
දියවැඩියාව කියන්නේ අපි ගන්න ආහාරවල තිබෙන ග්ලූකෝස් සිරුරට ගන්න තිබෙන හැකියාව අඩපණවීම නිසා රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉහළයෑමේ තත්ත්වයක්. මෙය ප්‍රධාන වශයෙන්ම සිදුවෙන්නෙ අග්න්‍යාශයෙන් ඉන්සියුලින් හෝමෝනය නිපදවීම අඩපණවීම හෝ නිපදවන ඉන්සියුලින්වලට සිරුරේ සෛල නිසි පරිදි ප්‍රතිචාර නොදැක්වීමයි .
බොහෝදෙනෙක් තුළ තිබෙන වැරදි මතයක් තමයි දියවැඩියාව හැදුණට පසු ජීවිතේ රස නැතිවෙනබව. දියවැඩියාව කිසිම රසක් නැති කෑම විතරක් කන්න සිදුවෙන ලෙඩක් නොවෙයි. නිවැරදි ආහාර තේරීම් සහ නිවැරදි ආහාර පිසීම් ක්‍රම දැනගෙන සිටියොත් රස නහර පිනායන ලෙස කෑමවේලක් සකසාගෙන රුධිරයේ සීනි මට්ටමත් මනාව පාලනය කරගෙන යන්න පුළුවන්.
බත් පිඟානේ රස රහස
පිඟානේ ක්‍රමවේදය : චක්එැ පැඑදරා♦ලෝකයට හඳුන්වා දී තිබෙන්නේ ඇමරිකන් දියවැඩියා සංගමයෙන්. රසවත් ආහාරවේලක් සමරබරව සකසාගන්න සුදුසු ක්‍රමයක් විදියට තමයි මෙය හඳුන්වා දී තිබෙන්නෙ. මෙහිදී ඔවුන් පිඟාන කොටස් තුනකට බෙදනවා.
පිඟානෙ හරි අඩක් පිෂ්ඨය අඩු තන්තු බහුල එළවළු, පලාවර්ගවලට වෙන් කරනවා. මුරුංගා, බණ්ඩක්කා, මෑ කරල්, කරවිල, නිවිති, මුගුණුවැන්න, ගොටුකොළ ආදී පිටි ගතිය නැති එළවළු පලා වර්ග එ් සඳහා භාවිත කරන්න ඕිනෑ.
ඉතිරි හතරරෙන් එක් කොටසක් වෙන් වෙන්නෙ ප්‍රෝටීන් බහුල ආහාරවලටයි. එම කොටස පිරෙන්න ඕිනෑ මස්, මාළු, බිත්තර, කරවල, හතු ආදී ප්‍රෝටීන් බහුල ආහාරවලිනුයි.
පිඟානේ ඉතිරි කොටස කාබෝහඩ්රේට්වලට වෙන් කරන්න ඕනෑ. එතැනදි තෝරාගන්න ඕනෑ සංකීර්ණ කාබෝහයිඩ්රේට්. නිවුඩු සහලේ බත්, ඕට්ස්, කඩල, මුංඇට වැනි දෑ සඳහා තෝරාගන්න ඕනෑ.
කුළුබඩු මැජික්
ආහාරයක රසය තීරණය වෙන්නෙ තෙල්, ලුණු, සීනි මතම නොවෙයි. ඒ සඳහා දේශීය කුළුබඩු භාවිත කරන්න පුළුවන්. දියවැඩියා රෝගියෙක් විතරක් නොවෙයි හැම පුද්ගලයෙක්ම අධික ලුණු, අධික තෙල්වලින් පරෙස්සම් වෙන්න ඕනෑ. දියවැඩියාවත් එක්ක අත්වැල් බැඳගෙන එන අධික රුධිර පීඩනය, හෘදයාබාධ, කොලොස්ටරෝල්වලින් මිදෙන්නත් ලුණු, තෙල්, පිටි අධික ආහාර නොගෙන සිටීම බලපානවා. දේශීය කළුබඩු මිස වෙළෙඳපොළේ තිබෙන රසකාරක භාවිතය නම් සුදුසු නැහැ. එවැනි දෑ භාවිතයෙන් සිදුවෙන්නෙ ඔයා කබලෙන් ලිට වැටෙන එක විතරයි.
කුරුඳු ගෙනෙන පැණි රස
කුරුඳු ස්වභාවික පැණි රසයක් ආහාරයට එකතු කරනවා. කුරුඳුවලට පුළුවන් ඉන්සියුලින් සංවේදීතාව වැඩි කර සිරුරේ සීනි මට්ටම පාලනය කරන්න. ඔයා හදන තේ එකට, වෑංජනවලට ලෝබ නැතිව කුරුඳු කැබැල්ලක් දාන්න පුරුදුවෙන්න.
සුවඳයි - රසයි - පාටයි
උළුහාල් සහ කහවලට ආහාර රසවත් කරනවා වගේම රුධිරයේ සීනි අවශෝෂණය කරගන්න පුදුම හැකියාවක් තිබෙනවා. ඊට අමතරව ආහාරවලට විශේෂ සුවඳක් සහ රසයක්ද ගෙනැත් දෙනවා. ඒවගේම දෙහි, අමු මිරිස්, ඉඟුරු, සුදුලූනු, සේර, කොත්තමල්ලි කොළ ඖෂධීය ගුණයෙන් පිරුණු ස්වභාවික ආහාරයි.
මේවා ආහාරයට රසවත්බවක් වගේම සිරුරට නිරෝගීබවත් එකතු කරනවා.
ආදේශක එකතු කරගන්න
එක්වරම ජීවන රටාව වෙනස් කිරීම පහසු නැහැ. මේ නිසා මුලින්ම දියවැඩියාව හැදිලා නම් ‘ඇයි දියවැඩියාව හැදුණෙ?’ කියල කල්පනා කරල බලන්න. මෙතෙක් කලක් අනුගමනය කළ වැරදි ජීවන රටා මොනවද කියල එතකොට ඔයාට තේරෙනවා.
ඔයාගෙ ජීවන රටාවෙ කොතැනක හෝ ලොකු ගැටලුවක් තිබෙන නිසයි ඔයාට දියවැඩියාව වැලඳී තිබෙන්නෙ. දැන් උත්සාහ කරන්න ඕනෑ අන්න ඒ වැරදි නිවැරදි කරගන්නයි. ආහාර රටාව සහ ජීවන රටාව වෙනස් කිරීම දවසෙන් දෙකෙන් කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ඒ සඳහා කැපවීම අත්‍යවශ්‍යයි. ඒත් සමගම අලුත් ජීවන රටාවට හුරුවුණාට පසු එය ටික දවසක් යද්දි ජීවිතේට හුරුවෙනවා. උදාහරණයක් විදියට ඔයා මෙතෙක් ආහාරයට ගත්තෙ සුදු බත්, පාන් වැනි දෑ නම් ඒ වෙනුවට. බාර්ලි, කුරක්කන් රොටී, රතු කැකුළු බත්, ඕට්ස් වැනි දේවල් ආහාරයට ගන්න පුළුවන්. ඒවගේම ආහාර ගැඹුරු තෙලේ බැදීම වෙනුවට එයාර් ෆයර් එක භාවිත කරන්න පුළුවන්. එහෙම නැතිනම් අවන් එකක බේක් කරගන්න පුළුවන්. ග්‍රිල් කරගත්, මස්, මාළු වගේම තෙල් ස්වල්පයක් දමා තෙම්පරාදු කරගත් කඩල ආහාරයට ගන්න පුළුවන්.
පැණිබීම කියන්නේ අධික ලෙස සීනි යෙදූ පෝෂක සංඝටක ඉතාම අඩුවෙන් යෙදූ පානයක්. ඒ වෙනුවට සීනි අඩංගු නොකර හැදූ පානයක් (රණවරා, බෙලි මල්, දොඩම්, දෙහි, කුරුඳ් දැමූ තේ) පානයට හුරුවෙන්න එයා හිතන තරම් ආමාරු නැහැ.
සීනි නැතිව මෙවැනි පානයක් බොන්න එක්වරම අපහසු වෙන්න පුළුවන්. ඒ නිසයි ක්‍රමානුකූලව සීනි ආහාර ගැනීම සීමාකරගනිමින් ගොස් සීනි නැති තැනටම යන්න ඕනෑ. එය හුරුවුනාට පස්සෙ කිසිම ගැටලුවක් නැහැ. හුඟදෙනෙක් ඩෙසර්ට් එකක් ගන්න හුරුවෙලා තිබෙනවා. ඔයා කන මොකක් හෝ පැණි රස කෑමක් සතියකට එක් දවසකට සීමා කරන්න පුළුවන් නම් ඉතාම හොඳ පුරුද්දක්.

හිස්බඩ පැණි රස එපා
ඔයාට එක්වරම සිනි ආහාර නැවැත්විම අපහසු නම් කිසිම වෙලාවක හිස්බඩ පැණි රස ආහාරයක් ගන්න එපා. හිස්බඩ පැණි රස කෑවම එය ඉක්මනින්ම ග්ලූකොස්බවට පත් වී රුධිරයට උරා ගන්නවා. පැණිරස ආහාරයක් ගන්න අවශ්‍යම නම් ප්‍රධාන ආහාරවේල අතරතුර ගන්න. එහිදී ආහාරයේ තිබෙන තන්තු නිසා සිනි මට්ටම වැඩිවීම අවම වෙනවා. හැබැයි මතක තබාගන්න, පැනි රස නොකන තැනටයි මනස හදාගන්න ඕනෑ. සීනි රහිත අතුරුපසක් සඳහා පේර,අලිගැටපේර, ඇපල් කැබැල්ලක් ආහාරයට ගන්න පුළුවන්. සීනි අධිකව දැමූ බිස්කට්වලට වඩා මේවා ගුණයෙන් ඉහළයි.
වෙනස්වෙන්න දියවැඩියාව හැදෙන්න ඕනැ නෑ
ජීවන රටාව වෙනස් කරගන්න දියවැඩියාව හැදෙනතුරු බලන් ඉන්න එපා. ආහාර ගත් පසු එකතැන ඉන්නෙ නැතිව විනාඩි 10 - 15 ක් නිවෙස ඇතුළෙ හෝ ඇවිදින්න. එවිට ආහාරයේ තිබෙන ග්ලූකෝස් අපේ මාංශපේශි විසින් ඒවායේ ක්‍රියාකාරිත්වයට ක්ෂණිකව උරාගන්නවා.
දිනකට පැය 7 – 8ක් සුවදායී නින්දක් අවශ්‍යමයි. නින්ද සුවදායී නොවන විට අපේ මොළයෙන් කෝට්සෝල් නැමති ස්ට්‍රේස් හෝමොනය නිකුත් කරනවා. එය ඉන්සියුලින් ක්‍රියාකාරිත්වය අඩපණ කරනවා. ඒවගේම මනස ආතතියෙන් පෙළෙන විට අමතර සීනි ප්‍රමාණයක් රුධිරයට මුදා හරනවා. මේ නිසා ප්‍රමාණයවත් නින්ද සුවදායී දිවියකට අත්‍යවශ්‍යයි.
දියවැඩියාව පාලනය කියන්නේ බඩගින්නෙ ඉන්න එක නොවෙයි. සීනි දැමූ ආහාර වෙනුවට වෙනත් රසවත් ආහාර සොයා ගැනීමයි.
උපදෙස් - පෝෂණවේදී මධුෂාන් ඇතුගල
උදේශිකා නෙලුම්දෙනිය ( I J)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd