මොළය හා සම්බන්ධ රෝග  රැසක් තිබුණත්  ඒවායෙන් බොහොමයක්ම අපේ දැනුවත්බව සහ ක්‍රියාත්මකවීමෙන් වළක්වා ගන්න පුළුවන්. අපස්මාරය, ආඝාතය, ඩිමෙන්ෂියාව, ඉරුවාරදය ආදි රෝග  හඳුනාගන්නෙ මොළය හා සම්බන්ධ ස්නායු  ගැටලු විදියටයි.

ලෝකයේ  ජනගහනයෙන්  42% ක් ස්නායු රෝගවලින් පෙළෙනබව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. මෙය හොඳ තත්ත්වයක් නොවෙයි. සමහර ස්නායු රෝග ඖෂධ මගින් සුව කරන්න පුළුවන්. තවත් සමහර ඒවා දීර්ඝකාලීනව ප්‍රතිකාර කළ යුතුයි. ඩිමෙන්ෂියා,  අංශභාගය  වැනි රෝග එවැනියි.

අපේ රටේ  ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරු සිටින්නෙ 60 ක් පමණයි. ඒ අතරට  විශ්‍රාම ලැබූ, සරසවිවල උගන්වන සහ ළමා  ස්නායු රෝග වෛද්‍යවරුත් ඇතුළත්. එහෙත් සමහර රටවල මෙන් විශේෂඥ සේවය ලබා ගැනීමට දිගු කලක් බලා සිටීමට අවශ්‍ය නැහැ.

තිබෙන සීමිත සම්පත් ප්‍රමාණයෙන් වුවත් අපේ සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාමට සෞඛ්‍ය අමාත්‍යාංශය, ​වෛද්‍යවරු ඇතුළු සියලු සෞඛ්‍ය වෘත්තිකයින් විශාල කැපවීමක් සිදු කරනවා.

රෝගයක්   හැදෙන්න කලින් එය වළක්වා ගැනීමයි වැදගත්. මේ නිසා තවත් කල් නොදා රෝගයකින් වැළකීමට හොඳම දවස අද කියා සිතන්න.

ඩිමේන්ෂියා රෝගයේදී පුද්ගලයෙකුගේ එදිනෙදා කටයුතු සිදු කිරීමේ හැකියාව අඩුවන ලෙස මතකය සහ  චින්තන හැකියාවන් පිරිහෙනවා. මෙම රෝග ඖෂධ මගින් සම්පූර්ණයෙන් සුව කළ නොහැකි වුවත් රෝග ලක්ෂණ පාලනය කිරීමට සහ  රෝගය උත්සන්නවීම ප්‍රමාද කිරීමට  ඖෂධ තිබෙනවා.

එහෙත් ඩිමෙන්ෂියා රෝගය සෑදීමට අවදානම් හේතුවලින් ඉවත්වීමෙන් මෙම රෝගය සෑදීම වළක්වා ගන්න පුළුවන්.

කරන්න ඕනෑ දේවල්

සෞඛ්‍ය ක්​ෂේත්‍රයේ දියුණුවත් සමග ආයු කාලය වැඩිවෙනවා වුණත් අපේ මොළය නිසියාකාරව ක්‍රියාකාරී නැතිනම්  අපට දිගු කාලයක් ඵලදායී ජිවිතයක් ගතකරන්න ලැබෙන්නෙ නැහැ.  අපි එක්තැන්වෙලා නම්, අපිට අපව අමතක නම්, සමාජයේ වැඩවලට දායකවෙන්න බැරිනම්  එය ප්‍රයෝජනවත් ජීවිතයක් නෙවෙයි.

ලෝකයේ සමීක්ෂණවලට අනුව ඩිමෙන්ෂියා තත්ත්වය වළක්වා ගන්න පුළුවන් කරුණු 14 ක් තියෙනවා.එමගින් 45‌‌% ප්‍රමාණයකින් මෙය වළක්වා ගැනීමට හෝ සෑදීම වළක්වාගන්න පුළුවන්.

1. කුඩා කාලයේ ඉතා හොඳ අධ්‍යාපනයක් ලැබීම වයස්ගත වූ විට ඩිමෙන්ෂියාව සහ අමතකවීම ඇතිවීම වළක්වා ගැනීමට ඉතා හොඳ සාධකයක්බව සමීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.

 ඩිමෙන්ෂියාව වයස්ගත වූ විට මූලිකවම හැදුනත්  වයස්ගත අයට පමණක් හැදෙන රෝගයක් නොවෙයි.  සමහරුන්ට වයස අවුරුදු 45 – 50 අතරෙදි පවා හැදෙනවා.

2. ‘අපි ඉගෙනගෙන ඉවරයි’ කියල හිතුවොත්  එය මොළයට ලොකු බලපෑමක් සිදු කරනවා.  උදාහණයක් කියන්නද?

අපි දැන්  පාරවල් මතක තියාගන්නෙ නැහැනෙ.  මාර්ග සිතියම දාගෙන ඒ දිහා බලාගෙන යනවා. පාර මතක තියාගන්න මොළය වෙහෙසන්නෙ නැහැ. මේ කුඩා ව්‍යායාමයක් වුවත් මොළයට ඉතා ලොකු යහපතක් කරනවා. මේ විදියටවත් වෙහෙසට පත් නොකරන මොළය අවසානයේ ඩිමෙන්ෂියා රෝගය හදන හේතුවක් වෙන්න පුළුවන්. එබැවින් හැමවිටම නොදන්න දෙයක් ඉගෙනගන්න උත්සාහ කරන්න.

3. කොලෙස්ටරෝල්
4. රුධිරයේ සීනි
5. රුධිර පීඩනය පාලනය මොළයේ රුධිර සංසරණයට ඉතා වැදගත්. මතකය අඩුවීම වළක්වා ගැනීමට නරක කොලෙස්ටරෝල් පාලනය ඉතාම වැදගත් .
6. මොළයට අවශ්‍ය දත්ත ලබාගන්නෙ ඇස්වලින් සහ කනෙන්. ශ්‍රවණ ආබාධ සහ පෙනීමේ දුර්වලතා තිබෙන අය ඩිමෙන්ෂියා රෝගයට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක් තිබෙනවා.
7.  විෂාදය තත්ත්වය තිබෙන අයටත් ඩිමෙන්ෂියා අවදානම වැඩියි.
8. ඒවගේම මොළයට සිදුවන අනතුරුවලින් ඩිමෙන්ෂියා වැලඳීමේ ප්‍රවණතාව වැඩි කරනවා.
9. දුම්වැටි භාවිතය ඩිමෙන්ෂියාවට අත වැනීමක් වගෙයි.
10. ව්‍යායාම  මදිකම
11. ස්ථුලතාවත්  මෙම රෝගය වැලඳීමට හේතුවක්.
12. වායු දූෂණයත් ඩිමෙන්ෂියාව ඇති කිරීමට බලපානවා
 13. පැය 6 ක්වත් නිදාගන්න

ඩිමෙන්ෂියා රෝගයෙන් මිදෙන්නට නම් නින්ද  ඉතාම වැදගත්.  එහිදී කඩින් කඩ අවදිවන නින්දක් නොවෙයි  එක දිගට පැය හයකට වැඩි නින්දක් ලබාගන්න ඕනෑ.  සුලබව දකින්න ලැබෙන ඉරුවාරදයටත් නින්ද මදිකම බලපානවා.

14. හුදෙකලාව අඩු කරගන්න

හුදෙකලාවත් ඩිමෙන්ෂියාවට අවදානම් සාධකයක්. සාමාජීය වශයෙන් පවුලේ අය සමග  යහ පැවැත්මකින් ක්‍රියාකාරීව  වාසය කිරිම ඉතා වැදගත්. සමිති සමාගම්වල වගකීම් දැරීමෙන්, යහපත් සමාජ සම්බන්ධතා පැවැත්වීමෙන්  ද මෙම රෝගයේ අවදානම අඩු කරගත හැකිය.

උපදෙස් - කැලණිය විශ්ව විද්‍යලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්‍ඨ කථිකාචාර්ය ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුන්‍යා ලූක්

උදේශිකා නෙලුම්දෙනිය