

වර්තමානය වනවිට ඉතා ඉහළ ප්‍රාදේශීය සංවර්ධන අසමානතාවක් රට තුළ දක්නට පැවතීම ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමු විය යුතු කරුණක්ව පවතී. මෙම ඉහළ අසමානතාව මෑතක දී ඇති වූවක් නොවන අතර කාලයක් තිස්සේ රට තුළ ඇති වූ සහ ඇති කරවන ලද සමාජ, ආර්ථික සහ දේශපාලන පරිවර්තනයේ ප්‍රතිඵලයක් ලෙස මෙම තත්වය උදා වී ඇත. 2024 මහ බැංකු ආර්ථික සමාලෝචන වාර්තාවට අනුව 2023 වර්ෂයේ මෙරට දළ දේශීය නිමවුමෙන් සියයට 45කට ආසන්න ප්‍රමාණයක් බස්නාහිර පළාත කේන්ද්‍රගතව නිෂ්පාදනය වූ අතර උතුරු, නැගෙනහිර, උතුරුමැද සහ ඌව යන එක් එක් පළාතක දායකත්වය සියයට 5ට අඩු අගයක් ගන්නා ලදී.
බස්නාහිර පළාත කේන්ද්‍රගත කර ඇති ආර්ථිකය වඩාත් නාගරීකරණයකට ලක් වූ මෙන්ම විවිධාංගීකරණයකට ලක් වූවක් වන අතර ඉහත සඳහන් කළ පළාත් ආශ්‍රිත ආර්ථික බහුල ලෙසම කෘෂිකාර්මික පදනමක් සහිත පසුගාමී වූ ඒවා වේ. බස්නාහිර පළාතෙන් බැහැර ප්‍රදේශවල නූතණ ආර්ථිකයකට අදාළ කටයුතු මූලික වශයෙන්ම කේන්ද්‍රගත වන්නේ ප්‍රධාන නාගරික කලාපවල පමණි. උදාහරණක් ලෙස උතුරුමැද පළාත සලකනු ලැබුවහොත් ආර්ථීක කටයුතු අනුරාධපුර සහ පොලොන්නරුව යන ප්‍රධාන නාගරික ප්‍රදේශවල වැඩි වශයෙන්ම කේන්ද්‍රගතව පවතී. ඒ අනුව පෙනීයන මූලික කරුණක් වන්නේ එක් එක් පළාත තුළ ද දැඩි සංවර්ධන විෂමතාවක් පවතින බවයි. මෙම ආර්ථික විෂමතා තවදුරටත් විදහාපාන සමාජ, ආර්ථික පැතිකඩක් වන්නේ දුගීකමට අදාළ ප්‍රාදේශීය විෂමතා වේ.
ආර්ථික වශයෙන් පසුගාමී පළාත්වල දුප්පත්කම සාපේක්ෂව ඉතා ඉහළ මට්ටමක් ගනී. එමෙන්ම, බොහෝ පළාත්වල, කෘෂිකාර්මික, කර්මික සහ සේවා අංශවල නියුතු නිෂ්පාදන ආයතන සහ ශ්‍රමිකයන් මූලික වශයෙන්ම අවිධිමත් අංශය තුළ ක්‍රියාත්මක වේ. එවැනි පළාත්වල රාජ්‍ය අංශයේ නිෂ්පාදන දායකත්වය සාපේක්ෂව ඉහළ මට්ටමක පවතී. මේ නිසා බොහෝ දෙනා රජයේ රැකියා අපෙක්ෂා කරති. නිදහස ලබාගත් මුල් අවධියේ පටන් 1990 දක්වා වූ කාලය තුළ ප්‍රාදේශීය සංවර්ධනය සඳහා සැලකිය යුතු අවධානයක් යොමු කරනු ලැබූ නමුත් පසුකාලීනව එවැනි අවධානයක් යොමු නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රාදේශීය සංවර්ධන විෂමතා ක්‍රමයෙන් ඉහළයාමක් සිදුවිය. 1990 පෙර අවධියේ දී, ප්‍රාදේශීය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් විවිධ සංවර්ධන යෝජනා ක්‍රම පමණක් නොව ආයතනික ව්‍යුහ ද පැවතිණී. උතුරු නැගෙනහිර පැවති සිවිල් යුද්ධය අවසන්වීමත් සමග එම ප්‍රදේශ සංවර්ධනය කිරීම අරමුණුකර යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මුල් වකවානුව තුළ සිදුවුවත් ඊට සමගාමීව පෞද්ගලික අංශය මූලික කරගත් ආර්ථික සංවර්ධනයක් සඳහා අවශ්‍යවන අඩිතාලමක් දැමීම සිදු නොවිණි.
