
මේ වෙද්දි ලංකාවෙන් මාස පහක කාලයට වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 48000 කට ආසන්නයි. දිනකට වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 1000ක් දක්වා ඉහළ ගිහින්. ප්‍රධාන රෝහල්වල එක් ඇඳකට රෝගීන් දෙදෙනකු බැගින් දැම්මත් වැඩිවන තරමට රෝගීන් වාර්තාවීම ශීඝ්‍රයෙන් වැඩිවෙමින් තිබෙනවා. මේ තත්ත්වය තවදුරටත් පැවතීම අපේ රෝහල් පද්ධතියට දරාගත නොහැකි වනු ඇතැයිද අධි වසංගත තත්ත්වයකට රට මුහුණ දෙනු ඇතැයිද සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.
ඩෙංගු රෝගීන් වාර්තාවීම මේ කාලයේදී සෑම වසරකම ඉහළ ගිතය්ත එම සංඛයාව සතියකට රෝගීන් 150 – 200 ක් තරම් වුවත් මේ වනවිට එය දිනකට 1000 ක් දක්වා ඉහළයාම අතා බරපතළ තත්ත්වයක්.
ඩෙංගු පරද්දන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට හෝ රෝහල් පද්ධතියට පමණක් බැහැ. ඒ සඳහා රටේ හැමදෙනාගෙම උනන්දුව දායකත්වය අත්‍යවශ්‍යයි. රට පුරාම ඩෙංගු රෝගීන් වාර්තාවෙද්දි ඔවුන්ගෙන් රෝහල් පිරී යද්දි ඔබේ නිවෙසේ අ යෙකුට ඩෙංගු රෝගය වැලඳී ඇතැයි පරීක්ෂණවලින් සනාථ වුවහොත් රෝහල්ගත නොකර රෝගියාට සංකූලතා ඇති නොවන පරිදි බලාගන්න විදියයි මේ සටහනින් පෙන්වන්නේ. එහිදී මතක තබාගත යුතුම දෙයක් නම් ඩෙංගු රෝගියෙක් එසේ නිවෙසේ තබා ගැනීමට පෙර ඒ සඳහා වෛද්‍ය උපදෙස් ලබාගත යුතුමයි. එසේ නොමැතිව මේ සටහන අනුමත කළ නොහැකියි.
තාවකාලිකව රෝගියා රෝහලට ඇතුළත් නොකළොත්
ඩෙංගු ප්‍රතිදේහජනක (NS1) පරීක්ෂණයෙන් ඩෙංගු රෝගය වැලඳී ඇතිබව තහවුරු වූ පමණින් රෝහල්ගතවෙන්න අවශ්‍ය නැහැ.
සමහරවිට මෙම පරීක්ෂණයෙන් ඩෙංගු රෝගය වැලඳී නැතිබව පැවසුනත් ඩෙංගු වයිරසය වැලඳී තිබෙන්නත් පුළුවන්.
රෝහල්ගත නොවී නිවෙසේ සිට රෝගියා බලාගන්නවා නම් එය සිදු කරන්න ඕනෑ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ මගපෙන්වීම මත පමණයි.
රෝගියාගේ දිනපතා සිදුකරන සම්පූර්ණ රුධිර පරික්ෂාවේ (FBC)සඳහන් වෙන රුධිර පට්ටිකා ප්‍රමාණය මත රෝහල්ගතවීම අවශ්‍යදැයි වෛද්‍යවරයා තීරණය කරාවි.
ගෙදර ඉන්න ඕනෑ මේ විදියට
ඩෙංගු රෝගියෙක් ගෙදර තියාගෙන බලාගන්නෙ මෙහෙමයි.
විවේකය
රෝගී තත්ත්වය සම්පූර්ණයෙන් අඩුවන තුරු ඔබ හොඳ විවේකයෙන් සිටීම අත්‍යවශ්‍යයි. නිවෙසෙන් බැහැරව නොගොස් නිවෙසටම වී ඉන්න ඕනෑ. රැකියාව, අමතර පන්ති, පාසලට හෝ අඩු තරමින් ළඟම ඇති වෙළෙඳසලට හෝ යාමෙන් වැළකී සුටිය යුතුයි.
උණ පාලනය කරන හැටි
උණ තත්ත්වය පාලනය කර ගැනීමට පැරසිටමෝල් නියමිත මාත්‍රාව පමණක් දෙන්න කිසිම හේතුවක් නිසා NSAIDs වර්ගයේ වේදනා නාශක නම් දෙන්න එපා.
ස්ටිරොයිඩ් වර්ගයට අයිති ප්‍රෙඩ්නිසොලෝන්, ඩෙක්සාමෙතසොන් වැනි ඖෂධ ගැනීමත් ඉතාම අහිතකරයි. පැරසිටමෝල් මාත්‍රාව ගැන සහ උණ පාලනය පිළිබඳ වැඩිදුර උපදෙස් වෛද්‍යවරයා විසින් ලබාදෙනු ඇති.
අධික උණ තත්ත්වය ඇත්නම් උණු වතුරෙන් තෙමාගත් පිරිසුදු රෙදිකඩක් වතුර මිරිකාගෙන උණුසුම යාමට පෙර ශරීරය පිස දැමීම ත් හොඳ ප්‍රථමාධාරයක්.
සම්පූර්ණ රුධිර පරීක්ෂාව (FBC) කරන හැටි
වෛද්‍යවරයා නිර්දේශ කරන ආකාරයට පැය 12කට හෝ පැය 8කට වරක් රුධිර පරික්ෂාව කරගන්න.
එම රුධිර පරික්ෂාවේ වාර්තාව හැකිතාක් ඉක්මනින් (පැය 2 ක් ඇතුළත)
වෛද්‍යවරයාට පෙන්වා උපදෙස් ගන්න.
රුධිර පට්ටිකා ප්‍රමාණය 130,000 /mm3 ට ආසන්නව ඇත්නම් වහාම
වෛද්‍ය උපදෙස් ලබාගන්න.
වෛද්‍යවරයා හමුවට පැමිණෙන විට ඔබ විසින් මෑතකදී ලබාගත් සියළුම
රුධිර පරික්ෂණ වාර්තා අනුපිළිවෙලින් සකසා රැගෙන එන්න.
මේ ආහාර දෙන්න හොඳ නෑ
කන්න බොන්න පුළුවන් නම් වෙනදා වගේ පෝෂණීය ආහාරවේලක් දෙන්න
රතු, දුඹුරු පැහැති ආහාරපාන ගැනීම මගින් රෝගය නිසා ඇතිවිය හැකි ලේ වහනය, වමනය ආදියේ වර්ණ වෙන්කර හඳුනා ගැනීමට අපහසු වියහැකි බැවින් එම වර්ණවල ආහාර සහ පාන වර්ග නොදී සිටීම ඉතා වැදගත්.
දියර දෙන්නෙ මේ විදියට
ඩෙංගු රෝගියෙක් ලවණ සහිත දියර පානය කිරිම ඉතා වැදගත්. එහිදී සමාන මුත්‍ර ප්‍රමාණයක් පිටවන තරමට දියර පානය කිරීම සුදුසුයි. එහෙත් සමහර රෝගීන් දියර පානය නොකිරීම නිසා සිදුවිය හැකි හානිය වළක්වා ගැනීමට දියර ලබාදිය යුතු ආකාරය ගැන වෛද්‍යවරු නිර්දේශ කරන්නේ මේ විදියටයි.
උදාහරණයක් විදියට ශරීරයේ බර කිලෝ ග්‍රෑම් 30-50 දක්වා වන රෝගීන්ට, ශරීරයේ බරකිලෝග්‍රෑම්වලින් මැන එමෙන්ම දෙගුණයක් දියර මිලි ලීටර ප්‍රමාණයක්පැයකට පානය කිරීම නිර්දේශ කරනවා.
නමුත් බර කිලො ග්‍රෑම් 30 ට අඩු රෝගීන් සඳහා මෙම අගයන් වෙනස්වෙනවා.
බර කිලෝ ග්‍රෑම් 50 ට වැඩි රෝගීන් ගත යුතු උපරිම දියර ප්‍රමාණය පැයකට මිලි ලීටර් 100 ක් පමණයි.
මේ නිසා පැයකදී රෝගියාට දිය යුතු දියර ප්‍රමාණය වෛද්‍යවරයා
ගෙන් අසා දැනගැනීම තමයි වඩාත්ම සුදුසු.
දියර මැනීම සඳහා නිසි ලෙස ක්‍රමාංකනය කරන ලද කෝප්පයක් භාවිත කරන්න ඕනෑ.
මූත්‍ර පිටවීමත් මනින්න ඕනෑ
ශරීරයේ බරට (කිලෝග්‍රෑම්වලින්) සමාන මුත්‍රා ප්‍රමාණයක් (මිලි ලීටරවලින්) පැයකට පිටවන තරමට දියර පානයට දෙන්න ඕනෑ. මෙමගින් රෝගියා විජලනයවීමත් වළක්වනවා.
අවම වශයෙන් පැය 4කට වරක්වත් මූත්‍ර පිට කිරීම හා එම ප්‍රමාණය මැනබැලිය යුතුයි. මුත්‍රා ප්‍රමාණය වගුවේ දැක්වෙන ප්‍රමාණයට වඩා මඳක් වැඩිවීම ගැටලුවක් නොවෙයි. පිට කරන මූත්‍ර ප්‍රමාණය වගුවේ දැක්වෙනවාට වඩා වඩා අඩු නම්, මුත්‍රා ප්‍රමාණය වැඩිවන තෙක්, පානය කරන දියර ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි කළ යුතුයි. මීට අමතරව පිපාසය ඇති විට වැඩිපුර දියර ප්‍රමාණයක් පිපාසය සංසිඳෙන තුරු දිනකට 3-4 වතාවක් පානය කිරීමේ වරදක් නැහැ.
පිපාසය දිගටම තිබේනම් වහාම වෛද්‍යවරයෙකු හමුවිය යුතුයි.
හැමදෙයක්ම ලියන්න
ඩෙංගු රෝගියෙක් රෝහල්ගත කළාම කුඩා පොතක දියර දෙන ප්‍රමාණය, වෙලාව සහ මූත්‍ර පිට කළ ප්‍රමාණය ලිවීමට උපදෙස් ලැබෙනවා. නිවෙසේ සිට ඩෙංගු රෝගියෙක් බලාගන්නා විටත් එසේම කළ යුතුයි.
වෛද්‍යවරයා හමුවීමට හෝ රෝගියා රෝහල්ගත කිරිමට සිදු වුවහොත් එම සටහන් පොත මතක ඇතිව රැගෙන යන්න.
මේ ලක්ෂණ බලන් ඉන්න එපා
සම්පූර්ණ රුධිර පරීක්ෂාවේ රුධිර පට්ටිකා ප්‍රමාණය 130,000 /mm3 ට ආසන්නව ඇත්නම් වහාම රෝගියා රෝහලකට රැගෙන යා යුතුයි.
මීට අමතරව අපහසුතාවක් දැනෙන ඕනෑම විටකදී රෝහලක් වෙත නොපමාව පැමිණී අවශ්‍යයි. ඩෙංගු රෝගයේදී උණ බැස ගියත් රෝගය සුව වී නොතිබෙන්න පුළුවන්. හුඟක් වෙලාවට සංකූලතාවල ආරම්භය උණ බැසයාමත් සමග සිදුවිය හැකියි.
නොනවත්වා පවතින පාචනය හෝ වමනය
තද තෙහෙට්ටු ගතිය
ඕනෑම ස්ථානයකින් රුධිර වහන තත්වයක්
තද හිසරදය
උදරයේ තද වේදනාව
බර අනුව පිට විය යුතු මූත්‍ර ප්‍රමාණය
ශරීරයේ බර පැයකදී පානය කළ යුතු දියර ප්‍රමාණය
කි.ග්‍රෑම් 5kg 20ml
කි. ග්‍රෑම් 10kg 40ml
කි.ග්‍රැම් 20kg 60ml
කි. ග්‍රෑම් 30kg 70ml
කි. ග්‍රෑම් 40kg 80ml
කි. ග්‍රැම් 50kg 100ml
කි. ග්‍රෑම් 50kg ට වැඩිනම් 100ml
තොරතුරු - සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයෙනි. (I J)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd