වසරේ වඩාත්ම වැදගත් ප‍්‍රවෘත්තිය තෝරා ගැනීම සඳහා ඇසෝසියේටට් ප්‍රෙස් ආයතනය එක්සත් ජනපදයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂවරුන් හා පුවත්පත් කතුරුවන් අතර වාර්ෂිකව පවත්වන ඡුන්ද විමසීමේ දී 2011 වසරේ වඩාත්ම වැදගත් ප‍්‍රවෘත්තිය ලෙස තේරී ඇත්තේ ඔසාමා බින් ලාඩන් ඝාතනයයි. පසුගිය මැයි මාසයේ පළමුවැනිදා එක්සත් ජනපදයේ නාවික හමුදාවට අයත් සීල්භට කණ්ඩායමක් පාකිස්තානයේ ඇබටාබාද් හමුදා කඳවුර අසල බින් ලාඩන් නැවතී සිටි නිවසකට එල්ල කළ ප‍්‍රහාරයකින් ඔහු මියගිය බවත් ඔහුගේ සිරුර කිසිවකුට නොපෙන්වා මුහුදට දැමූ බවත්, ධවල මන්දිරයෙන් ප‍්‍රකාශයට පත් කෙරිණ. 2001 සැප්තැම්බර් 11 නිව්යෝර්ක් නගරයේ ලෝක වෙළඳ සමධ්‍යස්ථානයට එල්ල වූ ප‍්‍රහාරයට මෙන්ම මහත් ආන්දෝලනයකට ලක් වූ මෙම ප‍්‍රහාරය පැති කීපයකින්ම එක්සත් ජනපදය ත‍්‍රස්වාදයට එරෙහිව ගෙන යන යුද්ධයට තීරණාත්මක බලපෑම් ඇති කරවයි. එක අතකින් බින්ලාඩන් ඝාතනයත් සමග එක්සත් ජනපදයට තවදුරටත් ඇෆ්ගනිස්ථානයේ හමුදා මෙහෙයුම් සිදුකිරීම අනවශ්‍ය බවක් දැක්වෙන අතර අනෙක් වැදගත්ම සිද්ධිය වන්නේ ත‍්‍රස්තවාදයට එරෙහිව ගෙන යන යුද්ධයේ සමීප තම මිතුරෙකු වූ පාකිස්තානය සමග පවතින සම්බන්ධතා ගැඹුරු ලෙස අභියෝගයට ලක්වීමයි. පාකිස්තානයේ රජයට හෝ හමුදාවට කිසිදු පෙර දැනුම් දීමකින් තොරව එල්ල කළ ප‍්‍රහාරය බොහෝ පාකිස්තානුවන් දකින්නේ තම රටේ ස්වෛරීත්වය කෙලෙසීමක් ලෙසිනි. මෙවැනි ප‍්‍රහාරයක් එල්ල කොට ආපසු ගිය කඳවුරට එම භට කණ්ඩායමට කිසිදු අපහසුවකින් තොරව යෑමට හැකිවීම පාකිස්තානයේ සන්නද්ධ හමුදා හෑල්ලූවට ලක්කිරීමකි. ඉන් පසුව නැවත වරක් පසුගිය නොවැම්බර් මාසයේ දී ඇෆ්ගන් දේශ සීමාව අසල පිහිටි පාකිස්තානු හමුදා කඳවුරු දෙකකට එකසත් ජනපද ගුවන් හමදා එල්ල කළ ප‍්‍රහාරයකින් භටයින් 24ක් මිය යෑම තත්ත්වය වඩාත් උග‍්‍ර කරවීය. මීට අමතරව මැමොගේට් නමින් හැඳින්වෙන රහස් සංදේශයක් පිළිබඳ පාකිස්තාන රජය හා හමුදාවත් ශ්‍රේෂ්ඨාධිකරණයත් අතර මතු වී ඇති අර්බුදය ජනාධිපති සර්දාරිගේ පාකිස්ථානු ජනතා රජයේ පැවැත්ම පිළිබඳ ප‍්‍රශ්නයක් බවට පත්ව ඇත. පාකිස්තානු අගමැති ගිලානි හමුදා කුමන්ත‍්‍රණයක් ගැන අනතුරු හැඟවූ අතර හමුදා ප‍්‍රධානී පර්වෙස් කයානි එවැනි තත්ත්වයක් නැතැයි ප‍්‍රකාශ කළේය. කෙසේ වුවත් බින් ලාඩන් ඝාතනය හා ඇෆ්ගනිස්තානයෙන් එක්සත් ජනපද භට කණ්ඩායම් ඉවත් කර ගැනීම ආරම්භ කිරීම, කලාපය තුළ සාමය තහවුරු කිරීමට හේතු වී නැත. බින් ලාඩන් ඝාතනය හා එක්සත් ජනපදය අනෙක් රටවල ස්වෛරීත්වය නොසලකා කි‍්‍රයාකිරීම 2011 වසර පුරාම දක්නට ලැබුණු ප‍්‍රවණතාවකි. යේමනය, ලිබියාව, හා සෝමාලියාව වැනි රටවල එක්සත් ජනපද හමුදාව ඍජුවම හෝ වෙනත් පාර්ශ්ව හරහා සිදු කෙරෙන ප‍්‍රහාර සැලකිල්ලට ගන්නා සමහර නිරීක්‍ෂකයෝ තෙවන ලෝක යුද්ධයක් ඇරැඹී ඇතැයි පවසති. අරාබි කලාපයේ දක්නට ලැබුණු වැදගත්ම ප‍්‍රවණතාව වූයේ සමහර නිරීක්‍ෂකයින් විසින් අරාබි වසන්තය යනුවෙන් සාවද්‍ය ලෙස හඳුන්වන ජනතා නැගිටීමය. ඒකාධිපති පාලකයින්ට එරෙහිව ටියුනිසියාවෙන් ඇරැඹුණ මෙම ජනතා නැගිටීම ඊජිප්තුව, ලිබියාව, යේමනය බහරේනය හා සිරියාව වැනි රටවල් දක්වා පැතිර ගියද වසර අවසන් වන විට ඉන් සනිටුහන් වූයේ මහත් ඛේදනීය තත්ත්වයකි. ජනතා නැගිටීම ප‍්‍රථමයෙන්ම වාර්තා වූ ටියුනීසියාවේ නව ආණ්ඩුක‍්‍රමයක් යටතේ ඡන්ද විමසීමක් පැවැත්වූවද ඉන් බලයට පත් වූයේ ආගම්වාදී එන්නහිඩා පක්‍ෂයයි. පසුගිය පෙබරවාරි මාසයේ දී දශක තුනකට අධික කාලයක් ඊජිප්තුවේ බලයේ සිටි හොස්නි මුබාරක් ඉන් ඉවත් වූවද පාලන බලය හිමිකර ගත්තේ ඔහුගේම හමුදාවයි. ඊජිප්තුවේ දැනට කඩින්කඩ පැවැත්වෙන ඡුන්ද විමසීම් වලින් වැඩි බලයක් දිනාගෙන ඇත්තේ ආගම්වාදී නැඹුරුවක් ඇති දේශපාලන පක්‍ෂයි. හොස්නි මුබාරක් පාලන බලයෙන් ඉවත් කිරීමට කයිරෝ නගරයේ තහ්රිර් චතුරශ‍්‍රයේ අරගල කළ තරුණයෝ තවමත් එහි රැඳී සිටිති. එහි මූලික අදහස වන්නේ ඔවුන් ප‍්‍රාර්ථනා කළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස තහවුරු කෙරෙන මාවත තවම විවෘත වී නැති බවය. මානව අයිතිවාසිකම්, මූලික නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ බටහිර රටවල් අනුගමනය කරන පදබස් පිළිගත්තද අරාබිකරයේ ජනතා නැගිටීම් තුළින් හෙළිදරව් විය. ලිබියාවේ ගඩාෆි විසින් සිදු කෙරෙන්නේ යැයි චෝදනා කළ අපරාධ සම්බන්ධයෙන් සම්බාධක පනවා ගඩාෆි සහ ඔහුගේ පුතුන් ඇතුළත් සමීපතමයින් අන්තර්ජාතික අපරාධ අධිකරණයට ගෙන යෑමට උනන්දු වූ බටහිර රටවල් යේමනයේ හා බහරේනයේ සිදු වූ මිනිස් ඝාතන හා කුරිරු මර්දනය ගැන තැකීමක් කරන්නේ නැත. යේමනයේ ජනාධිපති සාලේ ගල්ප් සහයෝගීතා කවුන්සලය ඉදිරිපත් කළ සාම යෝජනා ඉවත දැමීම ඔහුට විරුද්ධව සම්බාධක පැනවීමට හේතුවක් වූයේ නැත. සිරියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් මිය යන පුද්ගලයින්ගේ සංඛ්‍යාව පිළිබඳ වාර්තා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් දෛනිකව නිකුත් කරන නමුත් යේමනයේ සිදුවන මිනිස් ඝාතන ගැන එවැනි වාර්තා ඇති බවක් පෙනෙන්නට නැත. එමෙන්ම සෞදි අරාබියේ සිදුවන මර්දනය ද මානව අයිතිවාසිකම් යටපත් කිරීමක් ලෙස බටහිර රටවල් සලකන්නේ නැත. මෙවැනි පසුබිමක් යටතේ මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා අරාබිකරයේ සිදුවන ජනතා අරගලය බටහිර රටවල් තම පටු අරමුණු ඉටු කර ගැනීමට යොදා ගත් ආකාරය සැබැවින්ම ඛේදජනකය. කෙසේ වුවත් බටහිර ආධිපත්‍යයට නතු නොවන අරාබි රටවල පාලකයින් වෙනස් කිරීමට ගත් උත්සාහය තවම සාර්ථක වී නැත්තේ සිරියාවේ හා ඉරානයේ පමණි. සිරියාවේ ජනාධිපති අසාඞ්ගේ පාලනය දැන් බෙහෙවින් දුර්වල වී ඇති අතර, සම්බාධකවලට ලක්ව ඇති ඉරානය මෙම වසරේ දී නවතම අභියෝග රැසකට මුහුණ දුන්නේය. ඉන් එකක් වන්නේ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ හා සම්බන්ධ පරිගණකවලට එල්ල වූ වෛරස් ප‍්‍රහාරයයි. මෙම වෛරසයේ ප‍්‍රභවය මෙතෙක් හෙළි නොවූ නමුත් ඉන් මතභේදයට ලක් වී ඇති ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ මාස ගණනාවක් පසුබෑමට ලක්විය. ඒ සමගම න්‍යෂ්ටික වැඩ පිළිවෙළ හා සම්බන්ධ විද්‍යාඥයින් කීප දෙනෙකුම ඉරානය තුළදීම ඝාතනය කළ අතර හමුදා කඳවුරු ඉලක්ක කර ගත් බෝම්බ ප‍්‍රහාර ගණනාවක්ම දක්නට ලැබිණ. ඉන් ඉරානය ආක‍්‍රමණය කිරීමේ සූදානම් ඉතා ආසන්න බවක් පෙන්නුම් කළද දෙසැම්බර් මාසය දක්වා එවැන්නක් සිදු වූයේ නැත. මැදපෙරදිග මෙවැනි උණුසුම්කාරී තත්ත්වයක් පවතින අතර නැගෙනහිර ආසියාවේ ද නැවත වරක් යුද ඝෝෂාව උත්සන්න වන බව දක්නට ලැබිණි. ඊට මූලික වශයෙන් හේතු වූයේ දකුණු චීන මුහුදේ ඇති නිසරු කුඩා දූපත් කීපයක අයිතියයි. මනුෂ්‍ය වාසයක් නොමැති වූවද එම දූපත් අසල මුහුදේ ඇතැයි සැලකෙන තෙල් සම්පත පිළිබඳ වියට්නාමය, පිලිපීනය හා චීනය අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් වර්ධනය විය. නැගී එන ආර්ථික මෙන්ම හමුදා බලවතකු වන චීනයට මෙම කුඩා දූපත් උපාය මාර්ගික වශයෙන්ද වැදගත්ය. චීනය අභියෝගයක් ලෙස දකින එක්සත් ජනපදය පැරණි සතුරකු වූ වියට්නාමය සමග හමුදා කටයුතු පිළිබඳ සමීප සම්බන්ධතාවක් ගොඩනගමින් සිටී. පැසිපික් සාගර ප‍්‍රදේශය් චීන නාවික බලයට අභියෝගයක් වශයෙන් එක්සත් ජනපදය පසුගිය නොවැම්බර් මාසයේ දී  ඕස්ටේ‍්‍රලියාවේ ඩාර්වින් නගරය අසල නාවික මධ්‍යස්ථානයක් පිහිටුවීමට එරට රජය සමග එකඟතාවක් ඇති කර ගෙන තිබිණ. ඊට අමතරව ඉන්දියාව  ඕස්ටේ‍්‍රලියාව හා එක්සත් ජනපදය ඉන්දියානු සාගර කලාපයේ හමුදා මෙහෙයුම් කටයුතු සඳහා එකඟතාවක් ගොඩනගමින් සිටින බව වාර්තා වේ. මෙම එකඟතාව චීනය ඉලක්ක කරගත් එකතුවක් නොවන බව ඉන්දියානු අගමැති ආචාර්ය මන්මෝහන් සිංග් අවධාරණය කරන නමුත් යථාර්ථය ඊට වෙනස් බව විශේෂයෙන් සඳහන් කළ යුතු නොවේ. ගෙවී යන වසරේ ආසියානු කලාපයේ දක්නට ලැබුණු තවත් විශේෂ සංසිද්ධියක් වන්නේ අඩ සියවසක කාලයක් තිස්සේ ඒකාධිපති පාලනයක් පවත්වා ගෙන ආ මියන්මාරයේ හමුදා ආණ්ඩුව, විවිධ මත ඉවසන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් කරා පිය නගන බවට ඡායා මාත‍්‍රයක් දක්නට ලැබීමය. වසර විස්සකට අධික කාලයක් නිවාස අඩස්සියට පත් කොට සිටි ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායිකා අවුන්සාන් සුකීට නැවතත් දේශපාලනයට පිවිසීමට ඉඩක් සැලසීමට සිවිල් ඇඳුමෙන් පෙනී සිටින හමුදා පාලකයින් සූදානම් බව පෙනේ. හමුදා පාලකයින් ඇය සමග සාකච්ඡාවට කීපයක් පවත්වා ඇති අතර ඇයගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ජාතික ලීගය දේශපාලන පක්‍ෂයක් වශයෙන් ලියාපදිංචි කිරීමට ඉඩ සලසා ඇති බවද වාර්තා වේ. ලබන වසරේ පැවැත්වීමට නියමිත අතුරු මැතිවරණයකට අවුන්ග් සාන් සුකි ඉදිරිපත් වීමටද සූදානම්ය. වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී කි‍්‍රයාමාර්ගයකට පිවිසීමට පාලකයින් සූදානම් බවට තවත් නිදසුනක් වන්නේ තම වාර්ගික අයිතීන් වෙනුවෙන් සන්නද්ධ අරගලයක යෙදී සිටින ගෝති‍්‍රක හා සුළු ජාතීන් සමග සාකච්ඡා කිරීමට එකඟවීමයි. ඒ අනුව දැනටමත් සටන් විරාමයක් ප‍්‍රකාශයට පත් කර ඇත. තාක්‍ෂණය හා විද්‍යාව අතින් ඉහළම තැනක් අත්කර ගත් නමුත් හදිසි අපදාවක දී ඒ සියල්ල ජනතා සුබසාධනය සඳහා නොවන බවට හොඳම නිදසුනක් ලැබුණේ ජපානයෙනි. පසුගිය මාර්තු මාසයේ දී ජපානයේ ඊසාන දිග වෙරළ ප‍්‍රදේශයේ හටගත් භූමිකම්පාවත්, ඉන් පසුව ඇති වූ සුනාමියත් ඊට කදිම උදාහරණයකි. සුනාමිය පිළිබඳ කලින් අනතුරු හැඟවීම තිබුණද 20,000කට අධික සංඛ්‍යාවක් ඉන් මිය ගියහ. සිදු වූ දේපොළ හානිය ඩොලර් බිලයන 218ක් සේ ගණන් බලා ඇත. එහෙත් වැඩිම විනාශය සිදු වූයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ සිසිල් කිරීමේ පද්ධතිය බිඳවැටීමෙන් නිකුත් වූ විකිරණවලිනි. චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ සිදු වූ පිපිරීමෙන් පසුව වාර්තා වූ විශාලතම න්‍යෂ්ටික අනතුර ලෙස සැලකෙන මෙම සිද්ධිය නිසා ලක්‍ෂයකට අධික ජනසංඛ්‍යාවකට උන් හිටි තැන් අහිමි විය. ප‍්‍රථමයෙන්ම අනතුර ගැන නිසි දැනුම් දීමක් කිරීමට රජය හෝ එම න්‍යෂ්ටික බලාගාරය හිමි සමාගම අපොහොසත් වීමත් සිද්ධියෙන්, පසු විකිරණ නිකුත්වීම වැළැක්වීමට පියවර ගැනීම ප‍්‍රමාද වීමත් තාක්‍ෂණයේ දුර්වලතාවක් බව පැහැදිලි විය. එමෙන්ම අනතුරේ නියම තත්ත්වය වසන් කිරීමට ගත් උත්සාහයක් ගැනද විවිධ අංශවලින් චෝදනා එල්ල කෙරිණ. කෙසේ වුවත් මෙම අනතුර නිසා න්‍යෂ්ටික ප‍්‍රතිකි‍්‍රයාකාරකම් කෙතරම් ආරක්‍ෂාකාරීද යන්න විවාදයට ලක් වූ අතර ජර්මනිය වැනි රටවල් න්‍යෂ්ටික විදුලි බලාගාර අලූතින් ඉදි නොකිරීමට හා දැනට භාවිතයේ පවතින ඒවා ක‍්‍රම ක‍්‍රමයෙන් ඉවත් කිරීමටත් ප‍්‍රතිපත්ති තීරණයක් ගත් බව වාර්තා වේ. 