ලෝකයේ එකම යුදෙව් රාජ්‍යය ඊශ්‍රායලයයි. ඊශ්‍රායලය පිහිටන්නේ මැදපෙරදිග කලාපයේය. ලෝකයේ රාජ්‍ය මට්ටමින් ෂියා ඉස්ලාම් දහම නිල ආගම ලෙස පිළිගත් සහ ෂියා මුස්ලිම් බහුතරයක් වෙසෙන ප්‍රධානතම රාජ්‍යය ඉරානයයි. ඉරානය පිහිටන්නේ ද මැදපෙරදිග කලාපයේය. මැදපෙරදිග පිහිටියත්, ඉරානය අරාබි රටක් නොවෙයි. අරාබි රටවල් ලෙස හැඳින්වෙන්නේ ප්‍රධාන වශයෙන් අරාබි භාෂාව මව්බස ලෙස භාවිත කරන රටවල්ය. අරාබි ලීගයට අයත් වන්නේ ද මෙම රටවල්ය. සෞදිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාරය, කුවේටය, ඕමානය, බහරේනය, ඉරාකය, ජෝර්දානය, ලෙබනනය, පලස්තීනය, සිරියාව, ඊජිප්තුව, ලිබියාව, ටියුනීසියාව, ඇල්ජීරියාව, මොරොක්කෝව, සුඩානය සහ සෝමාලියාව යන රටවල් අරාබි ලීගයේ සාමාජිකයන්ය. ඉරානය අරාබි ලීගයට අයත් නැත. ඒ ඉරානය අරාබි රටක් නොවන බැවිනි. ඉරාන වැසියන් පර්සියානුවන්ය. (අතීතයේ ඉරානය හැඳින්වූයේ පර්සියාව යනුවෙනි.) පර්සියානුවන් අරාබි ජාතිකයන් නොවෙයි. ඉරානයේ නිල භාෂාව වන්නේ ෆාර්සි ය. එය අරාබි අකුරුවලට සමාන අකුරු මාලාවකින් සැදුම්ලත් වුවත්, භාෂාව අතින් සම්පූර්ණයෙන්ම වෙනස්ය. අරාබි රටවලට මෙන් නොව, ඉරානයට වසර දහස් ගණනක් පැරණි සංස්කෘතියක් උරුමය.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය ගජ මිතුරා වන ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හවුල් කර ගනිමින් ඉරානයට පහර දීම ආරම්භ කළේ 28 වැනිදාය. ඒ, ඉරාන විප්ලවීය හමුදාව මුළුමණින්ම අඩපණ කිරීම සහ ඉරාන ඉස්ලාමීය රජය අඩපණ කිරීමේ අරමුණින්ය. ඉරාන උත්තරීතර නායක අල් කමේනී මියගිය බව ඉරාන ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදකයා පැවැසුවේ කඳුළු සලමිණි. රතු අඩ සඳ සංවිධානය උපුටා දක්වමින් ඉරාන මාධ්‍ය පැහැදිලි කළේ, මේවනවිට අවම වශයෙන් 201 දෙ‍දෙනකු මියගොස් 700 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවය. ඉරානයේ බාලිකා පාසලකට එල්ල වුණු මිසයිල ප්‍රහාරයෙන් බාලිකාවන් ද ඇතුළු 100 කට වැඩි දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරවලට ඉරානය ප්‍රතිප්‍රහාර එල්ල කිරීම අරඹා ඇත. ඒ සියලු කටයුතු අවුල් කර දමිමින් දිගු කාලීන යුද්ධයකට මුල පුරමිනි. ඊශ්‍රායලයේ හමුදා ඉලක්කවලටත්, බහරේනය, කුවේටය සහ කටාර් යන ඉරානයේ අසල්වැසි රටවල ඇති ඇමෙරිකානු හමුදා කඳවුරුවලටත් ඉරාන හමුදාව, නියමුවන් රහිත ඩ්‍රෝන යානා සහ මිසයිල ප්‍රහාර එල්ල කරයි. ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් මේ වන විට ඉරානයේ සහායට පැමිණ සිටින අතර, ඇමෙරිකා සහ ඊශ්‍රායල ප්‍රහාරවලට නොනවත්වා පහර දෙන බව හිස්බුල්ලා ප්‍රතිඥා දී ඇත.

ඉරානය එල්ල කළ ප්‍රහාරවලින් ඇමෙරිකන් හමුදා සාමාජිකයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ට්‍රම්ප් කියා සිටියේ, ඉරානය සමඟ මාස ගණනක යුද්ධයකට තමන් සහ ඊශ්‍රායලය සූදානම් බවය. එමෙන්ම ඇමෙරිකන් හමුදාවට ඉරාන නාවික බලඇණියට අයත් යුද නැව් නවයක් පහර දී විනාශ කිරීමට හැකිවුණු බව ද ට්‍රම්ප් පැවැසීය. ට්‍රම්ප් ඇමෙරිකානුවන් සියලු දෙනාගෙන් ඉල්ලා ඇත්තේ ඉරානයට එරෙහිව තමන් අනුගමනය කළ මෙම හමුදා ක්‍රියා මාර්ගයේ දී තමන් සමඟ එකතු වන ලෙසටය.

ඇමෙරිකා යුද දෙපාර්තමේන්තුව හැඳින්වෙන්නේ පෙන්ටගනය යනුවෙනි. පෙන්ටගනය ඉරානයට එරෙහි මෙම හමුදා ක්‍රියා මාර්ගය අනුගමනය කළේ කෘත්‍රිම බුද්ධි මෙවලමක සහාය ලබා ගෙනය. මෙම කෘත්‍රිම බුද්ධිය ක්ලෝඩ් යන නමින් හැඳින්වෙයි. මෙය ඇන්ත්‍රොපික් නමැති තාක්ෂණ සමාගමේ කෘත්‍රිම බුද්ධි මෙවලමකි. හමුදා ප්‍රහාර පිළිබඳ විශ්ලේෂණය කිරීම, ප්‍රහාරයක් එල්ල කරන ආකාරය, ප්‍රහාරයක් එල්ල කළහොත් මතුවන ඵලවිපාක පවා ක්ලෝඩ් තත්පර ගණනක් ඇතුළත පැහැදිලි කර දෙයි.

මැදපෙරදිග කලාපයේ රඳවා ඇති බ්‍රිතාන්‍ය හමුදා ඉලක්ක කර ගනිමින් ද ඉරාන හමුදාව මෙන්ම ඉරානයට සහාය දක්වන සන්නද්ධ කණ්ඩායම් ප්‍රහාර එල්ල කිරීමට පටන්ගෙන ඇතැයි පැවැසෙයි. බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රීමත් කියර් ස්ටාර්මර් කියා සිටියේ, ඇමෙරිකා හමුදා සෙබළුන්ට බ්‍රිතාන්‍ය හමුදා කඳවුරුවල සිට ඔවුන්ගේ මෙහෙයුම්වල නියැළීමට ඉඩ ලබා දෙන බවය. එසේ වුවත් ඉරානය සමඟ යුද්ධයට තමන් දැනට මැදිහත් නොවන බවත්ය. ඇමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් දිගින් දිගටම එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය අසල අවම වශයෙන් නැව් තුනකට ප්‍රහාර එල්ල වී ඇති අතර එය ගෝලීය තෙල් මිල ඉහළ යාමට හේතුවක් වනු ඇති බවත් විදෙස් මාධ්‍ය ඊයේ (2) වාර්තා කළේය. උතුරින් ඉරානයටත්, දකුණින් ඕමානයට සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයටත් මායිම්ව පිහිටයි. ලෝකයේ තෙල් හා ගෑස්වලින් සියයට 20ක් පමණ ප්‍රවාහනය කෙරෙන මෙම සමුද්‍ර සන්ධිය හරහා ගමන් නොකරන ලෙස ඉරානය නෞකාවලට අනතුරු අඟවා ඇත.

1979 ඉරාන විප්ලවයෙන් පසු එරට සම්මත කරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෝකයේ පවතින අනෙක් රටවලට වඩා හාත්පසින්ම වෙනස් එකකි. එය ආගමික පදනම සහ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය යන දෙකෙහිම මිශ්‍රණයකි. ඉරානයේ ඉහළම බලධාරියා උත්තරීතර නායකයා ය. ඔහු රජයේ ප්‍රධානියා එනම් ජනාධිපතිවරයාටත් වඩා බලවත් වන අතර, හමුදාව, අධිකරණය සහ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අවසන් තීරණ ගනු ලබන්නේ ඔහුය. 1979 වසරෙන් පසු පළමු උත්තරීතර නායකයා ලෙස කටයුතු කළේ අයතුල්ලා අලි කුමේනීය. ඒ, 1981 සිට 1989 දක්වාය. කුමේනීගෙන් පසු උත්තරීතර නායකයා ලෙස තේරී පත් වූයේ පසුගියදා ඇමෙරිකා ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය අයතුල්ලා අලී කමේනීය. උත්තරීතර නායකයා තෝරා ගැනීම සිදුවන්නේ මහජන ඡන්දයෙන් නොවෙයි. ඔහු තෝරා ගැනීම සිදුවන්නේ පූජකවරුන් කණ්ඩායමකිනි. මොවුන් විශේෂඥ සභාව එසේත් නැතිනම් විශේෂඥ මණ්ඩලය ලෙස සැලකෙයි. මෙම සභාව සාමාජිකයන් 88 දෙනකුගෙන් සමන්විත වන අතර, ඔවුන් ඉස්ලාමීය නීතිය පිළිබඳ විශාරදයන්ය. ඉරාන ජනාධිපතිවරයා යනු එරට දෙවැනි බලවතාය. ඔහු ආණ්ඩුවේ ප්‍රධානියා වන අතර එදිනෙදා පාලන කටයුතු (ආර්ථිකය, අධ්‍යාපනය ආදිය) මෙහෙයවයි. කෙසේ වෙතත්, ජනාධිපතිවරයා ගන්නා සෑම තීරණයකටම උත්තරීතර නායකයාගේ අනුමැතිය අවශ්‍ය වෙයි.

ඉරාන ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තු සාමාජිකයන් තෝරා ගැනෙන්නේ මහජන ඡන්දයෙනි. ජනාධිපතිවරණයක් සඳහා නාම යෝජනා ඉරිපත් වූ පසු එම නාම යෝජනා උත්තරීතර නායකයා යටතේ පවතින ආරක්ෂක මණ්ඩලයට යොමු වෙයි. මෙම ආරක්ෂක මණ්ඩලය පත් කරනු ලබන්නේ උත්තරීතර නායකයා විසිනි. ඉරාන ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය හැක්කේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලැබෙන අපේක්ෂකයන්ට පමණි. ඉරානයේ වත්මන් ජනාධිපතිවරයා වන්නේ මෙෂූඩ් පෙසෙෂ්කියන්ය. මීට පෙර ඉරානයේ ජනාධිපති ධුරයට පත්වුණු සියලුම ජනාධිපතිවරුන්, උත්තරීතර නායකයාට දැඩි පක්ෂපාතී දැඩිමතධාරීන් වූ නමුත් පෙසෙෂ්කියන්ගේ වෙනසක් ඇත. මොහු මධ්‍යස්ථමතධාරියෙකි. ඔහු 2024 වසරේ ජනාධිපතිවරණය ජයගෙන ජනාධිපති පුටුවේ අසුන් ගත්තේම, ඇමෙරිකාව සමඟ ගැටුම් ඇති කර නොගෙන සාකච්ඡා මාර්ගයෙන් අර්බුද විසඳා ගන්නා බව පවසමිනි. පසුගිය 28 වැනිදා සහ ඊයේ (1) ඊශ්‍රායලය සහ ඇමෙරිකාව එක් වී, ඉලක්ක කරගත්තේ කමේනී සහ ඉරාන විප්ලවීය හමුදාවේ ප්‍රධානීන්ය. කමේනී සහ ඔහුගේ පුත්‍රයා, දියණිය සහ මුණුපුරන් ද ගුවන් ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා විය. කමේනිගේ අභාවයෙන් පසු, නව උත්තරීතර නායකයකු තෝරා ගන්නා තුරු, ජනාධිපති පෙසෙෂ්කියන්, ඉරාන නීතිපති සහ එරට ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානියකු තාවකාලික රජයක් පිහිටුවා ගත් බවට වාර්තා පළ වෙයි.

ඉරානයේ හිටපු ජනාධිපති මොහොමද් අහමදිනෙජාද් සිය නිවසේ සිටිද්දී මිසයිල ප්‍රහාරයකට බිලි විය.

2005 සිට 2013 දක්වා ඉරාන ජනාධිපති ධුරය හෙබවූ අහමදිනෙජාද්, බටහිර විරෝධී මතධාරී නායකයෙකි. අහමදිනෙජාද්, ශ්‍රී ලංකාවේ මිතුරෙකි. 2008 දී මෙරට නිල සංචාරයක නිරත වූ ඔහු, ශ්‍රී ලංකාවේ දැවැන්තම බහුකාර්ය ව්‍යාපෘතියක් වන 'උමා ඔය ව්‍යාපෘතිය' ආරම්භ කිරීමට මූලිකවම සහාය ලබා දුන් නායකයාය.

නිල නොවන ඇතැම් වාර්තා අනුව, ජනාධිපති පෙසෙෂ්කියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල නොකරන්නැයි ට්‍රම්ප් ජනාධිපතිවරයා අණ දී ඇත. ඇතැම්විට ඒ, ජනාධිපති පෙසෙෂ්කියන්ගේ මධ්‍යස්ථ අදහස් නිසා, ඔහු යටතේ ඉරානයට වෙනසක් ඇති කිරීමේ අපේක්ෂාවෙන් විය හැකිය. ඉරානයට ප්‍රහාර ආරම්භ කළ අවස්ථාවේදී ට්‍රම්ප් ඉරාන වැසියන් ඇමතුවේය. “ඉස්ලාමීය පාලනයෙන් මිදී, නිදහස් වීමට ඔබට දැන් අවස්ථාව උදා වී තිබෙනවා. වසර ගණනාවක් තිස්සේ ඔබට ඒ නිදහස දෙන්නැයි ඔබ ඇමරිකාවේ උදව් ඉල්ලුවා. කිසිම ඇමෙරිකන් ජනාධිපතිවරයකු ඔබට කන් දුන්නේ නැහැ. ඒත් මම කන් දුන්නා. මම ඉරාන ඉස්ලාමීය ත්‍රස්තවාදී රෙජීමය අඩපණ කර දුන්නා. නව රජයක්, ජනතා හිතකාමී රජයක් පිහිටුවා ගැනීම දැන් ඔබට බාරයි. ඔබ දැන් ගන්නා නිවැරදි තීරණ පරම්පරා ගණනකට බලපානු ඇතැයි මා විශ්වාස කරනවා. ඒ වගේමයි මා ඉරාන විප්ලවීය හමුදාවට සහ පොලිසියට කියන්න කැමතියි. අවි බිම දමා යටත් වෙන්න. ඔබට සමාව ලැබෙනවා. අනතුරක් වෙන්නේ නැහැ. යටත් නොවුණොත් ඔබ බේරා ගන්න කෙනෙක් එන්නේ නැහැ. නිසැකවම කුරිරු මරණයක් අත්වේවි.” යැයි ට්‍ම්ප් අවධාරණය කළේය.

ඉරාන විශේෂඥ මණ්ඩලය, නව වැඩබලන උත්තරීතර නායකයා ලෙස තෝරා ගෙන ඇත්තේ අයතුල්ලා අලිරේසා අරෆි යැයි ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත. මෙය තාවකාලිකය. නිශ්චිතව නව උත්තරීතර නායකයකු තෝරා ගැනීමට නම් ඉරාන විශේෂඥ මණ්ඩලයේ සාමාජිකයන් 88 දෙනා රැස්විය යුතුය. එය රහසේ කළ හැකි දෙයක් නොවන අතර, ඉරානයේ ඉස්ලාමීය පාලනය දිගටම පැවැතීම දැකීම, නව උත්තරීතර නායකයකු පත්වනු දැකීම ඇමෙරිකාව හෝ ඊශ්‍රායලය හෝ අපේක්ෂා නොකරයි. ඉරාන විශේෂඥ මණ්ඩලයේ සාමාජිකයන් 88 දෙනා රැස්වුවහොත් ඔවුන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මාරයා පැමිණෙනු ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ වැඩබලන උත්තරීතර නායකයා ලෙස තෝරා ගත් අලිරේසා අරෆි ද ඇමෙරිකන් සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය බවය. ඒ, ඔහු වැඩබලන උත්තරීතර නායකයා ලෙස වැඩ බැලීම ආරම්භ කළ සැණින්ය

ඉරානයට හිතවත් රුසියානු ජනාධිපති ව්ලැදීමීර් පුටින්, ඉරාන උත්තරීතර නායක කමේනිගේ ඝාතනය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කර ඇති අතර, චීන ජනාධිපති ෂී ජින්පින් ඇමෙරිකාවෙන් මෙන්ම ඊශ්‍රායලයෙන් ද ඉල්ලීමක් කර ඇත්තේ ජාත්‍යන්තර නීතිවලට ගරු කරමින් ඉරානයට එරෙහිව එල්ල කරන ප්‍රහාර නවත්වන ලෙසටය. මේ අතර ට්‍රම්ප් රුසියාවටත්, චීනයටත් පවසා ඇත්තේ ‘පැත්තකට වී සිටින්න’ යනුවෙනි. ඉරානය අමතක කර ඇමෙරිකාව සමඟ එක් වැන්නැයි ද ට්‍රම්ප්, පුටින්ගෙන් සහ ජින්පින්ගෙන් ඉල්ලා ඇත.

1979 වසරට පෙර ඉරානය පාලනය කළේ මොහොමඩ් රේසා පහ්ලවි හෙවත් ෂා රජු ය. (පර්සියානු බසින් ෂා යනු රජ නැතිනම් අධිරාජ්‍යයා යන්නය.) ෂා පාලනය බටහිර ගැති පමණක් නොව නවීකරණයට නැඹුරු වූ පාලනයක් වූ අතර, ඉරාන වැසියෝ ආගමික වශයෙන් කොටු නොවී සැහැල්ලුවෙන් ජීවත් වූහ. ඉරාන කාන්තාවෝ නිදහසේ තමන්ට රිසි ඇඳුම් අඳින්න වූහ. ෂා පාලනය බිඳ වැටීමට ප්‍රධාන හේතු කිහිපයක් බලපෑවේය. රජුගේ ඒකාධිපති පාලනය ඒ අතරින් ප්‍රධාන වෙයි. ෂා රජුට එරෙහි වූවන් මර්දනය කිරීමට රහස් පොලිසිය යොදා ගැනීම නිසා ජනතාව තුළ දැඩි කළකිරීමක් හටගත්තේය. තෙල් සම්පතින් ලැබුණු විශාල ධනය රටේ ඉහළ පැලැන්තියට පමණක් සීමාවිය. ඉහළ උද්ධමනය රට වැසියන් පීඩාවට පත් කළේය. ආර්ථික අසමතුලිතතාවක් නිර්මාණය විය. ෂා විසින් රට වේගයෙන් බටහිර සංස්කෘතියට නැඹුරු කිරීම ගැන ඉස්ලාමීය ආගමික නායකයන් සහ ගතානුගතික ජනතාව විරෝධය පළ කරන්න වූ අතර, බටහිරකරණයට එරෙහිව ආගමික විරෝධයක් නිර්මාණය විය.

1979 වසරේ, ඉරාන විප්ලවයෙන් පසු, පිටුවහල් කරනු ලැබ සිටි ආගමික නායක රුහොල්ලා මුසාවි කොමේනි විසින් මෙහෙයවන ලද මහජන උද්ඝෝෂණ හමුවේ 1979 දී රජුට රටින් පලා යෑමට සිදු විය. ෂා රජුගේ සමයේ ඇමෙරිකාව සහ ඉරානය ඉතා සමීප මිතුරන් විය. නමුත් 1979 න් පසු එය සතුරුකමක් බවට පත් විය. අද ට්‍රම්ප් ඉරානයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ ද එම සතුරුකමේ ප්‍රතිඵලයක් ලෙය. ඉරාන ඇමෙරිකා සතුරුකමට ප්‍රධාන හේතු දෙකකි. එක් හේතුවක් 1953 වසර තෙක් දිව යයි. 1953 වසරේ, ඉරානයේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත්ව සිටියේ මොසාඩෙග් ය. මොහු ඉරාන අග්‍රාමාත්‍ය ධුරය හෙබවීය. ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශය මැදිහත් වී, කුමන්ත්‍රණය කරමින් මොසාඩෙග් බලයෙන් පහ කර දමා, ඇමෙරිකාවට හිතවත් ෂා රජුට ඉරානයේ වැඩි බලයක් ලබා දීමට කුමන්ත්‍රණය කළේය. එය සාර්ථක විය. මෙය ප්‍රසිද්ධ රහසකි. 1979 ඉරාන විප්ලවයෙන් පසු කලහකාරී වූ ඉරාන විශ්ව විද්‍යාල සිසුහු පිරිසක් තෙහෙරාන් අගනුවර පිහිටි ඇමෙරිකන් තානාපති කාර්යාලය අත්පත් කරගෙන, ඇමෙරිකානුවන් පනස් දෙදෙනකු දින 444 ක් පුරා ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගත්හ. මෙම සිදුවීමෙන් පසු ඇමෙරිකාවත් ඉරානයත් අතරේ තානාපති සබඳතා සම්පූර්ණයෙන්ම බිඳ වැටුණි.

ෂා රජුගේ පාලන කාලයේ ඉරානය සහ ඊශ්‍රායලය යනු ගජ මිතුරන් විය. ඊශ්‍රායලය යනුවෙන් යුදෙව්වන් වෙනුවෙන් රටක් බිහිවෙද්දී, ඊට මුලින්ම සහාය දැක්වූයේ ද ඉරානය් ෂා රජුගේ පාලනයයි. ඉරානය සහ ඊශ්‍රායලය අතරේ ආරක්ෂක සහ වෙළඳ සබඳතා පැවැතිණි. 1979 වසරේ ඉරාන විප්ලවයෙන් පසු සියල්ල උඩුයටිකුරු විය. අද ඉරාන ඉස්ලාමීය රාජ්‍යය, ඊශ්‍රායලය අනවසරයෙන් පලස්තීන භූමිය අත්පත් කරගත් රාජ්‍යයක් ලෙස හංවඩු ගසා ඇත. අද දෙරට අතර පවතින්නේ දරුණු ආකාරයේ විරසකයකි. ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට සහාය සහ අනුග්‍රහය දක්වන්නේත්, ලෙබනනයේ ඊශ්‍රායල විරෝධී හිස්බුල්ලා සටන්කාමීන්ට සහාය සහ අනුග්‍රහය දක්වන්නේත් ඉරානයයි.

ඉරානයට අනුව ඔවුන් ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන ක්‍රියාත්මක කර ඇත්තේ එරට බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමටය. ඇමෙරිකාව සහ ඊශ්‍රායලය චෝදනා නගන්නේ ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී ලෝකය විනාශ කළ හැකි පරමාණු අවි නිපදවන බවටය. ඉරානය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි. පසුගිය 28 වැනිදා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක් වී ඉරානයට පහර දෙද්දී පවා, ඇමෙරිකා නියෝජිතයන් සහ ඉරාන නියෝජිතයන් අතරේ වක්‍රාකාරව න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් එකඟත්වයක් ඇති කර ගැනීමට සාකච්ඡා පැවැත්වෙමින් තිබුණි.

ලුසිත ජයමාන්න
බීබීසී ඇසුරිනි