දිවයින පුරා පවතින කාලගුණික වෙනස්වීම් සහ මෝසම් වැසි ආරම්භ වීමත් සමඟ ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග ලක්ෂණ සහිත රෝගීන්ගේ සහ දරුණු උග්ර ශ්වසන ආසාදිතයන්ගේ වාර්තා වීම යම් ඉහළ යාමක් මහජන සෞඛ්ය අංශ මඟින් නිරීක්ෂණය කර ඇත. සෘතුමය වශයෙන් වසරකට දෙවතාවක් මෙරට ව්යාප්ත වන මෙම ශ්වසන ආසාදනය පිළිබඳව මහජනතාව අනවශ්ය ලෙස බිය නොවී, නිසි සෞඛ්යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීම සහ රෝග සංකූලතා පිළිබඳ දැනුවත් වීම ඉතා වැදගත් වේ.
ඉන්ෆ්ලුවෙන්සා වෛරසයේ ප්රභේද, මෙරට සහ ගෝලීය ව්යාප්තියේ වත්මන් තත්ත්වය, රෝගය පැතිරෙන ආකාරය, එහි ප්රධාන රෝග ලක්ෂණ මෙන්ම මෙම රෝගී තත්ත්වයෙන් ආරක්ෂා වන ආකාරය පිළිබඳව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ වසංගත රෝග විද්යා අංශයේ ඉන්ෆ්ලුවෙන්සා නිරීක්ෂණ අංශයේ ජාතික සම්බන්ධීකාරක විශේෂඥ වෛද්ය ජේ. හම්සනන්ති මහත්මිය සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකි මේ.
ඉන්ෆ්ලුවෙන්සා වෛරසයේ ස්වභාවය සහ ප්රභේද මොනවාද?
ඉන්ෆ්ලුවෙන්සා කියන්නේ RNA කාණ්ඩයට අයත්, අපේ ශ්වසන පද්ධතියට බලපාන වෛරස් කාණ්ඩයක්. මෙහි ප්රධාන වශයෙන් A, B, C සහD ලෙස ප්රභේද හතරක් තියෙනවා. සාමාන්යයෙන් මිනිසුන් අතර සෘතුමය වශයෙන් උණ තත්ත්වයන් ඇති කරන්න බලපාන්නේ ඉන්ෆ්ලුවෙන්සා A සහ B කියන වර්ග දෙකයි.
ඉන්ෆ්ලුවෙන්සා A කියන්නේ රෝගී කිරීමේ හැකියාව ගොඩක් වැඩි ප්රභේදයක්. ඒ වගේම එහි යම් වෙනස්කම් සිදුවුණොත් කොරෝනා වගේ ලෝක වසංගත තත්ත්වයක් වුවද ඇති වෙන්න පුළුවන්. ඉන්ෆ්ලුවෙන්සා B සාමාන්ය උණ විදියට ඇවිත් දින දෙක තුනකින් සුව වී යනවා. C සහD කියන ප්රභේද මිනිසුන් අතර ඒ හැටි පැතිරෙන්නේ නැහැ.
මෙරට වත්මන් තත්ත්වය සහ නිරීක්ෂණ ක්රියාවලිය කෙසේද?
ලෝක සෞඛ්ය සංවිධානයේ නිරීක්ෂණ දත්තවලට අනුව ආසියානු සහ නිවර්තන කලාපීය රටවල් කිහිපයක Influenza A(H1N1) pdm09 ප්රභේදයේ පැතිරීමක් දක්නට ලැබෙනවා. ශ්රී ලංකාවේ සාමාන්යයෙන් වසරකට දෙවතාවක්, එනම් මෝසම් වැසි ආරම්භ වන මැයි සිට ජූලි දක්වා සහ නොවැම්බර් සිට ජනවාරි දක්වා කාලසීමාවලදී ඉන්ෆ්ලුවෙන්සා පැතිරීම වැඩි වෙනවා.
සෞඛ්ය අමාත්යාංශයේ වසංගත රෝග විද්යා අංශයේ මෑතකාලීන නිරීක්ෂණ දත්තවලට අනුව, පරීක්ෂා කරන ලද සාම්පලවලින් 35.3% ක්ම ඉන්ෆ්ලුවෙන්සා A සඳහා ධනාත්මක වී ඇති අතර ඉන්ෆ්ලුවෙන්සා B සඳහා 0% ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මේ දිනවල මෙරට පැතිර යන්නේ ප්රධාන වශයෙන්ම ඉන්ෆ්ලුවෙන්සා A ප්රභේදයයි. දැනට දිවයින පුරා තෝරාගත් රෝහල් 21 ක් හරහා ILI සහSARI නිරීක්ෂණ පද්ධති ක්රියාත්මක වෙනවා. සතියකට පරීක්ෂණ සාම්පල 10 බැගින් වෛද්ය පර්යේෂණ ආයතනය වෙත යොමු කරමින් ජානමය වෙනස්කම් නිරන්තරයෙන් නිරීක්ෂණය කරනු ලබනවා.
රෝගය පැතිරෙන ආකාරය සහ එහි ප්රධාන ලක්ෂණ මොනවාද? 
මෙම වෛරසය ආසාදිත පුද්ගලයෙකුගෙන් තවත් අයෙකුට බෝ වන්නේ ප්රධාන වශයෙන් වාතය හරහා සහ මතුපිට ස්පර්ශයෙන්. ආසාදිතයෙකු කහින විට, කිවිසුම් යවන විට හෝ කතා කිරීමේදී පිටවන ශ්වසන බිඳිති ආශ්වාස කිරීමෙන් මෙන්ම, වෛරසය තැන්පත් වී ඇති මතුපිටක් ස්පර්ශ කර තමන්ගේ නාසය, මුඛය හෝ ඇස් ඇල්ලීමෙන් රෝගය බෝ වෙන්න පුළුවන්. ආසාදිතයෙකුට රෝග ලක්ෂණ මතු වීමට දිනකට පෙර පවා අන් අයට රෝගය පැතිරවීමේ හැකියාවක් පවතිනවා.
ආසාදනය වූ පසු සාමාන්යයෙන් හදිසියේ හටගන්නා අධික උණ, තද කැස්ස, උගුරේ වේදනාව, දැඩි හිසරදය, ඇඟපත වේදනාව, නාසයෙන් දියර ගැලීම, අධික තෙහෙට්ටුව සහ වෙව්ලීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. කුඩා දරුවන්ට උණට අමතරව වමනය සහ පාචනය වැනි රෝග ලක්ෂණද ඇති වෙන්න පුළුවන්.
අධි අවදානම් කාණ්ඩ සහ හදිසි අනතුරු ඇඟවීම් මොනවාද?
සාමාන්ය පුද්ගලයන්ට දින කිහිපයකින් සුව වුවත් අවදානම් කාණ්ඩ සඳහා රෝගය බරපතල වී නියුමෝනියාව වැනි සංකූලතා ඇති වෙන්න පුළුවන්. ගර්භණී මාතාවන්, අවුරුදු 65 ට වැඩි වයෝවෘද්ධ පුද්ගලයන්, ළදරුවන් සහ කුඩා දරුවන්, ප්රතිශක්තීකරණය හීන වූ පුද්ගලයන් මෙන්ම දියවැඩියාව, හෘද රෝග, අධිරුධිර පීඩනය සහ වකුගඩු රෝග වැනි දීර්ඝකාලීන බෝ නොවන රෝග ඇති පුද්ගලයන් අධි අවදානම් කාණ්ඩවලට අයත් වෙනවා.
විශේෂයෙන්ම ගර්භණී මාතාවන්ට රෝග ලක්ෂණ මතුවුවහොත් පැය 24 ක් ඇතුළත රෝහල්ගත වී වෛද්ය උපදෙස් ලබාගත යුතුයි. යම් හෙයකින් හුස්ම ගැනීමේ අපහසුතාවක් හෝ වේගයෙන් හුස්ම ගැනීම, පපුවේ තද බව හෝ වේදනාව, නොබසින අධික උණ, තොල් හෝ මුහුණ නිල් පැහැ වීම, සිහිමඳ බව, දැඩි විජලනය හෝ අධි අවදානම් කාණ්ඩයක අයෙකුගේ රෝග ලක්ෂණ සීඝ්රයෙන් උග්ර වීම වැනි දරුණු ලක්ෂණ ඇත්නම් ප්රමාද නොවී ආසන්නතම රජයේ රෝහලේ හදිසි ප්රතිකාර ඒකකයට හෝ සුදුසුකම් ලත් වෛද්යවරයෙකු වෙත යොමු විය යුතුයි.
ප්රතිකාර සහ නිවාරණ පියවර මොනවාද?
ඉන්ෆ්ලුවෙන්සා කියන්නේ ශරීරයේ ස්වාභාවික ප්රතිශක්තීකරණ පද්ධතිය මඟින්ම පාලනය කර සුව කරනු ලබන වෛරස් ආසාදනයක්. සාමාන්ය පුද්ගලයන් සඳහා පූර්ණ ශාරීරික විවේකය, ප්රමාණවත් තරම් දියර වර්ග පානය කිරීම, පෝෂ්යදායී ආහාර ගැනීම සහ උණ සඳහා පැරසිටමෝල් භාවිතය ප්රමාණවත් වෙනවා. නිවසේදී කොත්තමල්ලි, වෙනිවැල්ගැට වැනි දේශීය පාන වර්ග භාවිත කිරීමේ වරදක් නැතත්, අධි අවදානම් කාණ්ඩවල පුද්ගලයන් හෝ රෝග ලක්ෂණ තදින් ඇති පුද්ගලයන් දේශීය ඖෂධ පමණක් නොගෙන නියමිත වේලාවට බටහිර වෛද්ය පරීක්ෂාවන්ට යොමු විය යුතුයි.
අධි අවදානම් සහ බරපතල රෝගීන් සඳහා වෛද්ය තීරණය මත Oseltamivir නමැති විශේෂිත වෛරස් විරෝධී ඖෂධය ලබා දෙනු ලබනවා. වෛරස් ආසාදන සඳහා ප්රතිජීවක (ඇන්ටිබියොටික්) ඖෂධ මඟින් බලපෑමක් සිදු නොවන බැවින්, වෛද්ය උපදෙස් නොමැතිව ඒවා භාවිත කිරීමෙන් වැළකී සිටිය යුතුයි.
රෝගය පැතිරීම වළක්වා ගැනීම සඳහා පූර්ව ආරක්ෂාව වැදගත් වේ. කහින විට සහ කිවිසුම් යවන විට ලේන්සුවකින් හෝ තමන්ගේ වැලමිට ඇතුල් පැත්තෙන් මුඛය සහ නාසය ආවරණය කරගැනීම, සබන් යොදා තත්පර 20 ක් වත් නිතර දෑත් සේදීම, කැස්ස හෝ සෙම්ප්රතිශ්යාව ඇත්නම් මුහුණු ආවරණයක් පැළඳීම සහ පොදු ස්ථානවල ගැවසීමෙන් වැළකී සිටීම කළ යුතුයි. පාසල් ළමුන්ට හෝ සේවකයන්ට රෝග ලක්ෂණ ඇත්නම් නිවසේ රඳවා තැබීමට කටයුතු කළ යුතු අතර, ගෘහස්ථ ස්ථානවල සහ පන්ති කාමරවල හොඳින් වාතාශ්රය ලැබෙන පරිදි දොර ජනෙල් ඇර තැබීමද සුදුසු වේ.
ඉන්ෆ්ලුවෙන්සා යනු පාලනය කළ හැකි සහ වළක්වා ගත හැකි රෝග තත්ත්වයක් බැවින්, අසාමාන්ය ලෙස බිය නොවී නිසි සෞඛ්ය උපදෙස් අනුගමනය කිරීමෙන් ප්රජාව අතර රෝගය පැතිරීම වළක්වා ගත හැකිය.
ඉමේෂි මන්දිරා, චමෝදි සෙව්වන්දි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd