“දැන් පොළට ආවත් ඉස්පිරිතාලෙට යනවා, හන්දියට ආවත් ඉස්පිරිතාලෙට යනවා. එහෙම යන්න බැහැ. තමන්ගේ වෛද්‍යවරයාගේ නිර්දේශයක් එන්න ඕනේ ලොකු ඉස්පිරිතාලෙට යන්න.”

           “කොත්තමල්ලි ටිකක් බීලා විවේකයෙන් ඉන්න කිව්වොත්, ගෙදර ගිහින් විවේකයෙන් ඉන්න. මේ බෙහෙත් ගන්න යන්නේ නැතුව. ගෙනාවට ඔක්කොම බොන්නෙත් නැහැ නේ ? එක වේලයි. දවස් තුනකට දෙනවා නේද?”
    මේ ජනාධිපතිවරයා විසින් රටේ සෞඛ්‍ය සංස්කෘතිය, රෝහල්වල පවතින දැඩි තදබදය පිළිබඳව පසුගියදා කළ කතාවේ එක් ප්‍රකාශයකි.

       

ජනාධිපතිවරයා විසින් පසුගියදා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ කළ ප්‍රකාශයක දී කියවුණු “කොත්තමල්ලි”සම්බන්ධ කතාව දේශපාලන කරළියේ මෙන්ම සමාජ මාධ්‍ය ජාලාවන් ද එකසේ උණුසුම් කළ මාතෘකාව වූයේ විවිධ මතවාද, විවේචන මෙන්ම උපහාසාත්මක සටහන්ද සමාජගත කරමිනි. දේශපාලන කෝණයෙන් කෙසේ වෙතත්, ශ්‍රී ලාංකීය අපට “කොත්තමල්ලි” යනු වසර දහස් ගණනක සිට අපේ මුළුතැන්ගෙයි මෙන්ම හෙළ වෙදකමේ ද නැතුවම බැරි සුවිශේෂී ඖෂධයකි.

 

                දේශපාලන කතාබහෙන් කරලියට ආ අපට අමතක වූ කොත්තමල්ලි සතු සැබෑ ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මක වටිනාකම, ගුණ අගුණ ගැනයි මේ කතාව.

 

ඊජිප්තු පාරාවෝ සොහොන් ගැබ්වලින් හමුවූ ‘කොත්තමල්ලි වලට විශාල ඉතිහාසයක් ඇත. පුරාණ ඊජිප්තුවේ තුතන්කාමන් පාරාවෝ රජුගේ සොහොන් ගැබ කැණීමේ දී එහි තිබී වියළි කොත්තමල්ලි ඇට හමුවී ඇති බවත්, පුරාණ ඊජිප්තුවරුන් මරණින් මතු ජීවිතය සඳහා ආරක්ෂාවක් ලෙස මෙම ඖෂධය සොහොන් ගැබ් තුළ තැන්පත් කර තිබෙන බවත්, සාක්ෂි ඇත. එමෙන්ම ග්‍රීක ඉතිහාසයට අනුව බයිබලයේ පැරණි ගිවිසුමේ මන්නා නම් දිව්‍යමය ආහාරය කොත්තමල්ලි ඇටවලට සමාන කර ඇත.

 

          කොත්තමල්ලි ශාකය මුලින්ම මැදපෙරදිග සහ මධ්‍යධරණී කලාපීය රටවලින් ආරම්භ වී පසුව මුළු ලෝකය පුරාම ව්‍යාප්ත වූ අතර, වර්තමානය වන විට - ඉන්දියාව, රුසියාව, චීනය, උතුරු අප්‍රිකාව සහ මධ්‍යම ඇමෙරිකාව වැනි රටවල මහා පරිමාණයෙන් කොත්තමල්ලි වගා කරනු ලබයි. ලෝක වෙළෙඳපොළට සැපයෙන කොත්තමල්ලි ප්‍රමාණයෙන් සියයට 25කට ආසන්න ප්‍රමාණයක් වගා කරනුයේ අපේ අසල්වැසි ඉන්දියාව ය. ශ්‍රී ලංකාවේ ද වියළි හා අර්ධ වියළි කලාපීය ගෙවතු සෙවන සහිත ස්ථානවල ද මෙය පහසුවෙන් වගා කරගත හැකිය.
           

                    ශ්‍රී ලංකාවට කොත්තමල්ලි පැමිණෙන්නේ ඓතිහාසික වෙළෙඳ සිරිත් විරිත් හරහාය. එතැන් පටන් හෙළ වෙදකමේ සහ දේශීය අත්බෙහෙත් ක්‍රමවේදයන්හි අග්‍රගන්‍ය ඖෂධයක් ලෙස කොත්තමල්ලි ලාංකීය ජන ජීවිතයට බද්ධ විය.
                ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව කොත්තමල්ලි හඳුන්වන්නේ “ධාන්‍යක” යන ප්‍රධාන නාමයෙනි. මීට අමතරව සංස්කෘත මූලග්‍රන්ථවල මෙය “කුස්තුම්බුරු” ලෙස ද දක්වා ඇත. රසයෙන් කෂාය, තික්ත, මධුර හා කටුක ගුණයෙන් යුක්ත වන කොත්තමල්ලි - ආයුර්වේදයට අනුව වා, පිත්, සෙම් යන ත්‍රිදෝෂයන්ම සමනය කරන අගනා ඔසුවකි.    

           

      විශේෂයෙන්ම ශරීරයේ අධික උෂ්ණත්වය“පිත් දෝෂ”පාලනය කිරීමට කොත්තමල්ලිවලට ඇති හැකියාව අතිමහත්ය. කොත්තමල්ලිවල අඩංගු වාෂ්පශීලී තෙල් වර්ග සහ ප්‍රතිඔක්සිකාරක මගින් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවනු ඇත.
 

අපේ හෙළ වෙදකමේ සහ ආයුර්වේදයේ උණ, හෙම්බිරිස්සාවට කොත්තමල්ලි තම්බා පානය කිරීම දශක ගණනක් නොව, සියවස් ගණනාවක් තිස්සේ පැවත එන චාරිත්‍රයක් හා ප්‍රතිකාර ක්‍රමයකි. අතීතයේ කෘත්‍රිම ළදරු ආහාර නොතිබූ යුගයේ, මව්කිරි අහිමි වූ බිලිඳුන්ට පවා පෝෂණය ලබාදී ඇත්තේ ද කොත්තමල්ලි තැම්බූ වතුරෙනි.

 

 සුළු උණ, හෙම්බිරිස්සාව, ඇඟපත වේදනාව වැනි අවස්ථාවලදී ඉඟුරු සහ පත්පාඩගම් සමග තම්බා බොන කොත්තමල්ලි කෝප්පය සැබවින්ම දේශීය පැරසිටමෝල් එකක් ලෙස ද හැඳින්විය හැකිය.
කොත්තමල්ලිවල අඩංගු linalool, geraniol වැනි වාෂ්පශීලී ද්‍රව්‍ය මෙන්ම විටමින් A, C, K, ෆෝලික් අම්ලය, කැල්සියම්, යකඩ, පොටෑසියම්, මැග්නීසියම් සහ සෙලේනියම් වැනි පෝෂක මගින් ශරීරයේ ප්‍රතිශක්තීකරණය ඉහළ නංවනවා සේම සෛල විනාශ වීම වළක්වන ප්‍රබල ප්‍රතිඔක්සිකාරක රැසක්ද මෙහි අඩංගුය. කොත්තමල්ලි වලින් බඩ පිපුම, අජීර්ණය සහ බඩේ දැවිල්ල වැනි තත්ත්වයන් වළක්වා ආහාර රුචිය වර්ධනය කරනවා සේම, රුධිරයේ සීනි මට්ටම ස්වාභාවිකව පාලනය කිරීමට කොත්තමල්ලි ඇටවලට සුවිශේෂී හැකියාවක් ඇත.


        එමෙන්ම ශරීරයේ පවතින අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කර - හිතකර කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නැංවීමටත්, ශරීරයේ ඇති විෂද්‍රව්‍ය මුත්‍රා මාර්ගයෙන් ඉවත් කර මුත්‍රා දැවිල්ල සමනය කරන්නත් , බඩේ කැක්කුම, අජීර්ණය, වමනය, පාචනය, අතීසාරය, බඩ පිපීම සහ ආමාශයේ හටගන්නා තුවාල (අම්ලපිත්ත රෝගය) වැනි උදරාබාධ සුවපත් කිරීමටත්, එහි ඇති ප්‍රතිඔක්සිකාරක නිසා සම පැහැපත් කිරිමත් කොතත්මල්ලි වල ඇති ගුණය අසීමිතය.
 


දීර්ඝකාලීන බෝ නොවන රෝග පාලනයට ද කොත්තමල්ලි කියාපු බෙහෙතක්

රුධිරයේ ඇති අහිතකර කොලෙස්ටරෝල් (LDL) මට්ටම අඩුකර හිතකර කොලෙස්ටරෝල්(HDL) වැඩි කිරීමටත්, රුධිරයේ සීනි මට්ටම පාලනය කරමින් මුල් අවස්ථාවේ දියවැඩියා තත්ත්වයන් පාලනය කිරීමටත්  කොත්තමල්ලි රුකුලකි. අධිරුධිර පීඩනය පාලනය කිරීම, රුධිරයේ ඇති විෂද්‍රව්‍ය ඉවත් කර රුධිරය පිරිසිදු කිරීම මෙන්ම අක්මාවේ සහ වකුගඩුවල ක්‍රියාකාරීත්වය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීමටත් කොත්තමල්ලි උපකාරී වේ.

මීට අමතරව මොළයේ මතක ශක්තිය හා ස්නායු ක්‍රියාකාරීත්වය දියුණු කිරීම, ඇල්සයිමර් රෝග ලක්ෂණ සහ කාංසාව නැසීම මෙන්ම ස්නායු දුර්වලතා මගහැරීමටද කොත්තමල්ලි කදිම ඖෂධයකි.

   කාන්තාවන්ගේ මාසික ඔසප් වීමේදී ඇතිවන අධික උදර වේදනාවන් සමනය කිරීමටත්, ආර්ථවහරණයෙන් පසුව ඇතිවන අස්ථි දුර්වලතා (ඔස්ටියෝපොරෝසිස්) පාලනයටත් කොත්තමල්ලිවල ඇති කැල්සියම් සහ විටමින් K බෙහෙවින් උපකාරී වේ.
 

          අපේ එදිනෙදා ජීවිතයේදී කොත්තමල්ලි ක්‍රම කීපයකින්ම භාවිත කළ හැකිය. වියළි කොත්තමල්ලි ඇට කබලේ බැද හෝ නොබැද තම්බා එම වතුර පානය කිරීම වඩාත්ම ජනප්‍රිය ක්‍රමයකි. මීට අමතරව කොත්තමල්ලි කුඩු මේස හැන්දක් රැයක් වතුරේ පොඟවා තබා උදෑසන හිස්බඩ පානය කිරීමෙන් ශරීරයේ විසහරණය කරගත හැකිය. කුළුබඩුවක් ලෙස අඹරා ව්‍යංජනවලට එකතු කරගැනීමටත්, නැවුම් කොත්තමල්ලි කොළ සලාද සහ සුප් වර්ග යොදා ආහාරයට ගැනීමටත් ශරීර සෞඛ්‍යට ඉතාම ගුණදායකය.

 

ගුණ වගේම ඕනෑම දෙයක ‘අගුණයකුත් ඇත

ජනාධිපතිවරයා පැවසූ පරිදි සුළු සෙම්ප්‍රතිශ්‍යාවකට කොත්තමල්ලි බී නිවෙස්වලට වී විවේක ගැනීම වරදක් නොවන මුත්, ආයුර්වේදයට අනුව ඕනෑම ඖෂධයක් පමණ ඉක්මවා භාවිත කිරීම අගුණයට හේතු විය හැක.

        සාමාන්‍යයෙන් සතියකට දින 3ක් හෝ 4ක් කොත්තමල්ලි තැම්බූ වතුර වීදුරුවක් පානය කිරීම සිරුරේ නිරෝගීබව පවත්වා ගැනීමට පූර්ණ ප්‍රමාණවත් ය. නිරෝගී කෙනෙකුට එදිනෙදා තේ වෙනුවට කොත්තමල්ලි පානය කිරීම වුවද අහිතකර වන්නේ නැත.

       කොත්තමල්ලි වූවද ප්‍රමාණය ඉක්මවා අධික ලෙස භාවිත කිරීමක දී යම් යම් අතුරු ආබාධ ඇති විය හැකිය. කොත්තමල්ලි මගින් රුධිරයේ සීනි සහ පීඩනය පාලනය කරන නිසා, අධික ලෙස පානය කිරීමෙන් රැධිරයේ සීනි මට්ටම හෝ පීඩනය බලාපොරොත්තු රහිත ලෙස පහළ යා හැක. මීට අමතරව ඇතැම් සම සංවේදි අයට අයට  ආසාත්මිකතා ඇතිවීමටද ඉඩකඩ ඇත.

  ඒ වගේම  දිනපතා දිගින් දිගටම අධික ලෙස කොත්තමල්ලි තම්බා පානය කිරීමෙන් පිරිමින්ගේ ශුක්‍රාණු නිපදවීම කෙරෙහි යම් බලපෑමක්  එනම්, ශුක්‍රාණු සෛලවල ජීව ගුණයේ අඩුවීම වැනි සංකූලතා සිදුවිය හැකිය.

විශේෂයෙන්ම ගර්භණී සමයේ දී වෛද්‍ය උපදෙස් රහිතව අධික මාත්‍රාවලින් ඖෂධීය පාන වර්ග ගැනීම සුදුසු නැත.
 

   උණ තත්ත්වයකදී සමාන්‍ය පරිදි කොත්තමල්ලි බිව්වත් උණ දින දෙක තුනකට වඩා පවතී නම්- එය ඩෙංගු, මී උණ වැනි බරපතළ රෝගයක් විය හැකි බැවින්, කොත්තමල්ලි මතම යැපෙමින් නොසිට වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවිය යුතුය.
     නිසි ප්‍රමාණයෙන් ලබාගන්නේ නම් කොත්තමල්ලි අහිතකර නොවන අතර,  ප්‍රමාණය ඉක්මවා පානය කිරීමෙන් වැළකිය යුතුය.

 

 

තොරතුරැ - ආයුර්වේද වෛද්‍ය ඉමාෂා උඩවත්ත

 

 

නදීශා අතුකෝරළ