ඩෙංගු රෝගය වසංගත තත්ත්වයකින් රට පුරා පැතිරමින් තිබෙනවා. ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් පිරි යද්දී සියලුදෙනාගේම පළමු වගකීම වන්නේ ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කරමින් තම පරිසරය පිරිසුදුව තබා ගැනීමට උනන්දුවීමයි. ඩෙංගු රෝගීන් වාර්තාවීම අවම කර ගැනීමට ඇති ප්‍රධාන ක්‍රමයද එයයි.

මේ සටහනින් අප කතා කරන්නේ ඩෙංගු රෝගයට ගොදුරු වී එයින් සුවය ලැබූ පුද්ගලයෙකුගේ පෝෂණය පිළිබඳයි. විශේෂයෙන්ම රෝගියා නැවත සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට හැකි නිරෝගී තත්වයකට ගෙනඒමට ආහාර සහ විවේකය තදින්ම බලපානවා.
පෝෂණය අවශ්‍ය ඇයි?
ඩෙංගු රෝගය වැලඳුණු පසු රුධිර පට්ටිකා (Platelets) ප්‍රමාණය වේගයෙන් අඩුවෙනවා. විජලනය වෙන්නත් පුළුවන් සජලනය වැඩි වෙන්නත් පුළුවන්. . ඊට අමතරව අක්මාව.ත හෘදයට හානි වෙන්නත් පුළුවන්. මේ නිසා රෝගය සුව වූ පසු පෝෂ්‍යදායී ආහාර මඟින් නැවත පට්ටිකා නිපදවීමට ශරීරයට ශක්තිය ලබාදිය යුතුයි.
ඒ විතරක් නෙවෙයි ඩෙංගු වැලඳුණු විට අධික උණ නිසා ශරීරයෙන් ජලය සහ ලවණ වර්ග වේගයෙන් ඉවත් වෙනවා. මේ නිසා පෝෂණීය දියර වර්ග මඟින් ශරීරයේ දියර මට්ටම සමබරව තබා ගැනීමටත් අවශ්‍යයි. ප්‍රතිශක්තිකරණය වර්ධනයට, වෛරසය සමග සටන් කිරීමට නම් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් විය යුතුයි. ඒ සඳහා විටමින් සහ ඛනිජ ලවණ අත්‍යවශ්‍ය වෙනවා. ඒවගේම ඩෙංගු වැලඳුණු අධික තෙහෙට්ටුව සහ මාංශ පේශි වේදනාව ඇති වෙනවා. පෝෂ්‍යදායී ආහාර මඟින් ශරීරයට අවශ්‍ය ක්ෂණික ශක්තිය සපයන නිසා පටක අලුත්වැඩියා කිරීමට, වෛරසය නිසා ශරීරයේ සෛල හා පටකවලට සිදුවන හානිය යථා තත්ත්වයට පත් කිරීමට ප්‍රෝටීන් බහුල ආහාර උදවු වෙනවා.
විවේකය අත්‍යවශ්‍යයි
ඩෙංගු රෝගය වැලඳුණේ කුමන වයසක කෙනෙකුට වුවත් විවේකය අත්‍යවශ්‍යයි. ඩෙංගු රෝගියා නිවෙසේ සිටි අයෙක් වුවත් රෝහලේ සිටි අයෙකු වුවත් සංකූලතාවලට (කම්පනය, රක්තපාතය) ලක්වූවකු වුවත් අඩුම තරමින් නිවෙසේ සිට දින පහක්වත් විවේකීව ගත කළ යුතුයි. එමෙන්ම දවසින් වැඩි කාලයක් ඇඳේ හාන්සි වී සිටීම, නිදා ගැනීමද හොඳ විවේකයක් සිරුරට ලැබීමට බලපානවා.
විශේෂයෙන්ම සංකූලතාවලට ලක් වූ විට ඔවුන්ගේ රුධිර පට්ටිකා මට්ටම ඉතා බරපතළ ලෙස පහළ යනවා. එමෙන්ම හෘදය, අක්මාව වැනි අවයවවලට බලපෑම් ඇතිවෙනවා. මේ නිසා ඔවුන්ගේ සිරුරේ අවයව යථා තත්ත්වයට පත්වීමට පෝෂණීය ආහාර වගේම විවේකය අත්‍යවශ්‍ය වෙනවා.
රෝගීව සිට සුව වූ පුද්ගලයෙක් වැඩක් කරද්දි මහන්සි නම්වෙඩේ නවත්වන්න. එනම් සිරුර සූදානම් නෑ තව දුටත් වෙහෙසෙන්න. විවේක ගන්න.
රෝගීව සිටියදී සරල ආහාර වේලක්
ඩෙංගු රෝගියෙකුට දියර වර්ග ලබාදෙන්නේද අවම වශයෙන්. එසේ ලබාදිය යුතු දියර ප්‍රමානය සහ වෙලාව තීරණයෙ කරන්නේ වෛද්‍යවරයා විසින් . එබැවින් එම කාලය තුළ වෙනත් දියර වර්ග ලබාදීම නොකළ යුතුයි. ඒවගේම වෛද්‍යවරුන් නිර්දේශන නොකරන ආහාර හැර වෙනත් සරල පෝෂණීය ආහාරවේලක් රෝගියාට ලබාදීමේ වරදක් නැහැ.
මේ ආහාර දෙන්න එපා
අධික තෙල්වලින් පිසූ ආහාර, විශේෂයෙන් ගැඹුරු තෙලේ බැදපු ආහාර ගැනීම රෝගී තත්ත්වය පවතින විට සහ සුවවීමෙන් පසු දින කිහිපයකට හෝ පමා කිරීම ඉතා සුදුසුයි. එවැනි ආහාරවල අධික මේද අන්තර්ගතයක් අඩංගු වන අනිසා අක්මාව යථා තත්ත්වයට පත්වීමට එයින් බලපෑමක් ඇතිවිය හැකියි. එමෙන්ම ගැස්ට්‍රයිටිස් ඇති අයෙකුට නම් කොහෙත්ම සුදුසු නැහැ.
කුළුබඩු අධිකව යෙදූ ආහාරද ඩෙංගු රෝගියෙකුට සුදුසු නැහැ. අධිකව කුළුබඩු සහිත ආහාර පරිභෝජනය කිරීමෙන් ආමාශයේ අම්ල එකතුවීමට හේතුවිය හැකි අතර එමගින් ආමාශයේ සහ බඩවැල්වල තුවාල ඇතිවෙන්න පුළුවන්. . මෙවැනි හේතු රෝගියාගේ ඉක්මන් සුවයට ද බාධාවක්. එබැවින් සුවවෙමින් සිටින ඩෙංගු රෝගියට අධිකව කුළු බඩු යෙදූ ආහාර දීමෙන් වැළකීම අවශ්‍යයි.
එමෙන්ම වර්‍ණ සහිත ආහාරපාන ලබාදී නොදීමත් ඉතා සුදුසුයි.
සුදුසු ආහාර මොනවාද?
පුද්ගලයෙකුට රෝග වැලඳීම අවම කර ගැනීමට ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳින් ක්‍රියාකිරීම අවශ්‍ය වන අතරම ඩෙංගු උණ වැලඳුණු විටත් එය ජය ගැනීමට ශරීරය නොනවත්වා රෝග ඇති කරන රෝග කාරක සමග සටන් කරනවා. එයින් ජය ලබා ගැනීමට සහ ඉක්මන් සුවය ලබා ගැනීමට විටමින්, ඛනිජලවන, ප්‍රෝටීන් ආදියෙන් පොහොසත් ආහාර ගැනීම අවශ්‍යයි.
පොල් සහ තැඹිලි වතුර
ඩෙංගු රෝගියෙකුට ඇතිවන අධික උණ සහ වමනය නිසා සිරුර ඉක්මනින් විජලනයට පත්වෙනාව. එම තත්ත්වය නැති කිරීමට පොටෑසියම්, සෝඩියම් වැනි ඉලෙක්ට්‍රොලයිට් සහ අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රැසකින් පොහොසත් පොල් වතුර සහ තැඹිලි වතුර ඉතාම සුදුසුයි.
ඩෙංගු රක්තපාත තත්ත්වයේදී රුධිර ප්ලාස්මාව කාන්දුවීම නිසා රුධිර පීඩනය අඩුවිය හැකියි. එහිදී පොල් සහ තැඹිලිවතුරවල තිබෙන ඛනිජලවණ රුධිරයේ තරල මට්ටම නිසි ලෙස පවත්වා ගැනීමට උදව්වෙනවා.
මස් මාළු හොඳද?
මස් හෝ මාළු දිරවීමේ අපහසුතා ඇති කරන නි අතර අක්මාව යථා පත්ත්වයට පත්වීමටද බලපැම් ඇති කළ හැකියි. මේ නිසා ඩෙංගු රෝගියෙකු ට එම ආහාර නිර්දේශ කරන්නේ නැහැ. එහෙත් සුව ලබමින් සිටින කෙනෙකුට අධිකව මිරිස්, තුනපහ නොයොදා තම්බාගත් මස්, මාළු ලබාදීම ගැටලුවක් නොවෙයි. එහිදී සුප් එකක් ආකාරයට දිය හැකි නම් වඩාත් සුදුසුයි. එය ප්‍රතිශක්තිය වර්ධනයට මෙන්ම රුධිරය නිපදවීමට හොඳින් බලපානවා. එමෙන්ම එක්වරම හරක් මස්, ඌරුමස් ලබාදීම සුදුසු නැහැ. ඒවායේ තිබෙන අධික තෙල් රෝගියාට දිරවීමේ අපහසුතා ඇති කරන්න පුළුවන්. කුකුළු මස් ලබාදීම ගැටලුවක් නොවෙයි.
බිත්තර දෙන්නෙ තොහොමද?
බිත්තර තම්බා ආහාරයට දීම වඩාත් සුදුසුයි.
මේ එළවළු ගුණ වැඩියි
ඩෙංගු සුවවෙමින් සිටින පුද්ගලයෙකුට ආහාර තෝරා ගැනීමේදී ප්‍රමුඛත්වයක් දිය යුත්තේ විජලනය නිවැරදි කිරීම, රුධිර පට්ටිකා වැඩිවීම සහ ප්‍රතිශක්තිකරණය ඉහළ දමන ආහාරවලටයි. එහිදී නැවුම් එළවළු ප්‍රමුඛ තැනක් ගන්නවා.
වට්ටක්කා
ඉතා පහසුවෙන් ජීර්ණය වන විටමින් බහුල වට්ටක්කා රුධිර පට්ටිකා සහ ප්‍රතිශක්තිකරණය වැඩිදියුණු කිරිමට උපකාරී වෙනවා. අධිකව කුළුබඩු නොදා සකසන්නේ නැතිව තම්බා ආහාරයට දිය හැකි නම් වඩාත් හොඳයි.
කැරට්
බීටා කැරොටින් බහුල රුධිර සෛල නිපදවීමට මනා හැකියාවක් ඇති කැරට් සිරුරේ දුර්වලතාද මගහරිනවා.
පලාවර්ග
කොළ පැහැති පලා වර්ගවල විටමින් න සහ යකඩ බහුල නිසා රුධිරය කැටි ගැසීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමටත් උදව්වෙනවා.
බීට්රූට්
ඩෙංගු රෝගීන්ට බීට්රූට් නොදී සිටියත් සුවවෙමින් සිටින රෝගියෙකුට බීට්රූට් ඉතා සුදුසු එළවළුවක්.
පරිප්පු
ප්‍රෝටින් බහුල පරිප්පු සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිදියුණු කිරිමටත් මහත් සේ උපකාරී වෙනවා.
එළවළු සුප් දෙන්න
එළවළු එකින් එක දෙනවාට වඩා එළවළු කිහිපයක් සහ මස් හෝ මාළු යොදා සාදන ලද සුප් එකක් බීමට දීමෙන් වැඩි පෝෂණ ගුණයක් ලබාගත හැකි සේම දිරවීම ද පහසු කරවනවා. විජලනයද නැති කරනවා. සුප් උණුසුම්ව බීමට දෙන්න.
දොඩම්
දොඩම් යනු විටමින් K,Aසහ ප්‍රතිඔක්සිකාරකවලින් පොහොසත් පලතුරක්. දොඩම් එලෙසම හෝ යුෂ ආකාරයෙන්ද රෝගියට දිය හැකියි. ගෙදර හැදූ නැවුම් දොඩම් යුෂ පමණක් දෙන්න.
සමබල ආහාරවේලක් ගන්න
විටමින්, ඛනිජ ලවණ සහ ප්‍රතිඔක්සිකාරක වැනි අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක වීමට උපකාරී වෙනවා. ආහාර රුචිය නැතිවීම යාම හේතුවෙන් රෝගියාට රෝගී කාලය තුළ නිසි පෝෂණීය ආහාරයක් නොලැබෙන්නට පුළුවන්. මේ නිසා නිවෙසට ගෙනා පසු සමබල ආහාරවේලක් ලබාදීම අත්‍යවශ්‍යයි. රුදිර පට්ටිකා නිෂ්පාදනයටද එය බෙහෙවින් වැදගත්.
එළවළු, මාංස වර්ගයක්, පලා වර්ගයක් , ඇට වර්ගයක් සහිත ආහාර වේලක් වගේම පලතුරු, ඊට ඇතුළත් විය යුතුයි. හැකි හැමවිටම ශරීරය සජලනයවීම සඳහා දියර් වර්ග පානයද අවශ්‍යයි.
උපදෙස් - වෛද්‍ය භාග්‍යා මොහොට්ටි
උදේශිකා නෙලුම්දෙනිය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd