

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය නිකුත් කර ඇති දත්තවලට අනුව 2025 වසරේ සමස්ත භාණ්ඩ සහ සේවා අපනයනවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 17.2ක් වන අතර, අපනයන ඉපැයීම් පෙර වසරට සාපේක්ෂව සියයට 5.6 වර්ධනයක් වාර්තා කර ඇත. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිකුත් කර ඇති දත්තවලට අනුව 2025 වර්ෂයේ දී සෘජු විදේශ ආයෝජන ලැබීම් ඩොලර් බිලියන 1.06ක් විය. මුළු විදේශ අයෝජන ලැබීම්වලින් ඩොලර් මිලියන 167ක් කොටස් ප්‍රාග්ධනය ලෙසත්, ඩොලර් 213ක් ප්‍රති-ආයෝජන ලෙසත්, ඩොලර් මිලියන 567ක් අන්තර්-සමාගම් ණය ලෙසත්, ඉතිරිය විදේශ ණය ලබාගැනීම් ලෙස වාර්තා වේ.
ඉහත දත්ත ඉදිරිපත් කරමින් අදාළ ආයතන මගින් නිකුත් කරනු ලැබූ මාධ්‍ය නිවේදනවල මතුකරන ලද මූලික කරුණක් වනුයේ, 2025 වර්ෂය තුළ ලංකාව අපනයන ප්‍රවර්ධනයට සහ විදේශ අයෝජන ප්‍රවර්ධනයට අදාළව සුවිශේෂී ජයග්‍රහණයක් අත්කරගෙන ඇති බවයි. සැබවින්ම එය සත්‍යයක් ද? 1978-2024 කාලය සැලකූවිට ලංකාවේ සාමාන්‍ය වාර්ෂික භාණ්ඩ අපනයන ඉපැයීම්වල වර්ධනය සියයට 6.7ක් වේ. ඒ අනුව බලන කල 2025 වසරේ අපනයන ඉපැයීම්වල වර්ධනය මීට පෙර මෙරට විසින් අත්කරගත් ප්‍රගතියට වඩා යහපත් තත්වයක් නොවන බව පැහැදිලිය.
2025 වර්ෂයේ ආසියානු කලාපයේ රටවල් කීපයක අපනයන ඉපැයීම් වර්ධනය පිළිබදව අවධානය යොමු කිරීමෙන් ලංකාව සාපේක්ෂව අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබදව ද යම් අදහසක් ලබාගැනීම වැදගත් වේ. 2025 වර්ෂයේ දී තායිලන්තයේ අපනයන ඉපැයීම් වර්ධනය සියයට 12.9 ක් වූ අතර, එය වියට්නාමයට අදාළව සියයට 18 ක් විය. අසල්වැසි ඉන්දියවේ සේවා අංශයේ අපනයන වර්ධනය සියයට 13.5 ක් වූ අතර, භාණ්ඩ අපනයන ඉපැයීම් සියයට 6ක වර්ධනයක් 2025 වර්ෂය තුළ දී අතකර ගන්නා ලදී. ඒ අනුව ගත්කල ශ්‍රී ලංකාවේ අපනයන ඉපැයීම්වල වර්ධනය අතීත කාර්යසාධනයට හෝ කලාපීය රටවල වත්මන් කාර්යසාධනයට සාපේක්ෂව බලන කල සුවිශේෂී වූවක් නොවන බව පැහැදිලි වේ.
සෘජු විදේශ ආයෝජන ලැබීම් සම්බන්ධයෙන් ද මේ හා සමාන තත්වයක් පෙන්නුම් කෙරේ. උදාහරණයක් ලෙස 2013-2018 කාලයට අදාළ සාමාන්‍ය වාර්ෂික විදේශ සෘජු විදේශ ආයෝජන ලැබීම් ඩොලර් බිලියන 1.06ක් විය. කොරෝනා වංසගතය සහ ආර්ථික අර්බුදය තුළ විදේශ ආයෝජන ලැබීම් පහළ ගිය අතර, 2019-2024 කාලයට අදාළව සාමාන්‍ය වාර්ෂික විදේශ ආයෝජන ලැබීම් ඩොලර් මිලියන 700ක් පමණ විය. 2025 වර්ෂයේ දී අසල්වැසි ඉන්දියාවට සෘජු විදේශ අයෝජන ඩොලර් බිලියන 47ක් ගලා එන ලද අතර, එය 2024 වර්ෂයට සාපේක්ෂව සියයට 73ක වර්ධනයකි. එසේම, 2025 වර්ෂයේ දී තායිලන්තය සෘජු විදේශ ආයෝජන ඩොලර් බිලියන 10.4ක් පමණ ලබාගැනීමට සමත් වූ අතර, වියටිනාමය ඩොලර් බිලියන 38.4ක සෘජු විදේශ ආයෝජන ලබාගන්නා ලදී. ඒ අනුව ගත් කල සෘජු විදේශ ආයෝජන සම්බන්ධයෙන් වූ ලංකාවේ කාර්යසාධනය ද සෑහීමකට පත්විය හැකි මට්ටමක නොමැති බව පැහැදිලි වේ.
අපනයන ඉපැයීම් සහ විදේශ ආයෝජන ලැබීම්වල නිරපේක්ෂ අගය (absolute value) පෙර වසර සමග සැසඳීමෙන් අප ලබා ඇති ප්‍රගතිය පිළිබදව උදම් ඇනීම වෙනුවට, ඒවයේ අගයන් මෙරට දළ දේශීය නිෂ්පාදනයට සහ වෙනත් රටවල කාර්යසාධනයට සාපෙක්ෂව බැලීමෙන් අප සත්‍ය වශයෙන්ම අත්කරගෙන ඇති කාර්යසාධනය පිළිබදව අවබෝධයක් ලබාගත හැකි වනු ඇත. ඒ අනුව ගත්කල අපගේ අපනයන සහ විදේශ ආයෝජන කාර්යසාධනය යහපත් තත්වයක නොපවතින බව ඉතා පැහැදිලිය. අපනයනාභිමුඛ ආර්ථික වර්ධනය සහ සංවර්ධනය සඳහා අත්‍යවශ්‍යයෙන්ම අපනයන දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව අඛණ්ඩව ඉහළ යා යුතුය. 2024 වසරේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සම්මත කරන ලද ආර්ථික පරිවර්තන පනත මගින් ලබා දී ඇති ඉලක්කයට අනුව 2025 වසරට අදාළව අපනයන දළ දේශීය නිමවුමේ ප්‍රතිශතයක් ලෙස 25ක් විය යුතුය. දැනට ප්‍රකාශිත දත්තවලට අනුව 2025 අපනයන ඉපයීම් දළ දේශීය නිමුවමේ ප්‍රතිශතයක් ලෙස සියයට 20ක් පමණ වනු ඇත.
එම පනතට අනුව 2030 වනවිට ලංකාව සෘජු විදේශ ආයෝජන දළ දේශීය නිමුවමේ ප්‍රතිශතයක් ඉහළනංවා ගත යුතුව ඇත. එය ආසන්න වශයෙන් ඩොලර් බිලියන 8-10ක් අතර අගයකි. එවැනි ඉහළ මට්ටමකට 2030 වන විට ළඟාවීමට නම් අප මේ වන විට ඩොලර් බිලියන 2-3ක විදේශය ආයෝජන ලබාගැනීමට සමත් විය යුතුව ඇත. මෑතකාලීන ශ්‍රී ලංකාවේ අපනයන සහ සෘජු විදේශ ආයෝජන කර්යසාධනය පිළිබද අවධානය යොමු කිරීමේ දී පෙනීයන මූලික කරුණක් වන්නේ අපනයන සහ සෘජු විදේශ ආයෝජන ප්‍රවර්ධනයට අදාළව ශ්‍රී ලංකාව දක්වා ඇති ප්‍රගතිය කිසිසේත්ම සෑහීමකට පත්විය හැකි මට්ටමක නොපවතින බවයි. මෙම තත්වයට බලපා ඇති කරුණු කවරේ ද යන්න පිළිබඳව අවධානය යොමු කිරීම මෙම ලිපියේ මූලික අරමුණ වේ.
නිදහස් වෙළෙඳාමට ඇති අසාත්මිකතාව
වෙළෙඳාම ලිබරල්කරණය නැතහොත් නිදහස් වෙළෙඳපොළ පරිසරයක් ඇති කිරීම සඳහා පියවර ගැනීම ශ්‍රී ලංකාව දිගින් දිගටම ප්‍රමාද කිරීමක් 21 වැනි සියවසේ ආම්භයේ සිට දැකිය හැකි මූලික ලක්ෂණයක් වේ. 1990 මැද භාගයෙන් පසුව ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා වූ බහුපාර්ෂවික යාන්ත්‍රණය දුර්වල වීමත් සමග ලෝකයේ බොහෝ රටවල් ද්විපාර්ෂික සහ කලාපීය වෙළෙඳ ගිවිසුම් යටතේ සංවිධානය වීමක් සිදු විය. ඒ හේතුවෙන් නිදහස් වෙළෙඳ ගිවිසුම් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළයාමක් දක්නට ලැබිණි. ලෝක වෙළෙඳ සංවිධානයට අනුව 2000-2025 කාලය තුළ ක්‍රියාත්මක මට්ටමට එළැඹි ද්විපාර්ෂවික සහ කලාපීය වෙළෙඳ ගිවිසුම් ගනණ 300ක් පමණ වේ. ශ්‍රී ලංකාව වෙළෙඳ ගිවිසුම් කීපයකට ඇතුළත් වූ අතර, ඒ අතරින් යම් මට්ටක හෝ සංක්‍රිය තත්වයකින් ක්‍රියාත්මක වන්නේ 2000 වසරේ සිට ක්‍රියාත්මකව පවතින ඉන්දු-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම වේ. ඊට අමතරව, ශ්‍රී ලංකාව වෙළෙඳ ගිවිසුම් කීපයකට ඇතුළත්ව ඇතත් අපනයන ඉඩ ප්‍රස්ථා සඳහා ඒවායේ සැබෑ උපයෝජනය සැලකූවිට එම වෙළෙඳ ගිවිසුම් හුදෙක් නාමික ඒවා වේ.
ඉන්දු-ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ සාර්ථකත්වය මත එම ගිවිසුම භාණ්ඩ වෙළෙඳාමෙන් ඔබ්බට පුළුල් කිරීමේ අරමුණින් 2003-2008 කාලය තුළ දෙරට අතර විස්තීරණ ආර්ථික සහයෝගීතා ගිවිසුමක් (Comprehensive Economic Partnership Agreement (CEPA) සඳහා සාකච්ඡා වට 13ක් පමණ පැවැත්වූ නමුත්, අවසන් තීරණයකින් තොරව එම සාකච්ඡා පසුව අතහැර දමන ලදී. යළිත් වරක් 2015-2016 කාලය තුළ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහ තාක්ෂණ සහයෝගීතා ගිවිසුමක් (Economic and Technology Cooperation Agreement (ETCA) පිළිබදව සාකච්ඡා ආරම්භ විය. මේ වනවිට සාකච්ඡා වට 11ක් පමණ පවත්වා ඇති නමුත් තවමත් නිශ්චිත අවසන් තීරණයකට පැමිණ නැත. වෙළෙඳාම ලිහිල්කරණයට අදාළව දේශීයව පවතින විරෝධතා හමුවේ ඉහත අවස්ථා දෙකම අප විසින් අත්හරින ලද බවක් දිස්වේ. පසු කාලීනව, ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව සමග වෙළෙඳ ගිවිසුමකට ඇතුළුවීමට කටයුතු කළද අද දක්වා එම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ලැබී නොමැත. එම තත්වයම 2024 වර්ෂයේ දී ගිවිසුම්ගත ශ්‍රී ලංකා - තායිලන්ත වෙළෙඳ ගිවිසුමට ද අදාළ වේ. ගිවිසුම අත්සන් කරනු ලබන අවස්ථාවේ දී එම ගිවිසුම 2025 ජනවාරි මස සිට ක්‍රියාත්මක වීමට නියමතව පැවතියත් දැනට ප්‍රකාශවන කරුණු අනුව එම ගිවිසුම ලබන වසරේ සිට ක්‍රියාත්මක වන බව කියවේ.
පසුගිය වසර 25ක කාලය තුළ විවිධ ආණ්ඩු වෙළෙඳාම සහ ආයෝජන වටපිටාව ලිහිල්කරණය සඳහා විවිධ වැඩසටහන්, වෙළෙඳ ගිවිසුම් ද ඇතුළුව, යෝජනා ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළමුත් දේශීයව විවිධ පාර්ෂවවලින් එල්ල වූ විරෝධතා හමුවේ එවැනි වැඩසටහන්/ යෝජනා අතරමග නවතා දැමීමට සිදුවිය. ඊට කදිම උදාහරණයක් වන්නේ ETCA ගිවිසුමට එරෙහිව එල්ල වූ දැඩි විරෝධය වේ. වෙළෙඳාම සහ ආයෝජන වටපිටාව ලිහිල්කරණයට ඇති දැඩි විරෝධය හේතුවෙන් එක් පැත්තකින් අපනයන ප්‍රවර්ධනය අඩාළ වූ අතර අනෙක් පැත්තෙන් සෘජු විදේශ ආයෝජන ගලාඒම් පහත වැටිණි. ලෝකයේ අනෙකුත් රටවල් පසුගිය වසර 26ක කාලය තුළ ඉතා ශීඝ්‍රයෙන් තම වෙළෙඳ සහ ආයෝජන පරිසරය ලිහිල්කරණයට ලක් කළ අතර, ඊට කදිම උදාහරණයක් වන්නේ අසල්වැසි ඉන්දියාව වෙළෙඳාම සහ ආයෝජන පරිසරය ලිහිල්කරණයට ක්‍රියාත්මක කළ වැඩසටහන් ය.
අසල්වැසි ඉන්දියාවේ ප්‍රවේශය
ශ්‍රී ලංකාව වෙළෙඳාම සහ ආයෝජන පරිසරය ලිබරල්කරණය 1978 තරම් ඈත අතීතයේ දී සිදු කළ අතර, ඉන්දියාව එවැනි වැඩසටහනකට පුළුල් ලෙස අවතීරණය වූයේ 1990 වසරෙන් පසුව විය. ඉන් අනතුරුව ඉන්දියාව ද්විපාර්ෂවික වෙළෙඳ ගිවිසුම්වලට යොමු වුයේ 2000 වසරේ ශ්‍රී ලංකාව සමග අත්සන් කළ ඉන්දු-ලංකා වෙළෙඳ ගිවිසුමත් සමග වීම සුවිශේෂී වේ. එසේ ආරම්භ කරන ලද වෙළෙඳ ගිවිසුම්වලට පිවිසීම, 2025 වසර අවසන් වන විට, ඉන්දියාව විසින් රටවල් 33ක් ආවරණය කරමින් වෙළෙඳ ගිවිසුම් 15ක් අත්සන් කර ක්‍රියාත්මක කරන ලද අතර, ඊට අමතරව වරණීය වෙළෙඳ ගිවිසුම් තුනකට ද ඇතුළත් වන ලදී. ඉන්දියාව ජපානය, දකුණු කොරියාව, තායිලන්තය, චිලී, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, ඕමානය, එක්සත් රාජධානිය සහ මැලේසියාව වැනි රටවල් සමග වෙළෙඳ ගිවිසුම් අත්සන් කළ අතර, ඊට අමතරව මෑතක දී යුරෝපා සංගමය සමග වෙළෙඳ ගිවිසුමකට ද ඇතුළත් විය. මෙසේ අත්සන් කළ බොහොමයක් වෙළෙඳ ගිවිසුම් වඩාත් විස්තීරණ වූ ඒවා වන අතර, එම ගිවිසුම් මගින් භාණ්ඩ වෙළෙඳාම පමණක් නොව සේවා වෙළෙඳාම සහ ආයෝජන සහයෝගීතාව සඳහා ද ඉඩකඩ විවරව පැවතීම සුවිශේෂි කරුණකි.
2026 වසර මුල් අවස්ථාව වන විට ඉන්දියාව තවත් රටවල් 24ක් සමග වෙළෙඳ ගිවිසුම් 11 ක් සඳහා සක්‍රිය මට්ටමින් සාකච්ඡා කරමින් සිටි. 2025 වසරේ දී ඇමරිකාව විසින් ඉන්දියාව ඉලක්ක කරමින් තීරු බදු ඉහළනංවන ලද අතර, ඊට ප්‍රතිචාරිකව ඉන්දියාව විසින් මේ වනවිට නව වෙළෙපොළ අවස්ථා ලබාගැනීම ඉලක්ක කරගනිමින් වෙළෙඳ ගිවිසුම්වලට එළැඹීම වේගවත් කිරීමක් ද දක්නට පුළුවන. මෑතක දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් නිකුත් කරනු ලැබූ World Economy Outlook වාර්තාවට අනුව ඉදිරි වසර දෙකක කාලය තුළ ඉන්දියානු ආර්ථිකය සියයට 6 ඉක්මවූ ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට සමත්වන අතර, ගෝලීය ආර්ථිකයේ වර්ධන කේන්ද්‍රය බවට ඉන්දීය ආර්ථිකය පත්වෙමින් පවතින බව දැකිය හැක. එවන් පසුබිමක් තුළ ලෝකයේ බොහෝ රටවල් ඉන්දියාව සමග නව වෙළෙඳ ගිවිසුම්වලට පිවිසීමට වැඩි කැමැත්තක් දක්වන බවක් ද පෙනේ.
ඒ කෙසේ වන්නේ වී නමුදු, 2000-2025 කාලය තුළ වෙළෙඳාම ලිහිල්කරණය සහ විදේශ ආයෝජන පරිසරය යහපත් කිරීම සඳහා සැලසුම් සහගතව අඛණ්ඩව පියවර ගනිමින් සිටි අතර, ඒ හේතුවෙන් අපනයන භාණ්ඩ මෙන්ම අපනයන වෙළෙඳපොළ ද විවිධාංගීකරණයට ලක් කර ගැනීමට හැකිවිය. විශේෂයෙන්ම, ඉන්දියාවේ මෑතකාලීන ඉහළ අපනයන වර්ධනය පිටුපස ඇති රහස වන්නේ අඛණ්ඩව සිදු කළ වෙළෙඳපොළ ලිහිල්කරණයයි. ඉන්දියානු වෙළෙඳ ලිහිල්කරණයට අදාළව විශේෂ වශයෙන් අවධානය යොමු කළ යුතු කරුණක් ද පවතී. ඉන්දියා-ජපාන සහ ඉන්දිය-දකුණු කොරියා වෙළෙඳ ගිවිසුම් යටතේ වෙළෙඳාම ලිහිල්වත්ම එම රටවල් සමග පැවති වෙළෙඳ හිඟය ඉහළයන ලදී. එහිදී එම ගිවිසුම් තවදුරටත් පුළුල් කිරීම සඳහා ඉන්දියාවේ අවධානය යොමු වීම සුවිශේෂ වේ.
තායිලන්තය සහ වියටිනාමය පිළිබදව අවධානය යොමු කිරීමේ දී ද පෙනීයන කරුණක් වන්නේ එම රටවල් අඛණ්ඩව වෙළෙඳාම සහ ආයෝජන පරිසරය ලිහිල්කරණය කිරීම සැලසුම් සහගතව අඛණ්ඩව කරමින් සිටින බවයි. 2025 වසර අවසන් වන විට තායිලන්තය රවවල් 31ක් ආවරණය කරමින් නිදහස් වෙළෙඳ ගිවිසුම් 17ක් අත්සන් කර ඇති අතර, තායිලන්තයේ විදේශ වෙළෙඳාමෙන් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් එම රටවල් සමග සිදු කරණු ලබයි. තවත් රටවල් සහ කලාප කීපයක් සමග නව වෙළෙඳ ගිවිසුම් සඳහා දැනට සාකච්ඡා පවත්වමින් සිටී. විශේෂයෙන්ම යුරෝපා සංගමය සමග නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇතිකර ගැනීමට කඩිනමින් අවශ්‍ය පියවර ගනිමින් සිටීම ද සුවිශේෂී වේ. 2025 වසර අවසන් වනවිට වියට්නාමය නිදහස් වෙළෙඳ ගිවිසුම් 18ක් අත්සන් කර පැවතිණි. තවත් වෙළෙඳ ගිවිසුම් කීපයක් අත්සන් කිරීම සඳහා මේ වනවිට සාකච්ඡා පවත්වමින් සිටි.
සාරාංශය
පසුගිය දශක 2-3 තුළ ලෝකයේ ලොකු කුඩා සෑම රටක්ම අපනයන සහ විදේශ ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට එක් වෙමින් සිටී. බිහි වෙමින් පවතින නව ලෝක රටාව තුළ අපනයන සහ ආයෝජන ඉඩප්‍රස්ථා විවර වන්නේ එවැනි අන්‍යෝන්‍ය සත්කාරය (reciprocal treatment) මත වේ. මෙවන් පසුබිමක් තුළ ප්‍රධාන ධාරවෙන් බැහැරව කටයුතු කිරීමෙන් සිදු වන්නේ එවැනි රටවල් සඳහා පවතින වෙළෙඳපොළ අවස්ථා දිගින් දිගටම අවහිර වීම වේ.
නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට අවතීර්ණ වීමට අදාළව ශ්‍රී ලංකාවේ හැසිරීම අයහපත් වන අතර, විශේෂයෙන්ම නිදහස් වෙළෙඳාමට සහ ආයෝජනයට ඇති දැඩි විරෝධය නිසාම පසුගිය වසර කීපය තුළ අත්සන් කළ එකදු නිදහස් වෙළෙඳ ගිවිසුමක්වත් සක්‍රියව ක්‍රියාත්මක තලයට පැමිණ නැත. මෙවැනි හැසිරීමකින් අප ලෝකයාට ලබාදෙන පණිවිඩය වන්නේ අප රටක් ලෙස නිදහස් වෙළෙඳාමට සහ ආයෝජනට ඉඩකඩ ලබාදීමට සුදානම් නොමැති බවයි. විශේෂයෙන්ම, ඉන්දියාව සමග යෝජිතව පැවති ETCA සහ ශ්‍රී ලංකා - සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම්වලට අදාළ ප්‍රගතිය දෙස බැලීමේ දී තවත් රටවල් ශ්‍රී ලංකාව සමග අවංකව වෙළෙඳාම ලිහිල්කරණය සඳහා සාකච්ඡා පවත්වා විද යන්න සැක සහිතය.
නිදහස් වෙළෙඳාම සඳහා වෙළෙඳ ලිහිල්කරණයට මෙන්ම විදේශ ආයෝජන ආකර්ෂණයට අප කොතෙක් කැපව සිටීද යන්න පිළිබඳ කුකුසක් ඇති කරවන තවත් කරණක් වන්නේ, ආර්ථික පරිවර්තන පනත මගින් යෝජිත ආයතන ව්‍යුහය තවමත් ස්ථාපනය කිරීමට පියවර නොගැනීම තුළ වේ. නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කිරීමට මෙන්ම ලෝක වෙළෙඳපොළ අධ්‍යයන කටයුතු සඳහා ද නව ආයතනික ව්‍යුහයක් ආර්ථික පරිවර්තන පනත මගින් යෝජනා කරන ලදී. ඉන් එකක් වන්නේ ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා වූ කාර්යාලයයි (Office of International Trade). එම කාර්යයාලය මෙතෙක් පිහිටුවා නැති අතර, එම තත්වය වෙළෙඳ ලිහිල්කරණයට අදාළව සෘණාත්මක බලපෑම් එල්ල කිරීමට හැකියාක් පවතී. එමෙන්ම ආයෝජන ප්‍රවර්ධනය සඳහා නව ආයතනික ව්‍යුහයක් යෝජනා වූ නමුත් මෙතෙක් ඒවා ස්ථාපනය වීමක් සිදුව නොමැත. අපනයන සහ ආයෝජන ප්‍රවර්ධනය සඳහා දැනට පවත්නා ආයතනික ව්‍යුහ යල්පැන ගොස් ඇති ඒවා වේ. එවැනි ආයතනික ව්‍යුහ තුළින් අපනයන සහ ආයෝජන ප්‍රවර්ධනයට අදාළව යහපත් උත්තේජනයක් තවදුරටත් ලබා නොදෙන අතරම, ඒ සඳහා හැකියාවක් කුසලතාවක් ඇති පිරිස් එම ආයතන නොමැති බව රහසක් නොවේ. වඩාත් නම්‍යශීලි පරිසරයක් තුළ කුසලතාවකින් යුතු පිරිසක් සම්බන්ධ කරගනිමින් වඩාත් වේගවත් අපනයන සහ ආයෝජන ප්‍රවර්ධනයක් කළ යුතුව ඇත. ඒ සඳහා නව නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට එළැඹිය යුතු අතරම පවත්නා වෙළෙඳ ගිවිසුම් පුළුල් කළ යුතුව ඇත.
විශේෂයෙන්ම ඉන්දියාව සමග වඩාත් කිට්ටු ආර්ථික සම්බන්ධතාවක් ඇති කරගැනීම ඉලක්ක කරමින් ETCA ගිවිසුම අත්සන් කිරීම කඩිනමින් කළ යුතුව ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන සහ සංවර්ධන ආකෘතිය ඉන්දියානු කේන්ද්‍රගත (Indo-Centric development model) එකක් කිරීමෙන් නව වෙළෙඳ සහ ආයෝජන අවස්ථා අත්පත් කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇත. විශේෂයෙන්ම, ඉන්දියානු සැපයුම් ජාලය සමග සම්බන්ධවී කටයුතු කිරීමට නම් පුළුල් ආර්ථික සහයෝගීතාවකට ගමන් කළ යුතුව ඇත. තවදුරටත් නිදහස් වෙළෙඳාම සහ අපනයන පරිසරය ආරක්ෂණවාදී ප්‍රතිපත්ති රාමුවක පවත්වා ගෙනයාමෙන් සිදුවන්නේ ශ්‍රී ලංකාවට ලෝක වෙළෙඳපොළ අවස්ථා ගිලිහීයාම පමණකි. දැන්වත් අප “දූපත් මානසිකත්වයෙන්’’ මිදිය යුතුව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd