මෑතකදී ශ්‍රී ලංකාවට ප්‍රබල බලපෑමක් එල්ල කළ "දිත්වා" (Ditwa) කුණාටුව අප රටේ ආර්ථික දේහයට එල්ල කළේ මරු පහරකි. ව්‍යසනයකින් පසු හුදෙක් සහන සැලසීමෙන් ඔබ්බට ගොස්, රටක් ලෙස නැවත නැගී සිටීමට නම් විද්‍යාත්මකව සහ ප්‍රතිපත්තිමය ආර්ථික උපායමාර්ගවල අවශ්‍යතාවය දැන් වෙන කවරදාටත් වඩා තදින් දැනෙමින් පවතී. ඕනෑම ස්වභාවික ආපදාවකදී ජනතාවට ක්ෂණික සහන අවශ්‍යය  වුවද, රටේ දිගුකාලීන පැවැත්ම රඳා පවතින්නේ දේශගුණික කම්පන දරාගත හැකි ශක්තිමත් ආර්ථික යාන්ත්‍රණයක්  මතය.

මෙම ජාතික අවශ්‍යතාව හඳුනාගනිමින්, රටේ වගකිවයුතු උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස ශ්රී ලංකා තාක්ෂණ විශ්වවිද්යාලය  (Sri Lanka Technology Campus), මෙම අභියෝගයට විද්‍යාත්මකව සහ ප්‍රායෝගිකව ප්‍රතිචාර දැක්වූ මෙරට පළමු අධ්‍යාපන ආයතනය බවට පත් විය. ඒ අනුව,  පාරිසරික වෘත්තිකයන්ගේ ආයතනය (IEPSL) සමඟ උපායමාර්ගික සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක වන "Climate Smart Sri Lanka: Awareness to Action" ජාතික වෙබිනාර් මාලාව පසුගිය 2026 ජනවාරි 28 වන දින නිල වශයෙන් ආරම්භ කරන ලදී.

මෙම සුවිශේෂී ජාතික සත්කාරය පිළිබඳ තොරතුරු මුලින්ම ජාතික විද්යා පදනම (NSF) සහ ජාතික පර්යේෂණ සභාව (NRC) විසින් ප්‍රචලිත කරන ලද අතර, අනතුරුව පොදුරාජ්‍මණ්ඩලීය විශ්වවිද්යාල සංගමයේ (ACU) ජාලය හරහා මෙම පණිවිඩය ජාත්‍යන්තරය වෙත ද ගෙන යන ලදී. මේ හේතුවෙන් දේශීය මෙන්ම විදේශීය විද්වතුන් රැසකගේ  අවධානය මීට හිමි විය. මේ ඒ පිළිබඳව වු"Rebuilding the Economy – Short-term Relief & Long-term Resilience after a Disaster" සැසියේදී කතාබහට ලක් වූ කරුණුයි.

 

ස්වභාවික ව්යසනයකින් පසු ආර්ථිකය  යහපත් ලෙස ගොඩනැගීම

 මෙහිදී ප්‍රමු පෙළේ ආර්ථික විද්‍යාඥයින් සහ ව්‍යාපාරික නායකයින් පෙන්වා දුන්නේ ආර්ථික පුනරුත්ථාපනය යනු මුදල් ලබා දීමක් නොව, ස්ථාවර මූල්‍ය පරිසරයක් සහ වෙළඳපල පදනම් කරගත් සාර්ව ආර්තික විසඳුම්වල එකතුවක් විය යුතු බවයි.

ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී මංජුල සිල්වා මහතා මෙහි මෙහෙයවන්නා (Moderator) ලෙස කටයුතු කරමින්,  අවධාරණය කළේ දේශගුණික අනුවර්තනය සඳහා වූ "ව්‍යාපාරික අවශ්‍යතාවය" (Business Case for Climate Adaptation) දැන් වෙන කවරදාටත් වඩා ඉහළ ගොස් ඇති බවයි.

 

ආර්ථික බලපෑම සහ කුඩා ව්යාපාර

ඇඩ්වොකාටා (Advocata) ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්රනාන්දු මහතා පෙන්වා දුන්නේ ආපදාවකදී රටේ ආර්ථිකයේ කොදුනාරටිය වන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) දැඩි ද්‍රවශීලතා අර්බුදයකට මුහුණ දෙන බවයි. සහන සැලසීමේදී රජයේ අත්තනෝමතික සහනාධාරවලට වඩා වෙළඳපල පදනම් කරගත යුතු බව අවධාරණය කළේය.  

ධනනාත් ප්‍රනාන්දු මහතාගේ  යෝජනා කිහිපයක් මෙසේය:

  • ඩිජිටල්කරණය: සහන බෙදා හැරීමේදී පවතින නිලධාරිවාදී බාධා (Red tape) ඉවත් කර එය විනිවිදභාවයකින් සහ වේගයකින් සිදු කිරීමට ඩිජිටල් තාක්ෂණය භාවිතා කළ යුතුය. මෙමගින් සහන අවශ්‍යම පුද්ගලයා වෙත නියමිත වේලාවට සහන ලැබීම සහතික කෙරේ.
  • ද්රවශීලතා සහාය: ව්‍යාපාර ස්ථිරවම වැසී යාම වැළැක්වීම සඳහා ණය ඇපකර (Credit guarantees) සහ කෙටිකාලීන මූල්‍ය පහසුකම් ලබා දීම අත්‍යවශ්‍ය වේ. කුඩා ව්‍යාපාරවලට ආපදාවකින් පසු මුහුණ දීමට සිදුවන ප්‍රධානම ගැටලුව වන්නේ මෙහෙයුම් කටයුතු නැවත ආරම්භ කිරීමට අවශ්‍ය ප්‍රාග්ධනය නොමැති කමයි.
  • මිල සංඥා පවත්වා ගැනීම: සැපයුම් දාම බිඳ වැටීම වැළැක්වීම සඳහා අර්බුදකාරී අවස්ථාවලදී පවා වෙළඳපල මිල සංඥා නිසි ලෙස ක්‍රියාත්මක විය යුතුය. කෘතිම මිල පාලනයන් හරහා භාණ්ඩ හිඟයක් ඇති වීම පාලනය කිරීමට මෙය අත්‍යවශ්‍ය වේ.

 

 ආර්ථික ස්ථාවරත්වය සහ මූල්ය ප්රතිපත්ති

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා සාර්ව ආර්ථික පැතිකඩ පිළිබඳව  ඉදිරිපත් කළේය. නිරන්තරයෙන් සිදුවන දේශගුණික කම්පන දරා ගැනීමට නම් ශ්‍රී ලංකාව 8%-9% ක ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගත යුතු බව ඔහු අවධාරණය කළේය. 5% ක සාමාන්‍ය  වර්ධන වේගයක් මෙම දැවැන්ත කම්පන දරා ගැනීමට ප්‍රමාණවත්  නොවන බව ඔහුගේ මතයයි.

එතුමාගේ ප්‍රධාන  නිර්දේශ කිහිපයක්

  • ආපදා අවදානම් මූල්‍යකරණය

සහන සඳහා මුදල් අච්චු ගැසීම වෙනුවට ජාතික අයවැය තුළ "ආපදා අවදානම් මූල්‍යකරණය" (Disaster risk financing) අනිවාර්යයෙන්ම ඇතුළත් කළ යුතුය. මෙය උද්ධමනය පාලනය කිරීමට සහ ආර්ථික ස්ථාවරත්වය රැක ගැනීමට මහෝපකාරී වේ.

  • ස්ථාවර මූල්ය පරිසරය 

ස්ථාවර මුදල් ඒකකයක් සහ අඩු උද්ධමනයක් පවත්වා ගැනීම ඕනෑම ආපදාවකදී ජනතාවට සහ ව්‍යාපාරවලට ආරක්ෂිත වැටක් (Cushion) සපයයි.

  • විපත් බැඳුම්කර (Catastrophe Bonds)

 මධ්‍යම අයවැයට බරක් නොවන පරිදි හදිසි මූල්‍ය  ද්‍රවශීලතාව ලබා ගැනීමට විපත් බැඳුම්කර වැනි නව මූල්‍ය මෙවලම් භාවිතයට ගත යුතුය. මෙම බැඳුම්කර හරහා ස්වභාවික විපතක් සිදු වූ වහාම රජයට අවශ්‍ය අරමුදල් කඩිනමින් ලබා ගැනීමේ හැකියාව පවතී.

 

කෙටිකාලීන සහන සහ දීර්ඝකාලීන උපායමාර්ග

 

1. කෙටිකාලීන මැදිහත්වීම්

  • ද්‍රවශීලතා සහාය

ඩිජිටල් බැංකු පද්ධති හරහා කඩිනමින් හදිසි අරමුදල් විපතට පත් වූවන්ගේ අතට පත් කිරීමෙන් ප්‍රාදේශීය ඉල්ලුම (Local demand) පවත්වා ගත හැකිය.

  • අංශ පදනම් කරගත් සහන

දේශගුණික කම්පනවලට වැඩිපුරම නිරාවරණය වන කෘෂිකර්මාන්තය සහ සංචාරක ක්ෂේත්‍රය සඳහා විශේෂිත බීජ/පොහොර සහනාධාර සහ ණය සහන (Moratoria) ලබා දීම.

  • මානුෂීය-ආර්ථික සම්බන්ධීකරණය: ආධාර ලබා දීමේදී දේශීය වෙළඳපල කඩා නොවැටෙන අයුරින් "වැඩට කුලිය" (Cash-for-work) වැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

2. දීර්ඝකාලීන ඔරොත්තු දීමේ ශක්තිය

  • දේශගුණික රක්ෂණ ක්‍රමවේද

ගොවීන් සහ කුඩා ව්‍යාපාරිකයන් සඳහා කාලගුණ දත්ත (උදා: වර්ෂාපතන මට්ටම) පදනම් කරගත් දර්ශක රක්ෂණ (Index-based insurance) ක්‍රමවේද හඳුන්වා දිය යුතුය. මෙහිදී හානි තක්සේරු කිරීමේ ප්‍රමාදයකින් තොරව නිවැරදි දත්ත අනුව සහන මුදල් ගෙවීම.

  • ස්වභාවධර්මය මත පදනම් වූ විසඳුම්

 කොන්ක්‍රීට් යටිතල පහසුකම්වලින් ඔබ්බට ගොස් ගංවතුර පාලනය සඳහා වගුරු බිම් ප්‍රතිසංස්කරණය වැනි "සොබාදහම මත පදනම් වූ විසඳුම්" (Nature-based solutions) සඳහා ආයෝජනය කිරීම පිරිවැය අඩු මෙන්ම දිගුකාලීන ආර්ථික ප්‍රතිලාභ සපයන්නකි.

  • භූ-තොරතුරු තාක්ෂණය

දේශගුණික අවදානම් සහිත ප්‍රදේශ සහ ආර්ථික මර්මස්ථාන කලින් හඳුනා ගැනීමට භූ-තොරතුරු තාක්ෂණය (Geo-Intelligence Tools) සහ දේශගුණික දත්ත පුවරු (Dashboards) භාවිතා කිරීම.

ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාල (SLTC) විසින් මෙම වෙබිනාර් සැසි මාලාව සදහා සහභාගීවන්නන් හට ඔවුන්ගේ කැපවීම සදහා ඉලෙක්ට්‍රොනික සහතිකයක්  පිරිනමනු ලබන අතර එය සහභාගී වන්නන් දේශගුණික ක්‍රියාකාරීත්වය සහ දේශගුණික සාක්ෂරතාව (Climate Literacy) පිළිබඳ ලබන නිල පිළිගැනීමට මහත් රුකුලක් වනු ඇත. සෑම වෙබිනාර් සැසියකටම පසු, නියමිත පටිපාටිය අනුගමනය කරන සහභාගී වන්නන් වෙත මෙම විද්‍යුත් සහතිකය පිරිනමනු ලැබේ.

අනාගතයට පාලමක්

දේශගුණික වශයෙන් බුද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ මෙහෙයුම 2026 මාර්තු 11 දක්වා සෑම බදාදා සහ බ්‍රහස්පතින්දා දිනකම පස්වරු 7:00 සිට 9:00 දක්වා Zoom තාක්ෂණය ඔස්සේ නොමිලේ පැවැත්වේ. ඔබට මගහැරුණු ඕනෑම සැසිවාරයක් SLTC නිල YouTube නාලිකාවෙන් නැරඹීමට ඔබට හැකියාව ඇත.