අධ්‍යාපන අවුල, සරසවි ඇදුරන්ගේ 06%ක් අධ්‍යාපනයට ඉල්ලීමේ වර්ජනය ඇතුළු කාලීන දේශපාලනය ගැන අධ්‍යාපන, තරුණ කටයුතු හා නිපුණතා සංවර්ධන අධීක්ෂණ මන්ත‍්‍රී මොහාන් ලාල් ගේ‍්‍රරුගේ මතවාදයයි මේ.
පළාත් සභා තුනේ ප‍්‍රතිඵලය ගැන ආණ්ඩුවට උදම් ඇනිය හැකිද? ජාත්‍යන්තර බලපෑම් සමූහයක් ඉදිරියේ හා කාලයක් රට පාලනය කිරීම නිසා සුළු වශයෙන් ජනප‍්‍රියත්වයෙන් අඩු බවක් පෙන්නුම් කළද බොහෝ අවිචාරවත් ප‍්‍රචාර හා විපක්ෂයේ පහරදීම් යටතේ ආණ්ඩුව ලබාගත් ජයග‍්‍රහණය සතුටුදායක බව මගේ හැඟීමයි.   සියලූ රාජ්‍ය බලය, සම්පත් යොදා ජනතාව ගොනාටත් අන්දලා ඒත් ආණ්ඩුවේ ඡන්ද 61421ක් අඩුවෙලා විපක්ෂයේ ඡන්ද සාපේක්ෂව වැඩිවෙලා නේද? මේ අහන්නේ මොන මැතිවරණයට සාපේක්ෂවද? පසුගිය කාලයේ පැවැත්වුණු බොහෝ මැතිවරණවලදී මැතිවරණ විශ්ලේෂකයින් අංක හා ප‍්‍රතිශත වශයෙන් හා පසුගිය මැතිවරණ උපයෝගී කරගෙන රජයට පහර දිය හැකි ආකාරයේ දත්ත සමූහයක් ගොඩනගා ගන්නවා. එවැනි දැඩි විවේචන මධ්‍යයේ වුවද ජනාධිපතිතුමා හා රජය කෙරෙහි ජනතාව තබා ඇති බලාපොරොත්තුව ඒ අයුරින්ම තිබීම ලොකු ජයක් හැටියටයි මට හැෙඟන්නේ. විපක්ෂය තව තවත් දුර්වල වෙමින් පසුබාන බවක් පේනවා. රජයේ ජනප‍්‍රියතාව කෙසේ වෙතත් තමුන්ගේ අභ්‍යන්තර ප‍්‍රශ්න විසඳාගෙන ප‍්‍රබල විපක්ෂයක් ඇතිකර ගතහොත් එය රටේ අභිවෘද්ධියට හේතුවන බව මගේ විශ්වාසයයි.   උතුරු මැද හා නැගෙනහිර ඡන්දවලින් පසු ඒ ප‍්‍රදේශයේත්, ඒ ජනතාවත් විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ආණ්ඩුවේ සෙසු පක්ෂත් අවුල්වෙලා දෙකට කැඩිලා විශාල සීතල අරගලයක නිරතයි නේද? මේ තත්ත්වය සෑම මැතිවරණයකට පසුවම බලය බෙදා ගැනීම සඳහා බලයට පත්වන  ඕනෑම පක්ෂයක ඇතිවන ස්වාභාවික තත්ත්වයක්. ඒත් නිවැරදි තීන්දු තීරණ ගෙන නිවැරදිව බලය බෙදා දුන් පසු පැවතුණු සීතල යුද්ධය අමතක කොට ජනතාවගේ අභිවෘද්ධිය පිණිස එකාවන්ව වැඩ කිරීම තමයි යුතුකම. මැතිවරණය නිමා වී කෙටි කලක් තුළ ආණ්ඩුව තුළ එවැනි සංහිඳියාවක් තිබෙන බව පේනවා ආණ්ඩුවේ තිබෙන්නේ පක්ෂ ගණනාවක සංධානයක්. ඒ සියලූ පක්ෂවල විවිධ දර්ශන හා ඉලක්ක රටේ අභිවෘද්ධිය පිණිස එක අරමුණකට අවසානයේ කේන්ද්‍රගතවන බව පෙනෙනවා. ඒ සමගිය නොකඩවා පැවැතීම රජයේ ජයග‍්‍රහණයක්. එසේ වුවත් තනි පක්ෂ වශයෙන් තිබෙන විපක්ෂයේ විවිධ කොටස් හා පක්ෂ අභ්‍යන්තරය තුළම භේදබින්න වී තිබීම ඊටත් වඩා කනගාටුවක් නොවෙයිද?

 

විභාගය අසමත්වන දරුවන්ටත් පැහැබර අනාගතයකට මගක්

සමහරු කියන්නේ මේවා පළාත් සභා නොව මධ්‍යම ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ පවුල්වල අයට දේශපාලන පුහුණුව හා වරප‍්‍රසාද ලබාදෙන වරිග සභා බවයි. පළාත් සභාවල වියදමින් 80%ක් යන්නේ මොවුන්ගේ සහ සෙසු අයගේ නඩත්තුවටයි. මේ තත්ත්වයෙන් ජනතාවට ඇති සෙතේ කුමක්ද? පළාත් සභාවල වියදමින් 80%ක් පෞද්ගලික වියදම් සඳහා යන බව ඔබ කියන්නේ වගකීමක් ඇතිවද? එවැනි නිත්‍යානුකුලව නොවන වියදම් ඇත්නම් ඒ ගැන වහාම ජනතාව දැනුවත් කොට නිත්‍යානුකුලව පියවර ගැනීමට  ඕනෑම කෙනෙකුට පුළුවන්. පළාත් සභා වරිග සභා බවට පත් කිරීම හෝ නොකිරීම ඡන්ද දායකයින්ගේ වගකීමයි. කෙසේ වුවද සියලූ මහජන නියෝජිතයින් පත් කරන්නේ ජනතාවයි. ඔවුන්ට  ඕනෑම කෙනෙක් ප‍්‍රතික්ෂේප හෝ පත් කරන්නට අවස්ථාව තිබුණා. මේ අනුව කවර සභාවක වුවද ක‍්‍රියාත්මක වී ඇත්තේ ඡන්ද දායකයින්ගේ තීන්දුවයි.   ඉතිහාසයේ ලොකුම අධ්‍යාපන අවුල දැන් සිදු වෙමින් තිබෙන බව කාගේත් අදහසයි. කිර්තිමත් අධ්‍යාපනඥයකු ලෙස රට තුළ පතළව සිටි ඔබත් ඒ නරාවලට වැටීම ගැන සමහරු මවිතය පළ කරනවා. ඔබේ ප‍්‍රතිචාර? අධ්‍යාපනයේ අවුල් කවදත් තිබුණා. මේ සියලූ අවුල්වලට මුල් තැන දෙන බිම් මට්ටමේ විසඳිය යුතු ගැටලූ ගණනාවක් තියෙනවා. ඒ සියලූ රෝග ව්‍යාධීන් හඳුනා ගෙන ඒවාට දීර්ඝ කාලීන විසඳුම් ලබාදීම හරහා අනාගතයේ පත් කරන  ඕනෑම රජයකට හා අනාගත පරපුරට සහනයක් සිදුවන කරුණු ගණනාවක් මම නිහඬව කරගෙන යනවා. නරා වළක් පිරිසිදු කිරීමේදී ජරාව ටිකක් ගෑවීම අපහාසයක් ලෙස මම සලකන්නේ නෑ. ඒ අවබෝධය ඇතිවයි මම දේශපාලනයට ආවේ. අඳුරට ශාප කරමින් නොසිට එක පහනක් හෝ දැල්වීම සැමගේ යුතුකමයි. රටකට ආලෝකය ලැබෙන්නේ එතකොට නොවෙයිද? ජනාධිපතිතුමා අධ්‍යාපන අමාත්‍යාංශයේ ද්විතීයික පාසල් 1000ක් සහ ප‍්‍රාථමික පාසල් 5000ක් ප‍්‍රතිනිර්මාණය අධීක්ෂණය කිරීමේ වගකීම මා වෙත පැවරුවා. එය සාර්ථකව ඉදිරියට යනවා. ලක්ෂ 150 වැනි විශාල වියදමක් ඇස්තමේන්තු වූ තාක්ෂණික විද්‍යාගාරයක් රු. ලක්ෂ 60ක් ඇතුළත ඉදිකර පෙන්වන්න මට පුළුවන් වුණා. ඒ සැලැස්ම අනුව මේ පාසල් දහසේ තාක්ෂණික විද්‍යාගාර ඉදිකිරීම් කටයුතුත් දැන් ආරම්භ වෙලා. මගේ වගකීම් උපරිම ඵලදායිත්වයෙන් සිදුකළ නිසා අනවශ්‍ය වියදම් රටේ සෙසු සුබ සාධන වැඩවලට ද යෙදවීමට හැකිවීම සතුටක්. ඒ වගේම යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයෙත් යම් කිසි වැඩ කොටසක් මා වෙත පවරා තිබෙනවා. එම අමාත්‍යාංශයේ සියලූම ජාතික වගකීම් වඩාත් කාර්යක්ෂම කිරීම මෙන්ම වඩාත් දියුණු තත්ත්වයකට පත් කිරීමට ඒයටතේ පවතින වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිසම හා සියලූ වෘත්තීය පුහුණු ආයතනයන්හි ශිෂ්‍යයන් සඳහා බි‍්‍රතාන්‍ය කවුන්සිලය අනුග‍්‍රහයෙන් සැලසුම් කෙරෙන විශේෂ ඉංග‍්‍රීසි ව්‍යාපෘතිය සහ ආසියානු සංවර්ධන බැංකු විශේෂ ව්‍යාපෘතිය සහ ලෝක බැංකු අධීක්ෂණ කටයුතු මා වෙත පවරලා තියෙනවා. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළවලින් පසු වසරකට ලක්ෂ 03ක් පමණ පාසල් පද්ධතියෙන් ඉවත් වෙනවා. උසස් පෙළින් විශ්විවිද්‍යාල ප‍්‍රවේශයට සුදුසුකම් ලබන්නේ ඉන් 22000ක් පමණයි. තවත් 10,000ක් පමණ විදේශ විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවලට යනවා. නමුත් මේ අනාගතයක් නැතිව ලතවෙන ලක්ෂ 3ක් පමණ දරුවන් ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ද්විතීයික පාසල් 1000 තුළ ඉදි කෙරෙන නව තාක්ෂණ විද්‍යාගාර හරහා පාසල් පාදක වෘත්තීය අධ්‍යාපනය ලබාදී විභාග අසමත්වන දරුවන්ටත් පැහැබර අනාගතයක් සකස් කරන වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරනවා. විභාග සමත් අසමත් සැමට වෘත්තීය අධ්‍යාපය තුළින් ඩිප්ලෝමාවක්, උසස් ඩිප්ලෝමාවක් හෝ උපාධියක් රාජ්‍ය අධ්‍යාපන පද්ධතිය තුළින්ම ලබා ගත හැකියි. සමාජය මේ පිළිබඳ දැනුවත් නොවීම කනගාටුවට කරුණක්. ඔබට තේරෙනවා ඇති රජය අධ්‍යාපනය ශක්තිමත් කිරීමට අපි කොයි තරම් පරිශ‍්‍රමයක් දරනවාද කියා. මේ වැඩ පිළිවෙළ සඳහා මේ දරුවන් නොමිලේ අධ්‍යාපනය ලබාදීමට විශ්වවිද්‍යාල මට්ටමේ පහසුකම් සහිත තාක්ෂණික විශ්වවිද්‍යාලයක්, තාක්ෂණික විද්‍යාල 9ක්, කාර්මික විද්‍යාල 29ක් හා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 274ක් රට තුළ තිබෙනවා. ඒ තුළින් දේශීය හා විදේශීය රැකියා වෙළෙඳපොළ ඉලක්ක කර ගෞරවාන්විත වෘත්තියක නියැලිය හැකි වෘත්තිකයින් සකස් කරන වැඩ පිළිවෙළට මෙ දිනවල මගේ ශක්තිය ලබාදෙනවා. විභාග අසමත් වුණත් සමත් වුණත් විශ්වවිද්‍යාලයකට ගොස් උසස් අධ්‍යාපනයක් ලබා ගන්න බැරිව ඉච්ඡාභංගත්වයට පත්වන තරුණ පරම්පරාවට අනුන්ට අත නොපා දෑතේ දෙපයේ ශක්තියෙන් ඔවුනගේ හැකියාව තුළින් සාර්ථක අනාගතයක් ගොඩ නංවන්නට අපට පුළුවන්. එය මේ රටේ යහපතට නොවෙයිද?

 

වසරකට වෙන්කරන මුදලිනුත් හරිහැටි වැඩක් ගන්නේ නෑ

"Z"  අගය ප‍්‍රශ්නය උඩු ගියා. මීට වගකිවයුත්තේ ආණ්ඩුව හෝ ඇමැතිවරු නොව ආචාර්යවරු. නිලධාරීන් බවයි ආණ්ඩුව කියන්නේ. ඒත් යුද්ධය කළේ රණවිරුවන්. ලකුණා දා ගත්තේ දේශපාලනඥයින්. මෙතැනදී ”’,  ප‍්‍රශ්නයේදී වැඬේ ඇණුන නිසා අපි නොවෙයි වරද කළේ වෙන අයයි කියා ඇමැතිවරු අත සෝදා ගන්නට දැඟලීම විශාල ද්‍රෝහි කමක් නොවේද? මම නම් දකින්නේ මෙය කිසිවෙකු වුවමනාවෙන් සිදුකළ වරදක් නොවන බවයි. විෂය නිර්දේශ අලූත්විය යුතුයි. එවිට ප‍්‍රශ්න පත‍්‍ර දෙකක් ඇතිවීම ස්වාභාවිකයි. පැරණි විෂය නිර්දේශයේ ප‍්‍රතිඵල දත්ත විශ්ලේෂණයකොට පස් දෙනෙකුගෙන් සමන්විත විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම සභාව විසින් පත් කළ විද්වත් කමිටුව ලබාදුන් නිර්දේශය ඔවුන් අවංකවම නිවැරදි යැයි සිතනවා. නමුත් මහාචාර්ය තටිල් තව ක‍්‍රමයක් කීවා. එය පරණ ප‍්‍රතිඵල රටවාට ගැළපෙන්නේ නැහැ. නමුත් දැන් මේ කතාව ඵලක් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දී අවසානයි. කෙසේ වුවත් අවසාන ජයග‍්‍රහණය සිසුන්ගේ අතේ. වැඩිපුර 5600කට විශ්වවිද්‍යාල වරම් ලැබුණා. එය සතුටට කරුණක්. මේ ප‍්‍රශ්නයට සරලම පිළිතුර අනාගතයේ විෂයය නිර්දේශ වෙනස් වීමේදී පොදු විෂයය කරුණු පිළිබඳ ප‍්‍රශ්න ඇතුළත් හා තෝරා ගතහැකි වන පරිදි අලූතින් එකතු වුණු හා නිර්දේශයෙන් ගිලිහුණු කොටස්වල ප‍්‍රශ්න යෙදු එක් ප‍්‍රශ්න පත‍්‍රයක් පමණක් සැකසීමයි.   අමතර සිසුන් 5600ක් සරසවිවලට ගන්න අධිකරණ නියෝග ලැබිලා. ආණ්ඩුව එය ඉටු කරනවාලූ. ඒත් පහසුකම් නැතුව එවැනි විශාල පිරිසක් සරසවිවලට ඇතුළු කිරීම ගැටලූ සහගත නැද්ද? මේ ප‍්‍රශ්නයට වගකිවයුත්තේ ආණ්ඩුව නේද? මෙහිදී වැදගත් වන්නේ වගකිවයුතු කවුද යන්න නොවෙයි. ඊට හේතු වූ කරුණු ඉහත මා පැහැදිලි කළා. වැඩිවන සිසුන් ප‍්‍රමාණය නිවැරදිව හසුරුවා ගුණාත්මක තත්ත්වයට හානියක් නොවන පරිදි පාඨමාලා පවත්වා ගැනීම රජයේ හා ආචාර්යවරුන්ගේත් වගකීමයි.   සරසවි ඇදුරු ප‍්‍රශ්නය අද ජාතික හා ජනතාවාදී එකක් බවට ආණ්ඩුව විසින්ම පත් කළේ මාස 03ක් යනතුරු විසඳුම් නොදීම තුළ බව පිළිගන්නවාද? ආචාර්යවරුන්ගේ ප‍්‍රශ්න විසඳා ගැනීම සඳහා ඔවුනට ඇති කේවල් කිරීමට ඇති අයිතියට මම ගෞරව කරනවා. කෙසේ වුවත් රටේ ඉහළම වැටුප හා වරප‍්‍රසාදත්, කීර්තිනාම ලබන එමෙන්ම වැඩිපුරම උගත් හා බුද්ධිමත් සරසවි ආචාර්ය පරපුර මෙවැනි මට්ටමකට පත්වීම කනගාටුදායකයි.   උගතුන්ට පිටරට යාම වැළැක්වීමට, සාධාරණ පඩියක් ඉල්ලීමටත් යුද්ධ කාලයේ අධ්‍යාපනයට 3% වෙන්කළ මුදල අද 1.8%ට බැස්සවීම වැඩි කරන ලෙස ඉල්ලීමත්, නිදහස් අධ්‍යාපනය සුරැකීමත් අධ්‍යාපන පෞද්ගලිකරණය නැවැත්වීමටත් ආචාර්යවරු කරන ඉල්ලීම තුළ ඔවුන් හොරුන් සහ තක්කඩියන් වන්නේ කෙසේද? මේ ප‍්‍රතිශතය ඉලක්ක මොනවා අනුවද? දළ දේශීය නිෂ්පාදනය අනුව නම් නිවැරදියි. එහෙත් රජයේ මුදල් වෙන් කිරීම අනුව ගත්තොත් වසරින් වසර වෙන් කරන මුදල් ප‍්‍රමාණය වැඩි බව පිළිගත යුතුයි. දළ දේශීය නිෂ්පාදනය කියන්නේ රටේ සියලූ භාණ්ඩ හා සේවාවල වටිනාකම්වල එකතුවයි. යුද්ධයෙන් පසු විශේෂයෙන් උතුරු නැගෙනහිර පළාත්වල භාණ්ඩ හා සේවා එකතුවීම නිසා දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රසාරණයක් ඇතිවෙලා තිබෙන බව අප දන්නවා. මේ හේතුව නිසා වෙන් කරන මුදල වැඩි කළත් එය ප‍්‍රතිශතයක් ලෙස පෙන්වීමේදී අඩු බවක් පෙන්නුම් කරනවා. එහෙම වුණත් අධ්‍යාපනයට වෙන් කරන මුදල වැඩි කළ හැකි නම් වඩා හොඳයි. නමුත් දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව අපේ රටේ බදු ආදායම ඉතා අඩුයි. රජයේ සමස්ථ වියදමත් අඩුයි. සමස්ථ වියදමේ ප‍්‍රතිශතයක් වශයෙන් මානව සංවර්ධනය සඳහා 12%ක් වෙන්කොට තිබෙනවා. එය සාධාරණ ප‍්‍රතිශතයක් නොවෙයිද? රටේ අනිකුත් අත්‍යවශ්‍ය සේවාවන් වන ආහාර, ඉන්ධන, සෞඛ්‍ය, ප‍්‍රවාහන ආදී ප‍්‍රමුඛතාවන්ට වෙන් කළ පසු අධ්‍යාපනයට එතරම් මුදලක් වෙන් කිරීම ප‍්‍රායෝගිකව රජයට අසීරු බවක් ඇති යැයි මගේ හැඟීම.

 

සරසවි ආචාර්යවරුන් මෙතැනට වැටීම කනගාටුදායකයි

ඉන්දියාව 12%ක්ද ............ කියුබාව 12%ක් හා තවම නොදියුණු ශිෂ්ටාචාර මට්ටමේ සිටින ස්වාසිලන්තය පවා 18%ක් අධ්‍යාපනයට වෙන් කරනවා. ඒත් ලෝක බැංකු හා මූල්‍ය අරමුදලට යටවෙලා ආණ්ඩුව අධ්‍යාපනය කප්පාදු කිරීම සාධාරණද? ආශ්චර්ය වන්නේ පාරවල් හා පේව්මන්ට තැනීමද? අධ්‍යාපනය නගා සිටුවීමද? ඔබ කියන මේ වියදම් රජයේ සමස්ත වියදමේ ප‍්‍රතිශතයක්ද? ඔබ ඔහොම කිවුවට ලෝක බැංකු වාර්තාවට අනුව කියුබාව 14.1% සිට 12.9% දක්වා පසුගිය වසර 03ක කාලයක් තුළ අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල අඩුවෙලා තියෙනවා. ස්වාසිලන්තයේ එය 7.4%ක්. ඉන්දියාවේ 27%ක් ලබන්නේ පෞද්ගලික අධ්‍යාපනය. අමතක කරන්න එපා ඔබ කියන මේ රටවල්වල නොදියුණුව තිබූ අධ්‍යයන ක‍්‍රම වේදයක් නිර්මාණය කිරීම සඳහායි මෙවැනි විශාල ප‍්‍රතිශතයක් ලෙස අධ්‍යාපනය සඳහා මුදල් වෙන්කරන්නේ. ඔවුන් මුල සිටම සියල්ල සකස් කළ යුතුයි. ශ්‍රී ලංකාවේ 1931දී රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ දේශීය නියෝජනය වැඩිවීමත් 1939 අධ්‍යාපන ආඥාපනත ප‍්‍රතිසංස්කරණය වීමත් ඒ වගේම 50 සහ 60 දශකය තුළ ශ්‍රී ලංකාවේ ඇති වූ භාෂා හා සංස්කෘතික පුනරුදය අවස්ථානුකුලව සිදු කෙරුණු සැළසුම් සහගත අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලින් තුළ ලංකාව විශාල ප‍්‍රගතියක් ලබා තිබෙනවා. ඒ නිසා යටිතල පහසුකම්, අධ්‍යාපනය යාවත්කාලීන කිරීම සඳහා අවශ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනයට විදුහල්පතිවරුන්, ගුරු විද්‍යාල, විද්‍යාපීඨ, විශ්වවිද්‍යාල, තාක්ෂණික විද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන, පාසල් පද්ධති විශාල වශයෙන් අපේ රටේ සම්පූර්ණයි. ඔබ කියන ඒ රටවල්වල පවතින ප‍්‍රාථමික තත්ත්වයන් හා යටිතල පහසුකම් උසස් කිරීම සඳහා විශාල වශයෙන් මුදල් වෙන් කළ යුතු බව සත්‍යයක්. එකී ප‍්‍රාථමික රටවල් සහ ශ්‍රී ලංකාව අතර ඉලක්කම් වෙනස වැරදි ලෙස අර්ථ නිරූපනය කිරීම සුදුසු නැහැ. යථාර්ථවාදීව සත්‍යය පිළිගත යුතුයි. ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තු ගත දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් කියන්නේ රු. බිලියන 400ක් විතර වෙනවා. අද වෙන් කරන මුදලිනුත් වසරකට ආපසු හරවා එවන මුදල් ප‍්‍රමාණය හා සැසඳීමේදී 06%කින් අධ්‍යාපනයට මුදල් වෙන් කිරීම ප‍්‍රායෝගික වෙයිද? වඩා වැදගත් වෙන් කරන මුදල නිසිලෙස කළමනාකරණය කිරීම.   ඔබ දිගටම දේශපාලනයේ සිටිනවාද? ඊළඟ මැතිවරණයට මුහුණදීමට මැතිවරණ කොට්ඨාශයක් හෝ ලබා නොදීම ගැන ඔබේ ප‍්‍රතිචාර. මා දේශපාලනයට ආවේ අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරීමට. දේශපාලනයේ අනාගතය තීරණය වන්නේ කරන සේවය සහ මා රටට කළ යුතු මෙහෙවරේ කාලීන අවශ්‍යතාවය මතයි. රටට සේවය කරන්නට මහජන වරම් ලබා ගන්නට දිස්ත‍්‍රික්කයක්ම තිබිය්දී මැතිවරණ කොට්ඨාශයක් කුමකටද?
සංවාද මෙහෙවර   -  අශෝක ජයතුංග