උද්ධමනය සියයට 7ක් දක්වා අගයකට?
මැදපෙරදිග සේවකයන්ගේ වැඩකරන දින අඩුවීමෙන් මෙරටට එවන මුදල් පහළට
පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන නොමැතිවීමෙන් ඇසුරැම් නිෂ්පාදනයට බලපෑම්
භානුක අමරසිංහ
|
ඇඩ්වොකාටා සභාපති සහ ජේ.බී. සෙකියුරිටීස් ප්‍රධාන විධායක නිලධාරී මුර්ටාසා ජෙෆර්ජී
|
මැදපෙරදිග යුද ගැටුම් තවත් සතියක් හෝ සති දෙකක් තුළ අවසාන නොවුෙණාත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දරුණු කඩා වැටීමකට මුහුණ දීමට සිදු වනු ඇතැයි ඇඩ්වොකාටා ආයතනයේ සභාපති සහ ජේ.බී. සෙකියුරිටීස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මුර්ටාසා ජෙෆර්ජී මහතා පවසයි.
එහිදී මූලිකවම ඩීසල් ඇතුළු ඉන්ධන මිලෙහි සිදුවන ඉහළ යාම හේතුවෙන් සිදුවන උද්ධමනයේ ඉහළ යාම, සංචාරක කර්මාන්තයේ ආදායම් අහිමිවීම මෙන්ම විදේශ ප්‍රේෂණ ගලා ඒම් අඩුවීම යනාදී කාරණා හේතුවෙන් මෙලෙස ආර්ථිකයේ කඩා වැටීමක් බලාපොරොත්තු විය හැකි බව ඒ මහතාගේ අදහස වී තිබේ.
ඊයේ (02) පැවැත්වුණු අන්තර්ජාල වෙබ්නාර් වැඩසටහනක් වෙත සම්බන්ධ වෙමින් ජෙෆර්ජි මහතා මෙම කරුණු සඳහන් කළේය.
“අපිට අනිවාර්යයෙන්ම ආර්ථික කඩා වැටීමක් දැකගන්න පුළුවන් වේවි. වසර ආරම්භයේදීම මහ බැංකුව පුරෝකථන කළා සියයට 4ක සිට සියයට 5ක් දක්වා වන ආර්ථික වර්ධනයක්. ජනවාරි - අප්‍රේල් ආර්ථිකය ඉතාමත් හොඳින් එය දැක්කා. ඒත් ඒ දේ වෙන්නේ ආර්ථිකයේ හැකිලීමක් සිදු නොවුණොත් තමයි. ඒත් පවතින තත්වයත් එක්ක වසරේ දෙවැනි සහ තෙවැනි කාර්තුවලදී අපිට එහෙම දෙයක් පෙනෙන්න නැහැ.”
විශේෂයෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයන් පවතින තත්වය වෙළෙඳ පොළ මිල ගණන් අනුව තීරණය වීමට ඉඩ ලබාදීමක් නොදී, ඒ සඳහා මැදිහත්වීමක් සිදුකළහොත් මේ තත්වය වඩාත් දරුණු වනු ඇතැයිද, 2022 වසරේ ආර්ථික අර්බුදය අස්ථාවේදීද සිදු වූයේ මෙයම බවත් ඔහු සඳහන් කළේය.
“ඩීසල් ලීටරයක මිල රුපියල් 600ක් මට්ටමට ගියොත් මේ සියලු දේ ඉක්මනින් වෙනස් වෙනවා. ප්‍රවාහන ගාස්තු වගේම විදුලි ගාස්තුත් ඉහළ යෑම නිසා උද්ධමනය ඉක්මනින්ම 5%ක් තත්වයට පත්වේවි. මහ බැංකුව වුණත් සියයට 5 ක සිට සියයට 2 ක අඩු හෝ වැඩි උද්ධමන ඉලක්කයක් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ උපරිම මට්ටම සියයට 7ක් වේවි.”
එලෙස උද්ධමනය ඉහළ යෑමත් සමගින්ම ඉල්ලුමේ අඩුවීමක් ආරම්භ වීමක් සිදු වනු ඇති බවත් ඒ හරහා ආර්ථිකයේ කඩා වැටීම සිදු වන බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය.
මේ අතර ඩොලර් සංචිතය ආරක්ෂා කරගැනීම ඉදිරියේදී ඇති වන අනෙක් ගැටලුව බවත් ඒ මහතා පවසා සිටියේය. විශේෂයෙන්ම මහ බැංකුව මේ වසරේ මුල් මාස දෙකේදී ඩොලර් මිලියන 700ක් වෙළෙඳපොළෙන් මිලදී ගැනීමට සමත් වුවත්, මාර්තු මාසය එලෙස නොවුණු බවත්, මහ බැංකුවට ඩොලර් අලෙවි කිරීමට සිදු වුණු බවත් ඒ මහතා සඳහන් කළේය.
“සංචාරක කර්මාන්තය සහ ප්‍රේෂණ බැලුවොත්, ලංකාවට එන සංචාරකයන්ගෙන් සියයට 35ක්ම පැමිණෙන්නේ ගල්ෆ් කලාපය හරහා. මාර්තු කියන්නේ හොඳ මාසයක්. එහෙත් අපිට මාර්තු අහිමි වුණා. අපිට අප්‍රේල් මාසයත් අහිමි වෙන්න තිබෙනවා. මැයි සහ ජූනි කියන්නේ අතිශය නරක කාල මොකද ඒ කාලයට සංචාරක පැමිණීම් අඩුයි. මේ හරහා සංචාරක කර්මාන්තය මත යැපෙන පිරිසගේ ආදායම අඩු වෙනවා. ඒ වගේම මේ වසරේ මුල් මාස දෙකේදී හොඳ ශක්තිමත් ප්‍රේෂණ ගලාඒමක් සිදු වුණා. ලංකාවේ ප්‍රේෂණවලින් සියයට 70ක්ම එන්නේ මැදපෙරදිග කලාපයේ සිටින ලක්ෂ 10ක් පමණ වන ශ්‍රමිකයන්ගෙන්.”
කෙසේ වෙතත් යුදමය තත්වය සහ ඒ නිසා හට ගෙන ඇති ආර්ථික බලපෑම්ද සමගින් අද වනවිට මැදපෙරදිග කලාපයේ සිටින සේවකයන් සතියකට වැඩ කරන්නේ දින තුනක් පමණක් බවත්, ඔවුන්ට වැටුප් ලැබෙන්නේ දින තුනක් පමණක් බවත් ඒ මහතා සඳහන් කළේය.
“ඒ කියන්නේ ඉදිරි කාලයේදී ප්‍රේෂණ ගලා ඒමේ කැපී පෙනෙන අඩුවීමක් දැකගත හැකි වේවි. සාමාන්‍යයෙන් ප්‍රේෂණ මුදල් හිමිවන නිවෙස් හයකින් එකක් එවැනි ආදායම් නොලබන නිවසකට සාපේක්ෂව සියයට 20කට 30කට වැඩි වියදම් කිරීමක් කරනවා. ඒත් මේ ආදායම් අහිමිවීමත් සමගින්ම එම වියදම් කිරීමේ හැකියාව අඩු වෙනවා.”
මේ අතර මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් මතුව තිබෙන පොහොර නිෂ්පාදන ගැටලු සහ ප්‍රවාහන ගැටලු හේතුවෙන් ආසියාවේ රටවල් රැසකම ආහාර සුරක්ෂිතතාව වෙතද ගැටලු පැන නැගී ඇතැයි ජෙෆර්ජි මහතා මෙහිදී සඳහන් කළේය. මෙහිදී ආහාර නිෂ්පාදනය පහත වැටී ආහාර මිල ගණන් ඉහළ යෑමක් සිදු වනු ඇතැයිද ඒ මහතා පවසයි.
“ඒ වගේම බොරතෙල් නැති නිසා ඒවායේ අතුරු නිෂ්පාදන ලෙස එන පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන නොමැතිවීමෙන් ඖෂධ නිෂ්පාදනය වෙතද බලපෑම් එල්ල වෙනවා. විශේෂයෙන්ම ඇසුරුම්කරණ අමුද්‍රව්‍ය නිෂ්පාදනයට මේ පෙට්‍රෝකෙමිකල් අත්‍යවශ අමුද්‍රව්‍යයක්. මට දැනගන්න ලැබුණු විදියට පැනඩොල් පැකට්ටුවක මිල වුණත් සියයට 50කින් ඉහළ යන්න ඉඩ තිබෙනවා. මීට අමතරව ප්ලාස්ටික් නිෂ්පාදන, පොලිතීන් සහ PET බෝතල් නිෂ්පාදනයටත් මෙය බලපානවා. මාර්ග ඉදිකිරීමට යොදා ගන්නා බිටුමින් නොමැතිවීමත් බලපාවි.”
කෙසේ වෙතත් යුද ගැටුම් නිසා ඇති වන ආර්ථික අර්බුදයෙන් අවදානමට ලක්විය හැකි ජනතාව ආරක්ෂා කරගැනීම සඳහා හොඳම අවස්ථාව අස්වැසුම වැනි සමාජ ආරක්ෂණ ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම බව මුර්ටාසා ජෙෆර්ජි මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd