සුජිත් හේවාජුලිගේ


ශ්‍රී ලාංකික ව්‍යාපෘති කළමනාකරුවන් ව්‍යාපෘති කණ්ඩායම් සහ ආයතනවල කැපී පෙනෙන ජයග්‍රහණ ඇගයීමට ලක් කෙරෙන ජාතික ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටතා සම්මාන උළෙල (2026) නව වැනි වරටත් ව්‍යාපෘති වෘත්තිකයන් සහ සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹ වෝටර්ස් ඒජ් හෝටලයේදී අගෝස්තු 18 වැනිදා පැවැත්වේ.
මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබන්නේ ව්‍යාපෘති කළමනාකරණ ආයතනය (Project Management Institute ) විසිනි. ඉදිකිරීම්, යටිතල පහසුකම්, තොරතුරු තාක්ෂණ, බැංකු, මූල්‍ය, විදුලි සංදේශ, නිෂ්පාදන, කෘෂිකර්ම, සෞඛ්‍ය, සංචාරක, අධ්‍යාපන, තිරසරභාවය, ඩිජිටල් පරිවර්තන, ඒඅයි සමාජ සත්කාරක ඇතුළු බොහෝ අංශවල නිත්‍යානුකූලව ලියාපදිංචි වූ ආයතනවලට මේ සම්මාන උළෙලට අයදුම් කළ හැකි බව ආයතනයේ සභාපති තවේන්ද්‍රන් විජේකුමාර් මහතා පැවසීය.
ආයතනවල නායකත්වය සහ සැලසුම්කරණය, කණ්ඩායම් හැඟීම, සහයෝගීතාව, නවෝත්පාදනය සහ අවදානම් කළමනාකරණය පාර්ශවකරුවන්ගේ සහභාගිත්වය වෘත්තීය විනය සහ පාලනය යනාදී ගුණාංග මෙහිදී පූර්ණ පරීක්ෂාවට ලක්කෙරන බවද ඔහු කීවේය.
සම්මාන උළෙලට ඉදිරිපත් කෙරෙන ව්‍යාපෘති නිශ්චිත කාල සීමාවකදී සම්පූර්ණ කර තිබිය යුතු වන අතර, ශ්‍රී ලංකාවට පැහැදිලි ප්‍රතිලාභදී තිබිය යුතු බව සඳහන්වෙයි. එසේම ව්‍යාපෘති ශ්‍රී ලාංකික පුරවැසියකු විසින් කළමනාකරණය කරනු ලැබූවක් විය යුතු බව ව්‍යාපෘති කළමනාකරණ ආයතනය පවසයි පවසයි.
කර්මාන්ත සහ ශාස්ත්‍රීය ක්ෂේත්‍රයේ විනිශ්චය මණ්ඩලයක් විසින් අයදුම්පත් ඇගයීමට ලක් කෙරෙන අතර කාණ්ඩ හතළිස් එකක් යටතේ සම්මාන සියයක් පමණ මෙහිදී පිරිනැමීමට අපේක්ෂිතය. සම්මාන උළෙල සඳහා අයදුම්පත් [email protected] විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතුය.