තෙල් බෙදන මුහුදු මාවතේ පිහිටීම

උතුරින් ඉරානය ද, දකුණින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානය (මුසන්දම් ප්‍රදේශය) ද හෝමුස් සමුද්‍ර සන්ධිය මැදිකොට පිහිටා තිබිම මෙයට බැල්ම වැටීමට ප්‍රධාන හේතුවයි.මෙම මුහුදු මාර්ගයේ පටුම ස්ථානය සැතපුම් 21ක් (කිලෝමීටර් 33ක්) පමණ වන අතර නෞකා ගමනාගමනය සඳහා ආරක්ෂිත ගැඹුරු මුහුදු මාවත සැතපුම් 2ක් පමණ පටු වනසේ හරි අපූරුවට පිහිටා තිබේ.

රට්ටුන්ගේ තෙල් ප්‍රවාහනයේ හදවත

​ලෝකයේ මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කරන මුළු ඛනිජ තෙල් ප්‍රමාණයෙන් 20% - 30% අතර ප්‍රමාණයක් ගමන් කරන්නේ මෙම පටු සමුද්‍ර සන්ධිය හරහා ය.​ඒ අනුව සෞදි අරාබිය, ඉරානය, ඉරාකය, කුවේටය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල නිෂ්පාදනය කරන තෙල් බොහොම පහසුවෙන් මේ හරහා ලෝක වෙළඳපොළට යයි. මේ නිසා ලොවටම වැදගත් මේ අපූරු සමුද්‍ර සන්ධිය ​මත දිනකට බොරතෙල් බැරල් මිලියන 20කට අධික ප්‍රමාණයක්  සංසරණය වෙයි.

​හෝමුස් සමුද්‍ර සන්ධියට ඉතිහාසයේ එක් වූ කළු පැල්ලම්

හෝමුස් සමුද්‍ර සන්ධිය ඉතිහාසය පුරාම දේශපාලනික සහ මිලිටරිමය වශයෙන් දැඩි අවධානයට ලක් වූ කරුමක්කාර වෙළඳ මාර්ගයකි. බල තණ්හාව නිසා මේ පටු මුහුදු තීරය මතට වැඩිකල් නොගොස්ම යුධ සෙවනැලි වැටෙන්නට පටන් ගත්තේය. ටැංකර් යුද්ධය (Tanker War - 1980-1988) මින් ප්‍රධාන වේ. එහිදී ඉරාන-ඉරාක යුද්ධය පැවති සමයේ දෙපාර්ශවයම අනෙකාගේ තෙල් නැව් වලට පහර දුන්හ.නෞකා 500කට අධික සංඛ්‍යාවකට පහර දීම් සිදු වූ අතර, ඉන් වැඩි ප්‍රමාණයක් හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී සිදුවිය.මෙය ලෝක තෙල් මිල ඉහළ යාමට සහ සැපයුම අඩාල වීමට දැඩි බලපෑමක් එල්ල කළ අවස්ථාවකි. එහිදී ලෝක තෙල් මිල 25% කින් පමණ ඉහළ ගිය අතර, ඇමරිකානු නාවික හමුදාව තෙල් නැව් වලට ආරක්ෂාව සැපයීම සඳහා "Operation Earnest Will" මෙහෙයුම ආරම්භ කළේය.

මෙයට එක්සත් ජනපද මැදිහත්වීම1980 දශකයේ සිට සිදුවූවකි.1988 වර්ෂයේ හෝමුස් සමුද්‍ර සන්ධිය ඉහළ අහසේදී ඇමරිකානු නාවික හමුදාවේ USS Vincennes නෞකාව මගින් ඉරාන මගී ගුවන් යානයක් (Iran Air Flight 655) වෙඩි තබා බිම හෙළන ලදී. මෙහිදී පුද්ගලයින් 290 දෙනෙකු මිය ගියහ.මෙය කලාපයේ යුධමය තත්ත්වය සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා අතිශය නරක අතට හැරවීමට හේතු විය.කෙසේ වෙතත් ඇමරිකානු නාවික හමුදාව මෙම කලාපයේ එකල සිට ස්ථාවරව රැඳී සිටින්නේ තෙල් නැව් වල ආරක්ෂාව සහ නිදහස් ගමනාගමනය කෙසේ හෝ  තහවුරුව තබා ගැනීමේ බල තන්හා අරමුණි.

මේ අතර ​ඉරාන බලපෑමද හොමුස් සමුද්‍ර සන්ධියට ඉතිහාසයේ පටන් නොඅඩුව තිබුණි. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන නිසා පැනවූ සම්බාධක වලට ප්‍රතිචාර ලෙස ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා දමන බවට තර්ජනය කළේය. එම වසරේදී දිනකට බොරතෙල් බැරල් මිලියන 17ක් පමණ මෙම මාර්ගයෙන් ප්‍රවාහනය වූ අතර, වසා දැමීමේ තර්ජනය නිසා ලෝක වෙළඳපොලේ තෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගියේය.ඉරානයට එරෙහිව ජාත්‍යන්තර සම්බාධක පනවන සෑම අවස්ථාවකම පාහේ, හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දමන බවට ඔවුන් තර්ජනය කරන්නේ අද ඊයෙක  නොවේ. .එවැනි පියවරක් ඉදිරි දිනකදීත් ගනු ලැබුවහොත් මුළු ලෝක ආර්ථිකයම දැඩි අර්බුදයකට පත්විය හැකිය.

​ වත්මන් තත්ත්වය

​වර්තමානයේදී ද මැදපෙරදිග පවතින නොසන්සුන්කාරී තත්ත්වයන් මත මෙම මුහුදු සන්ධියේ ආරක්ෂාව පිළිබඳව ලෝකය දැඩි අවධානයෙන් පසුවේ. තෙල් ප්‍රවාහනයට අමතරව, කටාර් රාජ්‍යයෙන් අපනයනය කරන ද්‍රව ස්වභාවික වායු (LNG) වලින් වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කෙරෙන්නේ ද මෙම මාර්ගය ඔස්සේයි.

​2019 "නැව් වලට එල්ල වූ බෝම්බ ප්‍රහාර"

 2019 මැයි සහ ජුනි මාසවලදී ඕමාන් බොක්කේ සහ හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ නවතා තිබූ තෙල් නැව් කිහිපයකට (විශේෂයෙන් සෞදි සහ ජපන් නැව් වලට) ලිම්පට් බෝම්බ (Limpet Mines) මගින් ප්‍රහාර එල්ල විය.එහි ප්‍රතිඵල ලෙස මෙයින් පසු ලෝකයේ ප්‍රධාන නාවික රක්ෂණ සමාගම් මෙම කලාපය හරහා ගමන් කරන නැව් සඳහා වන රක්ෂණ වාරික (Insurance premiums) විශාල ලෙස ඉහළ නැංවූහ.

වර්තමාන සංඛ්‍යාලේඛන දත්ත (පසුගිය වසර කිහිපය අනුව)

 

විස්තරය

ප්‍රමාණය / අගය

දෛනික තෙල් ප්‍රවාහනය

බැරල් මිලියන 20 - 21 පමණ

ලෝක පරිභෝජනයෙන් ප්‍රතිශතය

ලෝක තෙල් පරිභෝජනයෙන් 1/5 ක් පමණ

ප්‍රධාන ගමනාන්ත

චීනය, ජපානය, ඉන්දියාව, දකුණු කොරියාව

විකල්ප මාර්ග

සෞදි අරාබියේ 'East-West Pipeline' (නමුත් මෙයට සම්පූර්ණ ධාරිතාව දැරිය නොහැක)

ඉරානය සහ ඇමරිකාව අතර පවතින නාවික නීතිමය ගැටලු

හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් පවතින නාවික නීතිමය ගැටලු (Maritime Legal Issues) පිළිබඳව කතා කිරීමේදී, ප්‍රධාන වශයෙන් ගැටෙන්නේ ජාත්‍යන්තර මුහුදු නීතිය සහ රටවල් සතු ස්වෛරී බලතලයි.

ඇමරිකාව සහ ඉරානය අතර පවතින ප්‍රධාන නීතිමය මතභේද

​UNCLOS සම්මුතිය සහ "අහිංසක ගමනාගමනය" (Innocent Passage)

​ලෝකයේ බොහෝ රටවල් 1982 එක්සත් ජාතීන්ගේ මුහුදු නීතිය පිළිබඳ සම්මුතිය (UNCLOS) පිළිගන්නා නමුත්, මෙහිදී විශේෂ තත්ත්වයන් දෙකක් පවතී. එනම් ​ඉරානය මෙම සම්මුතියට අත්සන් තැබුවද, එය තවමත් එරට පාර්ලිමේන්තුව මගින් අපරානුමත (Ratify) කර නැත.මෙය එක් කාරණයකි.  අනෙක් කාරණය වන්නේ ​ඇමරිකා එක්සත් ජනපදය මෙම සම්මුතියට අත්සන් තබා හෝ අපරානුමත කර නැති වීමයි.  (නමුත් ඔවුන් එය 'සම්ප්‍රදායික ජාත්‍යන්තර නීතියක්' ලෙස පිළිගනී).

 

​"සංක්‍රාන්ති ගමනාගමනය" (Transit Passage) vs "අහිංසක ගමනාගමනය"

​මෙය දෙපාර්ශවය අතර පවතින ප්‍රධානම නීතිමය ගැටුමයි. එහිදී ​ඇමරිකාවේ ස්ථාවරය වන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය ජාත්‍යන්තර නාවික ගමනාගමනය සඳහා භාවිතා වන බැවින්, ඕනෑම රටක නෞකාවකට (යුධ නැව් ද ඇතුළුව) කිසිදු බාධාවකින් තොරව වේගයෙන් ගමන් කිරීමේ අයිතිය (Transit Passage) තිබීමයි. නමුත් ​ඉරානයේ ස්ථාවරය වන්නේ ඔවුන්  මෙය ඔවුන්ගේ දේශීය මුහුදු සීමාවට (Territorial Waters) අයත් බැවින්, විදේශීය යුධ නැව් ගමන් කිරීමේදී ඉරානයේ පූර්ව අවසරය ලබාගත යුතු බවයි. තමන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වන නැව් නැවැත්වීමේ අයිතිය තමන්ට ඇති බව ඔවුන් තර්ක කරයි.

 

දූපත් පිළිබඳ අයිතිය (The Island Dispute)

​හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ පිහිටි අබු මූසා (Abu Musa) සහ තුන්බ් (Greater and Lesser Tunbs) යන දූපත් වල පාලනය පිළිබඳව ඉරානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර දීර්ඝ කාලීන අවසානයක් නොදකින ආරවුලක් පවතී. මෙම දූපත් වල පිහිටීම නිසා සමුද්‍ර සන්ධියේ නාවික මාර්ග පාලනය කිරීමේ හැකියාව ඉරානයට ලැබී ඇත. ඇමරිකාව මෙහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාර්ශවයට හිතැති ස්ථාවරයක පසුවේ.

නීතිමය ගැටලු නිසා ඇතිවන බලපෑම

​නැව් අත්අඩංගුවට ගැනීම මෙම නීතිමය මත භේදය නිසා නිතරම සිදුවන කාරණයකි.ඒ නිසාම ජාත්‍යන්තර නීති උල්ලංඝනය කළ බව පවසමින් ඉරානය විසින් විදේශීය තෙල් නැව් අත්අඩංගුවට ගැනීම සුලභය. නාවික අභ්‍යාස කටයුතුවලදී ද මෙය සිදුවේ. ඇමරිකාව තම නාවික බලය පෙන්වීමට සහ ගමනාගමන නිදහස තහවුරු කිරීමට (Freedom of Navigation operations) නිතරම යුධ නැව් යෙදවීම සිදුකරයි.  තවද ඩ්‍රෝන ප්‍රහාර මෑත කාලීනව නාවික සීමා උල්ලංඝනය කළ බව පවසමින් දෙපාර්ශවයම එකිනෙකාගේ ඩ්‍රෝන යානා බිම හෙළීමට කටයුතු කිරීමද මෙහි තවත් ප්‍රතිඵලයකි.මේ අනුව අලංකාර පටු මුහුදු තීරයක් වූ හෝමුස් සමුද්‍ර සන්ධිය බල තණ්හා කරුවන් නිසා අළු යට ගිනි පුපුරු මවන අපූරු සොබා දහම් මැව්මකි.

​සරලවම කිවහොත්, ඇමරිකාව උත්සාහ කරන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය "ජාත්‍යන්තර මාවතක්" ලෙස පවත්වා ගැනීමටයි. ඉරානය උත්සාහ කරන්නේ එය තමන්ගේ පාලනය යටතේ පවතින "මුහුදු දොරටුවක්" ලෙස තබා ගැනීමටයි.

 

D.N.අභයවර්ධන.