
ජලය යනු සිරුරට අත්‍යවශ්‍ය සංඝටකයකි. සිරුර අභ්‍යන්තරයට ජලයෙන් ලැබිය යුතු නිසි පෝෂණය නොලැබීමෙන් බොහෝ ඉන්ද්‍රිය පද්ධතිවලට හානි පැමිණේ. එම තත්ත්වය වකුගඩු ක්‍රියාකාරීත්වයට බාධා ගෙනදීමට තරම්ද ප්‍රබල වේ. අපි සුලබව අසා ඇති පරිදි වකුගඩුවල ගල් ඇති වීමද ඉහත ක්‍රියාවලියේම අසුබ පෙරනිමිත්තකි. පුද්ගලයකුට ජීවිත කාලය තුළදී වකුගඩුවල ගල් ඇති වීමේ අවදානම 5%ත් 13%ත් අතර වේ.
සිරුරේ අධික ස්ථුල භාවයත්, දියවැඩියාව ඉහළ යාමත් සමග මෙම අවදානම තවත් වර්ධනය වී ඇතැයි දත්ත වාර්තාවල පෙන්නුම් කෙරේ. වාර්තාවල දැක්වෙන පරිදි පුරුෂ පක්ෂයටත් අවදානම වැඩිවේ.
වකුගඩුවල පිහිටීමේ ඇතිවන වෙනස්කම්, මුත්‍ර පෙරීමේදී ඇතිවන අවහිරතා, ඇතැම් පරම්පරාගත රෝග, ඉහළ උෂ්ණත්ව සහිත පාරිසරික වටපිටාවක ජීවත් වීම වැනි කරුණු කාරණා වකුගඩු ගල් ඇති වීමට හේතු වේ.
වකුගඩුවල ගල් යැයි සැක සිතිය හැකි මූලිකම ලක්ෂණය වන්නේ අධික වේදනාවයි. මෙය කොන්දේ සිට උදරයේ පහළ කොටස දක්වා පැතිරී යයි. මීට අමතරව වරින් වර මුත්‍ර කිරීමට සිදු වීම, රතු පැහැයෙන් මුත්‍ර පිටවීම, වමනය වැනි අපහසුතාද ඇති කරයි.
ඉහත රෝග ලක්ෂණ පවතින අවස්ථාවක ඔබ වෛද්‍යවරයකු වෙත යොමු වුව හොත් මුත්‍ර පරීක්ෂණ, x පසු පරීක්ෂණ මූලිකවම සිදු කෙරේ. ඇතැම් විටෙක x පසු මාර්ගයෙන් ගල් හඳුනා ගැනීම අපහසු විය හැකිය. එවන් අවස්ථාවකදී අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ සහ CT පරීක්ෂණ යොදා ගැනේ.
නිතරම වනුගඩුවල ගල් ඇති වන්නේ නම් සමහර විට පැය 24ක් පුරා එකතු කරන ලද මුත්‍ර සාම්පලයක් මගින් එහි ඇති සංඝටක නිර්ණය කළ හැකිය. එමෙන්ම කුඩා ප්‍රමාණයේ ගල් බොහෝ විට මුත්‍ර සමග පිටවේ. ඒවා රසායනාගාරයක් වෙත යොමු කිරීමෙන් එහි සංඝටක හඳුනා ගත හැකිය. සංඝටක හඳුනා ගැනීමෙන් ඒවා නැවත ඇති වීමට එරෙහිව ඖෂධ ලබා ගත හැකිය. බොහෝවිට සංඝටක හඳුනා ගැනීමෙන් නැවත ඇති වීම අවම කිරීමට වෛද්‍යවරයා ඖෂධ ලබා දෙයි.
බහුල වශයෙන් වකුගඩු ගල් කැල්සියම් ඔක්සලේඩ් හෝ කැල්සියම් පොස්පේට් යන සංයුතියෙන් සෑදුණු ඒවාය. මීට අමතරව යුරික් අම්ලය සහිත ගල්ද දැකිය හැකිය.
ඉහත සදහන් කළ පරිදි වකුගඩු ගල් කුඩා ප්‍රමාණයේ නම් මුත්‍ර සමග පිටවන හෙයින් ඒ සඳහා විශේෂ ප්‍රතිකාර අවශ්‍ය නොවේ. ඒත් ප්‍රමාණයෙන් විශාල නම්, වේදනාව ඉසිලිය නොහැකි නම් හෝ නිතර නිතර මුත්‍ර ආසාදනවලට ගොදුරුව මුත්‍ර මාර්ගයේ අවහිරතා මතු කරයි නම් ශල්‍යකර්මයක් මගින් හෝ බාහිරව යොමු කරන තරංග කදම්භයක් මගින් ගල් ඉවත් කිරීම හෝ කුඩු කිරීම සිදු කරයි.
වකුගඩු ගල් ඉවත් කිරීමට කළ හැකි සරල ක්‍රියා මාර්ග
1) දිනකට ජලය ලීටර් 02ත් දෙකහමාරත් අතර ප්‍රමාණයක් පානය කිරීම.
2) අධික ලුණු ආහාරයට එකතු කර ගැනීම නැවැත්විය යුතුයි.
3) අධික සත්ව ප්‍රෝටීන ආහාරයට එකතු කර ගැනීම පාලනය කරන්න.
4) කැල්සියම් සහිත ආහාර සාමාන්‍ය අයුරින් ආහාරයට ගන්න.
-සටහන- මාධවී ධර්මරත්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ තාත්තගෙත් වකුගඩුවල ගල්,,හොස්පිටල් ගියත් හරියට බලන්නෑ,,පිටින් E TRAY ගෙනිහිනුත් පෙන්නුවා ,,ප්‍රයිවට් කරනවානම් හරියට වැඩේ කරගන්න පුලුවන් ඩොක්ටර් කෙනෙක් කියන්න,,ලොකු උදව්වක්,,
මගේ මහත්තයාට මුත්‍රා මාර්ගයේ ගල් ඇතිවී දැනට ඉතා අපහසු තත්ත්වයක් පවතිනවා. ඔපරේශන් නොකර ගල් ඉවත්කර ගන්නට බෙහෙතක් කියන්න ඩොක්ටර්... බුදුසරණයි...!
එතකොට මෙකෙන් ඇති වෙන්න පුළුවන් හානිය කුමක්ද ?
එයින් ඇති වෙන්න පුළුවන් හානිය කුමක්ද ?