
- බැංකු ආයතන සතු සයිබර් ආරක්ෂාව වැඩි දියුණු කරගැනීම මූලික අවශ්‍යතාවක්
- විශ්වාසයක් නොමැති ඩිජිටල් අනුවර්තනයකට දිගු ගමනක් යන්න බැහැ - දමිත් පල්ලෙවත්ත
- සයිබර් ආරක්ෂාව බැංකුවේ ව්‍යාපාර මොඩලයේ කොටසක් බවට පත්විය යුතුයි - සනත් මනතුංග
භානුක අමරසිංහ
බැංකු සතුව පවතින ඩිජිටල් තාක්ෂණික හැකියාව සම්බන්ධයෙන් පාරිභෝගික ජනතාව සතුව විශ්වාසයක් නොමැති නම් එම තාක්ෂණයේ ඵලක් නොමැති බව බැංකු ප්‍රධානීහු සඳහන් කරති. ඒ අනුව බැංකු ඩිජිටල් තාක්ෂණය වෙත වේගවත්ව යොමු වෙන ආකාරයටම ජනතාවගේ විශ්වාසය දිනාගත හැකි ලෙස සයිබර් ආරක්ෂාව ශක්තිමත් කරගැනීමද සිදු කළ යුතුව ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ DailyFT පුවත්පත එක්ව සංවිධානය කළ Future Proofing The Banking Sector නම් අන්තර්ජාල වෙබිනාර් සාකච්ඡාවකදී අදහස් දක්වමින් හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත සහ කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග යන මහත්වරු මෙම කරුණු සඳහන් කළහ.
විශේෂයෙන්ම ආසන්න කාලසීමාවේදී රටෙහි බැංකු පද්ධතිය වෙත එල්ල වූ සයිබර් ප්‍රහාර ඇතුළු ඩිජිටල් තාක්ෂණික ගැටලු හේතුවෙන් ජනතාව එම තාක්ෂණය පිළිබඳව දක්වන අයහපත් ආකල්පය මෙන්ම කෘත්‍රිම බුද්ධිය ඇතුළු නව තාක්ෂණය හේතුවෙන් අනාගතයේදී බැංකු වෙත එල්ල විය හැකි අභියෝග හමුවේ කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණි.
මෙහිදී අදහස් දැක් වූ දමිත් පල්ලෙවත්ත මහතා, “බැංකු කොතරම් හොඳ නවීන තාක්ෂණයක් වෙත යොමු වුණත්, සයිබර් ආරක්ෂාවක් නැත්නම් එය වාසියට වඩා අවාසියක් වෙනවා. පාරිභෝගිකයා තාක්ෂණය වෙත යොමුවෙන්නේ ඔවුන්ට ඒ ගැන විශ්වාසයක් තියෙනවා නම් විතරයි. විශ්වාසයක් නොමැති ඩිජිටල් අනුවර්තනයක් දිගු ගමනක් යන්නේ නෑ. හොඳම තාක්ෂණයක් සහිත බැංකුව මේ ගමනේ ජයග්‍රාහකයා නෙමෙයි. තාක්ෂණයත් සමග හොඳ විශ්වාසයක් තියෙන බැංකුව තමයි ජයග්‍රාහකයා වෙන්නේ.“
අද වනවිට කෘත්‍රිම බුද්ධිය, යාන්ත්‍රික ඉගෙනුම්, ක්ලවුඩ් පරිගණක සහ ඩිජිටල් ගෙවීම් පාරිභෝගිකයාගේ අපේක්ෂා වෙනස් කර තිබෙන බවත්, මේ පාරිභෝගික අපේක්ෂා වෙත අවධානය යොමු නොකරන බැංකු පසු බසින බවත් ඒ මහතා පවසයි.
එසේම මෙම තාක්ෂණය සම්බන්ධයෙන් පාලනයක් අවශ්‍ය බවත්, කෘත්‍රිම බුද්ධිය හා සම්බන්ධ සදාචාරාත්මක භාවිතාවක් අවශ්‍ය බවත් පල්ලෙවත්ත මහතා සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක් වූ කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා සයිබර් ප්‍රහාර, ඩිජිටල් වංචා සහ කෘත්‍රිම බුද්ධි ක්‍රියාකාරකම් බැංකු අංශයට එල්ලවී ඇති අලුත්ම ආකාරයේ තර්ජන බව පෙන්වා දුන්නේය.
“දශක ගණනක් පුරා බැංකු මූලිකවම අවධානය යොමු කළේ සාම්ප්‍රදායික අවදානම් වෙත විතරයි. එහෙත් අද වෙන කොට සයිබර් ප්‍රහාරයක් කියන්නේ දරුණු මූල්‍යමය අලාභයක් වගේම බැංකු වෙත පවතින විශ්වාසය සහ පිළිගැනීමටත් හානි ඇති කරවන්නක්. ඒ වගේම කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ කරුණක් කියන්නේ බැංකුවේ පාලනයේ පවතින ගැටලුවක් සහ පාරිභෝගිකයාගේ විශ්වාසය පිළිබඳ දෙයක්. මේ සියල්ල එකට සම්බන්ධවීමත් සමගින්ම ගැටලුව දරුණු කරනවා. සමහර සිදුවීම් රුපියල්වලින් ගණනය කරන්න පුළුවන් වුණත්, ඇතැම් ඒවා එහෙම බැහැ. විශ්වාසය ප්‍රධානයි. විශ්වාසය දශක ගණනක් පුරා ගොඩනැගිය හැකි වුණත්, මෙවැනි සිදුවීමකින් තත්පර කිහිපයකින් එය බිඳ දමනවා.“
ඒ අනුව අනාගතයේදී මෙම බැංකු සතු ආරක්ෂාවීමේ හැකියාව වර්ධනය කර ගැනීම සඳහා එකිනෙකට සම්බන්ධ මූලික දරා ගැනීමේ අවස්ථාවන් හතරක් අවශ්‍ය බව තම අදහස බවද මනතුංග මහතා සඳහන් කළේය.
“අද බැංකු කටයුතු කියන්නේ බොහෝ ලෙස ඩිජිටල් තාක්ෂණය හා සම්බන්ධ වූ දෙයක්. බැංකු ගිණුමක් ආරම්භ කිරීමේ සිට ණයක් ලබා ගැනීම ඇතුළුව සියලුම මූල්‍ය ගනුදෙනු සිදු කෙරෙන්නේ ජංගම උපාංග හරහා, කාඞ්පත් හෝ ජංගම දුරකතන ඇප් හරහා. ඇතැම් විට අනාගතයේදී බැංකු අත්දැකීම් පාලනය කරන්නේ බුද්ධිමය පද්ධතියක් හරහා වෙන්න පුළුවන්.’’
කෙසේ වෙතත් ඩිජිටල් තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය යනු ඉතා ඉහළ අනතුරුදායක බවක් ඇති කරන අවස්ථාවක් බවත්, සයිබර් ආරක්ෂාව තවදුරටත් තොරතුරු තාක්ෂණික කාරණාවක් නොවන බවත් ඒ මහතා සඳහන් කළේය.
“මෙය බැංකුවේ ව්‍යාපාර මොඩලයේ කොටසක් බවට පත්විය යුතුයි. ඒවගේම එය පැහැදිලිවම අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීමක් විය යුතුයි. සයිබර් ප්‍රහාර කියන්නේ ඉදිරියටත් සිදු වෙන්න පුළුවන් දේවල්. එහෙත් ගැටලුව වෙන්නේ බැංකු ආයතනවලට මේවා හඳුනාගන්න පුළුවන්ද කියලයි. ඒවාට ප්‍රතිචාර දක්වලා, එම අලාභ ආපසු අයකර ගන්න පුළුවන්ද කියලයි. පාරිභෝගික විශ්වාසය පවත්වා ගන්න පුළුවන්ද කියන එකයි.“
එසේම කෘත්‍රිම බුද්ධිය යනු බැංකු කටයුතු වඩාත් හොඳින් වැඩිදියුණු කරගැනීමට යොදා ගත හැකි ටූලයක් වුවත්, එය යම් අවස්ථාවකදී බැංකු මෙහෙයුම් වෙතම හානිදායක වීමේ අවදානමක් පවතින බවත් මනතුංග මහතා සඳහන් කළේය.
මේ අතර කෘත්‍රිම බුද්ධි තාක්ෂණය හරහා අනාගත බැංකු රැකියා වෙත එල්ල වන බලපෑම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒ මහතා, “තාක්ෂණය මිලදී ගත හැකි වුණත්, දක්ෂතාව කාලයක් පුරා ගොඩනැගිය යුත්තක්. ඒ නිසා අනාගතයට සූදානම් වන බැංකු දක්ෂතා වර්ධනය, නායකත්ව හැකියා, ඩිජිටල් දක්ෂතා, සදාචාරාත්මක තීරණ ගැනීම් යනාදිය පිළිබඳව දැනුම ලබාදීම සඳහා ආයෝජනය කළ යුතුයි.“
මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ දමිත් පල්ලෙත්ත මහතා, අනාගත බැංකුකරණය හුදෙක් ඩිජිටල් තාක්ෂණය පමණක් නොවන බවත්, එය වැඩි වශයෙන් මානව දායකත්වය සහිත ක්ෂේත්‍රයක් බව සිය පෞද්ගලික මතය බවත් සඳහන් කළේය. එහෙත් ආර්ථික අර්බුදයත් සමගින් රටේ බොහෝ දක්ෂයන් රට හැර ගොස් තිබෙන බවත්, ඒ නිසා බැංකු ක්ෂේත්‍රය වෙත අවශ්‍ය පුහුණුව ලත් සුදුසු පිරිස සොයා ගැනීමත් මේ වනවිට අභියෝගයක් බවට පත්ව තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd