ගාල්ල මුහුදේ ඇමෙරිකානු ප්‍රහාරය සහ මෙරට ආර්ථිකයේ හෙට දවස

වර්තමාන ලෝක දේශපාලනය අතිශය තීරණාත්මක කඩඉමකට පැමිණ තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව ගනු ලැබූ දැඩි තීරණත් සමඟ මැදපෙරදිග කලාපය පුරා යුද වලාකුළු මතු වී ඇත. විශේෂයෙන්ම ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා කුමේනි ඉලක්ක කරගනිමින් එල්ල කළ හමුදා මෙහෙයුමත්, ඊට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ සහ ඊශ්‍රායල හමුදාවේ සෘජු දායකත්වය ලැබීමත් සමඟ මෙම තත්ත්වය යුදමය ගැටුමක් දක්වා වර්ධනය විය.

මෙම ක්‍රියාවට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඉරානය විසින් කලාපයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරගනිමින් ප්‍රහාර මාලාවක් එල්ල කරන ලදී. කුවේටය, බහරේනය, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවල පිහිටි ඇමෙරිකානු මර්මස්ථාන වෙත මෙම ප්‍රහාර එල්ල වූ අතර, ඉන් මුළු මැදපෙරදිග කලාපයම යුද උණුසුමකින් වෙළී ගියේය.මේ තත්ත්වය ශ්‍රී ලංකාව වැනි රටවලට බොහෝ සෙයින් බලපෑම් එල්ල කරනු ලබනවා.

 

හෝමෝස් සමුද්‍ර සන්ධිය සහ ලංකාවට එල්ල වන ආර්ථික බලපෑම

මෙම යුධමය තත්ත්වය ශ්‍රී ලංකාව වැනි රටවලට දරුණු ලෙස බලපාන ප්‍රධානතම සාධකය වන්නේ මැදපෙරදිග පිහිටි හෝමෝස් සමුද්‍ර සන්ධියයි (Strait of Hormuz). ලෝකයේ මුළු ඛනිජ තෙල් ප්‍රවාහනයෙන් 20%කට වැඩි ප්‍රමාණයක් සිදු වන්නේ මෙම කලාපය හරහාය. දැනටමත් ඉරාන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ හෝමෝස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන ඕනෑම නෞකාවකට ප්‍රහාර එල්ල කර විනාශ කරන බවයි.මේ නිසා ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් සහ ගෑස්  සම්බන්ධව සෘජු බලපෑමක් ඇතිවෙනවා.  දිගින් දිගටම මේ ගැටුම තිබුණොත් ශ්‍රී ලංකාවට මෙයින් දැඩි බලපෑමක් ඇතිවෙනවා. එයට හේතුව ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් සහ ගෑස් ප්‍රධාන වශයෙන් ආනයනය කරන ප්‍රධාන මාර්ගය මෙය වන නිසා. 

 

මෙය ශ්‍රී ලංකාවට සෘජුවම බලපාන කරුණු කිහිපයකි:

 ඉන්ධන සහ ගෑස් මිල: ලංකාවට ලැබෙන බොරතෙල් සහ ගෑස් ප්‍රවාහනය කරන ප්‍රධාන මුහුදු මාර්ගය වැටී ඇත්තේ මෙම කලාපය හරහාය. දැනට සිංගප්පූරුව සහ ඉන්දියාව හරහා තෙල් ලැබෙන බැවින් කෙටි කාලීන බලපෑමක් නැතැයි රජය පැවසුවද, යුද්ධය දිගින් දිගටම පැවතුණහොත් මෙරට ඉන්ධන හිඟයක් ඇති වීම සහ ඩීසල්, පෙට්‍රල් මිල අහස උසට නැගීම වැළැක්විය නොහැක.

 * විදුලිය සහ ප්‍රවාහනය: ඩීසල් මිල ඉහළ යාම ලංකාවේ විදුලි උත්පාදනයට සහ පොදු ප්‍රවාහනයට සෘජුවම බලපාන අතර එය සමස්ත ජන ජීවිතයම අඩාල කරන දරුණු පහරක් වනු ඇත.

 

සංචාරක සහ අපනයන ක්ෂේත්‍රයේ කඩා වැටීම

ලංකාවට වැඩිපුරම සංචාරකයන් පැමිණෙන්නේ යුරෝපය, ඇමෙරිකාව සහ ලතින් ඇමෙරිකානු රටවලිනි. ඔවුන් බොහෝ දෙනෙකු ඩුබායි වැනි මැදපෙරදිග ගුවන් තොටුපළවල් හරහා පැමිණෙන සංක්‍රමණික මගීන් (Transit passengers) වේ. යුද තත්ත්වය නිසා ගුවන් ගමන් අවලංගු වීම සංචාරක කර්මාන්තයට දැවැන්ත බලපෑමක් එල්ල කරනු ඇත.

එමෙන්ම අපගේ නිමි ඇඳුම් අපනයනයෙන් වැඩි කොටසක් යුරෝපයට සහ ඇමෙරිකාවට සිදු කරන අතර, ලංකාවේ තේ සඳහා ප්‍රධාන ගැනුම්කරුවන් වන්නේ ඉරානය සහ ඩුබායි රාජ්‍යයයි. යුද්ධය දිගින් දිගටම පැවතුණහොත් තේ සහ ඇඟලුම් අපනයනය නතර වී රටට ලැබෙන විදේශ විනිමය අහිමි වී යාමේ අවදානමක් පවතී.

 

විදේශ ශ්‍රමිකයන්ගේ ගැටලුව

සෞදි අරාබිය, කටාර්, කුවේට්, ඕමානය සහ ඊශ්‍රායලය වැනි රටවල ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසක් සේවය කරති. ඔවුන් මෙරටට එවන මුදල් මත පවුල් ලක්ෂ ගණනක් යැපේ. යුදමය තත්ත්වය නිසා මොවුන් නැවත ලංකාවට ගෙන්වා ගැනීමට සිදු වුවහොත් එම පවුල්වලට සහ රටේ ආර්ථිකයට දරාගත නොහැකි පාඩුවක් සිදුවනු ඇත. රුමේනියාව වැනි රටවලට යාමට සිටින පිරිස්වලටද ගුවන් ගමන් අවහිර වීම නිසා විශාල බාධා එල්ල වේ

 

ගාල්ල මුහුදේ ඉරාන නෞකාවට එල්ල වූ ප්‍රහාරය

ලංකාවට වඩාත්ම ආසන්න සිදුවීම වාර්තා වූයේ ඉකුත් මාර්තු 4 වනදාය. ගාල්ලට දකුණින් නාවික සැතපුම් 444ක් පමණ දුරින් ගමන් කරමින් තිබූ ඉරාන නාවික හමුදාවට අයත් 'IRIS Dena' නෞකාව ඇමෙරිකානු සබ්මැරීනයකින් එල්ල කළ ටෝපිඩෝ ප්‍රහාරයකින් සම්පූර්ණයෙන්ම විනාශ විය. මෙහි සිටි නාවිකයන් 180ක් පමණ පිරිසෙන් බහුතරයක් මිය ගිය අතර දිවි ගලවා ගැනීමට හැකි වූයේ 40කට ආසන්න පිරිසකට පමණි.

මෙම නෞකාවෙන් ලැබුණු ආපදා සංඥා (Digital Signal) අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව වහාම මැදිහත් වී පිරිස බේරා ගැනීමට කටයුතු කළේය. ජාත්‍යන්තර මුහුදු නීතියේ 98 වන වගන්තියට අනුව, ඕනෑම නෞකාවකට ආපදාවක් වූ විට සහය වීමේ මානුෂීය වගකීම වෙරළබඩ රාජ්‍යයකට ඇත.

මෙම ප්‍රහාරය සිදුව ඇත්තේ ලංකාවට පූර්ණ බලය පවතින නාවික සැතපුම් 12ක ප්‍රාදේශීය මුහුදු සීමාවෙන් (Territorial Sea) පිටත වුවද, අපට අයිතියක් ඇති 'සුවිශේෂී ආර්ථික කලාපය' (EEZ) තුළය. ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා මෙම ප්‍රහාරය හෙළා දුටු අතර, ඉරාන මාධ්‍ය ලංකාවේ මැදිහත්වීම අගය කර තිබේ.

 

ශ්‍රී ලංකාව ගත යුතු මධ්‍යස්ථ මාවත

ඉරානය සහ ඇමෙරිකාව යන දෙපාර්ශවයම අපට වැදගත්ය. ඉරානය අපේ තේ මිලදී ගන්නා අතර යුද්ධය අවසන් කිරීමට සහ උමා ඔය ව්‍යාපෘතියට සහය දුන් රටකි. ඇමෙරිකාව අපගේ ප්‍රධානතම අපනයන වෙළඳපොළයි. විශේෂයෙන්ම බදු පැනවීමට ප්‍රසිද්ධ ට්‍රම්ප් පරිපාලනය යටතේ ඇමෙරිකාව අමනාප කර ගැනීම බරපතල ගැටලුවකි.

එබැවින් අපගේ 'නොබැඳි විදේශ ප්‍රතිපත්තිය' (Non-Aligned Policy) ආරක්ෂා කර ගනිමින්, අප මෙම මෙහෙයුමට මැදිහත් වූයේ කිසිදු පාර්ශවයක් ගැනීමට නොව මානුෂීය සහ නාවික ආරක්ෂණ කටයුතු සඳහා පමණක් බව ජාත්‍යන්තරයට පැහැදිලිව ප්‍රකාශ කළ යුතුය. ඉන්දියාව වැනි රටවල් අනුගමනය කරන මධ්‍යස්ථ පිළිවෙත ශ්‍රී ලංකාවටද වඩාත් උචිතය. වෛරී ප්‍රකාශ ඇති නොකර මෙම ගෝලීය බලවතුන්ගේ සටනේදී තුන්වන පාර්ශවකරුවෙකු නොවී බුද්ධිමත්ව කටයුතු කිරීම රටේ අනාගතය සුරක්ෂිත කිරීමට ඇති එකම මාවතයි.මේ අවස්ථාවේදී ඉරානය හෝ ඇමරිකාව තරහකරුවන් බවට පත් නොකර ගැනීමට අප වග බලා ගත යුතුයි. අපට උමා ඔය ව්‍යාපෘතියට සහයෝගය ලබාදුන් ඉරානය අපගේ වැඩිම තේ  ගන්න අපනයනකරුවායි.ඒ වගේම අපට යුද්ධය නිමා කර ගැනීමට විශාල සහයෝගයක් ලබා දුන්නා. ලංකාවේ වැඩිම නිමිඇඳුම් අපනයනය කරන්නේ ඇමෙරිකාවට. ටයර් අපනයනය වැඩිම සිද්ධ වෙන්නේ ඇමෙරිකාවට සහා යුරෝප රටවලට. ට්‍රම් කියන්නේ බදු ගහන පුද්ගලයෙක් ඒ නිසා එවැනි දේවල් අපිට සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මේ රටවල් දෙකම තරහ නොකරගෙන උපක්‍රමශීලීව ඉදිරි වැඩ කටයුතු බොහොම සමබරව කරගෙන යාම තමයි වැදගත් වෙන්නේ.

එම්.ආර්.කළණ ගයන්ත

කතිකාචාරය ( ජාතයන්තර සම්බන්ධතා සහ දේශපානය විද්‍යාව) 

සමාජවිද්‍යා අධ්‍යයන අංශය,

විවෘත විශ්වවිද්‍යාලය

 

D.N.අභයවර්ධන.