කොරෝනා වසංගතයත් සමග ගෝලීය ආර්ථිකයේ ඇති වූ අසමතුලිතතා තවමත් මුළුමනින්ම අවසන්ව නොමැත. විවිධ කම්පන හේතුවෙන් ගෝලීය ආර්ථිකය තවමත් පසු වන්නේ ඉහළ අවිනිශ්චිත තත්වයක වේ. ඉහළ ගෝලීය අවිනිශ්චිතතාවට බලපෑ හේතු ගණනාවක් වේ. ඒ අතර රුසියා-යුක්‍රේන යුදගැටුම්, මැදපෙරදිග කලාපයේ අස්ථාවර තත්වය, ඇමරිකානු නව තීරුබදු ප්‍රතිපත්තිය මෙන්ම ඉහළ යමින් පවතින භූ දේශපාලනික උණුසුම ද හේතු වී පවතී. විශේෂයෙන්ම ඇමරිකානු ජනාධිපතිවරය විසින් තම අසල්වැසි රාජ්‍ය සම්බන්ධයෙන් දැනටමත් ගෙන ඇති සහ ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට ඉඩ ඇති ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගෝලීයව ඉහළ අවිනිශ්චාතතාවකට බලපෑම් එල්ල කරමින් සිටි. 
විශේෂයෙන්ම ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරියේ දී ගනු ලබන තීරණ ඇමරිකාව සහ යුරෝපය අතර ඉදිරි සම්බන්ධතා කුමනාකාර ස්රූපයක් ගනීවිදැයි යන්න තීරණය කරනු ඇත. එසේම ඇමරිකාව සහ චීනය අතර පවත්නා භූ දේශපාලනික ගැටුම් ද විවිධ මානයන් ඔස්සේ ඉදිරියේ දී ගෝලීය ආර්ථිකයට බලපෑම් කිරීමට නියමිතව ඇත. එවන් පසුබිමක මෑතක දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් 2026-2027 ගෝලීය ආර්ථික කාර්යසාධනය පිළිබද තම පුරෝකථන ඉදිරිපත් කරන ලදී (World Economic Outlook-January 2026). මෙම ලිපියේ අරමුණ වන්නේ එම පුරෝකථන මත පදනම්ව ගෝලීය ආර්ථකයේ ඉදිරි හැසිරීම් සහ එම හැසිරීම් හේතුවෙන් දේශීය ආර්ථිකයට ඇති බලපෑම පිළිබඳව සාකච්ඡා කිරීමයි. එමෙන්ම, ගෝලීයව පවත්නා තත්වයන් තුළ ලංකාව වැනි කුඩා ආර්ථික අනුමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබදව ද අවධානය යොමු කිරීම්ට මෙහිදී අපේක්ෂා කෙරේ. 


ගෝලීය ආර්ථික වර්ධනය සහ උද්ධමනය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකථනවලට අනුව 2026 වසරේ දී ලෝක ආර්ථිකය සියයට 3.3 කින් ද, 2027 දී සියයට 3.2 කින් ද වර්ධනය වෙතැයි අපේක්ෂා කෙරේ. ඉහත කාලපරිච්ඡේදයට අදාළව සංවර්ධිත රටවල්වලට අදාළව ආර්ථික වර්ධනය සියයට 1.7 ක් පමණ වන අතර නැගී එන (emerging) සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථික (developing countries) සියයට 4 ක වේගයකින් වර්ධනය වෙතැයි පුරෝකථනය කර ඇත. සංවර්ධිත රටවල් අතරින් ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථිකට සියයට 2.4ක පමණ වේගයකින් 2026 වර්ෂයේ දී වර්ධනය වෙතැයි අපෙක්ෂා කෙරේ. චීන ආර්ථිකය සියයට 4-5ක පමණ වේගයකින් 2026-27 වර්ෂවලදී වර්ධනය වන අතර ඉන්දියානු ආර්ථිකය එම කාලපරිච්ඡේදයට අදාළව සියයට 6 ඉක්මවූ ආර්ථික වර්ධනයක් වෙත ළඟා වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. 
ඇමරිකානු නව තීරු බදු ප්‍රතිපත්යත් සමග ගෝලීය ආර්ථිකය යම් පසු බෑමකට ලක්වෙතැයි අපෙක්ෂා කළද එවැනි දැඩි බලපෑමක් ඒ හරහා සිදු නොවීමට මූලික හේතුව වූයේ මුල් අවස්ථාවේ දී ඉහළ යන ලද තීරුබදු අනුපාතික පසුකාලීනව පහත වැටීම හේතුවෙනි. උදාහරණයක් ලෙස 2025 මැයි මස වනවිට ඇමරිකානු සඵල තීරුබදු අනුපාතය (effective tariff rate) සියයට 24ක් පමණ වූ අතර එම අනුපාතය 2025 වසර අවසානය වන විට සියයට 18.5 දක්වා පහත වැටුණි. රටවල් ගණනාවකට අදාළව මෙන්ම ඇමරිකාව විසින් ආනයනය කරනු ලබන කෘෂි ආනයන සඳහා වන තීරුබදු ද පසුකාලීනව පහත හෙළන ලදී. එමෙන්ම, වර්තමානය වනවිට ගෝලීයව සාපේක්ෂව පහළ පොලී අනුපාත දක්නට ලැබෙන අතර රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති මගින් ද ආර්ථික වර්ධනය සඳහා යම් තල්ලු‍වක් ලබාදෙමින් පවතී. තවත් සුවිශේෂි තත්වයක් වන්නේ කෘතිම බුද්ධිය හේතුවෙන් ගෝලීයව නව අයෝජන අවස්ථා මෙන්ම ශ්‍රම පලදායීතාවේ ඉහළ යාමක් ද යම්තාක් දුරකට නිරීක්ෂණය වීමයි. මේ සියල්ලේම සමස්ත ප්‍රතිඵලයක් ලෙස ගෝලීය ආර්ථිකයේ යම් යහපත් තත්වයක් නිර්මාණය වී ඇති අතර විශේෂයෙන්ම ඇමරිකානු තීරුබදු ඉහළනැංවීම හේතුවෙන් ගෝලීය ආර්ථික කාර්යසාධනයට සිදු වූ අයහපත් තත්වය අභිබවා යෑමට කාත්‍රීම බුද්ධිය ආශ්‍රිත ආර්ථික කටයුතුවලට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරයි. පවත්නා ඉහළ අවිනිශ්චිතතාව තුළ එම තත්වය නරක අතරට පත්වීමට ද ඉහළ ඉඩකඩක් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර සිටී.
 ගෝලීය උද්ධමනකාරී තත්වය මේ වනවිට යම් ස්ථාවර ස්වරූපයක් ගෙන ඇති මුත් ඇමෙරිකානු ආර්ථිකය තුළ තවමත් උද්ධමනය සාපේක්ෂව ඉහළ මට්ටමක පැවතීමක් නිරීක්ෂණය කළ හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශකර සිටී. ඊට මූලීක හේතුව වී ඇත්තේ නිෂ්පාදන අමුදව්‍යවලට අදාළව පවතින ඉහළ මිල ගණන් වන අතර විශේෂයෙන්ම තීරුබදු අනුපාත ඉහළනැංවීමත් සමග මෙසේ නිෂ්පාදන අමුදව්‍ය ආශ්‍රිත මිල ගණන් ඉහළයාමක් සිදුවිය. ඉදිරියේ දී ගෝලීය උද්ධමනය පහත වැටෙතැයි අපෙක්ෂා කරනු ලබන අතර ඊට ඉන්ධන සඳහා වන ඉල්ලු‍ම සහ මිල පහළයාම ප්‍රධානතම හේතුවක් වෙතැයි අපෙක්ෂා කෙරේ. ඉහත සඳහන් කළ තත්වය කොතෙක් දුරට අත්පත් කරගැනීමට හැකීවේ ද යන්න මූලික වශයෙන්ම කරුණු කීපයක් මත රදාපවතින අතර කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත කටයුතු සඳහා දැනට කෙරෙන අයෝජන මගින් ආර්ථිකය තුළ ශ්‍රම පලදායීතාවට අදාළව ඇති වෙතැයි අපේක්ෂා කරනු ලබන ධනාත්මක වර්ධනය ප්‍රධාන තැනක් ගනී. යම් හෙයකින් අපේක්ෂා කරනු ලබන අයුරින් කෘත්‍රිම බුද්ධියට අදාළ භාවිතයන් මගින් පලදායීතාව ඉහළනැංවීමක් සිදු කිරීමට අපොහොසත් වුවහොත් ඒ නිසා දැනට කෘත්‍රිම බුද්ධියට අදාළ කේෂ්ත්‍ර සඳහා කෙරෙන ආයෝජන පහත වැටීමක් සිදුවනු ඇත.


ගෝලීය වෙළෙඳ සහ ආයෝජන ප්‍රවාහ
ඇමෙරිකානු නව තීරුබදු ප්‍රතිපත්තිය හේතුවෙන් ගෝලීයව වෙළෙඳ සහ ආයෝජන ආරක්ෂණවාදයක් ව්‍යාප්ත වී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන අතර එම තත්වය තවදුරටත් වර්ධනය වීමට වඩාවැඩි ඉඩකඩක් ද පවතින බව ප්‍රකාශ කර සිටී. තීරුබදු අනුපාත ඉහළයාමත් සමග වෙළෙඳ සහ ආයෝජන ප්‍රමාණ පහත වැටිම නිරීක්ෂණය කළ හැකිය. ඒ අනුව 2025 සහ 2026 වසරවලට අදාළ සමස්ත ලෝක වෙළෙඳ පරිමාව (Total Global Trade Volume), අනුපිළිවෙළින් සියයට 4 සහ සියයට 2.6ක මට්ටමකින් හැකිළෙතැයි අපේක්ෂා කරයි. ඉදිරි වසර වලදී තාක්ෂණික අපනයන (Technology-Related Exports), අනෙකුත් අපනයන භාණ්ඩ අභිබවා ඉහළයාමට වඩා වැඩි ඉඩකඩක් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කරයි. 
විශේෂයෙන්ම, කෘත්‍රිම බුද්ධියට අදාළ භාවිතයන් ලොව පුරා වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස එම අපනයන වර්ධනය වීමක් අපේක්ෂා කළ හැකි අතර ඒ අනුව චීන අපනයන ඇමරිකානු වෙළෙඳපොළට අදාළව යම් පහත යාමක් ඇති වුවත් ලෝකයේ අනෙකුත් වෙළෙඳපොළවල්වලට අදාළව චීන අපනයන දිගින් දිගටම ඉහළ යනු ඇතැයි අපෙක්ෂා කෙරේ. 
ආයෝජන පිළිබඳව අවධානය යොමු කිරීමේ දී ද පෙනීයන මූලික කරුණක් වනුයේ කෘතිම බුද්ධිය ආශ්‍රිත කටයුතු සඳහා ආයෝජන ගලායාමක් නිරීක්ෂණය කළ හැකි වීමයි. විශේෂයෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයට නව ආයෝජන ගලායාමක් සිදු වීමට වඩා වැඩි ඉඩකඩක් පවතින බව කියවේ. වෙළෙඳ ආරක්ෂණවාදයක් ලොව පුරා පැතිරීයාමක් සිදු වුවත් තව දුරටත් කලාපීයව වෙළෙඳාම සහ ආයෝජන ප්‍රවර්ධනය සඳහා පියවර ගැනීමක් දැකිය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර සිටී. 


තිරසර වර්ධනය සඳහා වූ ප්‍රතිපත්ති
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව ඉදිරි ආර්ථික වර්ධන තත්වය යහපත් වුවත් එම වර්ධන තත්වය ඉතා පටු සීමාවන් තුළ ස්ථාපනය වී ඇති අතර අභ්‍යන්තර හෝ බාහිර කම්පන ආර්ථික වර්ධනය සහ සංවර්ධනය දැඩි ඝෘණාත්මක බලපෑම් එල්ල කළ හැකිය. එබැවින් තිරසර ආර්ථික වර්ධනයක් පවත්වා ගෙනයාමට ක්‍රියාමාර්ග කීපයක් ගත යුතු බව ඔවුන් යෝජනා කරයි. එවැනි යෝජනා ශ්‍රී ලංකාව වැනි රටවලට ද මහත් සේ අදාළ වේ. පළමුව, රාජ්‍ය මූල්‍යයට අදාළව වඩාත් ඉහළ විනයක් පවත්වා ගෙන යා යුතු බව යෝජනා කෙරේ. විශේෂයෙන්ම රාජ්‍ය ආදායම් ඉලක්ක සපුරා ගැනීම මෙන්ම වියදම් වඩාත් තාර්කීකරණයට අවධානය යොමු කළ යුතු සේම යම් රාජ්‍ය මූල්‍ය ඉතිරියක් (Fiscal Buffers) පවත්වා ගෙනයාමට කටයුතු කළ යුතුය. යම් කම්පනයක් නිසාවෙන් රාජ්‍ය මූල්‍ය මැදිහත් වීමක් කිරීමට අවශ්‍ය වන්නේ නම් එවැනි මැදිහත් වීමක් නිශ්චිත ලෙස අත්‍යවශ්‍ය පිරිස්වලට පමණක් ඉලක්ක කර යම් නිශ්චිත කාලාසීමාවකට පමණක් ක්‍රියාත්මක කළ යුතුය. ඒ සඳහා අවශ්‍යවන අරමුදල් අත්‍යවශ්‍ය නොවන වියදම් කපා හැරීමෙන් ලබාගැනීමට කටයුතු කළ යුතු බව අවධාරණය කරනු ලබයි.
 ශ්‍රී ලංකාව 2024 වසරේ සිට රාජ්‍ය මූල්‍ය ඉතිරියක් පවත්වා ගෙන යාමට කටයුතු කළ අතර ඒ හේතුවෙන් 2025 වසර අවසාන වන විට රුපියල් ට්‍රිලියනයකට අධික මුදලක් ඉතිරි කර ගැනීමට සමත් විය. පසුගිය දා ඇති වූ දිට්වා සුළිකුණාටුවෙන් වූ හානි සහ විනාශයට වන්දි ලබාදීමට සහ යළිගොඩනැංවීම් සදහා අවශ්‍ය වූ අරමුදල් සපයාගත හැකි වුයේ එවැනි රාජ්‍ය මූල්‍ය ඉතිරියක් පවත්වා ගෙන යාමට කටයුතු කළ හෙයිනි. 
දෙවනුව, මහ බැංකු ස්වාධීනව කටයුතු කිරීමේ වැදගත්කම යළිත් වරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අවධාරණය කර සිටී. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපද රජය විසින් එරට මහ බැංකුවට සහ එහි අධිපතිවරයාට විරුද්ධව මෑතක දී ගනු ලැබූ යම් යම් තීන්දු තීරණ මේ සඳහා බලපෑ වඩාත්ම ආසන්නතම හේතුව විය හැකිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරනු ලබන මූලික කරුණක් වන්නේ මහ බැංකු ස්වාධීනව කටයුතු කිරීමෙන් මිල මට්ටමේ ස්ථායීතාව මෙන්ම මූල්‍ය පද්ධතිය ස්ථාවරව (Price Stability and Financial Sector Stability) පවත්වාගෙන යාමට ඉඩකඩ ලැබෙන අතර එවැන්නක් යහපත් මෙන්ම වර්ධනයට වඩාත් හිතකර සාර්ව ආර්ථික පරිසරයක් පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය අංගයකි. 
සංවර්ධනය වෙමින් පවතින රටවල නිරන්තරයෙන්ම සිදුවන කරුණක් වන්නේ මහ බැංකුව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට අවනතව කටයුතු කිරීමට යාමෙන් ආර්ථිකය තුළ මිල මට්ටම් නිතර උච්චාවචනයට ඉඩකඩ ඇති කිරීමය. දැනට මෙරට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යටතේ පැවති එක් කොන්දේසියක් අනුව මහ බැංකුව ස්වාධීන කිරීමට පියවර ගනු ලැබිණි. 
තුන්වනුව, විනිමය අනුපාත වෙළෙඳපොළ ඉල්ලු‍ම් සහ සැපයුම් බලවේග අනුව තීරණය වීමට ඉඩහැරීමේ වැදගත්කම ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කර සිටී. බොහෝ අවස්ථාවල සංවර්ධනය වෙමින් පවතින රටවල මහ බැංකු මගින් විනිමය අනුපාතයේ හැසීරීම කෘත්‍රිමව පාලනය කිරීමට මැදිහත් වන අතර ඒ හේතුවෙන් නොයෙකුත් අහිතකර තත්ව ආර්ථිකය තුළ සිදු වීමට ඉඩහරී. උදාහරණයක් ලෙස 2022 වසරේ ආර්ථික අර්බුදයට පෙර මෙරට මහබැංකුව විසින් විනිමය අනුපාතය කෘත්‍රිමව යම් අගයක පවත්වාගෙන යාමය කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස විදේශ සංචිත අඛණ්ඩව පහළ යාම සිදුවිය. එම ප්‍රතිපත්තියේ අවසානය වූයේ අත්‍යවශ්‍ය ආනයන කිරීමට පවා නොහැකි වන අයුරින් විදේශ සංචිත පහත වැටීමය. විනිමය අනුපාතය වෙළෙඳපොළ බලවේගවලට අනුව හැසිරීමට ඉඩහැරීමෙන් ආර්ථිකයේ සම්පත් බෙදීයාම (Resources Allocations) නිවැරදිව කිරීමට ඉඩ ලැබෙන අතරම එවැන්නක් ස්වංක්‍රිය හැඩගැසීමේ යාන්ත්‍රණයක් ලෙස කටයුතු කරනු ලබයි. 
සිව්වනුව, ප්‍රතිපත්ති අවිනිශ්චිතා සහ ප්‍රතිපත්ති ආපසු හැරවීම් කිරීමෙන් වැළකී සිටිය යුතු බව අවධාරණය කර සිටී. විශේෂයෙන්ම, විදේශ වෙළෙඳාම සහ ආයෝජන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් නිශ්චිතතාවක් පැවතීම අතිශය වැදගත් වන්නකි. ඇමෙරිකානු රාජ්‍ය දේපාර්තුමේන්තුව මගින් ලංකවේ ආයෝජන පරිසරය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාවේ ද සඳහන් කළ එක් වැදගත් කරුණක් වුයේ මෙරට වෙළෙඳ සහ ආයෝජන පරිසරය සම්බන්ධයෙන් පවත්නා අසංගතභාවයයි. අවසාන වශයෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරන කරුණක් වන්නේ තිරිසර ආර්ථික වර්ධනය සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කළ යුතු බවයි. අධ්‍යාපනය, සෞඛ්‍ය, ශ්‍රම වෙළෙඳපොළ, රාජ්‍ය ව්‍යවසාය, කෘෂිකර්මය, ප්‍රවාහනය සහ ජාත්‍යන්තර වෙළෙඳාම සහ ආයෝජන අංශ ඉලක්ක කර අවශ්‍ය ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීම කළ යුතුය.
 දැනට මෙරට තුළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විවිධ පියවර සාකච්ඡා කරමින් පැවතිය ද එවැනි ප්‍රතිසංස්කරණ කොතෙක් දුරට ජාතික සංවර්ධන සැලස්මක් තුළ නිර්මාණය වෙමින් පවතී ද යන්න පැහැදිලි නැත. ජාතික සංවර්ධන සැලස්මකින් තොරව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුවන්නේ නම් එහි ප්‍රතිඵල මෙරට ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට යොදාගත හැකි වනු ඇත් ද යන්න ගැටලු‍වකි. අනෙකුත් ප්‍රතිසංස්කරණ කඩිනමින් කිරීම තිරසර ආර්ථික වර්ධනයක් අත්පත් කරගැනීමට අතිශ්‍ය වැදගත්ය. ආර්ථික පරිවර්තන පනතෙන් ප්‍රතිසංස්කරණ ගණනාවක් යෝජනා වී පවතී. එම පනත ක්‍රියාත්මක කිරීමෙන් වෙළෙඳාම සහ ආයෝජන සඳහා වඩාත් හිතකර පරිසරයක් ගොඩනැංවීමට හැකියාව ලැබෙනු ඇත. එමෙන්ම කාන්තා ශ්‍රම වෙළෙඳපොළ සාභාගීත්වය ඉහළනැංවීමට ද හැකියාව ලැබේ. 


සාරංශය
ගෝලීයව විවිධ අවිනිශ්චිතතා පැවතිය ද ඉදිරි වසර දෙකක කාලය තුළ ලෝක ආර්ථිකයේ කාර්යසාධනය යහපත් මට්ටමක පැවතීම අර්බුද ගණනාවකින් දැනට බැටකා ඇති මෙරට ආර්ථිකයට මහත් අස්වැසිල්ලකි. එමගින් මෙරට අපනයන ඉපැයීම්වලට වඩාත් හොඳ වෙළෙඳපොළක් ලබා ගැනීමට මෙන්ම සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට සහ ලාංකේය ශ්‍රමිකයන්ට වඩාත් වැඩි ශ්‍රම වෙළෙඳපොළ අවස්ථා උදාකර ගැනීමට හැකිවෙතැයි අපේක්ෂා කළ හැකිය. බාහිර පරිසරය කොතෙක් යහපත් වුවත්, දේශීයව අප එම අවස්ථා කොතෙක් දුරට මෙරට සංවර්ධනය සඳහා උපයෝගී කරගත හැකිද යන්න රදාපවතින්නේ අප කොතෙක් දුරට ආර්ථික ප්‍රතිසංස්කරණ සදහා යොමුවේ ද යන්න මතයි. 
තිරසර ආර්ථික වර්ධනයක් ඇතිකරලීමට අපට දේශීයව කළ හැකි දේ බොහෝය. එම ප්‍රතිසංස්කරණ කිරීමේ දී කෙටිකාලීනව යම් වේදනාකරී තත්ව ඇතිවීම පොදු තත්වයක් වේ. හුදු ජනතාවාදය (Populism) කරපින්නාගෙන කටයුතු කිරීම වෙනුවට දිගු කාලීනව ආර්ථිකයට යහපත් වන්නා වූ තීරණ ගැනීමට ප්‍රතිපත්ති සම්පාදකයන් කටයුතු කළ යුතුව ඇත. ආර්ථිකය අර්බුදයෙන් ඉතා කෙටි කාලයක් තුළ යම් ස්ථායීතාවක් ඇති කරලීමට හැකි වුයේ අවශ්‍ය වූ තීන්දු තීරණ ගැනීමට පසුබට නොවීමේ ප්‍රතිඵලයක් වශයෙනි. එබැවින් තිරසර ඉහළ ආර්ථික වර්ධනයක් ඇතිකරලීමට අවශ්‍ය වන්නා වූ, එහෙත් මෙකෙත් පැවති බොහෝ ආණ්ඩු ක්‍රියාත්මක කිරීමට මැළිකමක් දක්වන ලද, ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ඉක්මනින් කළ යුතුව ඇත. එසේ නොවන තත්වයක් තුළ අප දැනට අත්කරගෙන තිබෙන ආර්ථික ස්ථාවරතාව තාවකාලික වූවක් වීමට වැඩි ඉඩකඩක් පවතී. මෙම කරුණු පිළිබද ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමු වෙතැයි අපේක්ෂා කරමු.