ඊශ්‍රායල කෙණෙහිලිකම් හමුවේ පීඩාවට පත්වුණු ගාසා පලස්තීන වැසියන්ට ආධාර රැගෙන ආ යුරෝපා රටවල පලස්තීන හිතවාදී ක්‍රියාකාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඔවුන්ට අමානුෂික ලෙස සැලකීම සම්බන්ධයෙන් ඊශ්‍රායල රජයට ජාත්‍යන්තරයෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී.

යුරෝපා බටහිර රටවල් ද ඇතුළු රටවල් 40 කට 430 දෙනකු අත්අඩංගුවට ගැණුනු මෙම ක්‍රියාකාරීන් අතර සිටිති. ප්‍රංශය, මහා බ්‍රිතාන්‍යය, ඉතාලිය සහ කැනඩාව පමණක් නොව, ඊශ්‍රායලයේ සමීපතම මිතුරා වන ඇමෙරිකාව පවා එම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කර ඇත. ප්‍රංශය එරට ඊශ්‍රායල තානාපති කැඳවා එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කළ බව ද වාර්තා වේ.

පලස්තීන හිතවාදී එම ක්‍රියාකාරීන් පිරිස, ගාසා පලස්තීනුවන්ට ආධාර රැගෙන ගාසා තීරය බලා කුඩා ප්‍රමාණයේ නාවික යාත්‍රාවලින් ගමන් කරමින් සිටියදී ඊශ්‍රායල නාවික හමුදාවේ අත්අඩංගුවට පත් වූහ. ආධාර රැගෙන යමින් සිටි නාවික යාත්‍රා ගණන 50 කි. නාවික හමුදාවේ අත්අඩංගුවට පත් වුණු එම පිරිස දෑත් පිටුපසට තබා බැඳ ඊශ්‍රායලයේ රැඳවුම් මධ්‍යස්ථානයකට රැගෙන යෑම සිදුවිය. පිරිස අතරේ කාන්තාවෝ ද බොහෝ දෙනෙක් සිටිති.

ඊශ්‍රායලයේ අන්ත දක්ෂිණාංශික ජාතික ආරක්ෂක අමාත්‍ය ඉටමාර් බෙන්-ග්වීර් රැඳවුම් බාරයේ සිටි පිරිස හමුවීමට පැමිණි අතර, ඔහු ඔවුන්ට සමච්චල් කරමිණි. අමාත්‍යවරයා, කෝපයෙන් දත්මිටි කමින්, කෑ ගසමින්, පිරිස අතරේ සිටි කාන්තාවක් තල්ලු කරමින්, පහර දෙමින්, ඔවුන් බලහත්කාරයෙන් දණ ගැස්වීමට සලස්වන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් විදෙස් මාධ්‍ය හරහාත් සමාජ මාධ්‍ය හරහාත් මේ වනවිට ප්‍රසිද්ධියට පත් වී අවසන්ය.

ඊශ්‍රායල ජාතික ආරක්ෂක අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය ලැජ්ජාවට කරුණක් බවත් එය පිළිකුල්සහගත බවත් ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ඉතාලිය සහ කැනඩාව ඇතුළු රටවල් රැසක් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

ඊශ්‍රායල ජාතික ආරක්ෂක අමාත්‍යවරයාගේ මෙම ක්‍රියා කලාපය ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහුගේ පවා දැඩි විවේචනයට පවා ලක්ව ඇතැයි පැවැසෙයි. ඊශ්‍රායල ජාතික ආරක්ෂක අමාත්‍යවරයා මීට පෙර ද මේ ආකාරයේ හැසිරීම් පෙන්නුම් කර ඇති නමුත්, අග්‍රාමාත්‍ය නෙදන්යාහු එය විවේචනය කළ පළමු අවස්ථාව මෙයයි. රැඳවුම් භාරයට ගත් සියලු දෙනා වහාම නිදහස් කරන ඇමෙරිකාව ඇතුළු සෙසු රටවල් ලෙස ඊශ්‍රායලයෙන් ඉල්ලා ඇත.