අප රට ප්‍රධාන වශයෙන් මූල්‍ය අර්බුදය, දේශපාලන අර්බුදය සහ සෞඛ්‍ය අර්බුදය හරහා විශාල ආර්ථික අර්බුදයකට මුහුණ පා ඇති අතර එය මේවන විට සෑම ජන කොටසකටම අහිතකර ලෙස බලපා ඇත. මේ වන විට ශ්‍රී ලංකාව සතු විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන හතේ සිට බිලියන 0.005 දක්වා පහත වැටීම, මහ බැංකුව සතුව තිබූ ටොන් 20 ක් පමණ වූ රත්‍රං සංචිත තොගය අවසන්වීම සහ විදේශ විනිමය අනුපාතය වසර දෙකක් තුළ රු 185 සිට 360 දක්වා එනම් සියයට 94.6 කින් පිරිහීම සමග උද්ධමන අනුපාතය 2022 අප්‍රේල් වන විට රජයේ නිල වාර්තා අනුව සියයට 29.8 දක්වා ශීඝ්‍ර ලෙස ඉහළ යාම, සේවා වියුක්තිය සියයට 5.7 දක්වා ඉහළ යාම සමග ආර්ථික වර්ධන වේගය 2020 වන විට සෘණ 3.6 දක්වා පහත වැටුණි. රටේ සාමාන්‍ය අධ්‍යාපනය, වෘත්තීය පුහූණුව හා උසස් අධ්‍යාපනයේ ගුණාත්මක බව පිරිහීම, සමාජීය ගැටලු‍ විශාල බලපෑමකට රට මුහුණපා ඇත. පවතින අස්ථාවර වාතාවරණය හේතුවෙන් බුද්ධි ගලනය ද ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතියි.

මේ වන විට පවතින අධි ඉල්ලු‍ම් තත්ත්වය හා මිල මට්ටමවල ශීඝ්‍ර ඉහළ යාමත් සමාජ ගැටලු‍වක් බවට පත්ව ඇත. මෙම තත්ත්වය යථා තත්ත්වයට පත්වීමට ආර්ථික විද්‍යාඥ ඇඩම් ස්මිත්ගේ හෝ කේම්ස්ගේ පැරණි න්‍යාය අසමත්ව ඇත. එහෙත් නව සම්භාව්‍ය ආර්ථික න්‍යායයෙන් පසුව පෝල් රෝමර් ඉදිරිපත් කළ අන්තරාසර්ග වර්ධන න්‍යාය (indigeous Growth Theory) මේ සඳහා වඩාත් ගැළපේ. මන්ද මානව ප්‍රාග්ධන අංග වන ව්‍යසායකයන්ගේ අදහස් හා පර් යේෂකයන්ගේ සොයා ගැනීම්, දැනුම පදනම් කරගත් ආයෝජන, නිපුන ශ්‍රමය සහ නිවැරදි රාජ්‍ය ප්‍රතිපත්ති ආර්ථික වර්ධනය සඳහා හේතු වන බව මෙම න්‍යාය මගින් අවධාරණය කර ඇති බැවිනි.

ආර්ථිකය වෙත විදේශීය මුදල් ගලා එන ප්‍රධාන මූලාශ්‍ර පිරිහී යන අතර රටෙන් පිටතට මුදල් විශාල ලෙස ගලා යාම හේතුවෙන් විදේශීය සංචිත ශීඝ්‍ර ලෙස පිරිහීමට ලක්ව ඇත. 2020 වන විට විදේශ ණය සේවා අනුපාතය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 115 ලෙස එහි උපරිම තලයකට පැමිණ ඇත. ඇතැම් විද්වතුන් දක්වන ආකාරයට විදේශ ණය අරමුදල් අදාල ව්‍යාපෘතිවලට ගලා යාම හිල් වූ බාල්දියේ ජලය රැගෙන ඒම හා සමාන වී ඇත. සංචාරක කර්මාන්තය දිගින් දිගටම කඩා වැටීමෙන් 2018 දී ඉපයූ ඩොලර් බිලියන 4.4 ක විදේශ විනිමය ප්‍රමාණය 2021 වන විට බිලියන 0.3 දක්වා පහත වැටුණි. 2014 වර්ෂය වන විට 267,000 දක්වා වර්ධනය වූ විදේශ රැකියාගත වූ සංඛ්‍යාව 2020 වන විට 50,600 දක්වා පහත වැටුණි. මේ හේතුවත් සමග විදේශ ‌ප්‍රේෂණ ඩොලර් බිලියන 7 සිට 2021 වන විට බිලියන 5.4 දක්වා පහත වැටී ඇත. මේ වන විට විදේශ ආයෝජන ඩොලර් බිලියන 0.76 දක්වා පහත වැටී ඇති අතර 2012 වර්ෂය වන විට ඩොලර් මිලියන 490 ක් වූ විදේශ ආධාර ප්‍රමාණය 2018 වර්ෂය වන විට මිලියන 197.4 ක් දක්වා පහත වැටී ඇත. පසුගිය දශක දෙක තුන තුළ විවිධ ව්‍යාපෘති සඳහා රාජ්‍ය නොවන සංවිධාන මගින් නිදහසේ විදේශාධාර ලැබී ඇතත් රජය මගින් දැඩි නියාමනයට ලක්කිරීමත් සමග විදේශාධාර ලැබීම තවත් දුර්වල වී ඇත. මේ අතර කලු‍ ආර්ථික ගනුදෙනු පුළුල්වීමත් සමග රටේ මත් ද්‍රව්‍ය භාවිත කරන සංඛ්‍යාව ලක්ෂ 6 හමාරක් දක්වා වැඩිවී ඇත. ඒ හරහා වර්ෂයකට ඩොලර් බිලියන 3 කට ආසන්න විදේශ විනිමය ප්‍රමාණයක් රටෙන් පිටතට ඇදී යන බවට තක්සේරු කළ හැකිය. මේ සමග හවාලා සහ උණ්ඩියල් වැනි අවිධිමත් මුල්‍ය හුවමාරු ක්‍රම හේතුවෙන් ඩොලර් විශාල ප්‍රමාණයක් මෙරටට ගලා ඒම සීමා විය. විදේශීය අධ්‍යාපන පාඨමාලා වෙනුවෙන් විශාල මුදලක් පිට රටට ඇදී යාම ද සැලකිය යුතු මට්ටමක පවතීයි. තව ද අප සතු විදේශ විනිමය විදේශ රටවල ආයෝජනය කර ප්‍රතිලාබ ගලා නොඒනම් ගැටලු‍ව තවත් උග්‍ර වනු ඇත. මේ සියල්ල සමග ණය ගෙවීම පැහැර හැරීමෙන් අන්තර් ජාතික ණය ශ්‍රේණිගත කිරීමට අනුව අප රට RD (Fitch අනුව) එනම් පහළම තතත්වයට ශ්‍රේණිගත කර ඇත.

මේ අතර මතු විස්තර කරන ලද රටට ආදායම් ලැබෙන ප්‍රධාන මාර්ග වන සංචාරක කර්මාන්තය සහ විදේශ රැකියා (විදේශ ප්‍රේෂණ) මගින් පමණක් 2021 වර්ෂයේ අපට අහිමි වූ විදේශ ආදායම ඩොලර් බිලියන 05ක් පමණ වී ඇත. එම ආදායම් අහිමි නොවූයේ නම් අත්‍යවශ්‍ය ආනයන සඳහා වියදම් දැරීම සම්බන්ධව මෙතරම් ගැටලු‍වක් ඇති නොවනු ඇත. තව ද පසුගිය වර්ෂ දෙකක කාලය තුළ රටේ පැවති දුර්වල ආර්ථික කළමනාකරණයේ සහ ව්‍යවසන හේතුවෙන් 2017 වර්ෂයේ ඩොලර් බිලියන 10.95 ක් වූ රජයේ බදු ආදායම 2021 වන විට බිලියන 6.5 දක්වා පහත වැටුණි. මේ අනුව සුපුක්‍රට ආර්ථික විද්‍යාඥ රැග්නාර් නරස්ක් පෙන්වා දුන් ආකාරයේ දිළිඳු බවේ දුෂ්ට චක්‍රයකට සමස්ත ආර්ථිකයම හසු වී ඇත.

මෙම චක්‍රයෙන් මිදීමට නිවැරදි උපාය මාර්ගික ක්‍රම අනුගමනය කළ යුතුය. වියදම් පියවීමට මුදල් අච්චු ගැසීමේ පටු ක්‍රමවේදය හේතුවෙන් මුදල් සැපයුම ඉහළ ගොස් උද්ධමනීය තත්ත්වය තවත් උග්‍ර අතට හැරී ඇත. පවතින තත්ත්වයෙන් මිදීමට මෙම චක්‍රය කොතනින් හෝ කඩා දැමිය යුතුය. මෙවැනි චක්‍රයක් ආරම්භ වීමට බලපෑ මතු දක්වන ලද විදේශ සංචිත හීනවීමට බලපෑ හේතු විශ්ලේෂණය කර බැලීමේ දී රටේ දිගු කාලයක සිට පවතින මානව ප්‍රාග්ධනය සම්බන්ධ ගැටලු‍ ඒ අතර ප්‍රධාන වන බව පැහැදිලි වේ. කොවිඩ් වසංගතය තත්ත්වය, දුර්වල ආර්ථික ප්‍රතිපත්ති හා මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ තීරණය ගැනීම, ආයෝජන තීරණ ගැනීම, රටේ වංචා හා දූෂණ ඉහළ යාම, නොගැළපෙන පත්කිරීම් හා නිරන්තර මාරු කිරීම් යනා දී සියල්ල මීට ඇතුළත් වේ.

මේ සඳහා එක් අතකින් රටේ සමස්ත නිෂ්පාදිතය ඉහළ දැමීමත් ජාතික ආදායම් ඉහළ දැමීමත් සිදු කළ යුතු අතර අනෙක් අතට වියදම් පාලනය හා කළමනාකරණය සම්බන්ධ දැඩි උපාය මාර්ග අනුගමනය කිරීමෙන් මෙම දුෂ්ට චක්‍රය බිඳ දැමිය හැක.

මින් පළමුව දැක්වූ අදායම් ඉහළ දැමීම යටතේ ණය වාරික අගය පහත දමා ගැනීම සමග ඉහළ ඉපයීම් ශක්‍යතා සහිත සංචාරක කර්මාන්තය හා විදේශ රැකියා ප්‍රවර්ධනයට (විදේශගතවීම හෝ මාර්ගගත ක්‍රම මගින්) ප්‍රමුඛතාව ලබා දිය යුතුය. මේ සමග අධ්‍යාපනය හා සම්බන්ධවී වෘත්තීය පුහුණුව ලබාදීම තව දුරටත් කාර්යක්ෂම කළ යුතුය. අපනයන නිෂ්පාදන කර්මාන්ත හා දේශීය නිෂ්පාදන කර්මාන්තවලට අවශ්‍ය පුහුණු ශ්‍රම සැපයුම අඛණ්ඩව පවත්වා ගතයුතු අතර විදේශ රැකියා ප්‍රවර්ධනය කළ යුත්තේ කුමන කණ්ඩායම් සඳහා ද කුමන අංශ සඳහා ද යන්න තීරණය කළ යුතුය.

ණය නොවී ආයෝජන ඉහළ දැමීමට විකල්ප උපායමාර්ග වෙත රජය යොමු වියයුතු අතර විදේශිකයන්ට හා විදේශ රැකියාවල යෙදෙන ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම දේශීය ආයෝජකයන්ට ආයෝජනය කළ හැකි, කිසියම් කාලයකට කොටස්/අයිතිය හිමිවන පරිදි කුඩා සමාගම්, සමූපකාර සමාගම් හා ව්‍යාපාර ආරම්භ කිරීමෙන් ණය ආකෘතියෙන් මිදී ආයෝජන හා නිෂ්පාදනය ඉහළ දැමිය හැක. මේ හරහා පළමුව පුනර්ජනන බලශක්ති ව්‍යාපෘති, අපනයන නිෂ්පාදන ඇතුළු විවිධ ව්‍යාපෘතිවල ආයෝජන වර්ධනය කළ යුතුය.

කෙසේ වෙතත් මේ සියලු‍ කාරණා සඳහා දේශපාලන ස්ථාවර භාවය ඇතිකර ගැනීමට සියලු‍ පාර්ශව කැපවිය යුතුය. ණය උගුලෙන් මිදීමටත් උද්ධමනය පාලනයටත් ගැළපෙන මුල්‍ය හා පිස්කල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සමග දැවැන්ත නිෂ්පාදන ජාතික බලවේගයක් ක්‍රියාත්මක කළ යුතුය. ඒ අතර සෑම බිම් කඩක්ම වගා කිරීම හා සංවර්ධනයට යොදා ගැනීමෙන් රටට අවශ්‍ය ආහාර සහ අත්‍යවශ්‍ය දෑ රට තුළම නිෂ්පාදනය කර ගැනීමට ජනතාව පෙළඹවීමේ වැඩසටහන තවදුරත් ශක්තිමත් කළ යුතුය.

මේ අතර වියදම් පාලනය කළ හැකි උපාය මාර්ග කිහිපයක් පවතියි. ඒ අතර අප රට ලක්ෂ 11ක් පමණ රාජ්‍ය සේවක සංඛ්‍යාවකුත් ලක්ෂ අටකට අධික ත්‍රී රෝද රථ රියදුරන් සංඛ්‍යාවකුත් ලෙස සමස්ත සේවා නියුක්තියෙන් සියයට 25 ට ආසන්න ප්‍රතිශතයක් වන අතර ඉන් සැලකිය යුතු කොටසක් නිවැරදි වෘත්තීය මාර්ගය හඳුනා නොගැනීම හේතුවෙන් ඵලදායී ලෙස නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ නොවේ.

රටේ ප්‍රධාන නිෂ්පාදන හා සේවා පවත්වාගෙන යාමට ප්‍රමාණවත් නිපුන ශ්‍රමික පිරිසකගේ හිඟයක් පවතින අවස්ථාවක මෙය කිසිසේත් ශ්‍රී ලංකාව වැනි ණය බරිත රටකට සුදුසු නැත. විකල්පය කුමක් විය යුතුද? විකල්පශ්‍රම සංචලතාවට අවශ්‍ය වෘත්තීය පුහුණුව මෙන්ම පවතින හැකියාවනට ගැළපෙන නිපුනතා සහතික ලබාදීම මගින් ශ්‍රම කාර්යක්ෂමතාව ඇතිවන ආකාරයට විකල්ප අවස්ථාවලට යොමු කළ යුතුය. මේ අතර රටේ බොහෝ රාජ්‍ය ව්‍යවසාය අකාර්යක්ෂමව පාඩු ලබන තත්ත්වයක පවතියි. කළ යුත්තේ පාඩු ලබන ආයතන රජයේ මහජන අරමුදල් මගින් නඩත්තු කරනවා වෙනුවට රාජ්‍ය අයිතිය යටතේ කළමනාකරණය පෞද්ගලික අංශයට මාරුකිරීම වේ.

අප රට මානව සම්පත් දර්ශකයේ ඉහළම මට්ටමක පැවතුන ද මෙරට උසස් අධ්‍යාපන ආයතනවල පවතින සීමාකාරී සාධක මත වසරකට විශාල පිරිසක් වෛද්‍ය, ඉංජිනේරු පාඨමාලා හැදෑරීම සඳහා විදේශීය විනිමය විශාල ප්‍රමාණයක් වැය කරයි. එවැනි පාඨමාලා ඉතා හොඳින් අප රටේ රාජ්‍ය හා ‌පෞද්ගලික අංශ වෙන්ව හෝ ඒකාබද්ධව ආරම්භ කර විදේශ සිසුන් ද අප රටට ගෙන්වා ගත යුතුය.

ලෝකයේ ඉහළම සංවර්ධිත තත්ත්වයකට පත්ව ඇති උතුරු යුරෝපය, ජපානය සහ සිංගප්පූරුව වැනි රටවල වංචා දූෂණවලින් තොර වීමේ දර්ශකය ඉතා ඉහළ මට්ටමක පවතියි. අප රට ලොව රටවල් 178 කින් 102 මට්ටමට පත්ව ඇත්තේ වංචාවනට පෙළඹුණු අප සමාජයේම අයහපත් චර්යාත්මක රටාව බව පිළිගත යුතුය. දේශපාලනඥයා මෙන්ම රාජ්‍ය නිලධාරින් ද ඒ සමාජයේම කොටස් වේ. මෙම දර්ශකය ඉතා හොඳ මට්ටමකට පත් කිරීම සඳහා ඉහළ මට්ටමේ සිට පහළ මට්ටම දක්වාම ප්‍රති සංවිධානයක් ඇති කළ යුතුය. පාසල් අධ්‍යාපනයේ සිටම දැඩි විනය පද්ධතියකට සමාජය හුරු කළ යුතුය.

රාජ්‍ය හා පළාත් පාලන ආයතන ව්‍යුහය නාස්තිකාර ලෙස සකස් වී ඇත. 2017 වර්ෂයේ පළාත් සභා සඳහා රුපියල් මිලියන 286,031 ක් වැය වී ඇති අතර එම වියදම්වලින් සියයට90 වැඩි ප්‍රතිශතයක් දරා ඇත්තේ සේවක පඩිනඩි සහ ආයතන පවත්වාගෙන යාමට වන අතර සංවර්ධනාත්මක කාර්යයන් සඳහා ඉතා සුළු මුදලක් පමණක් වැය කිරීමට සිදුව ඇත. ඉංදියාවේ ප්‍රාන්තයකින් කොටසක් තරම් වර්ග කි‌ලෝමීටර් 25,000 ක් වන මෙරටට මෙතරම් සංකීර්ණ හා විශාල ආයතන ව්‍යුහයක් කුමට ද?

දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීන් 225 ක්, පළාත් සභා මන්ත්‍රීවරු 455 ක් සහ ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා සඳහා මන්ත්‍රීවරුන් 8690 ක් ද එක්වූ විට මන්ත්‍රිවරු 9370 ක් මහජන මුදලින් නඩත්තු වෙති. දැනට පළාත් සභා විසුරුවා හැරීමෙන් ඒවායේ ආදායම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර ප්‍රාදේශීය සභා විසුරුවා ඇති කාලවල ආදායම කිහිප ගුණයකින් වැඩි වූ අවස්ථා ද පවතියි. ඒ අනුව මන්ත්‍රීන් සංඛ්‍යාව සියයට 50 කින්වත් අඩු කිරීමෙන් හා දක්ෂයන් තෝරා පත්කිරීමෙන් වියදම් අඩුකර ගැනීමටත් කාර්යක්ෂමතාව වැඩිවීමටත් හේතුවනු ඇත.

මෙතෙක් සාකච්ඡා කළ ආදායම් ඉහළ දැමීම හා වියදම් අවම කර ගැනීමේ උපාය මාර්ග සම්බන්ධ කෙටි කාලීන, මැදි කාලීන හා දිගු කාලීන ප්‍රතිපත්ති හා සැලසුම් සකස් විය යුතු අතර ඒවා පක්ෂ දේශපාලනයෙන් ස්වාධීන විය යූතුය. සැලසුම් සකස් කිරීමට හා ඒ ඒ අංශ නගා සිටුවීමට අවශ්‍ය විශේෂඥ දැනුමැති ශ්‍රී ලාංකිකයන් දෙස් විදෙස්හි සිටින අතර රට සතු මානව ප්‍රාග්ධනය කාර්යක්ෂමව යෙදවීම ආර්ථික අර්බුදයෙන් මිදීමට අත්‍යවශ්‍ය වේ. සිංගප්පූරුව, කොරියාව, වියට්නාමය වැනි රටවල් අද ශ්‍රී ලංකාවට ළගාවීමට අසීරු මට්ටමට දියුණු රටවල් බවට පත්කරන ලද්දේ අව්‍යාජ දේශපාලන නායකත්ව සහ ජනතා කැපවීමත් මානව ප්‍රාග්ධනය නිසි පරිදි සැලසුම්කර ආයෝජනය කිරීමේ ප්‍රතිඵල වශයෙනි. අප ඔවුන් ආදර්ශයට ගතයුතු අතර මානව ප්‍රාග්ධනය නිසි පරිදි හැසිරවීම, දෙස් විදෙස්වල සිටින ශ්‍රී ලාංකික සියලු‍ දෙනාගේම අවංක කැපවීම සහ සහයෝගීතාව සමග නව ආර්ථික චින්තනයක් හා සමාජ පිබිදීමක් ඇතිකරවීමෙන් රට පැවති මට්ටමට ද වඩා ඉහළට ගමන්කරවිය හැක. ජනමාධ්‍ය වල තේමාව වියයුත්තේ ද එයයි.

(***)