• වසර 24 කදී ශ්‍රී ලංකාවේ අපනයන ආදාය‍මේ පංගුව සියයට 19 කින් පහත වැටිලා
  • දශකයක් තුළ ලැබුණු ඍ විදේශ ආයෝජන දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 1යි
  • ශ්‍රී ලංකාව සතු අභ්‍යන්තරයට නැඹුරු වූ ආර්ථික උපායමාර්ග ඒ සඳහා හේතු වෙලා
  • අනාගත කම්පන වෙත ඔරොත්තු දෙන ස්වාරක්ෂකයක් ගොඩනැගීමට අවස්ථාව පවතින බව පවසයි
  • රැකියා උත්පාදනයේදී උතුරු සහ නැගෙනහිර පළාත් වෙත වැඩි හැකියාවක්

භානුක අමරසිංහ


ශ්‍රී ලංකාව 2000 වසරේදී සිය දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 39ක් ලෙස පවත්වාගෙන ගිය අපනයන ආදායම් පංගුව, 2024 වසරේදී සියයට 20 ක් දක්වා පහත වැටී ඇතැයි ලෝක බැංකුව පවසයි. ඒ අනුව 2030 දී එක්සත් ජනපද ඩොලර් බිලියන 36 ක අපනයන ආදායමක ඉලක්කය වෙත යාමට නම් ශ්‍රී ලංකාව සතුව ප්‍රමුඛ ප්‍රතිසංස්කරණ රැසක් පවතින බවත් ලෝක බැංකුව අවධාරණය කරයි.

ලෝක බැංකු සමූහය (WBG) ශ්‍රී ලංකාවත් සමගින් පසුගියදා ඇති කරගත් 2026-2030 වසර සඳහා වන හවුල්කාරීත්ව ක්‍රියාරාමුව තුළ අදහස් දැක්වීමක් කරමින් ලෝක බැංකුව මෙම කරුණු සඳහන් කර තිබේ.

“ඒ වගේම ශ්‍රී ලංකාව පසුගිය දශකයේදී ආකර්ෂණය කරගැනීමට සමත්ව ඇති සමස්ත ඍජු විදේශ ආයෝජනවල (FDI) වටිනාකමේ සාමාන්‍ය දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 1ක් පමණයි. මේ ප්‍රවණතා ආපසු හරවන්න නම් ශ්‍රී ලංකා රජය ගත යුතු ප්‍රමුඛ ප්‍රතිසංස්කරණ රැසක් පවතිනවා.“

ඒ අනුව ආයෝජන පරිසරය වැඩි දියුණු කිරීම, අපනයන වර්ධනය සඳහා වෙළෙඳපොළ විවෘතභාවය ඇති කිරීම (නිෂ්පාදන විවිධාංගීකරණය සහ වෙළෙඳපොළ විවිධාංගීකරණය හා නිදහස් වෙළෙඳ ගිවිසුම්ද ඇතුළත්ව), රජයේ ආර්ථික පියසටහන අවම කිරීම මෙන්ම කම්කරු, ඉඩම් සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ සම්බන්ධයෙන් පවතින වෙනස්කම් සහ අනම්‍යතා සම්බන්ධයෙන් විසඳුම් ලබා දිය යුතු බවත් ලෝක බැංකුව පවසයි.

“2022 ආර්ථික අර්බුදය ඇති වෙන්නට පෙර සිටම ශ්‍රී ලංකාව මේ තත්වයට මුහුණ දුන්නා. ශ්‍රී ලංකාව පවත්වාගෙන ගිය විදේශ වෙළෙඳාම හෝ අපනයන මත රඳා නොසිට, දේශීය නිෂ්පාදනය සහ දේශීය පරිභෝජනය මත පදනම් වූ අභ්‍යන්තරයට නැඹුරු වූ ආර්ථික උපායමාර්ගය ඊට හේතු වුණා.” ලෝක බැංකුව අවධාරණය කරයි. 

ඒ අනුව ශ්‍රී ලංකාවේ වර්ධනය සඳහා පවතින දිගුකාලීන බාධා මඟහැරවීමට නම් ඒ සඳහා අවශ්‍ය ආයෝජන සහ අපනයන අවශ්‍යතාව වර්ධනය සඳහා වන කැපී පෙනෙන ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවත් ඔවුන් මෙහිදී පෙන්වා දී තිබේ.

“ඉහළ තීරු බදු බාධා, දුර්වල වෙළෙඳ පහසුකම්, පුරෝකථනය කළ නොහැකි නියාමන කටයුතු යනාදිය අපනයන විවිධාංගීකරණය සහ තරගකාරීත්වය අඩු කර තිබෙනවා. රාජ්‍ය හිමිකාරීත්වය සතු සමාගම් (SOE) වෙත වැඩි පක්ෂපාතීත්වයක් සහිතව ක්‍රියාත්මක දුර්වල ව්‍යාපාරික පරිසරය, යල්පැනගිය බංකොලොත් රීති, අනම්‍ය කම්කරු රෙගුලාසි මෙන්ම බැංකු මූල්‍ය වෙත පවතින සීමිත ප්‍රවේශය සමගින් පෞද්ගලික ආයෝජන සහ ඵලදායිතාව තවදුරටත් හීන කර තිබෙනවා.”

මේ අතර රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ සහ ආදායම් උත්පාදනයේ පැවති දුර්වලතා ණය දිශානතිය තවදුරටත් අභියෝගයට ලක් කර තිබෙන බවත් ලෝක බැංකුව මෙම වාර්තාව තුළ සඳහන් කරයි. එසේම බලශක්ති, ප්‍රවාහනය සහ සැපයුම් සේවා තුළ පවතින යටිතල පහසුකම් පරතරය මෙන්ම රාජ්‍ය පාලනයේ පවතින දුර්වලතා ආයතන සහ නිවාස තුළ පිරිවැය ඉහළ යාමටද හේතුවක් වී ඇතැයි ලෝක බැංකුව පවසයි. 

විශේෂයෙන්ම සාර්ව-මූල්‍ය ස්ථායිතාවක් පවත්වාගෙන යාම සහ ස්ථිරසාර වර්ධනයක් සඳහා වන ආදායම් තත්වයක් පවත්වාගෙන යාම සමගින් අනාගත කම්පන වෙත ඔරොත්තු දීම සඳහා අවශ්‍ය වන ස්වාරක්ෂකයක් ගොඩනැගීමට ශ්‍රී ලංකාවට අවස්ථාව පවතින බවත් එහි වැඩිදුරටත් සඳහන් වෙයි.

ඒ අනුව 2026-2030 සඳහා වන මෙම හවුල්කාරීත්ව ක්‍රියාරාමුව මගින් මෙරට සංචාරක සහ කෘෂිව්‍යාපාර අංශ තවදුරටත් ශක්තිමත් කිරීමට දායකත්වය ලබා දෙන බවත්, ඒ හරහා රැකියා උත්පාදනය, වටිනාකම් වැඩි කිරීම සහ සංස්කෘතික සහ ස්වාභාවික උරුමයක් ආරක්ෂා කරගැනීමට සහාය දක්වන බවත් පවසයි. 

“විශේෂයෙන්ම උතුර සහ නැගෙනහිර පළාත් සතුව ගොවිතැන්, ජල වගා, සංචාරක සහ සැකසුම් කර්මාන්ත සම්බන්ධයෙන් වන රැකියා උත්පාදනයේදී ඉහළ හැකියාවක් පවතිනවා. එම පළාත් තවමත් රටෙහි දළ ජාතික නිෂ්පාදනය වෙත ලබා දෙන දායකත්වයට සියයට 4 සහ 5ක් පමණයි.” ලෝක බැංකුව වැඩිදුරටත් සඳහන් කර තිබේ.