
හිජාබය නොපැළඳ සංගීත ප්‍රසංගයකට සහභාගී වීම හේතුවෙන් වරදකරු වූ ඉරාන ගායිකාවකට, ඉරාන ඉස්ලාමීය නීතියට අනුව, කස පහර 74 ක දඬුවමක් ලබා දුන් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම දඬුවමට ලක්ව ඇත්තේ 29 හැවිරිදි පරස්ටූ අහමදි නමැති ගායිකාව බව ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
2024 වසරේ දෙසැම්බර් 11 වැනිදා යූටියුබ් ඔස්සේ සජීවීව විකාශය කළ සංගීත ප්‍රසංගයකදී හිජාබය නොපැළඳ ගීත ගායනා කිරීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි. ඩේර් ගචින්හිදී මෙම සංගීත ප්‍රසංගය පවත්වා තිබුණි.
එම ප්‍රසංගයට ප්‍රේක්ෂකයන් සහභාගී වී නොසිටිය ද අදාළ වීඩියෝව මිලියන තුනක පමණ නැරඹුම් වාර සංඛ්‍යාවක් ලබාගෙන තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එහිදී ඇය අත් රහිත ඇඳුමකින් සැරසී හිජාබය නොපැළඳ ගීත ගායනා කර තිබුණි.
අසභ්‍ය හා සදාචාර විරෝධී අන්තර්ගත නිෂ්පාදනය කර අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කිරීම මගින් මහජන සදාචාරයට හානි කිරීමේ චෝදනාවට අදාළව පසුගිය ජුනි මාසයේදී ඉරානයේ කොම් නගරයේ අපරාධ අධිකරණයක් විසින් ඇය සහ තවත් අටදෙනෙකු වරදකරුවන් කෙරුණි. එම දඬුවමට එරෙහිව ඇගේ නීතිඥයන් පසුගිය සැප්තැම්බර් මාසයේදී ඉදිරිපත් කළ අභියාචනය ද ප්‍රතික්ෂේප විය. ඒ අනුව, පරස්ටූ අහමදිගේ කස පහර 74ක දඬුවම ක්‍රියාත්මක කෙරුණි.
ඊට අමතරව, ප්‍රසංගයට සහභාගී වූ තවත් සංගීත ශිල්පීන් තිදෙනකුට සහ ප්‍රසංගයේ සංවිධායකවරයාට ද දඩුවම් වශයෙන් කස පහර හිමිවිය. පරස්ටූ අහමදි ඇතුළු මෙම පිරිසට පස්දෙනාටම වසර දෙකක විදේශ ගමන් තහනමක් සහ වසර දෙකක කලා කටයුතුවල නිරත වීමේ තහනමක් ද පනවා ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd