දමුදු අරවින්ද

ජනශ්‍රැති පර්යේෂක කරගහවැවේ චන්ද්‍රකුමාර ජයසුන්දර

ඩබ්ලිව්. විජේරත්න

  • රෑස්ස ගස් මුදුන්වලට ගොඩවී සියඹලා නෙළා අලෙවි කරන්නවුන්ට ලැබෙන්නේ රැපියල් දෙසීයක් 
  • සියඹලා අස්වැන්නෙන් වැඩි ප්‍රමාණයක් ගස් යට ඉදී වැටී අපතේ යයි
  • පසුගිය කාලේ සියඹලා කිලෝ එකක් රැපියල් දෙදහකට කිට්ටු වෙන්ඩ මිල ගියා

සටහන හා ඡායාරූප - බුල්නෑව ප්‍රදීප් රණතුංග 


ඉදුණු “සියඹලා” කිලෝවක මිල ඉකුත් කාලයේ රුපියල් දෙදහසක් දක්වා ඉහළ ගොස් තිබිණි. එහෙත් රූස්ස ගස් මුදුන් වෙත ගොඩවී සියඹලා නෙළා අලෙවි කරන්නවුන්ට ඒ සඳහා ලැබෙන්නේ රුපියල් දෙසීයක් වැනි මුදලක් පමණක් බව ඔවුහු කියති. මේ වන විට අනුරාධපුරයේ වන මායිම් ගම්මාන ආශ්‍රිතව ඇති දැවන්ත සියඹලා ගස්වල හටගත් සියඹලා පැහී, ඉදී තිබේ. මහවැලි එච් කලාපයේ ගල්නෑව, තඹුත්තේගම, තලාව, බුල්නෑව, මීගලෑව, එප්පාවල, නොව්වියාගම, අවුකන ආදි ප්‍රදේශවල ගම්මැදි සහ ප්‍රධාන මාර්ග දෙපස ඇති රූස්ස සියඹලා ගස්වල හටගත් සියඹලා ඵලදාව ද මේ වන විට පැහී ඉදී අතු බරවී ඇත.

මෙම සියඹලා අස්වැන්නෙන් වැඩි ප්‍රමාණයක් ගස් යට ඉදී වැටී අපතේ යයි. සිහින් අතු පතර නැගී සියඹලා නෙළීම ඉතා දුෂ්කර කාර්යයකි. මොහොතක පමාවෙන් ඇති විය හැකි ජීවිත අවදානම සුළුවෙන් තැකිය හැකි නොවේ. එසේ අසීරුවෙන් නෙළාගනු ලබන ඵලදාවට නිසි මිලක් නොලැබීම පිළිබදව තඹුත්තේගම, තේක්කවත්තේ දිවි ගෙවන ඩබ්ලිව්. විජේරත්න මෙසේ පැවසුවේය. ඔහු කලක් තිස්සේ වාරෙට සියඹලා නෙළා අලෙවි කර මුදලක් උපයා ගැනීමට වෙහෙසෙන අයෙකි. 

“සියඹලා ගහ මහ විශාලෙට හැදුනට කරල් හැදෙන්නේ පොඩි අතු අග්ගිස්සේ. කඩාගන්න එක ලේසි නෑ. අපි කීපදෙනෙක් තමයි ගස් නැගලා අතු හොල්ලලා සියඹලා කඩලා විකුණන්නේ. මේ රූස්ස ගස්වලින් බිමට වැටුණොත් අතක්, පයක් කැඩිලා තමයි නතර වෙන්නේ. ජීවිතේ වුණත් නැතිවෙන්න බැරිකමක් නෑ. පුදුම දුකක් විදලා තමයි සියඹලා ටිකක් කඩාගන්නේ. එහෙම කඩාගන්න සියඹලා කිලෝ එකක් අපෙන් ගන්නේ රුපියල් එකසිය පනහකට නැත්නම් දෙසීයකට. අද තියෙන වියදන් එක්ක බලපුවහම ඇති දෙයක් නෑ.” 

චට්නි වර්ග, ජෑම් වර්ග, විවිධ පාන වර්ග සියඹලා මගින් වත්මනෙහි නිෂ්පාදනය කරනු ලබයි. එමෙන්ම රූපලාවන්‍ය කටයුතු සඳහා ද මෙම ඵලදාව භාවිත කෙරෙන බව සඳහන්වේ. හෙළ වෙදකමේ ඉතා වටිනා ඔසුවක් ලෙසද සියඹලා භාවිතයට ගැනෙයි. අතීතයේ පටන් ගැමි ළඳුන් වෑංජන රස කරන රසකාරකයක් ලෙසද සියඹලා භාවිතයට ගෙන තිබේ. විශේෂයෙන් හින්දු ජනතාව විසින් පිළියෙල කරනු ලබන මිරිස් හොද්දට සහ තෛපොංගල් දින උත්සවයට සියඹලා අත්‍යවශ්‍ය ආහාරයක් ලෙස භාවිතයට ගැනෙන බව සඳහන් වේ. ගැමි දරු, දැරියන් අතර පලතුරක් ලෙසද සියඹලා ජනප්‍රියව පවතී. මේ අනුව තවමත් මෙරට ග්‍රාමීය මෙන්ම සමහර නාගරික ප්‍රදේශ ආශ්‍රිතව සියඹලා සඳහා ඇත්තේ හොඳ ඉල්ලු‍මකි. 

එපමණකින් නොනැවතී අපනයනය කිරීම දක්වා එහි වටිනාකම ඉහළ නැග ඇත. අතීතයේ ගම්මැදි ජනයාගේ දෛනික ආහාර සංස්කෘතිය හා නිතැතින් බැඳී පැවැති සියඹලා අස්වැන්නට යම් වාණිජමය වටිනාකමක් එක්ව තිබේ. දමුදු අරවින්ද මෙසේ කරුණු කීවේය. 

“මාර්තු මාසේ පටන් ගත්තහම ජුලි මාසේ විතර වෙනකන් සියඹලා ඵලදරනවා. ඔය මාස කීපයේ තමයි අපිත් කීයක් හරි හොයාගන්නේ. අපි කඩාගන්න කරල් පිටින්ම තමයි විකුණන්නේ. පසුගිය කාලේ සියඹලා කිලෝ එකක් රුපියල් දෙදහකට කිට්ටු වෙන්ඩ මිල ගියා. ඒත් අපෙන් ගන්නේ පොඩි ගාණකට. ගොඩක් අය ලොකු ආදායමක් නැති හින්දා සියඹලා කඩන එක අතැරලා දාලා තියෙන්නේ. ඒකෙන් වෙලා තියෙන්නේ ඵලදාව සෑහෙන්න අහක යන එක. ඒක ලොකු අපරාධයක්. හරියට සියඹලා ගන්න වැඩපිළිවෙළකුත් නෑ.” 

දකුණු ඉන්දියාවට ආවේණික ශාකයක් වූ සියඹලා ඉන්දියාව, පකිස්ථානය, බුරුමය, බංගලාදේශය ආදි රටවල ව්‍යාප්තව පවතී. සියඹලා මෙරට මුහුදු මට්ටමේ සිට මීටර් දහසක් පමණ උස් වූ තෙත් කලාපයේ හා වියළි කලාපයේ සාරවත්ව වැඩෙන සදාහරිත වෘක්ෂයකි. බොහෝ සේ අතුපතර විහිදුවමින් මීටර් විස්සක් පමණ උසට වැඬේ. සුදු හෝ ලා කහ පැහැති රතුවන් රේණු සහිත කුඩා පුෂ්ප පොකුරක් ලෙස හටගනී. මනාව ඉදී එන විට සියඹලා කරලෙහි මාංෂල කොටස තද දුඹුරු පැහැයකට හැරේ. 

ආයුර්වේදයට අනුව සියඹලා ආහාර රුචිය වඩවයි . පිපාසය සමනය කරයි. විරේක ගුණයෙන් යුක්තය. මළ බද්ධය දුරු කරවයි. අඹරාගත් සියඹලා කොළ තැලු‍ම්, ඉදිමුම්වලට ගෑමට යොදා ගනී. ඉදුණු සියඹලා මද හදවතට ගුණදායකය. ගැමියෝ සියඹලා දලු‍ හා මල් ව්‍යංජනයක් ලෙසද ආහාරයට ගනිති. නුවර කලාවියේ ප්‍රකට ජනශ්‍රැති පර්යේෂකයෙක් වන තලාව, කරගහවැවේ චන්ද්‍රකුමාර ජයසුන්දර මහතා අතීත ගැමියෝ සියඹලා ඵලදාවෙන් ලද ප්‍රයෝජන පිළිබදව පැවසුවේ මෙවැනි කරුණු පෙළකි.

“ඒ කාලේ ගම්වල අයට සියඹලා කප්රුකක් වගේ පිහිට වෙච්ච ගහක්. මිනිසුන්ගේ සරල ජීවිතේට සියඹලාවලින් ලොකු උදව්වක් ලැබිලා තියෙනවා. කරල කඩලා අරගෙන පොතු අයින් කරලා අව්වේ වේළලා එහෙම නැත්නම් හුමාලෙන් තම්බලා මුට්ටියකට දාලා හුළං වදින්නැතිවෙන්න ඝණකම් රෙද්දකින් බැදලා තියාගත්තහම අවුරුද්දක් දෙකක් නරක් නොවී තියාගන්ඩ පුළුවන්. සියඹලා දාලා හදන කිරිහොද්ද ඒ කාලේ ගෙවල්වල හරි ජනප්‍රිය කෑමක්. වැව් මාළු හොද්දටත් සියඹලා දැම්මා. වෑංජනවලට දෙහි, ගොරකා වගේ දේවල් වෙනුවට ගම්මු පාව්චිචි කෙරුවේ සියඹලා. මුත්‍ර අමාරුවට සියඹලා දිය කරලා බොන එක ඒ කාලේ හොඳ අත් බෙහෙතක්. ආහාර දිරවන්න කියාපු බේත. වාජිකරණ ඖෂධ හදන්නත් සියඹලා පාවිච්චි කෙරුවා.” 

ගැමියෝ නෙළන සියඹලා අස්වැන්න නුවර කලාවියට බැහැරින් එන අයකුට කීයක් හෝ වැඩි මුදලකට විකුණා ගැනීමට දරණ වෑයමද මෙකල මෙහි මහ මග දුලභ නොවේ. අතීත ස්වයංපෝෂිත ගැමි ජීවන සංස්කෘතියට ඉවහල් වී ඇති සියඹලා වැනි වටිනා ශාඛයකින් නිසි ප්‍රයෝජන ලැබීමට වත්මනෙහි හැකිව නැති බව දැන් ඉදුරාම පැහැදිලිය. එවැනි ශාඛයක ඇති ඵලදායක බව පිළිබදව ඇති දැනුමද වර්තමානයෙහි අල්ප වී තිබේ. ඒ සඳහා ලැබෙන වාණිජමය වටිනාකම ද නිරවුල් නැති බව දැන් පැහැදිලිය. එහෙයින්ම වසරේ නිශ්චිත කාලයකට ලැබෙන සියඹලා ඵලදාවෙන් වැඩි ප්‍රමාණයක් කාටත් රහසේ අපතේ යන බව සැගවිය නොහැකි සත්‍යයයි.