
දිඹුල ප්‍රදේශයේ තේ කොළඹට ප්‍රවාහනය කිරීම සඳහා 1885 වසරේ ඉදිකළ නානුඔය දුම්රිය ස්ථානයට යාබදව පිහිටි සමර්සෙට් වතුයාය, කලාපයේ පහසුවෙන් ළඟා විය හැකි මෙන්ම දිගු ඉතිහාසයකට හිමිකම් කියන ප්‍රමුඛ ඉහළ කඳුකර තේ වතුයායකි.
පරම්පරා ගණනාවක් පුරා වතු පාලකයන්ගේ යුග පසුකරමින් අදටත් ක්‍රියාත්මක යන්ත්‍රෝපකරණ සහ වතුයාය සමග බැඳී සිටින පවුල්, නව තාක්ෂණය අඛණ්ඩව වැළඳගැනීම සහ කිසිදා වටිනාකම නොගිලිහුනු උසස් ප්‍රමිතිය එහි උරුමය ගොඩනැගූ ප්‍රධාන කුලුනු තුන වේ.
සමර්සෙට් යනු අතීතයට පමණක් සීමා වූ ඉතිහාසගත සිහිවටනයක් නොවේ. එය අදටත් සක්‍රීයව ක්‍රියාත්මක වෙමින්, වසර 150කට ආසන්න කාලයකට පෙර ඇරඹුණු සිය කතාව අනාගත පරම්පරා වෙත සමර්සෙට් වතුයායේ තේ පඳුරුවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් පැරණි බීජ පැළ චීන ජැට් (Seedling China Jat) ප්‍රභේදයට අයත් වේ. ඒවා 19 වැනි සියවසේදී ලංකාවට මුල්වරට රැගෙන ආ තේ පැළවලින් පැවත එන ප්‍රභේදය. ජනවාරි සිට මාර්තු දක්වා දිවෙන බටහිර ගැනුම්කරුවන් අතර ඉහළ ඉල්ලුමක් සහිත ඉහළ ප්‍රමිතිගත තේ නිෂ්පාදන සමයේදී මෙම පැරණි තේ පඳුරු සිය ඉහළම ඵලදායීත්වයට පැමිණෙයි. එමගින් නිෂ්පාදනය වන තේවල රසය සහ ගුණාංග තුළ, මෙරට තේ කර්මාන්තයේ මුල් යුගයේ අනන්‍ය ලක්ෂණ අදටත් පිළිබිඹු වෙයි.
එහෙත් සමර්සෙට් හි උරුමය අතීතයට සීමා කර සංරක්ෂණය කර ඇති ස්ථාවර සිහිවටනයක් නොවේ. වතුයායේ ඉතිරි තේ පඳුරු නව ප්‍රභේදවලට අයත් අතර, ඒවා ඉක්මනින් පරිණත වීම සඳහා අඩු පරතරයකින් සිටුවා තිබේ. සෙමින් දහනය කළ කාබනික ද්‍රව්‍යවලින් නිපදවන පස සාරවත් කිරීමේ ද්‍රව්‍යයක් වන ජෛව අඟුරු (Biochar) භාවිතය හේතුවෙන් වගා බිම්වල ජලය රඳවා ගැනීමේ හැකියාව ද ඉහළ ගොස් ඇත. එමගින් කෘත්‍රිම කෘෂි යෙදවුම් මත පවතින යැපීම අවම කිරීමටද හැකි වී තිබේ.
තිරසර දැක්ම නානුඔය සහ ආග්‍රා ඔය ගංගා ද්‍රෝණි ඔස්සේ කිලෝමීටර් 13ක් පුරා දිවෙන ජෛව විවිධත්ව සම්බන්ධතා මාර්ගයෙන්ද ඉදිරියට ගෙන යමින් පවතී. ශ්‍රී ලංකා වනජීවී හා සොබාදහම් ආරක්ෂණ සංගමය සමග එක්ව සංවර්ධනය කරන මෙම ව්‍යාපෘතිය යටතේ හෙක්ටයාර 80ක වනාන්තර භූමි ප්‍රමාණයක් යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමට අපේක්ෂිතය. එහි ඉදිරි පියවරක් ලෙස දේශීය ශාක 50,000කට අධික සංඛ්‍යාවක් සිටුවීමටද සැලසුම් කර තිබේ.
මේ සියලු ප්‍රයත්නයන් එකට ගත් කල, සමර්සෙට් යනු තේ පමණක් වගා කිරීමට සීමා නොවී, සිය සමස්ත භූමියේ සෑම කොටසක්ම එකිනෙකට බැඳුණු ජීවමාන පරිසර පද්ධතියක අංගයක් බවට පත්කිරීමට ඉගෙනගත් වතුයායකි.
සමර්සෙට් වතුයායේ සිදුවන පරිවර්තනය පිළිබඳ පැහැදිලිම සාක්ෂිය වන්නේ, එහි මෙහෙයුම් තුළ එම අවස්ථාවේදීම දැකගත හැකි තාක්ෂණික වෙනස්කම්ය. වගා බිමේදී භාවිත කළ අතින් ක්‍රියාත්මක කළ තරාදි වෙනුවට ඩිජිටල් කිරුම් පද්ධතියක් හඳුන්වා දී තිබේ. එමගින් තේ දලු නෙළන්නන්ට තමන් නෙළූ දලු ප්‍රමාණය පිළිබඳ නිවැරදි වාර්තාවක් ලැබෙන අතර, දෛනික අස්වැන්න පිළිබඳ සජීවී දත්ත වතු කළමනාකාරිත්වයට ලබාගත හැකිය. එම දත්ත උපයන ආදායම් වඩාත් විනිවිදභාවයෙන් ගණනය කිරීමටද සෘජුව දායක වේ.
වලාකුළු පරිගණක තාක්ෂණය පදනම් කරගත් අධීක්ෂණ පද්ධතියක් මගින් තේ දලු නෙළීමේ වාර, පොහොර යෙදීමේ කාලසටහන් සහ පළිබෝධ අවදානම් ඒවා සිදුවන අවස්ථාවේදීම නිරීක්ෂණය කෙරේ. කර්මාන්තශාලාව තුළද එවැනිම පද්ධතියක් ක්‍රියාත්මක වන අතර, තේ දලු මැලවීම, ඇඹරීම, පැසවීම, වියළීම සහ ශ්‍රේණිගත කිරීම යන සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය එසැනින් අධීක්ෂණය කිරීමට එමගින් හැකියාව ලැබේ.
සමර්සෙට් වතුයායේ දැඩි බෑවුම් සහිත භූමිවලට පොහොර යෙදීම සඳහා ඩ්‍රෝන තාක්ෂණයද යොදාගැනේ. අතින් හෝ ට්‍රැක්ටර් මගින් පොහොර පැතිරවීම වෙනුවට නිවැරදි ගුවන් යෙදවුමක් සිදුකිරීමට මෙම ක්‍රමය ඉඩ සලසයි.
සමර්සෙට් තේ වතු සංචාරයකට එක්වන අමුත්තන්ට තේ දලු නෙළීම, තේ රස බැලීම සහ කර්මාන්තශාලාවේ නිෂ්පාදන ක්‍රියාවලිය එම ස්ථානයේදීම අත්විඳීමට ප්‍රථම වරට අවස්ථාව ලැබේ. එබැවින්, ලංකා තේ ඉතිහාසය සහ අදටත් නොවෙනස්ව පවතින එහි සම්ප්‍රදායන් දැකබලා ගැනීමට සමර්සෙට් කදිම ගමනාන්තයකි.
කෙසේ වෙතත්, සමර්සෙට් තේවල ගුණාත්මකභාවය ගැනුම්කරුවන්ට අමුතුවෙන් ඒත්තු ගැන්විය යුතු එකක් නොවේ. 2022 වසරේදී එහි ඉහළම ශ්‍රේණියේ තේ කිලෝග්‍රෑමයක් රුපියල් 2,600ක වාර්තාගත මිලකට අලෙවි විය. එම වාර්තාව 2025 මාර්තු මාසයේදී බිඳ වැටුණේ එක් තේ තොගයක් කිලෝග්‍රෑමයකට රුපියල් 3,050ක මිලකට අලෙවි වීමත් සමගය. එය එම කලාපයෙන් නිෂ්පාදනය කළ අදාළ වර්ගයේ තේ සඳහා මෙතෙක් ගෙවා ඇති ඉහළම මිල ලෙසද වාර්තා විය. එම වසරේ තේ අපනයනකරුවන්ගේ සංගමයේ සම්මාන උළෙලේදී “විශිෂ්ට තේ නිෂ්පාදකයා” කාණ්ඩයේ අනුශූරතාවද සමර්සෙට් වතුයායට හිමි විය.
සමර්සෙට් තේ නාමය කොළඹින් ඔබ්බටද ශක්තිමත් පිළිගැනීමක් දිනාගෙන තිබේ. ඩිල්මා සමාගම සිය “Watte Boutique” සහ “Teamaker’s Private Reserve” නිෂ්පාදන පෙළ යටතේ එක්සත් රාජධානියේ සමර්සෙට් තේ අලෙවි කරයි. ලන්ඩනයේ ට්වයිනින්ග්ස් සමාගමද සිය එක් වතුයායකින් පමණක් ලබාගන්නා සිලෝන් තේ නිෂ්පාදන පෙළ සඳහා සමර්සෙට් තේ මිලදී ගෙන තිබේ.
සහතික කළ සහ මූලාශ්‍රය පහසුවෙන් හඳුනාගත හැකි තේ සඳහා ජර්මනියේ පවතින ඉල්ලුම සමර්සෙට් වතුයායේ නිෂ්පාදන ලක්ෂණ සමඟ හොඳින් ගැළපෙයි. මව් සමාගමේ ජාත්‍යන්තර වෙළෙඳ ජාලය ඔස්සේ සමර්සෙට් තේ මැදපෙරදිග, එක්සත් ජනපදය සහ චීනය ඇතුළු තවත් ප්‍රධාන වෙළෙඳපොළ රැසකටද ළඟා වෙයි.
සමර්සෙට් වතුයාය සිය භූමි සම්පත තේ වගාවට පමණක් සීමා නොකර, විකල්ප සහ තිරසර ආදායම් මාර්ග නිර්මාණය කිරීම සඳහා ද යොදාගෙන තිබේ. “TTEL Somerset Hydro Power” යටතේ ක්‍රියාත්මක එහි කුඩා ජලවිදුලි බලාගාරය, කොත්මලේ ඔය සහ නානුඔය ජල පෝෂක ප්‍රදේශවල ජල සම්පත භාවිත කරමින් කිලෝවොට් 1,100ක ස්ථාපිත ධාරිතාවකින් ක්‍රියාත්මක වේ. 2025/26 මූල්‍ය වර්ෂයේදී 95%ක ධාරිතා උපයෝජනයක් යටතේ ක්‍රියාත්මක වූ මෙම බලාගාරය, කිලෝවොට් පැය 3,622,254ක විදුලි බලයක් ජනනය කර තිබේ. එමගින් වතුයායේ බලශක්ති අවශ්‍යතා සපුරාලන අතරම, අතිරික්ත විදුලිය ජාතික විදුලිබල පද්ධතියටද එක් කෙරේ.
සමර්සෙට් වතුයායේ ප්‍රථම වතු කළමනාකරු ලෙස සී.එම්.බී. විල්කින්ස් 1880 වසරේදී වැඩ භාරගත්තේය. ඉන් අනතුරුව ජී.ඒ. ටැල්බට් එම වගකීම දැරූ අතර, ඔහුගෙන් පසුව වතුයායේ කළමනාකාරිත්වය භාරගත් එස්.ආර්. ස්මෙදර්ස්ට් වසර 32ක් පුරා එය මෙහෙයවීය. එය මෙරට වතු ඉතිහාසයේ කළමනාකරුවකු වාර්තා කළ දීර්ඝතම සේවා කාලයන් අතරින් එකකි.
එතැන් සිට සමර්සෙට් වතුයායේ හිමිකාරිත්වය අවස්ථා කිහිපයකදීම වෙනස් විය. පෞද්ගලික හිමිකාරිත්වයේ සිට සමාගම් පාලනයට මාරු වූ එය, 1972දී රාජ්‍ය කළමනාකරණය යටතට පත් කෙරිණි. 1992දී සිදුකළ පෞද්ගලීකරණයෙන් පසුව සමර්සෙට් වතුයාය තලවකැලේ තේ වතු සමාගම යටතට පත්විය.
හේලීස් ප්ලාන්ටේෂන් සර්විසස් විසින් 1998දී තලවකැලේ තේ වතු සමාගම අත්පත් කරගත් අතර, 2000 වසරේදී එම සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරිණි. හිමිකාරිත්වය සහ පාලන ක්‍රමවේදය යුගයෙන් යුගයට වෙනස් වුවද, සමර්සෙට් වතුයායේ තේ නිෂ්පාදනය කිසිදු විරාමයකින් තොරව අඛණ්ඩව ඉදිරියට ගියේය. එම අඛණ්ඩත්වය අදටත් සමර්සෙට් තේ කර්මාන්තශාලාව තුළ ජීවමානව පවතී. වසර 140කට ආසන්න පැරණි යන්ත්‍රෝපකරණ කිහිපයක් එහි දෛනික නිෂ්පාදන කටයුතු සඳහා තවමත් භාවිත කෙරේ. අද වනවිට සේවක සේවිකාවෝ 440 දෙනෙක් එම පරම්පරාගත උරුමය ඉදිරියට රැගෙන යති.
වැවිලිකරුවන්ගේ සංගමය විසිනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd