වී ගොවිතැන ලාබදායි නැතැයි ද, ගොවියා පීඩාවට හා අසරණභාවයට පත් වී ඇතැයි ද, කියනු නිතර අසන්නට ලැබේ. බොහෝ ගොවි සංවිධාන නියෝජිතයෝ විසඳුමක් ලෙස වී මිල වැඩි කළ යුතු බව කියති. නිතැතින්ම පැන නගින ප්‍රශ්නය නම් හාල් මිලට සිදුවන්නේ කුමක්ද, පාරිභෝගිකයාගේ ඉරණම කුමක්ද, යන්නයි. සහල් මිලෙන් සියයට 80ක් වීවල පිරිවැය යි. වී-සහල් පරිවර්තන අනුපාතය සියයට 65ක් පමණ නිසා වී කිලෝවක මිල රු. 10කින් වැඩි කළොත් හාල් කිලෝවක මිල අඩුම වශයෙන් රු. 15කින් ඉහළ යයි. වී මිල වැඩි කරන්නැයි උද්ඝෝෂණය කරන විට ඒ සමගම කියැවෙන්නේ හාල් මිල වැඩි කරනු! කියා ය. 


ලාබයට මග වැඩි මිලම නොවේ 
ගොවියාගේ ආදායම හා පාරිභෝගිකයාගේ වියදම පිළිබඳ මෙම උභතෝකෝටිකය විසඳා ගැනීමේ දී අපේ අවධානය යොමු විය යුතු ප්‍රවේශ දෙකකි. එකක් නිෂ්පාදනය කේන්ද්‍ර කරගත් ප්‍රවේශයන් ය. අනෙක වෙළෙඳපොළ කේන්ද්‍ර කරගත් ප්‍රවේශයන් ය.
ගොවියාගේ ලාබයට මඟ වී මිල වැඩි කිරීම ම නොවේ. වී මිල වැඩි කිරීම ඉතාම සරල, මතුපිටින් පෙනෙන, විසඳුමක් නොවන විසඳුමකි. ගොවියාට හොඳ ලාබයක් මෙන්ම පාරිභෝගිකයාට හොඳ මිලක් සහතික කිරීම සඳහා මුලින්ම කළ යුත්තේ නිෂ්පාදනය කේන්ද්‍ර කරගත් ප්‍රවේශයන් වන 


අස්වැන්න (පලදාව) වැඩි කර ගැනීම, 
අස්වැන්න වැඩි කර ගැනීමට බාධාවක් නොවන ලෙසට වගා පිරිවැය අඩු කර ගැනීම, හා ඉතාම සීමිත සම්පත වන වගා බිමෙන් මහත් ඵල ලබා ගත හැකි වනු පිණිස සූක්‍ෂම ඉඩම් පරිහරණ රටාවකට පිවිසීම ය.
මෙම කාර්යයන් ඉලක්ක කරගත් බොහෝ ක්‍රමවේද තිබේ.
දැනට මේ ප්‍රවේශය යටතේ සිදුවන කටයුතුවල වේගය හා ලැබෙන ප්‍රතිඵල ප්‍රමාණවත් නැත. එක් හේතුවක් වන්නේ කෘෂිකර්ම ක්‍ෂේත්‍රයේ බිම් මට්ටමේ පවතින දුර්වල හා විසිරුණ සංවිධානයයි. එය යාන්ත්‍රික වාහනයක් වෙනුවට කරත්තයක් යොදා ගැනීමක් බඳුය. ඊට පිළියම එක යායක් - එක කළමනාකරණයක්’ වාහනය භාවිතයට ගැනීමයි. ‘එක යායක් - එක කළමනාකරණයක්’ යනු, කාර්යක්‍ෂම කළමනාකරණය, නවීකරණය, මහා පරිමාණයේ ආර්ථික වාසි ලබා ගැනීම හා පලදා වර්ධනය යන ගාමක බලයන්ට සක්‍රිය වීමට ඉඩ ප්‍රස්ථාව ලබා දීම පිණිස එකිනෙකට ආසන්න ව පිහිටා ඇති ගොවිබිම්, ඒවායේ අයිතිකරුවන්ගේ කැමැත්තෙන්, තනි විශාල වගාබිමක් ලෙසට ඒකාබද්ධ කර, එක කළමනාකරණයක් යටතේ වගා කටයුතු කරගෙන යාමයි. 
තවත් හේතුවක් වන්නේ රාජ්‍ය අංශයේ බල මහිමයෙන් කෘෂිකර්මය ඉතා ඉහළ තලයකට එසැවීම පිණිස කළහැකිව තිබෙන සුවිසල් කාර්යභාරය සම්පූර්ණයෙන්ම හා කාර්යක්‍ෂමව ඉෂ්ඨ නොවීමයි. කළයුතු දේ නොකිරීමේ හා සැහැල්ලු‍වෙන් රාජකාරී ජීවිත ගත කිරීමේ හානිකර ප්‍රතිවිපාක මිල වැඩි කිරීම් මගින් ජනතාව මත පැටවීම බරපතළ වරදකි. විදුලිබලය හා ඛනිජතෙල් සම්බන්ධයෙන්ද මේ වරද කරමින් තිබේ. 
දැන් අපි ගොවියාගේ ලාබය වැඩි කර ගැනීමට ඉවහල් වන වෙළෙඳපොළ කේන්ද්‍ර කරගත් ප්‍රවේශ විමසා බලමු. ප්‍රධාන ක්‍රියාන්විත දෙකකි.
එකක්, මිල යාන්ත්‍රණය කාර්යක්‍ෂම කිරීමයි. (efficiency of the pricing mechanism).   එයින් බලාපොරොත්තු වන්නේ රජය ප්‍රකාශයට පත් කරන අවම මිලෙන් (‘වෙළෙඳපොළ’ මිලෙන්) වැඩිම ප්‍රමාණයක් ගොවියාට (නිෂ්පාදකයාට) ලැබීමට සැලැස්වීමයි. 
අනෙක වෙළෙඳපොළ මෙහෙයුම් කටයුතුවල කාර්යක්‍ෂමතාව  (Marketing efficiency) ඉහළ නැංවීමයි. එවිට අතරමැදි සේවාවලට කළයුතු ගෙවීම අඩු වීමෙන් ගොවියාගේ විකිණුම් පිරිවැයත්, හාල් මොලේ ගැනුම් පිරිවැයත්, අඩුවේ. දෙදෙනාටම වාසි අත්වේ.


සහාය දිවීම
මිල යාන්ත්‍රණය වඩා කාර්යක්‍ෂම කළ හැකි ආකාරය විමසා බලමු. විකිණීමට ඉදිරිපත් කරන වීවල තෙතමනයේ ප්‍රමාණය හා ඒවායේ අඩංගු කාටු, බොල්, රොඩු යනාදී අපද්‍රව්‍යවල ප්‍රමාණය මිල කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයකි. වීවලට රජය ප්‍රකාශයට පත් කරන අවම ගැනුම් මිල (ගොවියාගේ විකිණුම් මිල) ලැබෙන්නේ තෙතමනය සියයට 14 නොඉක්මවන වියළි වීවලට ය. වී ශුද්ධ කර හොඳින් වියළා ගැනීමට අමතර ශ්‍රමයක් හා කාලයක් වැය වේ. ඒ සඳහා හැම කමතකම හෝ හැම ගොවි ගෙදරකම හෝ පහසුකම් හා ඉඩකඩ නොමැත. අස්වැන්න වියළීමට හා ගබඩා කිරීමට ගමින් ගම පහසුකම් සැලසීම සහ මහපාරවල වී වියළීම ආර්ථිකව ඵලදායී කාර්යයක් වන්නේ නැත. වේළා ගත් පසු විකුණා ගන්නා තෙක් කෘමීන්ගෙන් හා වෙනත් ආපදාවලින් ආරක්ෂා කර ගැනීම ද වෙහෙසකර කාර්යයකි.
ගොවියා දරන පිරිවැයට වඩා අඩු පිරිවැයකින් වී ශුද්ධ කිරීමට හා වේළීමට අවශ්‍ය යාන්ත්‍රණය සහල් කර්මාන්තශාලාවල (වී මෝල්වල) තිබේ. වංගෙඩිය, මෝල්ගහ, කුල්ල සහ නෑඹිලිය විශ්‍රාම ගන්වා මුළුතැන්ගේ කටයුතුවලින් සැලකිය යුතු කොටසක් පවරා ගැනීමෙන් සහල් කර්මාන්තය විසින් කරනු ලැබූ ඉතා වැඩදායක පරිවර්තනයේ ප්‍රතිලාභ අපි බුක්ති විඳිමු. මුළු සමාජයට ම දැනෙන ප්‍රතිලාභයක්, කාර්යක්ෂමතාවක් හා සම්පත් ඉතිරියක් එමගින් ප්‍රදානය කර තිබේ. එලෙසින් ම, වී අස්වැන්න නෙළා ගත් පසු ඒවායේ අපද්‍රව්‍ය ඉවත් කිරීම හා වියළීම සහල් කර්මාන්තශාලාවට පැවරීම ලාබදායක මෙන්ම පිරිමැසුම් දායක ද වේ. එය එකම කර්මාන්තයේ අංශ දෙකක් අතර කාර්ය හුවමාරුවක් මගින් ශ්‍රී ලංකාව ඇතුළත ම උපදවා ගන්නා සාපේක්‍ෂ වාසියකි. මෙලෙස වැඩි කාර්යක්‍ෂමතාවක් උදෙසා, ආර්ථික ක්‍රියාකාරකම් සංවිධානය කළ යුත්තේ සහය දිවීමේ තරගයක්  (relay race) ලෙසට ය. එහි ප්‍රතිලාභ රටටම, එනම් ගොවීන්ට මෙන්ම පාරිභෝගිකයන්ට ද අත්වේ. 


ගළපන ලද මිලට තෙත වී විකිණීම
අනෙකුත් වෙළෙඳපොළ සාධකවල බලපෑම නියත ව පවතී යැයි උපකල්පනය කර, වෙනස් වන තෙතමනයේ හා අපද්‍රව්‍යවල ප්‍රමාණය අනුව වීවලට ගෙවිය යුතු මිල (ගළපන ලද මිල) ගණනය කළ හැකි ය. වියළි වී කිලෝවක අවම මිල රු.120ක් වන විට, තෙතමනයේ හා අපද්‍රව්‍යවල විවිධ ප්‍රමාණයට අනුව ගළපන ලද මිල මෙම වගුවේ 4 තීරුවේ දැක්වේ. 

පළමු අවස්ථාවේදී, තෙතමනය සියයට 14 කි. අපද්‍රව්‍ය නැත. වී තොගයේ තෙත බර හා වියළි බර එක සමාන ය. කිලෝ එකකි. (වියළි වීවල සම්මත තෙතමනය සියයට 14 කි). එමනිසා ගළපන ලද මිල හා අවම (සහතික) මිල දෙකක් නොව එකකි (රු.120කි). දෙවන අවස්ථාවේදී තෙතමනය සියයට 24 කි. අපද්‍රව්‍ය නැත, වේළීමෙන් පසු බර කිලෝ 0.884කි (ග්‍රෑම් 884කි). ගළපන ලද මිල කිලෝ එකට රු. 106.08 කි. ග්‍රෑම් 884කට රු. 106.08 ක් යනු කිලෝ එකකට (ග්‍රෑම් 1000 කට) රු. 120 කි. හයවන අවස්ථාවේදී තෙතමනය සියයට 26 කි. අපද්‍රව්‍ය සියයට 1 කි. ශුද්ධ කිරීමෙන් සහ වේළීමෙන් පසු බර ග්‍රෑම් 852 කි. ගළපන ලද මිල කිලෝ එකට රු. 102.24 කි. ග්‍රෑම් 852කට රු. 102.24ක් යනු කිලෝ එකකට (ග්‍රෑම් 1000 කට) රු. 120 කි. ගළපන ලද මිලට ගනුදෙනු කරන සෑම අවස්ථාවකදීම ගොවියා විකුණන්නේත් මෝල් හිමියා මිලදී ගන්නේත් වියළි වී කිලෝවක් රු. 120ක් වන පරිදී ය. එනිසා දෙදෙනාට ම සාධාරණය ඉෂ්ඨ වේ. 
විකිණීමට ඉදිරිපත් කරන භාණ්ඩයක ගුණාත්මක ප්‍රමිතිය නිෂ්පාදකයාගේ වගකීමකි. එබැවින්, ශුද්ධ කිරීමේ හා වියළීමේ පිරිවැය දැරිය යුත්තේ ගොවියාය. එම නිසා එකී පිරිවැය, ගළපන ලද මිලට කරන අඩු කිරීමක් වේ. මධ්‍යම පරිමාණයේ වී මෝලකට ඒ සඳහා වැය වන පිරිවැය කිලෝ එකකට රු.1.00ක් පමණ විය හැකි ය.
තෙතමනය හා අපද්‍රව්‍ය අඩංගු වී විකිණීමේ දී ගොවියාට යුක්තිය හා සාධාරණය ඉටුවීම සඳහා වී තොගයේ අඩංගු තෙතමනයේ හා අපද්‍රව්‍යවල ප්‍රමාණයට අනුව වට්ටම් කළ මිල (ගළපන ලද මිල) ඔහුට හිමි වන බවට වග බලා ගත යුතුය. ගළපන ලද මිල ආගණනය කරනු ලබන්නේ අවම මිල, තෙතමනයේ ප්‍රතිශතය හා අපද්‍රව්‍යවල ප්‍රතිශතය විචල්‍යයන් ලෙස යොදාගන්නා ගණිතමය සමීකරණයකින් බැවින් ඒ ගැන විවාදයක් ඇතිවිය නොහැකිය. එකඟත්වයට පැමිණිය යුත්තේ වී ශුද්ධ කිරීම හා වියළීම වෙනුවෙන් ගොවියාගෙන් අය කරන ගාස්තුව සම්බන්ධයෙනි. එමන්ම දෙපාර්ශ්වයටම පිළිගත හැකි හා විශ්වසනීය ලෙස තෙතමනය මැනීමත්, අපද්‍රව්‍ය ප්‍රමාණය ඇස්තමේන්තු කිරීමත් අවශ්‍ය වේ. විකිණීමට ගෙන එන වී තොගය නියැදි පරික්ෂාවකට ලක් කිරීමෙන් තෙතමනයේ හා අපද්‍රව්‍යවල ප්‍රමාණය ගණනය කළ හැකි ය. ගොවියාට තම වී තොගයේ තෙතමනය හා අපද්‍රව්‍ය ප්‍රමාණය සඳහන්, වාහනවලට නිකුත් කරන දුම් සහතිකය බඳු, සහතිකයක් ලබා ගත හැකි නම් ගනුදෙනුව විනිවිද භාවයෙන් යුතු ව කර ගැනීමට ඉඩ සැලසේ. අක්කරයක හෝ දෙකක අස්වැන්න විකුණන කුඩා ගොවියකුට, මෙවැනි සහතික කිරීමක් ලබා ගැනීම ප්‍රාහෝගික නැත. එවැනි සහතික කිරීමක් ලබා ගැනීම ප්‍රාහෝගික වන්නේිඑක යායක් - එක කළමනාකරණයක්’ වැඩ පිළිවෙළ යටතේ ලොකු වී තොගයක්, උදාහරණයක් ලෙස අක්කර 20ක හෝ ඊට වැඩි ප්‍රමාණයක වී තොගයක් විකිණීම සඳහා ඉදිරිපත් කරන විට ය. 


වෙළෙඳපොළ මෙහෙයුම් 
මිල තීරණය කිරීමේ විනිවිද භාවය පවත්වා ගැනීම හා අත්තනෝමතික භාවය පාලනය කරනු පිණිස කළ යුතු වන්නේ තෙතමනයේ හා අපද්‍රව්‍යවල ප්‍රමාණයට අනුරූප වන පරිදි සකස් කළ ගළපන ලද මිල හා ශුද්ධ කිරීම හා වේළීම සඳහා සහල් මෝල විසින් අය කරනු ලබන ගාස්තුව දැක්වෙන මිල දර්ශනයක් ප්‍රකාශයට පත් කිරීම යි. තේ කර්මාන්තශාලා අමු තේ දලු‍ සඳහා ගෙවන මිල, ශ්‍රී ලංකා තේ මණ්ඩලය මගින් සෑම මසකම පුවත්පත් මගින් ප්‍රසිද්ධ කරනු ලැබීම මෙහිදී ආදර්ශයට ගත හැකිය. මේ රාජකාරිය වී අලෙවි මණ්ඩලයට පැවරිය හැකි ය. ජංගම දුරකථන මාර්ගයෙන් වුවද ලබා ගත හැකි වන පරිදී මිල තොරතුරු ඩිජිටල් තාක්ෂණය මගින් ප්‍රචලිත කළ හැකිය. වෙළෙඳපොළ තොරතුරු කාර්යක්‍ෂම ව හා එසැණින් මාර්ගගත කෙරෙන විට ගනුදෙනුවල පාරදෘශ්‍යභාවය වැඩි වේ. 
සහතික මිල (අවම මිල) ප්‍රකාශ කර තිබෙන්නේ වී ගෙනැවිත් භාර දීමේ කොන්දේසිය මත බැවින් ප්‍රවාහණ ගාස්තුව ගෙවිය යුත්තේ ගොවියා ය. එය ගොවියා විසින් දැරිය යුතු විකුණුම් පිරිවැයකි. 
වී මිල කෙරෙහි බලපාන වෙළෙඳපොළ සාධක ගණනාවක් තිබේ. ඒවා නම්: වී සැපයුම (අස්වනු නෙළන කාලයේ සැපයුම ඉහළ යයි) ,විවිධ සහල් වර්ගවලට (නාඩු, සම්බා, කීරි සම්බා වැනි) ඇති පාරිභෝගික ඉල්ලු‍ම,සහල් නිෂ්පාදකයන්ගේ ඉල්ලු‍ම, වී අලෙවි මණ්ඩලය හා සහල් නිෂ්පාදකයන් ඇතුළු වී ගැනුම්කරුවන්ගේ මූල්‍යමය හැකියාව ,ගැනුම්කරුවන් අතර පවතින තරගයේ ස්වභාවය,ගබඩා පහසුකම් ,සහල් වෙළෙඳපොළේ ඉල්ලු‍ම හා සැපයුම (සහල් ආනයනය ද ඊට බලපායි), ගනුදෙනු පියවීමේ ශීඝ්‍රතාව, එනම් කෙතරම් ඉක්මනින් මුදල් ගෙවනවා ද යන්න,ගනුදෙනුව සම්පූර්ණ කිරීමට ගත වන කාලය ,ප්‍රවාහණය, තැරැව්කරුවන් ඇතුළු අතරමැදි සේවාවල ගාස්තු යනාදිය යි. 


අතරමැදි සේවා
අතරමැදි ක්‍රියාකාරීහු ගණනාවක් වී වෙළෙඳපොළෙහි සිටිති. වී එකතු කර වී මෝලට විකුණන එකතු කරන්නෝ ද ගොවියා සහ එකතු කරන්නා වී මෝලට සම්බන්ධ කරන තැරැව්කරුවෝ ද (බ්‍රෝකර්වරු), ගැනුම් නියෝජිතයෝ ද ප්‍රවාහනකරුවන් වැනි උපස්ථම්භක සේවා සපයන්නෝ ද ඒ අතර වෙති. 
එම සේවා වඩාත් කාර්යක්ෂමව හා අඩු පිරිවැයකින් පවත්වාගෙන යාමට හැකි වන පරිදි භෞතික හා ආර්ථික පරිසරය වෙනස් කළ යුතු ය. ඇතැම් වෙනස්කම් පටන් ගත යුතුව තිබෙන්නේ, ජාතික මට්ටමේ තීන්දු ගැනීම මගිනි. උදාහරණයක් ලෙස ජාතික සැලසුම් සකස් කිරීමේ දී ග්‍රාමීය යටිතල පහසුකම්වලට ප්‍රමුඛත්වය දීම, භාණ්ඩාගාර බැඳුම්කරවල පොලී අනුපාතය අඩු කිරීම, තොරතුරු තාක්‍ෂණය යොදා ගැනීම ආදිය දැක්විය හැකි ය. උදාහරණයක් ලෙස, පොලී අනුපාත අඩු කිරීමෙන් හා හොඳ මාර්ග පද්ධතියක් මගින් ප්‍රවාහණ ගාස්තු අඩු වීමට සැලැස්වීම දැක්විය හැකි ය. ප්‍රවාහණ ගාස්තු අඩු වන්නේ වාහන කල්බදු (ලීසිං) වාරික අඩු වන බැවින් හා හොඳ තත්වයේ මාර්ග නිසා, වාහන නඩත්තු වියදම් හා ගමන් කාලය අඩු වන බැවිනි. 
ඇතැම් විට, ප්‍රවාහන, තැරව්කාර සහ ගැනුම් නියෝජිත වැනි විකුණුම් සේවා ඒකාබද්ධ කර සැකසූ පැකේජයක් රැගෙන මෝල් හිමියන්ගේ නියෝජිතයෝ වී මිලට ගැනීම සඳහා කුඹුරට පැමිණෙති. ඔවුන් ගොවියාට ඉදිරිපත් කරන්නේ ප්‍රවාහන ගාස්තු ද, ඔවුන්ගේ ගණනය කිරීමට අනුව වීවල තෙතමනය හා අපද්‍රව්‍ය ඉවත් කර ප්‍රමිති මට්ටමට ගෙන ඒමට යන වියදම ද, අඩු කරන ලද මිල යි. බොහෝ විට ඔවුහු එක් එක් සේවාව සඳහා අය කරන මිල කොපමණ දැයි සඳහන් නොකරති. එනිසා ගනුදෙනුව පාරදෘශ්‍ය නොවේ. විකුණන වී තොගයේ තෙතමනයට හා අපද්‍රව්‍ය ප්‍රමාණයට අනුව ගළපන ලද මිල, ශුද්ධ කිරීමේ හා වේළීමේ ගාස්තු සහ ප්‍රවාහන ගාස්තු වෙන් වෙන්ව සඳහන් කරන්නේ නම්, ගනුදෙනුව පාරදෘශ්‍ය වේ. තමන්ගේ කොටස නිවැරදි ව ලැබුණේ දැයි එවිට ගොවියාට ගණන් බලාගත හැකි වේ. 
වෙළෙඳපොළ ක්‍රියාන්විතය කාර්යක්‍ෂම වූ විට තැරැව්කරුවන්ගේ කාර්යභාරය සීමාසහිත වන බැවින් වී මෝල් හිමියන් ගොවීන් වෙත ළඟා වන මාර්ගය කෙටි වේ. ගනුදෙනු පිරිවැය අඩු වේ. වී වෙළෙඳපොළ පූර්ණ තරගකාරී මට්ටමට ආසන්න ලෙස ක්‍රියාත්මක වී, අවම සහතික මිලකින් නොව, වෙළෙඳපොළ ගනුදෙනු මගින් නිශ්චය වන මිල ගණන්වලින් සෑහීමට පත් වන ආර්ථික පරිසරයක් ඇති වේ. ආන්දෝලනාත්මක වී මිල සහ හාල් මිල උභතෝකෝටිකය විසඳා ගැනීමට හැකි වේ.