මෙරට සිනමාව, ගීතය, නිර්මාණ සාහිත්‍යය, විචාර කලාව ඇතුළු කලා ක්ෂේත්‍ර රැසක් සුපෝෂණය කිරීම සඳහා මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා සැපයූ දායකත්වය අතිමහත්ය. සාහිත්‍යයේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් ඔහු රචනා කළ පර්යේෂණ ග්‍රන්ථාවලිය මෑත කාලීන සිංහල සාහිත්‍යයේ වෙනම ලකුණකි. තම නිර්මාණාත්මක දායකත්වය වෙනුවෙන් සහ පර් යේෂණාත්මක දායකත්වය වෙනුවෙන් මහාචාර්යවරයා අවස්ථා ගණනාවක දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය ඇතුළු විවිධ සම්මානාදියට පාත්‍ර වී තිබේ.

මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ නවතම පර්යේෂණාත්මක ග්‍රන්ථය ‘දෙමළ මහා කවි භාරතී’ නමින් ගොඩගේ ප්‍රකාශනයක් ලෙස පසුගියදා නිකුත් කෙරිණ. මෙරට සමාජයේ මෙතෙක් නිසි අවධානයට ලක් නොවූ භාරතී නම් විශිෂ්ට දෙමළ මහා කවියා පිළිබඳ පූර්ණ විමසීමක් මෙම කෘතියට ඇතුළත්ය. මෙවර සංවාදය මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා සමඟ පැවැත්වෙන්නේ එම කෘතිය පදනම් කොටගෙනය.


• ඔබ ‘දෙමළ මහා කවි භාරතී’ නැමැති කෘතිය ලියන්නේ භාරතී නැමැති දෙමළ මහා කවියා අභාවප්‍රාප්ත වී වසර සියයක් ගතවූවාට පසුවයි. මේ කවියා මේ තරම් විශේෂ කොට දක්වමින් මෙබඳු කෘතියක් රචනා කරන්නට කල්පනා කරන්නේ ඇයි?
    
භාරතී නම් මේ ඉන්දියානු මහා කවියා ඉන්දියානු සමාජයට පමණක් නොව අපි කාටත් හරි විශේෂයි. මේ කවියාට විශේෂ යෙදුමක් තිබෙනවා ‘මහා කවි’ කියලා. අපේ රටේ පස් දෙනකුගෙන් ඇහුවොත් අපේ මහා කවියා කවුද කියල ඒ පස්දෙනා උත්තර පහක් දෙයි. ඒත් ලංකාවේ හෝ ඉන්දියාවේ - තමිල්නාඩුවේ එහෙමත් නැත්නම් ලෝකයේ කොතැනක හෝ වෙසෙන දෙමළ මනුස්සයෙකුගෙන් ඇහුවොත් කවුද දෙමළ සාහිත්‍යයේ මහා කවියා කියලා ඔවුන් එක හෙළාම කියන්නේ භාරතීගේ නමයි. ඒ විශේෂණ පදය සමස්ත ජනතාවගෙන් ලැබීම ලේසි පහසු නෑ.
    
ඇත්තටම ඔහු දෙමළ ජනතාවගේ මහා කවියා. ජාතික කවියා. ජනතා කවියා. විප්ලවයේ කවියා, නව යුගයේ කවියා. පුනරුදයේ කවියා. මේ හැම නමකින්ම භාරතී කවියා හැඳින්වෙනවා. මේ හැඳින්වීම් සියල්ල ඔහු ලබන්නේ අවුරුදු 39ක් තරම් කෙටි ජීවන කාලයක් තුළදී. ඔහු පිළිබඳව දෙමළෙන් සහ ඉංග්‍රීසි බසින් ලියැවුණු ලිපි ගණනාවක් තිබෙනවා. මෙතැන තව විශේෂත්වයක් තියනවා. ඒ තමයි භාරතී පිළිබඳ දෙමළෙන් සහ ඉංග්‍රීසියෙන් ලියූ ප්‍රාමාණිකයා ශ්‍රී ලාංකිකයෙක් වීම. ඔහු තමයි කේ. කෛලාසපති. මා යාපනයේ විශ්වවිද්‍යාලයේ පත්වීමක් ලබා යන විට එහි උපකුලපතිවරයා වී සිටියේ මේ කෛලාසපති පඬිවරයා. ඔහුට ලංකාවේ පමණක් නොව තමිල්නාඩු දෙමළ ජනතාව තුළින් විශාල පිළිගැනීමක් තිබුණා.


• ‘භාරතී’ කවියා දෙමළ මහා කවියා ලෙසට පිළිගැනීමට සාහිත්‍ය කලා ක්ෂේත්‍ර තුළ ඔහු කළ නිර්මාණ හා ක්‍රියාකාරකම් මොන වගේ ද?

ඒ සඳහා ප්‍රධාන කාරණා කීපයක් පෙන්වා දෙන්න පුළුවන්. ඔහු බ්‍රාහ්මණ වංශිකයෙක්. ඔහු දෙමළ – ඉංග්‍රීසි භාෂා දෙක පිළිබඳවම මනා දැනුමක් ලබාගත් අයෙක්. ඒ නිසාම දෙමළ කවියට ඉංග්‍රීසි කවියේ ආභාසය මුලින්ම ලබා දෙන්නේ භාරතී කවියාගේ මූලිකත්වයෙන්. ඔහු දෙමළ කවියට ඉංග්‍රීසි කවියේ ආභාසය ලබාගන්නාතුරු ඊට පෙර සිටි කිසිම දෙමළ කවියෙක් ඉංග්‍රීසි කවිය දිහා ඇහැක්  ඇරලවත් බලලා තිබුණෙ නෑ. ඔහුගේ දෙමළ කවියට බලපෑවේ ෂෙලී වැනි රොමෑන්ටික් කවියන්. එසේම ඉංග්‍රීසි කවියේ ආභාසය ලබා දෙමළ කවියට ඔහු නිදහස් කවියක් රැගෙන ආවා. ඒත් ඔහු දෙමළ කවියේ ඡන්දය අමතක කළේ නැහැ. ෂෙලී වැනි කවියන්ගේ ආභාසය ඔහු මොනතරම් ලබා ගත්තා ද කිව්වොත් භාරතී ඔහුටම නමක් දාගත්තා ‘ෂෙලී දාසන්’ කියලා. ඒ විතරක් නොවෙයි භාරතී ඔහුගේ රසිකයන් කැඳවලා ෂෙලී පිළිබඳ දේශන පැවැත්වූවා. ඒ අනුව භාරතීයේ දෙමළ කවියට ඉංග්‍රීසි කවියේ අභාසය ලැබීම එක කාරණයක්.
    
දෙවැනි කාරණය නම් ඔහු තමයි භාරතීය නිදහස් සටනේ දෙමළ කාහලය බවට පත්වුණේ. රබීන්ද්‍රනාත් තාගෝර්, සරෝජිනී නායිදු වගේ කවීන් උතුරේ නිදහස සඳහා කවි ලියනකොට දෙමළ ජනයා නිදහස් සටන සඳහා අවදි කළේ භාරතී කවියා. මෙතන දී භාරතී සුවිශේෂී කවියෙක් වෙනවා. මොක ද ඔහු දෙමළ භාෂාවට අසීමිත විදිහට ආදරය කරපු කවියෙක්. මගේ මේ කෘතිය ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරල තියෙනවා. එකක් තමයි භාරතී දිවිය. එනම් ඔහුගේ ජීවිතය. දෙවැනි කොටස තමයි භාරතී කවිය. ඔහුගේ දෙමළ කවි අතරින් දෙමළ කවි කිහිපයක් මම දෙමළට පරිවර්තනය කරලා තියනවා. එහි තියෙනවා ‘දෙමළ බස’ නමින් කවියක්. ඒකෙ ඔහු කියනවා,
    ‘දෙමළ තරම් මිහිරි නැත
    ලොව අන් කිසිම බසක්
    දුටුවත් අප සතුන් විලස
    වාලුන් ලෙස ඇතැමුන්
    අපේ විමුක්තිය ඇත්තේ
    දෙමළ නැමැති වචනයේය

    
මේකෙන් පේන්නෙ ඔහු දෙමළ බසට අසීමිත ලෙස ආදරය කළ බවයි. හැබැයි වෙනස තමයි දෙමළ කියන්නේ භාරත මාතාව කතා කරන එක් භාෂාවක් හැටියට තමයි ඔහු සැලකුවේ. එයින් පෙනෙන්නේ ඔහු ජාතිවාදී කවියකු නොවන බවයි. ඔහු දෙමළ බසින් කවි ලියන්න තව හේතුවක් තිබුණා. ඒ තමයි ඔහු ජීවත් වුණ කාලයේ ඉහළ පැලැන්තියේ දෙමළ ජනයා දෙමළ බස ප්‍රතික්ෂේප කිරීම. දෙමළ බසට නිග්‍රහ කිරීම. ඒ නිසා දෙමළ කියන බස උත්තරීතර බසක් ලෙස පෙන්වා දීමට  ඔහු කවි ලිව්වා. ලිපි ලිව්වා. ඒත් ඔහු කවර අවස්ථාවකදීවත් ඔහු ජාතිවාදී කවියෙක් වුණේ නෑ.
    
එසේම නිදහස් සටන වෙනුවෙන් ඔහුගේ විප්ලවීය හඬ හුදෙක් කවියට සීමා වුණේ නැහැ. ඔහු පත්‍ර කලාවේදියකු බවට පත් වුණා. පත්‍ර කීපයක කර්තෘ පදවිය දැරුවා. ඔහු මේ පත්‍රවල සිය ගණන් ලිපි ලිව්වා. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව. පත්‍ර කලාවේදියකු ලෙස ඔහුගේ හඬ කොයි තරම් දරුණු වුණා ද කිව්වොත් ඒ පත්‍රයේ අයිතිකාරයන්ට ඉංග්‍රීසි අධිරාජ්‍යවාදය යටතේ හිරබත් කන්න වුණා. ඊට පස්සේ භාරතී එම ප්‍රදේශයෙන් පැන ගියා. ඔහු ගියේ පොණ්ඩිචේරි ප්‍රාන්තයට. එම ප්‍රාන්තය ඉංග්‍රීසින්ට අයිති වූ ප්‍රංශ කොළණියක්. ඔහු එහි යනවිට තවත් අය ආරක්ෂාව පතා එහි පැමිණ සිටියා. අවුරබින්දු ගෝෂ් නැමැති දාර්ශනිකයත් එහි පැමිණ සිටියා. භාරතී ගෝෂ් සමග එක්ව ඉංග්‍රීසින්ට විරුද්ධව පුවත්පත් මුද්‍රණය කොට තමිල්නාඩුවට එව්වා. අන්තිමට ඉංග්‍රීසීන්  කළේ ඒ පුවත්පත් තහනම් කිරීමයි. මෙතන දී තමයි භාරතීයේ ජීවිතය බිඳ වැටුණෙ. භාරතී තමන් ලියූ නිදහස් අරගල කවි පසුව තමිල්නාඩුව පුරා ගයමින් ඇවිද ගිය බව පොත්පත්වල සඳහන් වෙනවා.

    
එසේම ඔහු ‘වන්දේ මාතරම්’ දෙමළ බසට පරිවර්තනය කොට දෙමළ ජනයා අතරේ පතුරුවා හැරියා. එය දෙමළ ජනයාගේ තුඩ තුඩ පැතිරී ගියා. ඇත්තටම ඔහු දෙමළ ජනයාගේ නිදහසේ වීරයා බවට පත්වුණා කීවොත් නිවැරැදියි. පුවත්පත් කලා දිවිය අහිමි වුණාට පස්සේ ඔහුට යන එනමං නැතුව ගියා. බිරිඳ දරුවන් ගැන බලන්න පවා ඔහුට වත්කමක් තිබුණෙ නෑ. තමිල්නාඩුවට පැමිණි ගමන් ඔහු අත්අඩංගුවට පත් වුණා.
    
නව පැත්තකින් භාරතී බ්‍රාහ්මණ වංශිකයෙක් වුණාට කුල පීඩනයට එරෙහිව කටයුතු කළා. ඔහු තමන්ගෙ පූන නූල ගලවා ගංගා නම් ගඟට විසි කළා. එසේම කුල පීඩනයන්ට පූන නූල් පැළැන්දුවා. මේක ඒ කාලෙ භාරතයේ හිතා ගන්න බැරි තරම් විප්ලවීය කටයුත්තක්. භාරතී ස්ත්‍රීන්ට අප්‍රමාණ විදිහට ගෞරව කළා. එය ඔහුගේ කවි වලිනුත් මතුවන ප්‍රධාන කාරණයක්. භාරතී අවසානයේ කෙතරම් දුර්වල වුණා ද කිව්වොත් බොහෝ දෙනාට ඔහු හඳුනා ගැනීමට පවා නොහැකි වුණා. භාරතී මිය ගියේ මද කිපුණු ඇතෙකුට ආහාර දෙන්නට ගිය අවස්ථාවක ඒ ඇතා පහරදීමෙන්. ඔහුගේ මරණයට සිටියේ මිනිසුන් දාහතර දෙනෙක් පමණයි. ඔහුගේ මරණයෙන් අවුරුදු විසිහයකට පස්සේ තමයි ඉන්දියාවට නිදහස ලැබෙන්නේ. නිදහස් භාරතයේ ඔහු වීරවරයකු බවට පත්වෙනවා. පාර්ලිමේන්තුව අසල පවා ඔහුගේ ප්‍රතිමා ඉදිවෙනවා පමණක් නොව කොයිම්බතූර්වල භාරතයේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක් ඔහු නමින් ආරම්භ කෙරෙනවා.


• ඒත් භාරතයේ නිදහස් සටන සහ සාහිත්‍යකරුවන් ඒ වෙනුවෙන් දැක් වූ දායකත්වය ගැන කරුණු අධ්‍යයනය කිරීමේ දී මහා කවි භාරතී ගැන අපට මේ තරම් ප්‍රමුඛ කරුණු මුණ ගැසෙන්නේ නැහැ නේද?
    
දෙමළ මහා කවි භාරතීගේ කවි ගැන ශ්‍රී ලාංකිකයන්ට හඳුන්වාදීමේ ගෞරවය හිමිවෙන්නෙ ප්‍රේම් ජී. ඥානසුන්දරම් මහතාට. ඒ මහා කවි භාරතී සියවස් සමරුව නිමිත්තෙන් 1982 දී භාරතී පද්‍ය නමින් ඔහු පළ කළ කෘතියත් සමග. ඥානසුන්දරම් මහතා එය පළ කරන්නෙ ශ්‍රී ලංකා ප්‍රගතිශීලී ලේඛක සංගමයේ ලේකම් හැටියටයි. ඒත් ඊට පස්සේ මම දැනුවත්ව භාරතීගේ එකම කවියක්වත් සිංහලට නැගුණෙ නැහැ. මම මේ කෘතියේ භාරතීගේ කවි පන්ති දහයක් පමණ සිංහලට පරිවර්තනය කොට තිබෙනවා. ඒකෙ විශිෂ්ටම කවි පන්තිය තමයි ‘පාඤ්චාලි සපථම්’ කියන නිර්මාණය. ඒක ප්‍රබල සමාජ දේශපාලනික කවි පන්තියක්.


• ලේඛකයකු කවියෙකු සමාජ ක්‍රියාකාරිකයකු වගේම විශේෂයෙන්ම යටත්විජිතවාදී නිදහස් අරගලයේ නියමුවෙකු හැටියට මහා කවි භාරතී චරිතයේ ඇති අදීනත්වය අපේ සාහිත්‍යකරුවන්ට ආදර්ශයක් කොට ගත හැක්කේ මොන අන්දමින් ද?
    
ජාතික නිදහස් සටන වෙනුවෙන් දෙමළ හඬ නඟන්නේ භාරතී. අපේ සාහිත්‍යය ගත්තොත් මේ ​ෙවනුවෙන් අපට එකපාරට මතක් වෙන්නේ එස්. මහින්ද හිමි. මට පෞද්ගලිකව මහින්ද හිමියන්ගේ කවි ගැන වැඩි ඇල්මක් තියනවා. ඒ නිසාම මම කලකට පෙර ‘මහින්ද ප්‍රබන්ධ’ නමින් උන්වහන්ස්ගේ සියලුම කවි ඒකරාශී කළා. මට නම් හිතෙන්නේ අපේ රටේ ජාතික නිදහස් සටන සම්බන්ධයෙන් සිංහල කවීන් ලියු එකම කවි පන්තියකවත් මහින්ද හිමියන්ගේ එක කවි පදයක තිබෙන සටන්කාමීත්වය තිබුණෙ නෑ කියලයි. භාරතීගේ කවිවල තිබෙන සටන්කාමීත්වයට සමගාමීව බැලුවොත් මට මතක් වෙන්නේ මහින්ද හාමුදුරුවෝ විතරයි. අපට වසර දෙදහස් ගණනක මහා සම්ප්‍රදායක් තියනවා වගේ දෙමළ ජනයාටත් වසර ගණනාවක් පැරැණි සාහිත්‍ය සම්ප්‍රදායක් තිබෙනවා. භාරතීට සුවිශේෂී ස්ථානයක් හිමිවෙන්නෙ ඒ ඒ සම්ප්‍රදායකත්වයට පටහැණිව අලුත් සාහිත්‍ය සම්ප්‍රදායක් ඇති කළ කවියෙකු හැටියටයි. ඒ නිසා භාරතීගේ කවි අධ්‍යයනය අපේ කවියන්ට අතිශය ප්‍රයෝජනවත්.


• අපි සාහිත්‍යයේ නව ප්‍රවණතා හා සම්ප්‍රදායන් ගැන කතා කරද්දී පෙරදිග පැරණි සාහිත්‍යයට වගේම බටහිර සාහිත්‍යයට වැඩි තැනක් දෙන බව පෙනෙනවා. ඒත් අපි දෙමළ සාහිත්‍ය පිළිබඳව දක්වන අවධානය ගැන ඔබ මොක ද හිතන්නේ?
    
දෙමළ සාහිත්‍යය පොදුවේ ගත්තාම ශ්‍රී ලාංකික දෙමළ සාහිත්‍යය සහ ඉන්දියානු දෙමළ සාහිත්‍යය කියල දෙකක් තියනවා. ඇත්තෙන්ම විශිෂ්ට සාහිත්‍ය සම්ප්‍රදායකට උරුමකම් කියෙන්නෙ භාරතීය දෙමළ සාහිත්‍ය සම්ප්‍රදායයි. අපට එබඳු අඛණ්ඩ දෙමළ සාහිත්‍ය සම්ප්‍රදායක් නැහැ. අපේ දෙමළ කවියන් ආභාසය ලබන්නේ ඉන්දීය දෙමළ සාහිත්‍ය සම්ප්‍රදායෙන්. ඉන්දීය සම්ප්‍රදාය එක්ක බැලුවාම ඒ හා සමානව තැබිය හැකි දෙමළ කවියන් අපට ඇත්තේම නැති තරම්. දක්ෂ කවියන් කිහිප දෙනෙක් අපේ දෙමළ සමාජයේ සිටියත් ඊට වඩා අති විශිෂ්ට තැනකයි ඉන්දීය දෙමළ සාහිත්‍ය තියෙන්නේ.
    
අපේ දෙමළ සිනමාව ඔළුව උස්සන්නෙ නැත්තෙ මහා දෙමළ සිනමාවක් ඉන්දියාවේ තිබෙන නිසයි. දෙමළ සාහිත්‍යයත් එහෙමයි. අපේ සාහිත්‍ය මණ්ඩලය සාහිත්‍ය උත්සවයේ දී දෙමළ සාහිත්‍යයට සම්මාන දෙනවා. ඒත් සංසන්දනාත්මකව බැලුවොත් විශිෂ්ට දෙමළ කෘති දකින්න ලැබෙන්නෙ භාරතීය දෙමළ සාහිත්‍ය සම්ප්‍රදාය තුළයි.


• ඔබ කියන්නේ අපේ අධ්‍යයනවල දී ඉන්දියානු සාහිත්‍යය සම්ප්‍රදාය තුළ දෙමළ සාහිත්‍ය සම්ප්‍රදාය අධ්‍යයනය මීට වඩා පුළුල් විය යුතු බව ද?
    
ඇත්තටම ඔව්. අපි අමතක කරපු දැවැන්තම සාහිත්‍යය තමයි දෙමළ සාහිත්‍යය. ඒක ලොකු අභාග්‍යයක්. මේක හිස්සැල්ලේ ධම්මරතන හිමියන්ගේ කාලයේ සිට කේ. ජේ. අමරදාස, ගොරොක්ගොඩ, පීටර් සිල්වා වැනි දෙමළ සිංහල ද්විභාෂක පඬිවරු පිරිසක් අපට සිටියා. අදත් අපට එබඳු පිරිසක් සුළුවෙන් හෝ සිටීම ගැන සතුටට පත්වෙන්න පුළුවන්. අද අපට දෙමළ භාෂා සාහිත්‍ය සම්බන්ධයෙන් සිටින පඬිවරයකු හැටියට කටපුරා කියන්න පුළුවන්. කෙනෙක් තමයි මඬුළුගිරියේ විජේරත්න මහතා. අකල් මරණයකට ගොදුරු වූ උපාලි ලීලාරත්නත් මට මෙහිදී මතක් වෙනවා. එසේම ජී. ජී. සරත් ආනන්ද. වජිර ප්‍රභාත් විජේසිංහ, මොහොමඩ් රාසුක්, අබේවංශ දේවප්‍රිය, සාමිනාදන් විමල්, නිලාර් එන්. කාසිම් වගේ අය දෙමළ සාහිත්‍යය සිංහල පාඨකයාට සමීප කරවීමට වර්තමානයේ ගන්නවා.

(*** සංවාද සටහන - ගාමිණි කන්දේපොළ)