2011 වසරේ දේශපාලන වියවුල්කාරී තත්ත්වය වඩාත් තීව‍්‍රවීමට හේතු වූයේ 2008-2009 මූල්‍ය වෙළඳපොළ කඩා වැටීමෙන් පරිහානියට පත් ලෝක ආර්ථිකයට මෙතෙක් ගොඩ ඒමට නොහැකි වීමයි. එක්සත් ජනපදයේ මූල්‍ය ආයතන නැවතත් ලාබ ලබන තත්ත්වයකට පත්වූවද ආර්ථිකයේ වර්ධනයක් දක්නට ලැබුණේ නැත. සමහර නිරීක්‍ෂකයින් මෙම තත්ත්වය හැඳින්වූයේ රැකියා වර්ධනයක් නොමැති ආර්ථික වර්ධනයක් සේය. ආර්ථිකයක් වර්ධනය වන විට රැකියා අවස්ථා විවෘතවීම සාමාන්‍ය තත්ත්වය වුවද 2011 වසරේ දී එවැන්නක් සිදු වූයේ නැත. පසුගිය මාසයේ එක්සත් ජනපදයේ විරැුකියා අනුපාතය ආන්තික වශයෙන් පහත වැටුණද තවමත් විරැුකියාව සියයට 9ක් වැනි ඉහළ මට්ටමක පවතී. ණය වාරික ගෙවා ගැනීමෙන් නිවාස අහිමි වූවන්ට තවමත් නිවාස ලබාගැනීමට ඉඩක් නොමැත. සමහර ආර්ථික විශ්ලේෂකයින් පවසන ආකාරයට 2012 දී එක්සත් ජනපදය ප‍්‍රමුඛ බටහිර රටවල් නැවතත් වඩාත් විනාශකාරී ආර්ථික අර්බුදයකට මුහුණ දෙනු ඇත. මෙම වසර යුරෝපා සංගමයට ආර්ථික වශයෙන් වඩාත් ගැඹුරු අර්බුදවලට මුහුණදීමට සිදු වූ වසරකි. යුරෝපා සංගමයේ රටවල් 17ක සහභාගීත්වයෙන් දියත් කළ යුරෝ මුදල් ඒකකය තවදුරටත් පවත්වා ගත හැකිද යන්න දැන් ඒ රටවල නිතර කතා බහට ලක්වෙන උණුසුම් මාතෘකාවකි. රාජ්‍ය ණය ගෙවීමට නොහැකිවීමෙන් මුදල් අර්බුදයකට ලක් වූ බැංකු ගලවා ගැනීමට බදු බර වැඩි කිරීමට සිදුවීමෙන් පෘතුගාලය, ගී‍්‍රසිය, ස්පාඤ්ඤය හා ඉතාලිය යන රටවල් පාලකයින්ට සිය තනතුරු අතහැර දැමීමට සිදු විය. ඒ රටවල ආර්ථික ප‍්‍රතිපත්තිය හැසිරවීමේ මූලික වගකීම් බාර ගත්තේ යුරෝපා මහ බැංකුවයි. එනම් යුරෝපයේ බලවත් ආර්ථික දෙවන ප‍්‍රංශය හා ජර්මනියයි. රාජ්‍ය ණය අර්බුදයට ලක්ව ඇති රටවල පාලන බලය මෙහෙයවිය යුත්තේ කව්ද යන්න තීරණය කෙළේද එම රටවල් දෙකය. එහතේ එය ආර්ථික අර්බුදයට විසඳුමක් නොවන බව පැහැදිලිය. ඉතාලියේ භාණ්ඩගාර බිල්පත්වල පොලී අනුපාතය තවමත් ඉහළ මට්ටමක් පවතින අතර ගී‍්‍රසියේ තත්ත්වයද ඊට සමාන ය. මෙවැනි පසුබිමක් යටතේ ලබන වසරේ දී යුරෝ මුදල් ඒකකය පවත්වා ගන්නේද යන්න තීරණය කිරීමට යුරෝපා සංගමයට සිදුවනු ඇතැයි බොහෝ දෙනා සැක කරති. ඇත්ත වශයෙන්ම දිනෙන් දින ගැඹුරු වන මෙම මූල්‍ය අර්බුදය පවතින දේශපාලන ක‍්‍රමයේ ප‍්‍රතිඵලයකි. මූල්‍ය වෙළඳපොළ මෙන්ම දේශපාලන ප‍්‍රතිපත්ති හා කි‍්‍රයාමාර්ග තීරණය කරන්නේද ප‍්‍රධාන පෙළේ බැංකුකරුවන් කීපදෙනෙකි. එක්සත් ජනපදයේත් යුරෝපයේත් මූල්‍ය අර්බුදයට හේතු වූයේද මෙම බැංකුකරුවන් අධික ලාබ ඉපැයීම සඳහා වෙළෙඳපොළ හැසිරවීම නිසාය යන්න දැන් බෙහෙවින් ප‍්‍රචලිත මතයකි. විශේෂයෙන්ම තරුණයින් ශිෂ්‍යයින් හා බුද්ධිමතුන් මෙම කි‍්‍රයාවලිය තරයේ ප‍්‍රතික්ෂේප කරන්නේ ඉන් සමාජයේ බහුතරයකගේ ජීවත්වීමේ අයිතිය සහතික නොකරන නිසාය. ඔවුන් සඳහන් කරන ආකාරයට පවතින ක‍්‍රමයෙන් ප‍්‍රතිලාභ හිමි වන්නේ සමාජයේ සියයට එකක් වැනි කොටසකටය. ඉතිරි සියයට 99ම ඉන් බැහැර කරයි. එමනිසා සමාජ සාධාරණත්වයක් ඇති කිරීමට මෙම සියයට එක සතු මූල්‍ය ආයතන සමාජයේ බහුතරය වන සියයට 99 සතු කර ගත යුතුය. එක්සත් ජනපදයේ වෝල්ස්ටී‍්‍රට් අල්ලා ගනිවු යන ව්‍යාපාරය බිහිවූයේ මෙවැනි පසුබිමක් යටතේ ය. මූල්‍ය සමාගම්වල අධිපාත්‍යයට එරෙහිව පැන නැගි මෙම විරෝධතා ව්‍යාපාරය 2011 වසරේ මැද පෙරදිග ඇති වූ තරුණ නැගිටීමට බෙහෙවින් සමානය. එක්සත් ජනපදයේ මූල්‍ය සමාගම්වල මර්මස්ථානය වන වෝල් ස්ටී‍්‍රට් අසල මෙම විරෝධතාකරුවන් කඳවුරු බැඳ ගත්තේ කයිරෝ නගරයේ තහ්රිර් විරෝධතාකරුවන් සිහිපත් කරවමිනි. වෝල් ස්ටී‍්‍රට්වලින් ඇරඹි විරෝධතා ව්‍යාපාරය එක්සත් ජනපදයේ සෙසු නගරවලටත් ඉක්මනින්ම පැතිර ගියේය. ලන්ඩන් නගරයේ ද එවැනිම විරෝධතා ව්‍යාපාරයක් තවමත් කි‍්‍රයාත්මක වෙමින් පවතී. ශීත ඍතුවේ කර්කෂ දේශගුණික තත්ත්වය නිසා විරෝධතාකරුවන්ගේ පසුබෑමක් දක්නට ලැබුණද ඉදිරියේ දී ආර්ථික පීඩනය වැඩිවත්ම තත්ත්වය වෙනස් විය හැක. සම්ප‍්‍රදායික නායකත්වයක් හෝ සංවිධානයක් නොමැති වුවද ලොව පුරාම පීඩිතයන්ට ආශ්වාදයක් වන මෙම විරෝධතා ව්‍යාපාරය 2011 වසරේ වඩාත්ම වැදගත් සංසිද්ධිය ලෙස සැලකිය හැක. චර්නොබිල් බලාගාරයේ පිපිරුම තායිලන්තයේ ගංවතුර මුබාරක් පළවා හැරීම සඳහා ඊජිප්තුවේ තහ්රිර් චතුරශ‍්‍රයට එක්වූ ජනතාව අවුන්ග් සාන් සුකී ඇමෙරිකාව එල්ල කළ ප‍්‍රහාරයට පාකිස්තානයෙන් විරෝධතා ඔසාමා බින්ලාඩන් ඉතාලියේ විරෝධතා ඇමෙරිකාව එල්ල කළ ප‍්‍රහාරයෙන් මියගිය පාකිස්තානු වැසියන්ගේ සිරුරු භූමදානය කිරීම ඔසාමා බින්ලාඩන් ඝාතනයෙන් පසු ධවල මන්දිරය ඉදිරිපිටට රැස්වූ ජනතාව සතුට පළකළ ආකාරය මුවම්මර් ගඩාෆි ජපානයේ සුනාමිය වෝල් ස්ටී‍්‍රට් උද්ඝෝෂනය