- 2025 බෝට්ටු අපනයන ආදායම ඩොලර් මිලියන 53.7 යි
- 2030දී ඩො.බි. 36 ක අපනයන ආදායමට බෝට්ටු නිෂ්පාදනයෙන්ද සැලකිය යුතු දායකත්වයක් අවශ්‍ය බවට අදහසක්
- අද බෝට්ටු නිෂ්පාදකයන් 70 ක් අතරින් අපනයනකරුවන් 12 දෙනකු පමණයි
- බෝට්ටු අපනයනය හරහා ඩොලර් මිලියන 500ක ආදායම් ඉලක්කයක්
භානුක අමරසිංහ
බෝට්ටු නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකාව සතුව ස්වාභාවික පිහිටීමේ සිට පහසුකම් මෙන්ම පුහුණු ශ්‍රමය යනාදිය පැවතියත් එම කර්මාන්තය අපනයන ආදායම වෙත ලබා දෙන දායකත්වය තවමත් ප්‍රමාණවත් නොවන බව රජය සහ කර්මාන්තකරුවෝ පවසති.
ඒ අනුව 2030 වසරේදී එක්සත් ජනපද ඩොලර් බිලියන 36ක අපනයන ආදායමක් හිමි කරගැනීමේ ඉලක්කයේදී බෝට්ටු නිෂ්පාදන කර්මාන්තය වෙත ඉහළ දායකත්වයක් ලබාදිය හැකි බවත්, ඒ සඳහා බෝට්ටු නිෂ්පාදකයන් අපනයනකරුවන් බවට පත් කිරීම අවශ්‍ය බවත් ඔවුහු සඳහන් කරති.
පසුගියදා කොළඹදී පැවැත්වුණු සමුද්‍රීය කර්මාන්ත පිළිබඳ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ (CMISL - Chamber of marine industry Sri Lanka) සිව්වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී මෙම කරුණු අනාවරණය විය.
කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ මෙම අවස්ථාවට අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා මෙන්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුලක්ෂණ ගුණවර්ධන මහතාද සහභාගි විය.
මෙහිදී තිලකා ජයසුන්දර මහත්මිය, 2036 වසරේදී ඩොලර් බිලියන 36ක අපනයන ආදායමක් හිමි කරගැනීමේ රජයේ ඉලක්කය සඳහා බෝට්ටු නිෂ්පාදන කර්මාන්තය හරහා ලබා දිය හැකි දායකත්වය පිළිබඳ සැලසුම් ඉදිරිපත් කරන ලෙස එම මණ්ඩලය වෙත දන්වා සිටියාය.
“2025 වසරේදී බෝට්ටු නිෂ්පාදන කර්මාන්තය හරහා ලැබුණු අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 53.7 ක්. මේ වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ එය ඩොලර් මිලියන 25ක් පමණයි. අපිට ඉදිරි වසර හතරක කාලය තුළදී දැවැන්ත ඉලක්කයක් වෙත යන්න වෙනවා.’’
ඒ සඳහා සෑම විටම තම අමාත්‍යාංශය සහාය දක්වමින්, පසුපසින් සිටින බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
“ඒ වගේම 2030 වන විට රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 20ක් නිෂ්පාදන කර්මාන්ත අංශය හරහා ලබා ගැනීමේ අපේක්ෂාවක්ද පවතිනවා. අද වනවිට එය සියයට 16.2 ක අගයක්.’’
මෙහිදී අදහස් දැක් වූ අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති මංගල විජේසිංහ මහතා, අද වනවිට මෙම බෝට්ටු නිෂ්පාදන කර්මාන්තය රටේ අපනයන ආදායම වෙත දායකත්වය දිය හැකි නැගී එන අපනයන කර්මාන්තයක් ලෙස හඳුනාගෙන ඇතැයි සඳහන් කළේය.
“ජාතික අපනයන සංවර්ධන සැලසුම තුළත් මේ සමුද්‍රීය සහ සැපයුම් දාම ක්ෂේත්‍රය ඇතුළත්. එක්සත් ජාතීන්ගේ වෙළෙඳ සහ සංවර්ධන ආයතනයට අනුවත් අද වනවිට ගෝලීය සමුද්‍ර ආර්ථිකයේ වටිනාකම ඩොලර් ට්‍රිලියන 2කට අධිකයි. එහි රැකියා නියුක්තිය මිලියන 600ක් පමණ වෙනවා. ඒ කියන්නේ මේ බෝට්ටු අපනයන කර්මාන්තයට යම් අවස්ථාවක් තිබෙනවා. එය සාම්ප්‍රදායික ධීවර සහ යාත්‍රා කර්මාන්තයට එහා ගිය තාක්ෂණය හා සම්බන්ධ වූ දෙයක්.
විශේෂයෙන්ම රජයේ, කර්මාන්තකරුවන්ගේ, ආයෝජකයන්ගේ සහයෝගයෙන් ලංකාවේ බෝට්ටු අපනයන ආදායම ඩොලර් මිලියන 500ක් බවට පත් කරගැනීම අපේක්ෂාවයි.’’
සමුද්‍රීය කර්මාන්ත පිළිබඳ වාණිජ මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස තේරී පත් වූ රිකී බර්නාට් මහතා මෙහිදී අදහස් දක්වමින්, වර්තමානයේදී මෙරට තුළ බෝට්ටු නිෂ්පාදකයන් 60ක් 70ක් පමණ සිටියත්, අපනයන කර්මාන්තය වෙත යොමුව සිටින්නේ නිෂ්පාදකයන් 10ත් - 12ත් අතර සංඛ්‍යාවක් බවත් පවසා සිටියේය. ඒ අනුව මෙම ඉතිරි පිරිසත් අපනයනකරුවන් බවට පත් කිරීම සිය වාණිජ මණ්ඩලයේ මෙන්ම බලධාරීන්ගේද අවධානය බව සභාපතිවරයා සඳහන් කළේය.
ධුරයෙන් ඉවත්ව යන සමුද්‍රීය කර්මාන්ත පිළිබඳ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ආරම්භක සභාපති ඉන්ද්‍රා කෞෂාල් රාජපක්ෂ මහතා අදහස් දක්වමින්, ශ්‍රී ලංකාව බෝට්ටු නිෂ්පාදනයේ එක් තනි වෙළෙඳපොළක් බවට පත් කළ යුතු බව සඳහන් කළේය.
“කර්මාන්ත අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් රුපියල් මිලියන 70ක වියදමින් බේරුවලදීදී ඉදිකළ පළමු බෝට්ටු දියත් කිරීමේ අංගනය අපිට විවෘත කරන්න පුළුවන් වුණා. ඒ වගේම දිගු කාලයක් පුරා අවශ්‍යව තිබූ තිබුණු බෝට්ටු අපනයනය සඳහා එක් තනි වෙළෙඳපොළක් කර්මාන්ත අමාත්‍යාංශය තුළ පිහිටුවන්න ඇමතිවරයා කැමති වෙලා තිබෙනවා.’’
එහිදී බෝට්ටු නිෂ්පාදන කලාපයක් පිහිටුවීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශයට යෝජනා කර ඇතැයිද ඔහු පැවසීය.
“බෝට්ටු නිෂ්පාදන කලාපයක් ඉදිකරන්න අපි ඔලුවිල් වරාය සහ කප්පරතොට වරාය යෝජනා කර තිබෙනවා. ඒ වගේම වැලිපටන්විල සහ මීගමුවේත් එවැනි කර්මාන්ත සඳහා අවස්ථාව තිබෙන බව අපි පෙන්වා දෙනවා.’’ ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඡායාරූප: ප්‍රදීප් පතිරණ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd