ජනපති අනුර කුමාර දිසානායක

බලශක්ති ඇමැති ඉංජිනේරු කුමාර ජයකොඩි

 

අද දවසේ විවාදයට ලක්ව ඇති මහජනතාවට වඩාත්ම බලපාන මාතෘකාව නම් විදුලිබල ප්‍රතිපත්තිය සහ විදුලිබල ගාස්තු පිළිබඳ ප්‍රතිපත්තියයි. මෙම මාතෘකාව අතිශය වැදගත් වන්නේ එය සමස්ත ජනතාවගේ එදිනෙදා ජීවිතයට බලපාන නිසාත් ශ්‍රී ලංකා ආර්ථිකයේ අනාගතය කෙරෙහි බලපාන නිසාත්ය.

එම නිසා 2024/25 විදුලිබල (සංශෝධන) පනතෙන් විදුලි බලය, සහ ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් විධිමත්ව සකස් කිරීම අවශ්‍ය වන්නේය. එම නිසා මෙම ප්‍රතිපත්තිය රටේ ජාතික ප්‍රතිපත්තියට අනුකූලව පාරිභෝගික සහ ව්‍යාපාර හිතවාදී ආකාරයෙන් කෙසේ විධිමත්ව සකස් කරන්නේද යන්න මත රටේත් ජනතාවගේත් අනාගතය දැඩි ලෙස රැඳී පවතී. එහි ජාත්‍යන්තර බැඳියාව සහ දැනට පවතින විදුලිබල පනත, එම නිසා අතිශය ඉහළ වැදගත්කමක් දරයි.

පසුගිය වසරේ විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශය මෙම ප්‍රතිපත්ති දෙක විධිමත්ව සකස් කිරීම සඳහා සය පුද්ගල කමිටුවක් පත් කරන ලදී. මෙම කමිටුවේ සාමාජිකයෝ 2025 දෙසැම්බර් 15 වැනිදා, විදුලිබල සහ ගාස්තු ප්‍රතිපත්තියේ කෙටුම්පත අමාත්‍යවරයාට ඉදිරිපත් කළහ. ඒ අනුව අමාත්‍යවරයා කෙටුම්පත් කරන ලද ප්‍රතිපත්තිය, ජාතික ප්‍රතිපත්තිය හා විදුලි බලය පනත ආදිය සමග එකේලි වන්නේ ද යන්න පරීක්ෂා කර තීරණය කරන ලෙස ඉල්ලා සිටියේය.

පත් කරනු ලැබූ කමිටුව විසින් අනුගමනය කරන ලද ක්‍රියාදාමය බොහෝ සෙයින් ප්‍රශ්නකාරීය. පනතට අනුකූලව, ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීමට උත්සාහ දැරීමට පෙර ඒ පිළිබඳව උනන්දුව දක්වන පිරිසගේ අදහස් විමසා බැලීම ඔවුන්ගේ වගකීම විය. එකී උනන්දුව දක්වන පිරිස් අතර, මහජන උපයෝගීතා කමිටුව, ජාතික පද්ධති මෙහෙයුම, වාණිජ මණ්ඩලය, පාරිභෝගික සංවිධාන ආදිය වේ. එකී අදහස් විමසීමෙන් අනතුරුව, සකස් කරන ලද ප්‍රතිපත්තිය, පනතේ කොන්දේසි හා සැසඳේ ද යන්න තවදුරටත් පරීක්ෂා කිරීමේ ක්‍රියාමාර්ග ගනු පිණිස අමාත්‍යවරයා වෙත යැවිය යුතුය.

සමස්ත අසාර්ථකත්වය පටන් ගැනුණේ අනුමත කරන ලද, ක්‍රියාදාමය අනුගමනය නොකර, පාරිභෝගිකයා හෝ එම ව්‍යාපාරය පිළිබඳ අදහසක් නොමැතිව කමිටුව විසින් ප්‍රතිපත්තිය රචනා කිරීමත් සමගයි. ඒ සියල්ලට ඉහළින් ඔවුන් විසින්, මුදල් ගෙවා උපදේශකවරයකුගේ සේවය ගන්නා ලදුව, ඔහු පනතේ අර්ථ දක්වන ලද නීතිමය රාමුවට පටහැනිව ප්‍රතිපත්තිය කෙටුම්පත් කරනු ලැබුවේය. ඒ හේතුවෙන් එය නීත්‍යානුකූලව පිළිගත නොහැකි ප්‍රතිපත්තියක් බවට පත් වූයේය. (එම පුද්ගලයාට එම කාරණය පිළිබඳ උනන්දුව බලෙන් පටවන ලද්දකි).

පසුගිය අවුරුදු පහළොවටම ජාතික සම්ප්‍රේෂණ (ග්‍රිඩ්) ජාලයට සපයන ලද ඉහළම බලශක්ති ධාරිතාව සපයනු ලැබුවේ සූර්ය බලශක්ති මූලාශ්‍රයෙනි. (ස්ථාපිත කරන ලද මුළු ධාරිතාව මෙගා වොට් 2500කි). එයින් ද වැඩි කොටසක් ලබා දෙන ලද්දේ පියසි මත සෝලා පැනලවලින් වන අතර එහිදී ජාලයට දරන්නට සිදුවූයේ අවම වියදමකි. (මෙ.වො. 2100). සියලු‍ම සෝලා ව්‍යාපෘති කරන ලද්දේ පාරිභෝගිකයන් විසින්ය. ඔවුන් කුඩා පරිමාණ බලශක්ති උත්පාදක සමූහයක් බවට පත් වූයේ පරිභෝජනයත් නිෂ්පාදනයත් එක විට කරමිනි. (ඉංග්‍රීසි බසින් ඔවුන්,  PROSUMERS යනුවෙන් හඳුන්වනු ලැබුවේය). මෙම ක්‍රමයෙන් ජාලයට බලපෑම් කරනු ලැබූ හදිසි බලශක්ති සහ ඩීසල් බලශක්ති බලාගාරවල කොඳු නාරටි බිඳ දැමුවේය. එම පහර කෑ නිසා කමිටුව විසින් සකස් කරන ලද විදුලිබල ප්‍රතිපත්තියේ වැඩිදුර අවධානය යොමු කර ඇත්තේ පියසි මත සූර්ය බලය නවතාලීමටය. PROSUMER ප්‍රජා සමූහයට දඬුවම් දෙන තරමටම කමිටුව දුරදිග ගොස් තිබෙන්නේ, සම්බන්ධතා යාන්ත්‍රණය ද වෙනස් කරමිනි. පියසි මත සූර්ය පැනල හිමියන් භාවිත කරන කාලය වෙනස් කර මාසික උපයෝගීතාව උදෙසා ඉතාමත් ඉහළ ප්‍රමාණයේ ගාස්තු ගෙවන්නට සිදුවන පරිදි එම වෙනස සිදුකර ඇත. යෝජිත වෙනසෙන් සිදුවිය හැකි ප්‍රතිඵලය අංක 1 රූප සටහනේ විස්තර වේ.

පසුගිය වසර කිහිපය තුළ විදුලිබල උපයෝගීතා රටාව බොහෝ සෙයින් වෙනසකට ලක් වී තිබේ. ප.ව. 6.30 පසු උපරිම අයුරින් සිදුවූ භාවිතය දැන් ඊට කලින් සිදු වේ. 2027/ 28 කාලය වන විට ඊට අදාළ ප්‍රස්ථාරයේ කවය සමතල රේඛාවක් වෙතැයි බලාපොරොත්තු වේ. සූර්ය බලය ඔස්සේ විදුලිය උත්පාදනය දිවා කාලයේ මෙම වැඩිවන ඉල්ලු‍මට පිළියමක් වන අතර මුළු මහත් රට සම්බන්ධයෙන් ගත්විට ඉතා වැදගත් වාණිජමය වාසි එයින් සැලසේ. වඩාත් අවශ්‍ය වූ ජලය එයින් ඉතිරි වන අතර එය හයිඩ්‍රො බැටරියක් ලෙසද ක්‍රියාත්මක වෙයි. දිවා කාලයේදී ජලය මුදා නොහැර ජලාශවල ඉතිරි කරගෙන සූර්ය බලශක්තිය නොමැති ප.ව. 6.00 පසු කාලයේදී, එම ජලය මුදාහැර විදුලි බලය ලබාගත හැකිය. සූර්ය බලශක්තියේ ඍජු නොවන අනියම් ප්‍රයෝජන ඇගයුම් කිරීමේදී, ප්‍රධාන බලශක්ති ඉතිරි කිරීමක් වූ මෙම කාරණය නොසලකා හැර තිබේ.

අනෙක් අතට පියසි මත සූර්ය බලශක්තිය උපයෝගීකර ගැනීමත් සමගම විදුලි බලාගාරවල පොසිල ඉන්ධන භාවිතය බොහෝ සෙයින් පහත වැටුණේය. 2025 වසර තුළ සුප්‍රසිද්ධ නොරොච්චෝලේ බලාගාරය භාවිත කර තිබුණේ විදුලිබල අවශ්‍යතාවයෙන් සියයට හැට අටක් සඳහා පමණි. ගල් අඟු‍රු බලාගාරය ක්‍රියා විරහිත වී රට පුරා විදුලි බලය ඇනහිටි අවස්ථාවේ රට මුහුණ පෑ ගැටලු‍ව ඕනෑම අයකුට සිහිපත් කර ගත හැකිය. ඉන්පසු තවදුරටත් එවැන්නක් අපට අසන්නට නොලැබුණේ පියසි මත සූර්ය බලශක්තිය නිසාය. 2019 දී (38%) සියයට තිස් අටක්ව තිබූ ඩීසල් මත පදනම් වූ තාප බලාගාර භාවිතය, 2025 සියයට දොළහ (12%) දක්වා පහත වැටුණේය. එය ද සිදුවූයේ යම් තරමකින් ජාලයට පියසි මත සූර්ය බලශක්තිය එක් වූ නිසාය. පියසි මත සූර්ය බලශක්තියෙන් පහර වැදුණේ කාටදැයි ඕනෑම කෙනකුට පැහැදිලිව පෙනේ. එසේ පහර වැදුණේ ඩීසල්වලටද? නැතහොත් ගල් අඟු‍රුවලටද?

පියසි මත සූර්ය බලශක්තිය තවදුරටත් වැඩි කිරීමේ ප්‍රතිඵලය වන්නේ ඩීසල් දහනය සහ ගල් අඟු‍රු දහනය තවත් අඩුවීමය. ගල් අඟු‍රු මිලදී ගන්නන් සහ පොසිල ඉන්ධන මත පදනම් වූ බලශක්ති නිෂ්පාදකයන් එයට කැමැති නොවනු ඇත. 2019 සියයට තිස් අටක්ව පැවති පොසිල ඉන්ධන ආධිපත්‍යය, 2025 දී සියයට දොළහ දක්වා පහත වැටුණු ආකාරය දෙවැනි රූප සටහනින් විස්තර වේ. මෙම අඩුවීම මුළුමනින්ම පාහේ සිදුවූයේ 2019 දී සියයට දහයක්ව පැවති පුනර්ජනනීය බලශක්ති භාවිතය, 2025 දී සියයට 26 දක්වා වර්ධනය වූ නිසාය.

කුමන බලශක්ති මූලාශ්‍රය පිරිවැය වැඩිවීමට හේතු වන්නේ දැයි තුන්වැනි රූප සටහනින් පැහැදිලි වේ. තෙල් නිසා එසේ සිදුවන බව පැහැදිලිව සාක්ෂාත් වන්නේය. එම බලශක්තිය සියයට දොළහක් (12%) ක් උත්පාදනය කිරීමේදී, එම උපයෝගීතාව සඳහා වැය වන වියදම සියයට හතළිහකි. (40%).

කුමන බලශක්ති මූලාශ්‍රයෙන් පිරිවැය පහත හෙළන්නේද, කුමන බලශක්ති මූලාශ්‍රයෙන් පාරිභෝගිකයාට ඇති පීඩනය පහත හෙළන්නේ ද යන්න පැහැදිලිව සාක්ෂාත් වෙද්දී, මෙම කමිටුව, විදුලි ජාලයට සැපයුම් කිරීමේදී මිලක් ගෙවීමේ (FiT ක්‍රමය) ගාස්තු ක්‍රමය මුළුමනින් නවතා දැමීමට තීරණය කර, පියසි මත සූර්ය බලශක්ති කර්මාන්තය සම්පූර්ණයෙන්ම විනාශයට ඇද දැමීමට කටයුතු කර ඇත.

විදුලිබල පාරිභෝගිකයන්ට විශාල ලෙස බලපාන අනෙක් වැදගත් ගැටලු‍ව වන්නේ යෝජිත සම ගාස්තු (flat tariff), සහනාධාර ඉවත් කිරීමයි. මාසිකව කිලෝ වොට් හැටකට අඩුවෙන් භාවිත කරන පාරිභෝගිකයන්, බලශක්ති දරිද්‍රතාවෙන් පෙළෙන පාරිභෝගිකයන් ලෙස සලකා තිබේ. මෙම කුලකය තුළ ශ්‍රී ලංකාවේ මසකට කිලෝ වොට් තිහකට අඩුවෙන් භාවිත කරන නිවැසියෝ මිලියන 1.9කට වඩා සිටිති. නිවැසියන් මිලියන 1.8 ක් භාවිත කරනුයේ මසකට කිලෝ වොට් 31-60 අතර ප්‍රමාණයකි. මිලියන 1.4 ක් නිවැසියෝ මසකට කිලෝ වොට් හැට එකත් අනූවත් අතර (61-90) ප්‍රමාණයක් භාවිත කරති. ශ්‍රී ලංකාවේ බලශක්ති දරිද්‍රතාවයෙන් පෙළෙන පාරිභෝගිකයන් මිලියන 3.7කි. එය අපගේ මුළු ජනගහනයෙන් සියයට පනස් පහකට (55%) වැඩි ප්‍රමාණයකි.

සෑම පාරිභෝගිකයකුම පිරිවැය පිළිබිඹු වන සම මට්ටමේ ගාස්තුවක් ගෙවිය යුතු වේ යැයි කමිටුව යෝජනා කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම පාරිභෝගික කාණ්ඩ තුනට තම විදුලිබල වියදම් සියයට 50 සිට සියයට 300 දක්වා මහා පරිමාණ වැඩිවීමකට මුහුණ දීමට සිදුවන අතර වැඩි බලශක්ති පරිභෝජනයක් කරන උදවියට වැය කළ යුත්තේ අඩු මුදලකි. මෙම ගාස්තු වැඩි කිරීම් සහ අඩු කිරීම් බලපාන ආකාරය 4 වැනි රූප සටහනින් දැක්වේ.

2019 පැරිස් ගිවිසුම අනුව ශ්‍රී ලංකාව 2030 වන විට විදුලිබල අංශය සියයට 70 දක්වා පුනර්ජනනීය බලශක්ති ජාලයකින් සැකසීමටද, 2050 වන විට බලශක්තිය අංශය මුළුමනින් කාබන් දහනයෙන් තොරව ක්‍රියාත්මක කරවීමටද එකඟ වී තිබේ. එය ප්‍රතිපත්තියේ පදනම විය යුතු වුවද, මෙම ප්‍රතිපත්ති කෙටුම්පතේ කිසිම තැනක ඒ ගැන සඳහනක් නැත.

මේ පිළිබඳව අමාත්‍යවරයාත් ජනාධිපතිවරයාත් බැරෑරුම්ව සලකා බලා, නිවැරදි කිරීමේ පියවර ගෙන, ජනතාව උදෙසා තම යුතුකම ඉටු කිරීමට අසමත් වූ එකම උදවිය සමග කටයුතු ඉදිරියට ගෙන යෑම වෙනුවට, රටේ ඉදිරි දැක්ම කෙරෙහි අවධානය යොමු කරන අලු‍ත් කමිටුවක් පත් කිරීමට අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දෙනු ඇතැයි අපි තරයේ විශ්වාස කරමු.