- ඉන්ධන ආනයනයට වැය කිරීමට සිදුවන ඩොලර් ප්‍රමාණය ඉහළ යාමෙන් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගයට බලපෑමක්
- ඉන්ධන මිල ඉහළ යාමෙන් ප්‍රවාහන, නිෂ්පාදන සහ ධීවර ඇතුළු ඉන්ධන හා බලශක්තිය මත රඳා පවතින ආර්ථික ක්‍රියාකාරකම් රැසකට අභියෝග
- ධීවරයන්ට මුහුදු ගමන් සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමේදී ද අභියෝගකාරී තත්වයක්
- බලපෑමට ලක්වූ ගොවීන්, ව්‍යාපාරිකයන්, කර්මාන්ත සහ සේවා අංශවලට සහාය ලබාදීලා
- මෙම වසරේ පළමු මාස 6 ආර්ථික වර්ධනය සියයට 4.7ක්
- මැදපෙරදිග පවතින අර්බුදය හමුවේ ඉන්ධන ආනයනයට වැඩි ඩොලර් ප්‍රමාණයක් වැය කිරීමට සිදුවීම සම්බන්ධයෙන් රජයේ දැඩි අවධානය
විමුක්ති එස්. රුද්‍රිගු
|
මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම |
මැදපෙරදිග පවතින යුද අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනයට වැය කිරීමට සිදුවන ඩොලර් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවත්, එය ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගයට බලපෑමක් එල්ල කරමින් පවතින බවත් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඉකුත්දා (18) ප්‍රකාශ කළේය.
මැදපෙරදිග අර්බුදය හේතුවෙන් ඉන්ධන සහ බලශක්ති නිෂ්පාදනවල සැපයුම් දාමයට සැලකිය යුතු බලපෑමක් එල්ල වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන බැරලයක මිලද විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ප්‍රවාහන, නිෂ්පාදන සහ ධීවර ඇතුළු ඉන්ධන හා බලශක්තිය මත රඳා පවතින ආර්ථික ක්‍රියාකාරකම් රැසකට අභියෝග මතුව ඇති බවද ඔහු සඳහන් කළේය.
විශේෂයෙන් ධීවරයන්ට මුහුදු ගමන් සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමේදීද අභියෝගකාරී තත්වයක් මතුව ඇති බව ඔහු පැවසීය.
මැදපෙරදිග අර්බුදයෙන් ඇතිවිය හැකි ආර්ථික බලපෑම් අවම කිරීම සඳහා ඉදිරිපත් වූ යෝජනා සලකා බලා රජය ඒවා ක්‍රියාත්මක කර ඇති බවත්, එමගින් බලපෑමට ලක්වූ ගොවීන්, ව්‍යාපාරිකයන්, කර්මාන්ත සහ සේවා අංශවලට සහාය ලබාදී ඇති බවත් ලේකම්වරයා සඳහන් කළේය. රජය සහන වැඩසටහන් යෝජනා කිරීමෙන් පමණක් නොනැවතී ඒවා ක්‍රියාත්මක කර ඇති බවද ඔහු පැවසීය.
එම ප්‍රතිපත්තිමය මැදිහත්වීම් හේතුවෙන් බාහිර ආර්ථික කම්පන හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකයට යම් සහනයක් ලබාදීමට හැකිවී ඇති බවද ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවැසුවේය. කලාපයේ පාකිස්තානය, බංග්ලාදේශය ඇතුළු මෙරටට සමාන ආර්ථිකයන් සහිත රටවල් සමඟ සැසඳීමේදී ශ්‍රී ලංකාව, ඊට සාපේක්ෂව යහපත් තත්වයක කාර්යසාධනයක් පෙන්නුම් කර ඇති බවත්, ඊට රජය ගත් ප්‍රතිපත්තිමය, කාලෝචිත සහ නිවැරදි මැදිහත්වීම් හේතුවී ඇති බවත් ඔහු සඳහන් කළේය.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ දත්ත අනුව මෙම වසරේ දෙවැනි කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.2ක සැබෑ වර්ධනයක් වාර්තා කර ඇති බවත්, පළමු සහ දෙවැනි කාර්තු දෙකේ ආර්ථික වර්ධනයේ එකතුව ගත්විට මෙම වසරේ පළමු මාස 6 ආර්ථික වර්ධනය සියයට 4.7ක් බවද ඔහු පැවසීය.
2024 වසරේ දෙවැනි කාර්තුවේදී ශ්‍රී ලංකාව සියයට 4ක, 2025 වසරේ දෙවැනි කාර්තුවේදී සියයට 5ක ආර්ථික වර්ධනයක් වාර්තා කර තිබූ බවත්, මෙම වසරේ දෙවැනි කාර්තුවේදී ශ්‍රී ලංකාව සියයට 4.2ක වර්ධනයක් වාර්තා වී ඇතැයිද ලේකම්වරයා සඳහන් කළේය. කෙසේ වෙතත්, මැදපෙරදිග පවතින අර්බුදය හමුවේ ඉන්ධන ආනයනය සඳහා වැඩි ඩොලර් ප්‍රමාණයක් වැය කිරීමට සිදුවීම සම්බන්ධයෙන් රජය දැඩි අවධානය යොමු කර ඇති බව ඔහු පැවසීය. මෙරට ආර්ථිකය තවදුරටත් දිට්වා සුළි කුණාටුවෙන් ඇතිවූ බලපෑම්වලින් යථා තත්වයට පත්වෙමින් සිටින පසුබිමක මෙම ආර්ථික වර්ධනය වාර්තා කර ඇති බවද ඔහු සඳහන් කළේය.
ඉන්ධන ආනයන වියදම ඉහළ යාම විදේශ විනිමය වෙළෙඳපොළට සහ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගයට බලපෑමක් ඇතිකරන බැවින් එම තත්වය පිළිබඳව මුදල් අමාත්‍යාංශය නිරන්තරයෙන් අධීක්ෂණය කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.
මැදපෙරදිග අර්බුදයේ ඉදිරි වර්ධනයන් සහ ජාත්‍යන්තර ආර්ථික පරිසරයේ වෙනස්කම් පිළිබඳවද රජය සමීපව නිරීක්ෂණය කරන බවත්, අවශ්‍යතාව මත සුදුසු ප්‍රතිපත්තිමය පියවර ගැනීමට සූදානමින් සිටින බවත් ඔහු පැවසීය.
ලබාගත් සියයට 4.7ක ආර්ථික වර්ධන වේගය තෙවැනි සහ සිවුවැනි කාර්තුවේදීද පවත්වාගෙන යාම සඳහා රජය අවධානය යොමුකර තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය. ගොවීන්, ධීවරයන්, කර්මාන්ත, ව්‍යාපාර සහ සේවා අංශ සඳහා හිතකර පරිසරයක් පවත්වාගෙන යාමත්, ගෝලීය අර්බුද හමුවේ භාණ්ඩ හා බලශක්ති සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමත් රජයේ ප්‍රමුඛ අවධානයක් බව ඔහු සඳහන් කළේය.
2027 අයවැය මගින්ද ගොවීන්, ධීවරයන්, කර්මාන්ත, ව්‍යාපාර සහ සේවා අංශවල ආර්ථික ක්‍රියාකාරකම් අඛණ්ඩව පවත්වාගෙන යාමට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමුකරන බවද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පැවසීය.
එසේම ගෑස්, ඉන්ධන සහ අනෙකුත් බලශක්ති නිෂ්පාදන අඛණ්ඩව සහ දැරිය හැකි මිලකට ජනතාවට ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද ඔහු පැවසීය.
මැදපෙරදිග අර්බුදය හේතුවෙන් ඇතිවන බාහිර කම්පන හමුවේ රටේ ආර්ථික වර්ධනයේ වේගය පවත්වාගෙන යාම සඳහා රජය, ව්‍යාපාරික ප්‍රජාව, ගොවීන් සහ සේවා අංශය සමඟ එක්ව කටයුතු කරන බවද මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd