දකුණු කොරියාවේ විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය ආශ්‍රිතව මතුවූ වංචා චෝදනා සහ ඒවා වැළැක්වීමට ගත් හදිසි ක්‍රියාමාර්ග හේතුවෙන් ඇතිවූ අර්බුදය හමුවේ, එරට අධ්‍යාපන අමාත්‍ය චෝයි ක්යෝ-ජින් සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

ඒ.අයි. හෙවත් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිත කරමින් විභාග වංචා සිදුකිරීම වැළැක්වීමට අවසන් මොහොතේ ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් ඇතිවූ ව්‍යාකූල තත්වයේ පූර්ණ වගකීම තමන් භාරගන්නා චෝයි ක්යෝ-ජින් පවසා ඇත.

දකුණු කොරියාවේ වාර්ෂික පැවැත්වෙන විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය හැඳින්වෙන්නේ ‘සුනෙඋං’යනුවෙනි. මෙවර එම විභාගයට සිසුන් ලක්ෂ 5කට ආසන්න පිරිසක් පෙනී සිටි බව පැවැසෙයි

විභාගය පැය 9ක් පුරා පැවැත්වෙන අතර, එය එරට සිසුන්ගේ අනාගත අධ්‍යාපන හා වෘත්තීය අවස්ථා තීරණය කරන අතිශය වැදගත් විභාගයක් ලෙස සැලකෙයි.