ඇතැම් අයට වංගු සහිත මාර්ගයක වාහනයකින් ගමන් කරන විට අපහසුතා දැනෙනවා. කැරකිල්ල, ඔක්කාරය හිස කැක්කුම වගේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන. මේ වගේ අවස්ථාවලදී භාවිත කළ හැකි ආයුර්වේදීය ප්‍රතිකර්ම ගැනයි මේ කතාබහ. 

මේ වගේ සංකූලතා එ්මට හේතුව?

එයට ප්‍රධානම හේතුව තමයි අපේ ඇසෙන් හා ඇතුළු කනෙන් මොළයට ලැබෙන පණිවුඩ එකිනෙකට වෙනස් වීම නිසා සිරුරේ සමතුලිතතාවය බිඳවැටීම. එතැනදී වමනය, ඔක්කාරය, හිසරදය, කැරකැවිල්ල, කටට කෙළ ඉනීම වැනි තත්ත්වයන් ප්‍රධාන ලෙස එනවා.

මෙම සංකූලතා අපට වළක්වාගන්න පුළුවන්ද?

වාහනයක ගමන් කිරීමේදී ඉදිරියට මුහුණලා ඇති අසුනක වාඩිවන්න. පැති අසුන් භාවිත නොකරන්න.

ගමන අතරතුරේදී වෙනත් දෙයකට මනස යොමු කරවන්න. ඒ කිව්වේ අවට වටපිටාව පිළිබඳ, ගස්කොළන් පිළිබඳව අවධානයෙන් ඉන්න. එතකොට මනසේ අවධානය වෙනස් වෙනවා.

ජනේලයක් ඇති තැනක වාඩිවෙන්න. එතකොට ඔබට වටපිටාවේ සුළං පහරවල් නිසා සිරුරට සනීපයක් දැනෙයි. 

ගමන අතරතුරේදී පොතක්, දුරකථනයකට ඇස යොමු කරන්න යන්න එපා. මනස සැහැල්ලුවෙන් ගමන් කරන්න.

අධික මිරිස් දැමූ ක්ෂණික ආහාර පාන ගන්න යන්න එපා. සැහැල්ලු ආහාරයක් ලබාගන්න.

දෙහි, පැඟිරි වැනි සුවඳක් ආශ්වාස කරන්න. එමගින් වමනය, ඔක්කාර ගතිය වළක්වා ගන්න පුළුවන්.

ඔබට ආහාරයක් ලෙස පිත සමනය සඳහා කිතුල් පිටි කැඳ පානය කරන්න පුළුවන්. ඉඟුරු දැමූ තේ එකක් පානය කරන්න පුළුවන්.

දෙහි යුෂ ස්වල්පයක් වරින් වර පානයට ගන්න පුළුවන්.  මින්චි කොළයක් කටේ තබා ගැනීමෙන් මනස සන්සුන් කරවගන්න පුළුවන්. එහෙම නැත්නම් මින්චි කොළයක් හොඳින් අතින් පොඩි කර නහයට ආග්‍රහණය කරන්න. දෙහි බෑයක් අතින් පොඩිකර එහි සුවඳ නිතර නිතර ආග්‍රහණය කරන්න.

නෙල්ලි ගෙඩියක් හෙමින් හෙමින් සපන්න.

ඉඟුරු පෙත්තක් හපන්න.

ඔබට මෙම සංකූලතා දිගින් දිගටම පවතී නම් වෛද්‍ය උපදෙස් මත ඖෂධ පාවිච්චි කරන්න පුළුවන්. එය ගමනට පෙර භාවිත කළ යුතුයි.

සටහන - මහේෂානි මීගහපොල

උපදෙස් - ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී දර්ශිකා කොඩිතුවක්කු