උතුරු - නැගෙනහිර පමණක් නොව අනෙකුත් පළාත් තුළත් යටිතල පහසුකම් ගොඩනැංවීමක් සිවිල් යුද්ධය අවසන් වූවාට පසුකාලය තුළ සිදුවුවත් එවැනි යටිතල පහසුකම් භාවිත කරමින් ආර්ථික කටයුතු සිදු නොවිණි. කදිම උදාහරණය වන්නේ හම්බන්තොට ආශ්‍රිතව ගොඩනංවන ලද යටිතල පහසුකම් වේ. හම්බන්තොට ආශ්‍රිතව ගොඩනංවන ලද වරාය, ගුවන්තොට, අධිවේගී සහ පුළුල් මාර්ග පද්ධතිය සහ රාජ්‍ය ආයතන ව්‍යුහය ඉතා ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා මහත් සේ උපකාරවන යටිතල පහසුකම් වේ. එහෙත් එවැනි යටිතල පහසුකම් මත පදනම්ව ආර්ථික කටයුතු සිදුනොවිණි. ඊට මූලික හේතුව වූයේ යටිතල පහසුකම් සංවර්ධනයට අවධානයක් යොමු කළත් එම යටිතල පහසුකම් භාවිත කිරීම සහතික කරනු ලබන ආර්ථික වැඩපිළිවෙළක් නොතිබීම වේ.
ප්‍රාදේශීයව පැවති විෂමතා තවදුරටත් තීව්‍ර කරලීම සඳහා මෑතක දී සිදු වූ දිට්වා සුළිකුණාටුව ද යම් බලපෑමක් කරනු ඇතැයි සිතිය හැකි වේ. දිට්වා සුළිකුණාටුව හේතුවෙන් සමාජ, ආර්ථික යටිතල පහසුකම්වලට මෙන්ම නිෂ්පාදන කේෂ්ත්‍රයටද දැඩි බලපෑමක් එල්ල වූ අතර බොහෝ ප්‍රදේශවල ජනජීවිතයට දැඩි බලපෑම් එල්ල කරන ලදී. ලෝක බැංකු ඇස්තමේන්තුවලට අනුව දිට්වා සුළිකුණාටුව නිසා ඇති වූ ආර්ථික හානිය/ පිරිවැය ඇ. ඩොලර් බිලියන 4.1 ක් පමණ වේ. ජාත්‍යන්තර කම්කරු සංවිධානයට අනුව ලක්ෂ 4ක පමණ පිරිසකගේ රැකියා සඳහා බලපෑම් එල්ල වූ අතර ආසන්න වශයෙන් මසකට ඇ. ඩොලර් මිලයන 48 පමණ ඉපැයීම් ප්‍රමාණයක් අහිමිව ගොස් ඇත. කොරෝනා වසංගතය, 2022 ආර්ථික අර්බුදය සහ ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තිවල බලපෑමට ලක්ව ඉහළ මට්ටමක පැවති දුප්පත්කම තවදුරටත් උග්‍රකරලීමට මෙම ආපදා තත්වය බලපා ඇති බව නොරහසකි. ඒ අනුව ගත්කල, පළාත් දළ දේශීය නිමවුමෙන් පෙන්නුම් කරනවාට වඩා දැඩි සමාජ, ආර්ථික විෂමතාවක් බස්නාහිර පළාත් සහ අනෙකුත් පළාත් අතර පවතින බව ඉතා පැහැදිලිය.
ප්‍රාදේශීය සංවර්ධන විෂමතාවල අනිසි ප්‍රතිවිපාක
ප්‍රාදේශීයව පවත්නා සංවර්ධන විෂමතා අහිතකර සමාජ, ආර්ථික ප්‍රතිවිපාක ගණනාවක් ඇති කරනු ලබයි. පළමුව, ප්‍රාදේශීය සංවර්ධන විෂමතා ඉහළ ආර්ථික අසමානතාවකට (Economic inequality) හේතුවේ. සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවලට සාපේක්ෂව ඉහළ මානව සංවර්ධන තත්වයක් තිබියදීත්, ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික සංවර්ධනය සහ අවස්ථා කලාප පුරා, විශේෂයෙන් බස්නාහිර පළාත සහ රටේ අනෙකුත් ප්‍රදේශ අතර අසමාන ලෙස බෙදී පැවතීම සංවර්ධන ආර්ථික විද්‍යාවට අනුව තේරුම් ගැනීම අපහසු වූවක් වේ. මෙම අසමතුලිතතා රටේ ප්‍රගතියට සහ සමාජ සමගියට අහිතකරව බලපානු ලබයි. වඩාත්ම දෘෂ්‍යමාන ප්‍රතිවිපාකවලින් එකක් වන්නේ ආර්ථික අසමානතාවයි. එසේ ඉහළ ආර්ථික විෂමතාවක් පැවතීම ආර්ථික කාර්යක්ෂමතාවට අහිතරකව බලපානු ලබයි.
බස්නාහිර පළාත, විශේෂයෙන් කොළඹ සහ ඒ අවට ප්‍රදේශ, දළ දේශීය නිෂ්පාදිතයෙන් අසමානුපාතිකව විශාල කොටසකට දායක වීමෙන් ජාතික ආර්ථිකය ආධිපත්‍යය දරයි. වඩා හොඳ යටිතල පහසුකම්, වෙළෙඳපොළට ප්‍රවේශය සහ රජයේ සේවා හේතුවෙන් එම ප්‍රදේශ බොහෝ විදේශ ආයෝජන, කර්මාන්ත සහ ඉහළ ආදායම් ලබන රැකියා අවස්ථා ආකර්ෂණය කරයි. ඊට වෙනස්ව උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත් කෘෂිකර්මාන්තය සහ අවිධිමත් රැකියා මත දැඩි ලෙස රඳා පවතින අතර එමගින් පහළ ආදායම් උත්පාදනය කරනු ලබයි. මේ හේතුවෙන් ඉතා ඉහළ ආදායම් විෂමතාවක් මෙන්ම ඉහළ දුප්පත්කමක් ද ඇති කරනු ලබයි. විශේෂයෙන්ම, බහුමාණික ප්‍රවේශයක් භාවිතයෙන් දුප්පත්කම් මිනුම් කරනු ලබනවිට, ප්‍රාදේශීයව ඉතා ඉහළ දුප්පත්කමක් පැවතීමට මෙම ප්‍රාදේශීය සංවර්ධන විෂමතා හේතු වේ. මෙම අසමාන වර්ධන සහ සංවර්ධන තත්වය සමස්ත ආර්ථික කාර්යක්ෂමතාව සීමා කරනු ලබන අතර, අඩු සංවර්ධිත කලාපවල විභවය අඩුවෙන් භාවිත කිරීමෙන් ජාතික සංවර්ධනය මන්දගාමී කරයි.
ප්‍රාදේශීය ආර්ථික විෂමතාවල තවත් එක් ප්‍රධාන ප්‍රතිවිපාකයක් වන්නේ අභ්‍යන්තර සංක්‍රමණය (Internal migration) සහ නාගරික පීඩනයයි (Urban pressure). ග්‍රාමීය සහ ඌන සංවර්ධිත ප්‍රදේශවලින් පැමිණෙන ජනතාව රැකියා, අධ්‍යාපනය සහ වඩා හොඳ ජීවන තත්වයන් සොයා කොළඹ සහ අනෙකුත් නාගරික මධ්‍යස්ථාන වෙත නිතර සංක්‍රමණය වේ. සංක්‍රමණය පුද්ගල ජීවනෝපාය වැඩිදියුණු කළ හැකි වුවද, එය නගරවල තදබදය, නිවාස හිඟය, රථවාහන තදබදය සහ පොදු සේවා සඳහා ඇති ඉල්ලුම වැඩි කිරීමට හේතු වී තිබේ. ඉතා ඉහළ මට්ටමක පවතින අභ්‍යන්තර සංක්‍රමණ හේතුවෙන් ඉඩම් සහ නිවාස මිල බස්නාහිර පළාත තුළ විශේෂයෙන්ම කොළඹ සහ ගම්පහ නාගරික සහ අර්ධ නාගරික කලාප තුළ ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යනු ලබන අතර නාගරික කලාප තුළ මුඩුක්කු නිවාස ගහණය ඉහළ යාමද සිදු වේ.
එමෙන්ම, නාගරිකව වාසය කරනු ලබන අඩු ආදායම්ලාභීන්ට දැරිය හැකි මිලකට නිවාස පහසුකම් ලබාදීම අති දුෂ්කර කටයුත්තක් බවට පත්වේ. ඒ සමගම, ග්‍රාමීය ප්‍රදේශවල ජනගහන පරිහානිය, ශ්‍රම හිඟය සහ වයස්ගත ප්‍රජාව අත්විඳින අතර එමගින් දේශීය ආර්ථිකය තවදුරටත් දුර්වල වන අතර කෘෂිකාර්මික ඵලදායිතාව අඩු වේ. ප්‍රාදේශීය සංවර්ධන විෂමතා (Social inequality) සමාජ අසමානතාවට සහ සේවා සඳහා අසමාන ප්‍රවේශයට (Unequal access to services) ද දායක වේ. ශ්‍රී ලංකාවේ අඩු සංවර්ධිත ප්‍රදේශවල, නාගරික ප්‍රදේශවලට සාපේක්ෂව ගුණාත්මක සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, උසස් අධ්‍යාපන ආයතන සහ තාක්ෂණික යටිතල පහසුකම් සඳහා ප්‍රවේශය සීමිතය. ග්‍රාමීය ප්‍රදේශවල පාසල් සහ රෝහල් බොහෝවිට දක්ෂ කාර්ය මණ්ඩල සහ සම්පත් හිඟයකින් පීඩා විඳී. එහි ප්‍රතිඵලයක් ලෙස, අවාසි සහගත ප්‍රදේශවල දරුවන් සහ තරුණයන් ඉහළ සමාජ සංචලනය සඳහා අඩු අවස්ථාවලට මුහුණ දෙන අතර, අන්තර් පරම්පරා දරිද්‍රතාව ශක්තිමත් කරන අතර සමාජ පරතරය පුළුල් කරයි.
ප්‍රාදේශීය සංවර්ධන විෂමතා ඇති කර ඇති තවත් ප්‍රතිවිපාකයක් වන්නේ දේශපාලන ආතතිය සහ ගැටුම්ය (political tension and conflicts). දශක තුනකට ආසන්න කාලයක් පැවති සිවිල් ගැටුමට දායක වූ සාධක අතර, විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල දිගුකාලීන ප්‍රාදේශීය සංවර්ධන සහ වාර්ගික විෂමතා ද විය. මධ්‍යම රජය විසින් ආන්තිකකරණය, අසමාන සංවර්ධනය සහ නොසලකා හැරීම පිළිබඳ හැඟීම් දුක්ගැනවිලි තීව්‍ර කළ අතර ජාතික සමගිය අඩපණ කළේය. ගැටුම අවසන්වීමෙන් පසුව පවා, ප්‍රාදේශීය සංවර්ධන විෂමතා ජාතීන් අතර සංහිඳියාවට සහ තිරසාර සාමයට අභියෝග කරයි. එමෙන්ම, දකුණේ ඇති වූ තරුණ නැගිටීම් සඳහා ද හේතු වූයේ ප්‍රාදේශීය සංවර්ධන විෂමතා වන අතර එමඟින් ඇති වූ සමාජ, ආර්ථික පිරිවැය අති විශාල වේ.
ප්‍රාදේශීය සංවර්ධන විෂමතාවල ඇති තවත් එක් ප්‍රතිවිපාකයක් වන්නේ එමගින් ඇති කරණු ලබන පාරිසරික ගැටලු වේ. අඩු සංවර්ධිත කලාප බොහෝවිට ස්වාභාවික සම්පත් නිස්සාරණය සහ යැපුම් කෘෂිකර්මාන්තය මත දැඩි ලෙස රඳා පවතින අතර, සමහරවිට වන විනාශය, ඉඩම් හායනය සහ ජල හිඟයට හේතු වේ. මේ අතර, සංවර්ධිත කලාපවල වේගවත් නාගරීකරණය දූෂණය, අපද්‍රව්‍ය උත්පාදනය සහ ඉඩම් සහ වෙරළබඩ පරිසර පද්ධති මත පීඩනය වැඩි කර ඇත.
විෂමතා පහත හෙළීම සඳහා වූ ප්‍රතිපත්ති
පළාත් අතර මෙන්ම එක් එක් පළාත තුළ ද පවත්නා සමාජ, ආර්ථික විෂමතා පහත හෙළීම සඳහා ඉන්දියාව විසින් මේ වනවිට ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනක් පිළිබඳව අවධානය යොමු කිරීම යෝග්‍ය වේ. 2026 වර්ෂයේ දී ඉන්දියාව විසින් දියත් කරනු ලැබූ Indian Rurban Programme මගින් ප්‍රාදේශීයව සමබර සංවර්ධනක් ඇති කිරීම සඳහා ඉලක්ක කරන ලදී. එම ප්‍රවේශයෙන් මූලික වශයෙන්ම අරමුණු කරන ලද්දේ ග්‍රාමීය ප්‍රදේශ කීපයක් සඳහා නාගරික මධ්‍යස්ථානයක් ඇති කිරීම වන අතර එමඟින් එක් පැත්තකින් ග්‍රාමීය ලක්ෂණ මෙන්ම අනෙක් පැත්තෙන් නාගරික ලක්ෂණ ද රඳවා ගැනීම අරමුණු කරන ලදී. ඒ හේතුවෙන් එම වැඩසටහන Rurban නමින් හඳුන්වන ලදී.
එවැනි නාගරික මධ්‍යස්ථාන ආශ්‍රිතව ආර්ථික යටිතල පහසුකම් (ප්‍රවාහන, මහාමාර්ග, විදුලිය, ජලා ප්‍රවාහන ආදිය) සහ සමාජීය යටිතල පහසුකම් (සෞඛ්‍ය, අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන) සංවර්ධන කරනු ලබන අතර ආර්ථික කටයුතු ප්‍රවර්ධනය සඳහා එක් එක් ප්‍රදේශයට අදාළ සාපේක්ෂ වාසි සහ සම්පත් උපයෝජනයට හැකි වන පරිදි ආර්ථික කටයුතු නාගරික මධ්‍යස්ථාන වටා ඇති කිරීමට අවශ්‍ය පහසුකම් සපයනු ලබයි. ඒ අනුව, කෘෂි සැකසුම් මධ්‍යස්ථාන, සංචාරක සේවා සැපයීම් මෙන්ම ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය වන යටිතල පහසුකම් සපයනු ලබයි. එමෙන්ම, නාගරික මධ්‍යස්ථාන ආශ්‍රිතව ඩිජිටල් පහසුකම් සංවර්ධනය සඳහා ප්‍රමුඛස්ථානයක් ලබාදෙනු ලබයි. ඩිජිටල් පහසුම් මගින් අදාළ නාගරික මධ්‍යස්ථාන බාහිර ප්‍රදේශ සමග ඉතා ශක්තිමත්ව සම්බන්ධ කිරීමට පියවර ගනු ලැබේ.
මෙරට ජනාවාස පිළිබඳව අවධානය යොමු කිරීමේ දී පැහැදිලිව දැකගත හැකි තත්වයක් වනුයේ ජනාවාස වඩාත් පැතිරී පවතින ස්වරූපයක් ගන්නා බවයි. එවැනි පැතිරී පවතින ග්‍රාමීය ජනාවාස සඳහා පොදු සේවා සැපයීම ඉතා පිරිවැය අධික කටයුත්තක් වන අතර විශේෂයෙන්ම ගුණාත්මක අධ්‍යාපනයක්, සෞඛ්‍ය සේවා මෙන්ම නව ඩිජිටල් තාක්ෂණය සඳහා අවස්ථා ලබාදීම අති දුෂ්කර කටයුත්තක් වේ. එමෙන්ම, දිට්වා සුළිකුණාටුව මගින් පෙන්වා දුන් එක් ප්‍රධාන කරුණක් වන්නේ මෙරට යටිතල පහසුකම් ස්වාභාවික විපත් සඳහා ඔරොත්තු නොදෙන බවයි. එනම්; මාර්ග පද්ධතිය, විදුලිය, සන්නිවේදනයට අදාළ යටිතල පහසුකම් මුළුමනින්ම බිඳවැටීමෙන් අවධාරණය කරනු ලබන කරුණක් වන්නේ තවදුරටත් එවැනි සේවා ඈත පිටිසර ගම් නියම්ගම් දක්වා පවත්වාගෙන යාම අති දුෂ්කර බවයි.
මේ නිසා ඉතා ඉහළ සේවා ලබාදෙන නාගරික මධ්‍යස්ථාන පිහිටුවීමෙන් ජනයාට නූතන තාක්ෂණයට අවකාශ ලබාදීම මෙන්ම ගුණාත්මක බවින් ඉහළ සේවාවලට අවස්ථාව ලබාදීම ද සිදු කළ හැකිය. විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වෙමින් නාගරික සේවා සහ ආර්ථික අවස්ථා භුක්ති විදීමට අවස්ථාව ලබාදිය හැකිය.
නිගමනය
ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සංවර්ධන විෂමතා දිගුකාලීන, ආර්ථික, සමාජීය, දේශපාලනික සහ පාරිසරික ප්‍රතිවිපාක ඇති කරයි. එවැනි විෂමතා, ආර්ථික අසමානතාව ගැඹුරු කිරීමට, අසමතුලිත සංක්‍රමණය දිරිමත් කිරීමට, නාගරික මධ්‍යස්ථාන පීඩාවට පත් කිරීමට සහ දිගුකාලීන සමාජ ඒකාබද්ධතාවට තර්ජනය කිරීමට හේතු වේ. එබැවින්; තිරසාර හා සමබර ජාතික සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීම සඳහා කටයුතු කළ යුතුව පවතී. මේ වනවිටත් ඉන්දියාව විසින් ප්‍රාදේශීය විෂමතා පහත හෙළීමට සාර්ථකව Rurban වැඩසටහන ක්‍රියාත්මක කරමින් පවතින අතර ඒ හා සමාන වැඩසටහනක් පිළිබඳව මෙරට ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමුවීම යෝග්‍යයැයි සිතේ. එමඟින්, ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වෙමින් නාගරික සේවා සහ ආර්ථික අවස්ථා භුක්ති විදීමට ග්‍රාමීය ජනයාට අවස්ථාව ලබාදිය හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd