
දරුවෙකුට අම්මාගේ උණුසුම යනු ලෝකයේ ආරක්ෂිතම තැනයි. කුස තුළ දස මසක් දරාගෙන, මෙලොවට බිහිකර, තම සිරුරේ උණුසුමෙන් පෝෂණය කරමින්, ජීවිතය පුරාම දරුවා වෙනුවෙන් කැපවෙන මවකගේ ශරීරය තුළ ඇයට නොදැනීම යම් වෙනසක් සිදුවෙන්නට පුළුවන. එය සෑම විටම සුන්දර එකක්ම නොවන්නටද පුළුවන.
ඇතැම් විට කාන්තාවක් තම සිරුරේ සිදුවන පුංචි වෙනසක් දැනුණත්, “ඒක එතරම් දෙයක් නෙවෙයි” කියා එය මඟහැර යයි. තවත් විටෙක “පිළිකාවක් වෙයිද?” යන බිය නිසා වෛද්‍යවරයකු වෙත යාමට පවා පසුබට වෙයි. එහෙත් බියෙන් වසන් වන සෑම මොහොතක්ම අවදානමක් විය හැකි අතර, දැනුවත්ව මුහුණ දෙන සෑම මොහොතක්ම ජීවිතය වෙනුවෙන් තබන වැදගත් පියවරක් විය හැකිය. මාතෘත්වය, ස්ත්‍රීත්වය සහ ආදරණීය මතකයන් සමඟ බැඳුණු කාන්තාවකගේ ශරීරයේ නිහඬව වැඩෙන පියයුරු පිළිකාව ගැන අප කතා කළ යුත්තේ ඒ නිසාය.
ඔක්තෝබර් මාසය පියයුරු පිළිකාව පිළිබඳ දැනුවත් කිරීමේ මාසය ලෙස ලොව පුරා අවධානය යොමු වී ඇත.
එදා ගම්මානයක කාන්තාවකට පියයුරේ අසාමාන්‍ය ගැටිත්තක් දැනුණොත්, අද මෙන් ඒ ගැන වෛද්‍යවරයකු සමඟ විවෘතව කතා කිරීම පහසු දෙයක් නොවීය. “ඕක කාටවත් කියන්න එපා...”, “ලැජ්ජාවක් නේද...” වැනි අදහස් අතරේ ඇතැම් කාන්තාවෝ තමන්ගේ ශරීරයේ සිදුවන වෙනස්කම් පවා සඟවාගෙන සිටියහ. පියයුරු පිළිකාවක් යැයි සැකයක් ඇතිවීම බොහෝ දෙනකු දුටුවේ ජීවිතය අවසන් කරන තීන්දුවක් ලෙසය. ඒ නිසා රෝගය ගැන කතා කිරීමත්, වෛද්‍යවරයකු වෙත යාමත් වෙනුවට නිහඬව සිටීම හෝ ගමේ අසල්වැසියන්ගේ කතාබහට බියෙන් රෝගය සඟවාගෙන සිටීම සිදුවිය.
එහෙත් කාලය වෙනස් වී ඇත. අද පියයුරු පිළිකාව යනු සැඟවිය යුතු ලැජ්ජාවක් නොව, හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබාගත යුතු රෝගයකි. එදා බියෙන් වසාගත් කතාවක් වූ පියයුරු පිළිකාව ගැන අද විවෘතව කතා කිරීමේ අවශ්‍යතාව ඇත්තේ ඒ නිසාය. අතීතයේ තිබූ ඒ නිහඬ බව වෙනුවට අද අවශ්‍ය වන්නේ දැනුවත් බවය. බිය වෙනුවට අවශ්‍ය වන්නේ වෛද්‍ය උපදෙස්ය. සැඟවීම වෙනුවට අවශ්‍ය වන්නේ කල් ඇතිව හඳුනාගැනීමය.
”ඔක්තෝබර් මාසය කියන්නේ පියයුරු පිළිකාව සම්බන්ධයෙන් සමාජය දැනුවත් කරන මාසයයි. අපි දකින තොරතුරුවලට අනුව, කාන්තාවන්ට වැළfඳන පිළිකා අතරින් පියයුරු පිළිකාව ප්‍රධාන තැනක තියෙනවා. ලංකාවේ වසරකට පියයුරු පිළිකා රෝගීන් හයදහසක් විතර අලුතින් හඳුනාගන්නවා. නමුත් රෝගීන් සංඛ්‍යාව වැඩිවුණා කියලා ඒකෙන් අදහස් වෙන්නේ නෑ මේ රෝගය නිසා ජීවිතය අවසන් වෙනවා කියලා. වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් එක්ක පියයුරු පිළිකාව සාර්ථකව ප්‍රතිකාර කරලා සුව කරන ප්‍රතිශතයත් අද වෙනකොට වැඩිවෙලා තියෙනවා.
ඒ නිසා පියයුරු පිළිකාව සාර්ථකව ප්‍රතිකාර කරගන්න නම් ප්‍රධාන කරුණු තුනක් ගැන අපි අවධානය යොමු කරන්න ඕනේ. පළවෙනි කාරණය රෝගය මුල් අවස්ථාවදීම හඳුනාගැනීමයි. දෙවැනි කාරණය නිවැරදි රෝග විනිශ්චය අනුව සුදුසු ප්‍රතිකාරවලට යොමු වීමයි. තුන්වැනි කාරණය ප්‍රතිකාරයෙන් පසුව නිසි පසු විපරමක් පවත්වාගෙන යාමයි. මේ කරුණු තුන ගැන සැලකිලිමත් වුණොත්, පියයුරු පිළිකාව වැළඳුණු කාන්තාවකට වුණත් ප්‍රතිකාර ලබාගෙන නැවත සාමාන්‍ය ජීවිතයට එන්න පුළුවන්. ඒ නිසා මේ ඔක්තෝබර් මාසයේදී අපි සමාජයට දෙන්න ඕනේ ප්‍රධාන පණිවුඩය නම්, පියයුරු පිළිකාව ගැන බය වෙනවාට වඩා ඒ ගැන දැනුවත් වෙලා, මුල් අවස්ථාවේදීම හඳුනාගෙන නිසි ප්‍රතිකාරවලට යොමු වීමයි.” යැයි පිළිකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති වෛද්‍ය සංජීව ගුණසේකර පැවසීය.
දිනකට පියයුරු පිළිකා රෝගීන් පහළොස් දෙනකු පමණ හඳුනාගන්නා අතර, තිදෙනකු පමණ ජීවිතයෙන් සමුගන්නා බව සමීක්ෂණ වාර්තාවලින් පෙන්නුම් කෙරේ. එබැවින් පියයුරු පිළිකාව පිළිබඳ කතාබහ ඔක්තෝබර් මාසයට පමණක් සීමා කළ යුතු මාතෘකාවක් නොවේ. ගෝලීය වශයෙන් පියයුරු පිළිකාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා වෙන් කර ඇති මේ මාසය, ඒ පිළිබඳ කතා කිරීමට ආරම්භයක් පමණක් විය යුතුය.
පිළිකා රෝගී තත්ත්වයන් ගෝලීය වශයෙන් මෙන්ම ශ්‍රී ලංකාව තුළද වර්ධනය වෙමින් පවතින බව දක්නට ලැබේ. ඒ සඳහා විවිධ කරුණු බලපාන අතර, ඒ අතරින් අපගේ වැරදි ආහාර රටාවද ප්‍රධාන හේතුවක් ලෙස සැලකිය හැකිය. මත්පැන් සහ දුම්කොළ භාවිතය, ශාරීරික ව්‍යායාමවල නිරත නොවීම, අසෞඛ්‍ය සම්පන්න ජීවන රටාව වැනි කරුණුද පිළිකා අවදානම ඉහළ නැංවීමට බලපාන සාධක අතර වේ. මෙය ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ තත්ත්වයක් නොව, ලොව පුරා දක්නට ලැබෙන ප්‍රවණතාවකි.
එබැවින් පිළිකා අවදානම අවම කර ගැනීම සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් අනුගමනය කිරීම, නිසි ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත වීම සහ දුම්කොළ හා මත්පැන් භාවිතයෙන් වැළකී සිටීම ඇතුළු නිවැරදි ජීවන රටාවකට යොමුවීම වැදගත් වේ. එමෙන්ම පිළිකාවක් වැනි රෝග තත්ත්වයක් මුල් අවස්ථාවේදීම හඳුනාගෙන, නිසි පරීක්ෂණ හා ප්‍රතිකාර සඳහා යොමු වුවහොත් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමටත්, බොහෝ අවස්ථාවල සම්පූර්ණ සුවය ලැබීමටත් හැකියාව පවතී.
”අවුරුදු විස්සට වැඩි සියලුම කාන්තාවන් මාසයකට වරක් තමන්ගේ පියයුරු තමන්ම පරීක්ෂා කරගන්න පුරුදු වෙන්න ඕනේ. ඒක බොහොම සරල පරීක්ෂාවක්. මේක ප්‍රජාවට ලේසියෙන් මතක තියාගන්න පුළුවන් විදිහට අපි 'TLC' සංකල්පය හඳුන්වා දෙනවා. ඒ Touch-Look-Check යනුවෙන්.
Touch කියන්නේ මුලින්ම තමන්ගේ ඇඟිලිවලින් පියයුර සම්පූර්ණයෙන්ම ආවරණය වෙන විදිහට, හැම පැත්තක්ම මෘදුව අතගාලා වෙනසක් තියෙනවද කියලා බලන එක. ඒ වගේම කිහිලි ප්‍රදේශයත් හොඳින් පරීක්ෂා කරලා, අසාමාන්‍ය ගැටිත්තක් හෝ වසා ගැටිත්තක් වගේ දෙයක් තියෙනවද කියලා බලන්න ඕනේ.
Look කියන්නේ තමන්ගේ ඇස්වලින් පියයුරු දෙක දිහා බලන එක. පියයුරේ හැඩයේ, ප්‍රමාණයේ, සමේ පෙනුමේ හෝ තනපුඩුවේ යම් වෙනසක් තියෙනවද කියලා නිරීක්ෂණය කරන්න ඕනේ.
මේ විදිහට Touch සහ Look තුළින් යම්කිසි අසාමාන්‍ය වෙනසක් දැනුණොත් හෝ පෙනුණොත්, ඒක නොසලකා ඉන්න එපා. වෛද්‍යවරයකු වෙත යොමු වෙලා පරීක්ෂා කරගන්න. ඒක තමයි අපි Check යනුවෙන් හඳුන්වන්නේ. ඒ නිසා මේ TLC කියන සරල වචන තුන මතක තියාගන්න. Touch, Look, Check. තමන්ගේ සිරුර ගැන තමන්ම අවධානයෙන් ඉන්න එක පියයුරු පිළිකාවක් කල් ඇතිව හඳුනා ගැනීමේදී වැදගත් වෙනවා.” යැයි මහරගම ඉන්දිරා පිළිකා පදනමේ සභාපතිනි වෛද්‍ය ලංකා ජයසූරිය පැවසීය.
ඉන්දිරා පිළිකා භාරය යනු පිළිකාවට මුහුණ දෙන රෝගීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට වෛද්‍යමය පමණක් නොව, මානසික, සමාජීය හා ආර්ථික සහාය ලබාදීම අරමුණු කරගත් සංවිධානයකි. 2016 වසරේදී පිළිකාව හේතුවෙන් ජීවිතයෙන් සමුගත් ඉන්දිරා ජයසූරියගේ මතකය වෙනුවෙන් කරු ජයසූරිය මහතා විසින් මෙම භාරය ආරම්භ කර තිබේ.
පිළිකා රෝගීන් සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් උපදේශන සහාය, මූල්‍ය සහ ප්‍රවාහන ආධාර, ඖෂධ හා පරීක්ෂණ සඳහා සහාය, හිසකෙස් හා විග් පරිත්‍යාග වැඩසටහන්, පියයුරු කෘත්‍රිම අවයව ලබාදීම ඇතුළු වැඩසටහන් රැසක් එම භාරය ක්‍රියාත්මක කරයි. පියයුරු පිළිකාව සම්බන්ධයෙන්ද ඔඛක් TLC (Touch, Look, Check) වැනි දැනුවත් කිරීමේ වැඩසටහන් හරහා මුල් අවස්ථාවේ හඳුනාගැනීමේ වැදගත්කම පිළිබඳ ජනතාව දැනුවත් කරයි.
“පිළිකාව සමඟ සටන් කරන අය වෙනුවෙන් සහාය වීම, සුවය ලැබූවන් අගය කිරීම සහ බලාපොරොත්තුව කිසිදා අත් නොහැරීම” යන දැක්මකින් ක්‍රියාත්මක වන ඉන්දිරා පිළිකා භාරය, පිළිකාවට මුහුණ දෙන පුද්ගලයකුට තමන් තනිවී නැති බව දැනෙන්නට උපකාර කරන සහායක පද්ධතියක් ලෙසද කටයුතු කරයි.
”දැනට කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් කිහිපයකම පියයුරු ආශ්‍රිත රෝග තත්ත්වයන් හඳුනාගැනීම සහ ප්‍රතිකාර සඳහා විශේෂ අංශ තියෙනවා. කාන්තාවකට පියයුරේ යම් වෙනසක් දැනුණොත්, සතියේ දිනවල මේ අංශවලට ගිහින් අවශ්‍ය වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබාගන්න පුළුවන්. වෛද්‍යවරයාගේ නිර්දේශය අනුව අවශ්‍ය පරීක්ෂණ සිදු කරනවා. ඒ අතර මැමෝග්‍රෑම් පරීක්ෂණය, අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂණය වගේම, අවශ්‍ය අවස්ථාවල ඉදිකටුවක් භාවිත කරලා සෛල පරීක්ෂාවක් කරනවා. ඒ පරීක්ෂණවල ප්‍රතිඵල අනුව තමයි ඉදිරි ප්‍රතිකාර ක්‍රම තීරණය කරන්නේ.
විශේෂයෙන් අවුරුදු 30ත් 40ත් අතර වයස් සීමාවේ කාන්තාවන් අතර වැඩි වශයෙන් මේ රෝග තත්ත්වය දක්නට ලැබෙන අවස්ථා තියෙනවා. ඒ නිසා වයස ගැන විතරක් හිතලා නොසිට, තමන්ගේ පියයුරු සම්බන්ධයෙන් යම් අසාමාන්‍ය වෙනසක් දැනුණොත් ඒක නොසලකා හරින්නේ නැතුව වෛද්‍යවරයකු වෙත යොමුවීම වැදගත්. ඒ වගේම අවුරුදු විස්සට වැඩි කාන්තාවන් තමන්ගේ පියයුරු ගැන මාසිකව ස්වයං පරීක්ෂාවක් කරගැනීමත් වැදගත්.
පියයුරු පිළිකාව කියන්නේ ප්‍රතිකාර කළ හැකි රෝග තත්ත්වයක්. විශේෂයෙන් මුල් අවස්ථාවේදී හඳුනාගත්තොත් ප්‍රතිකාරවලින් ඉතා හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. මුල් අවස්ථාවේදී රෝගය හඳුනාගත්තොත් ඇතැම් අවස්ථාවල පියයුරු සම්පූර්ණයෙන් ඉවත් කරන ශල්‍යකර්මයක් අවශ්‍ය නොවී, රෝගයේ ස්වභාවය අනුව පියයුර ආරක්ෂා කරගනිමින් ප්‍රතිකාර කිරීමටත් හැකියාව තියෙනවා.” යැයි වෛද්‍ය ලංකා ජයසූරිය වැඩිදුරටත් සඳහන් කළාය.
පිළිකාව සමඟ සටන් කරන රෝගියකුට අවශ්‍ය වන්නේ වෛද්‍ය ප්‍රතිකාර පමණක් නොවේ. එම කාලය තුළ ඇතිවන මානසික පීඩනය, ආර්ථික අපහසුතා සහ දෛනික ජීවිතයේ ගැටලු සඳහාද සහාය අවශ්‍ය වේ. මේ අවශ්‍යතාව හඳුනාගනිමින් ඉන්දිරා පිළිකා භාරය මඟින් රෝගීන් සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි. පියයුරු පිළිකාව හේතුවෙන් පියයුරේ කොටසක් හෝ සම්පූර්ණයෙන් ඉවත් කිරීමට සිදුවන කාන්තාවන් සඳහා පියයුරු කෘත්‍රිම අවයව ලබාදීමේ වැඩසටහනක්ද එහි ක්‍රියාත්මක වේ. එමඟින් ශල්‍යකර්මයකින් පසු කාන්තාවකට තම ශරීරයේ හැඩය පිළිබඳ විශ්වාසය නැවත ඇති කරගෙන දෛනික ජීවිතයට යළිත් හුරු වීමට සහායක් ලැබේ.
එමෙන්ම පිළිකා ප්‍රතිකාර හේතුවෙන් හිසකෙස් අහිමි වන රෝගීන් සඳහා හිසකෙස් හා විග් ලබාදීම, රෝගීන්ට නොමිලේ උපදේශන හා මානසික සහාය ලබාදීම, ප්‍රතිකාර සඳහා ගමන් කිරීමට අවශ්‍ය ප්‍රවාහන සහාය මෙන්ම ඖෂධ, පරීක්ෂණ සහ වෙනත් අත්‍යවශ්‍ය අවශ්‍යතා සඳහාද සහාය ලබාදෙන වැඩසටහන් ක්‍රියාත්මක වේ.
”ඉන්දිරා පිළිකා භාරයෙන් අපි පියයුරු පිළිකාව සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පාසල්, කාර්යාල ඇතුළු විවිධ ස්ථානවලදී සිදු කරනවා. ඒ වගේම අපේ ආයතනයට දිනපතා පිළිකා රෝගීන් විශාල පිරිසක් පැමිණෙනවා. ඒ අතරින් සැලකිය යුතු පිරිසක් පියයුරු පිළිකාවට ගොදුරු වූ කාන්තාවන්. ඔවුන්ට අවශ්‍ය වන්නේ ප්‍රතිකාර පමණක්ම නොවෙයි. රෝගයත් එක්ක ඔවුන් මුහුණ දෙන ආර්ථික හා සමාජීය ගැටලු සඳහාත් අපි හැකි ආකාරයෙන් සහාය වෙනවා. ඒ අනුව අවශ්‍ය ඖෂධ ලබාදීම, ගමන් වියදම් සඳහා සහාය වීම, දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබාදීම, විග් ලබාදීම, පියයුරු ආදේශක ලබාදීම, වියළි ආහාර සලාක ලබාදීම වගේම රෝගියාට හෝ පවුලේ සාමාජිකයකුට ආදායමක් උපයාගත හැකි මාර්ගයක් සකස් කරගැනීම සඳහා විවිධ පුහුණු වැඩසටහන් ලබාදීමත් අපි සිදු කරනවා.
ඒ වගේම පියයුරු පිළිකාව සම්බන්ධයෙන් පවුලේ ඉතිහාසයත් වැදගත් වෙනවා. යම් කාන්තාවකගේ ආච්චි අම්මා, මව වැනි සමීප පවුලේ සාමාජිකයන්ට පියයුරු පිළිකාව වැලඳී තිබුණා නම්, ඇයගේ අවදානම පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබාගෙන සුදුසු පරීක්ෂණ සිදු කරගැනීම වැදගත්.” යැයි වෛද්‍ය ලංකා ජයසූරිය පවසන්නීය.
ඇය කාන්තාවකි. කාගේ හෝ මවකි... දියණියකි... බිරිඳකි... සහෝදරියකි...
ඇයගේ ජීවිතය ඇය වටා සිටින ආදරණීය මිනිසුන්ගේ ජීවිත සමඟ බැඳී තිබේ. එබැවින් පියයුරු පිළිකාව යනු ඇයගේ ජීවිතයට පමණක් සීමා වූ අභියෝගයක් නොවේ. එය ඇය ආදරය කරන මිනිසුන්ගේ ජීවිතවලටද බලපාන අභියෝගයකි.
ඇය වෙනුවෙන්... ඇගේ දරුවන් වෙනුවෙන්... ඇය ආදරය කරන සියලු දෙනා වෙනුවෙන්...
ඉන්දිරා පිළිකා භාරය මෙන්ම මනුෂ්‍යත්වයෙන් පිරුණු තවත් දෑත් ඇය වටා එක්වෙද්දී, පිළිකාවට එරෙහි ඇගේ ගමනට බලාපොරොත්තුවක් ඉතිරි වේ.
දිශානි ජයමාලි කරුණාරත්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd