අදහස් දැක්වීම - ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ, ව්‍යවහාරික විද්‍යාපීඨයේ කථිකාචාර්ය, ආචාර්ය                                
ගයාන් අමරසූරිය

අදහස් දැක්වීම - ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ සදුමිනී සිරිවර්ධන

කාර්යබහුල ජීවන රටාව තුළ වර්තමානය වන විට ලෝකය සාමාන්‍ය ජනජීවිතය පහසු කරවන උපාංග හා මෙවලම් වෙත ඉතා ශීඝ්‍රයෙන් යොමුවෙමින් පවතී. අප දිනපතා භාවිත කරන බොහෝ දේවල් අපිට ආරක්ෂිත යැයි සිතන නමුත්, අපට නොදැනී අපගේ ශරීරයට ඇතුළු වන හා දිගුකාලීනව සෞඛ්‍යයට හානිකරන රසායනික ද්‍රව්‍ය ඒවායේ අඩංගු වන බව විද්‍යාත්මක ලෝකය මේ වන විට අනාවරණය කරමින් පවතී. ඒ අතරින් ප්‍රධානම සංඝටකයක් ලෙස PFAS (Per- and Polyfluoroalkyl Substances) ලෙස හැඳින්වෙන රසායනික සමූහය සැලකිය හැකිය.

දෛනික ජීවිතයේ හමුවන PFAS මූලාශ්‍ර

ඔබ නිවස තුළින්ම දිනෙන් දින PFAS මාරයාට ගොදුරු වන බව ඔබ විශ්වාස කරනවාද? උදාහරණයක් ලෙස ආහාර පිසීමට භාවිත කරන මුළුතැන්ගෙය තුළ ඔබ නොදැනුවත්වම PFAS කාරක රාශියකට නිරාවරණය වේ. වර්තමානයේ ඉතාමත් බහුලව භාවිත කරන බාල තත්ත්වයේ ආහාර නොඇලෙන භාජන (Non-stick Cook wares) යනු ඉතා ප්‍රසිද්ධ PFAS කාරකයකි. ක්ෂණික ආහාර ඇසුරුම් නිෂ්පාදනය සඳහාද මෙම රසායනික කාණ්ඩය භාවිත කරනු ලබන්නේ එහි අඩංගු ජල හා තෙල් ප්‍රතිරෝධීතාවය හේතුවෙනි. මීට අමතරව ජල ප්‍රතිරෝධී ඇඳුම් (Water Proof Jackets), කුඩ, රෙදි, සීත කබා සහ විෂබීජ ආරක්ෂක ආවරණ නිෂ්පාදනය සඳහාද PFAS භාවිත කරනු ලබයි. තවද කැළැල් නොරඳන ගෘහ භාණ්ඩ, බුමුතුරුණු, සමහර තීන්ත වර්ග හා ඉලෙක්ට්‍රොනික උපාංග නිෂ්පාදනය සඳහාද මෙම රසායනික කාණ්ඩය සංඝටකයක් ලෙස යොදාගනු ලබයි.

නවතම විද්‍යාත්මක පර්‌යේෂණ වලින් අනාවරණය කර ඇති පරිදි, මෙම රසායනිකවල ඇති අද්විතීය ගුණාංග හේතුවෙන්, තොල් ආලේපන, මුහුණු ආලේපන වැනි රූපලාවන්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහාද බහුල ලෙස භාවිත කරයි. පෞද්ගලික සත්කාරක නිෂ්පාදන (Personal Care Products) අතරට ගතහොත් ෆේස්වොෂ්, බොඩිලෝෂන්, සීරම් සහ ෂවර් ජෙල් ආදිය නිෂ්පාදනය සඳහාද සමහර PFAS වර්ග යොදා ගනී. PFAS වල ජල හා තෙල් ප්‍රතිරෝධී ගුණය නිසා සමේ තෙතමනය ආරක්ෂා කරන අතර, පිටතින් තෙල් වැනි ද්‍රව්‍ය සමට ඇතුළු වීම වළක්වාලයි.

PFAS අපගේ ශරීරයට ඇතුළු වන්නේ කෙසේද?

මිනිසා මෙම රසායනික කාණ්ඩයට නිරාවරණය වන ප්‍රධානම ආකාර ලෙස අපිරිසුදු ජලය භාවිතය සහ දූෂිත ආහාර පරිභෝජනය දැක්විය හැකිය. PFAS යනු ජලයේ ඉතා හොඳින් ද්‍රවණය වන හා ජලය තුළ වේගයෙන් සංසරණය වන රසායනිකයකි. මේ වනවිට මෙම රසායනික මාරයා කෙතරම් පැතිරී පවතී ද යත්, ඉතා දුරස්ථ ප්‍රදේශ වල ජීවත් වන හිමවලසුන්ගේ රුධිරයේ පවා PFAS අඩංගු බව විද්‍යාඥයන් විසින් තහවුරු කරගෙන ඇත. නවතම පර්‌යේෂණ වලින් හෙළිවී ඇති පරිදි මිනිස් මවුකිරි වල පවා මෙම රසායනික කාණ්ඩය අන්තර්ගත වීමට හැකියාව ඇත. ආහාර පිළිබඳව අවධානය යොමු කිරීමේ දී, Non-stick cook wares අධික තාපයට ලක්කිරීමේදී පිටවන වායූන් මගින්, ක්ශණික ආහාර ආවරණ මගින් සහ ආහාර පිසීමට අපිරිසුදු ජලය භාවිතය මගින් ප්‍රධානව ම ආහාර දූෂණය සිදුවී ශරීරය තුළට ගමන් කල හැකිය. යම් යම් අවස්ථා වලදී අපිරිසුදු ජලය පරිභෝජනය හේතුවෙන් ආහාරයට ගන්නා මත්ස්‍යයන් වැනි මුහුදු ආහාර තුළද PFAS අඩංගු විය හැකිය. එමෙන්ම සම මත රූපලාවන්‍ය ද්‍රව්‍ය ආලේපනය කිරීම නිසා සම හරහා ද PFAS ශරීරය තුළට ගමන් කළ හැකිය. මීටඅමතරව අපිරිසිදු වායූන් ආඝ්‍රාණය, දූවිලි වලට නිරාවරණය, මෙම රසායනික සංඝටක අඩංගු උපාංග භාවිතය වැනි මාර්ග හරහා ද ශරීරය තුළට PFAS ඇතුළු වීමට හැකියාව ඇත.

සෞබ්‍යයට ඇති බලපෑම

මේ ආකාරයට විවිධ ක්‍රමවලින් ශරීරයට ඇතුළු වන මෙම රසායනික සංඝටක සාමාන්‍ය පරිවෘත්තීය ක්‍රියාවලදී බිඳනොවැටෙන අතර, දීර්ඝකාලීනව ශරීරය තුළ එකතුවෙමින් අයහපත් ප්‍රතිඵල ඇතිකරයි. උදාහරණ ලෙස හෝර්මෝන අසමතුලිතතා, ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල වීම, ගර්භිණී කාලයේ කලලයේ වර්ධනයට බලපෑම් ඇතිකිරීම, සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි වීම හා පිළිකා වැනි රෝග තත්ත්වයන් වලට මගපාදයි. වකුගඩු සහ වෘෂණ කෝෂ පිළිකා ඇතිවීමට PFOA නම් PFAS වර්ගය බලපාන බව මෑතකදී කරන ලද අධ්‍යනයකින් හෙළි වී ඇත. මීට අමතරව අසාමාන්‍ය පරිවෘත්තීය ක්‍රියාවලි, අධි රුධිර පීඩනය, ස්නායු ආබාධ සහ ආඝාතය ඇතුළු අනෙකුත් සනාල රෝගද ඇතිකිරීමේ සම්භාවිතාවයක් සහිතයි. ළඳරුවන්, කුඩා දරුවන්, නව යොවුන් වියේ පසුවන්නන්, වැඩිහිටියන්, අධිකව රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වන සේවකයන් PFAS මගින් ඇතිවන සංකූලතා වලට ගොදුරු වීමේ වැඩි අවදානමක් පවතී.

අවදානම අවම කර ගැනීමේ  සරල පියවර

Non-stick භාජන භාවිත කිරීමේදී ඒවා අධික උෂ්ණත්වයට නිරාවරණය නොකිරීමට වග බලාගැනීමෙන් ඒවායින් අහිතකර වායු පිටවීම වළක්වාගත හැකිය. එමෙන්ම Teflon Pan සහ බාල තත්ත්වයේ Non-Stick භාජන වෙනුවට සෙරමික්, මැටි වැනි භාජන වෙත යොමු වීමද සිදුකළ හැකිය. භාවිතයෙන් පසු ඉවත දමන නිෂ්පාදන වෙනුවට නැවත භාවිත කළ හැකි නිෂ්පාදන වෙත යොමුවීමෙන් හා හැකි සෑමවිටම PFAS Free ලෙස ලේබල් කර ඇති නිෂ්පාදන භාවිතයෙන් පරිසරයට මුදාහරින PFAS ප්‍රමාණය අවම කරගත හැකි වේ. පරිභෝජනය සඳහා පිරිසුදු සහ විශ්වසනීය ජල මූලාශ්‍ර තෝරගත යුතුය. ජල මූලාශ්‍ර අවට කැළිකසළ ගොඩගැසීමෙන් වැළකිය යුතුය. මක්නිසාද යත් එමගින් මෙම විෂ සහිත රසායනික සංඝටක ජල මූලාශ්‍රවලට කාන්දු වීමට හැකියාව පවතින බැවිනි. එමෙන්ම පෞද්ගලික සත්කාරක නිෂ්පාදන භාවිතයේදීද ඉතා සැලකිලිමත් විය යුතු අතර, අධික ලෙස භාවිතය හෝ නොදන්නා නිෂ්පාදනවලට යොමු වීමෙන් වැළකී සිටිය යුතුය.

පියුමිකා වීරසූරිය