න බලාපොරොත්තුවක් නැහැ. නීතිය රකින්නයි අපි හදන්නේ. ඒ තුළ ආයෝජන පැමිණීමේදී ඔබ මතු කළ සැක සංකා පවතීවි කියලා අපි හිතන්නෙ නැහැ. යම් ප‍්‍රශ්න ආවොත් ඒ ඒ වෙලාවට ඒවාට මුහුණදීලා හැකිතාක් ආයෝජන ඇදගැනීමටත් ඒ හරහා රැකියා සුලභ කිරීම රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අපි ක‍්‍රියා කරනවා.

මම ළඟදි ගියා ලන්ඩනයේ ලෝක සංචාරක වෙළෙඳපොළට (WPN) එකට. සංචාරක ව්‍යාපාරය දියත් වෙන්නේ එතැනිනුයි. එතැනදි දෙමළ ඩයස්පෝරා එක ලංකාවේ සංචාරයට හෝ ආයෝජනයට යන්න එපා කියලා පත‍්‍රිකා බෙදපු මිනිස්සු දැනුවත් කළා. පත‍්‍රිකා ලක්ෂ 1 1/2 ක් බෙදලා තිබෙනවා. ඒත් වැඩිම ආකර්ෂණයට ලක්වුණේ අපේ ප‍්‍රචාරක කුටියටයි. ඒ වගේම මම කියනවා ඉන්දියාවට පසුගිය වසරේ වැඩිම එංගලන්ත සංචාරකයෝ ඇවිත් තියෙන්නේ ලංකාවටයි. ඒ නිසා ලංකාව ගැන ලෝකය තුළ තිබෙනවාය කියන ඇතැම් මත සමහරු හිතන තරමට අපට නරක විදිහට බලපාන්නෙ නැහැ. අනික ලොව ප‍්‍රධානතම සංචාරක හා ආයෝජකයන්ට බලපාන ව්‍යාපාර සඟරාවල ලංකාව හොඳම ගමනාන්තයක් ලෙසත් ආයෝජනවලට සුදුසුම ආරක්ෂාකාරී තැනක් බවටත් විග‍්‍රහ කරනවා. ඔවුන් ඒ වාර්තා පල කරන්නේ හුඟක් කරුණු හදාරලා ඉතා සාධාරණයි සංචාරකයො හා ආයෝජකයො මෙහේ එනවාද? නැද්ද? කියලා තීන්දු කරන්නේ ඒ තුළයි. නැතුව දේශපාලන හේතු මත කරන අවස්ථාවා දී විග‍්‍රහ ගැන හිතල නොවෙයි.

 


ප‍්‍රශ්නය:- ඒත් ආණ්ඩුව කියන තරමටම සංචාරක ව්‍යාපාරයේ හා විදෙස් ආයෝජනවල විශාල ඉහළ යාමක් නැහැ නේද? තිබෙනවා නම් ඒවා අපේ ඇඟට හා රටේ ආර්ථිකයට දැනෙන්න  ඕනෑ නේද?
පිළිතුර:- දැන් කොළඹ නගරය තුළ විතරක් ලොව ප‍්‍රධානම ආයෝජන 04ක් ක‍්‍රියාත්මකයි. ෂැංග‍්‍රිලා හෝටලය ලොව හොඳම හෝටල් සමාගම් 05 න් එකක්. ඒ හෝටලය දැන් ගොඩ නැගෙනවා. අනික ෂෙරටන් හෝටල් සමාගම වෙනත් නමකින් එන්නේ ඉන්දියානු දුම්කොළ සමාගම හරහායි. ක‍්‍රිස් ටවර් එක තවත් එකක්. ෆෝ සීසන් එක ලබන සතියේ අත්සන් කරනවා. තව ආයෝජන රටේ විවිධ තැන්වල ක‍්‍රියාත්මකයි. මේ නිසා රට තුළ විශාල වෙනසක් ඇති වේගෙන එනවා. ඇතැම් අය පටු දේශපාලනය හිතේ තියාගෙන කරන විග‍්‍රහ බොරු වෙන්න ඒ තුළයි. ආයෝජන ක්‍ෂේත‍්‍රයේ විශාල පරිවර්තනයක් කරලා රටේ ආර්ථිකයට විශාල ශක්තියක් ලැබෙන විදියට මම මගේ වගකීම් ඉටු කරනවා. ජීනීවා හෝ නිව්යෝර්ක්වලදී හෝ ලෝකය තුළ අපට මොන බාධක හා බලපෑම් ආවත් ජනාධිපතිතුමා අවංකව පෙරට යන ගමන නවත්වන්න බැරිවේවි. මේ අමාත්‍යාංශය ඒ ගමනේදී එතුමාව හා රටට විශාල ශක්තියක් වී ක‍්‍රියාත්මක කරනවා.

 

සංවාද මෙහෙවර - අශෝක ජයතුංග