ස්වර්ගස්ථ ෆ්‍රැන්සිස් පාප්තුමන් 2021 වසරේ සිට වසර දෙකක පමණ කාලයක් දැඩි ආධ්‍යාත්මික අර්බුදයකට මුහුණ දුන් බව අනාවරණය වී ඇත. ඒ, ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ පෞද්ගලික දිනපොත් සටහන් ඇතුළත් ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කිරීමත් සමගය.

යක්ෂයාගේ පෙළඹවීම්වලට එරෙහිව සටන් කිරීම මෙන්ම කතෝලික සභාව තුළ තමන් සතු බලය භාවිත කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ද ෆ්‍රැන්සිස් පාප්තුමන් දැඩි අභ්‍යන්තර අරගලයකට මුහුණ දී සිටි බව එම ග්‍රන්ථයෙන් පෙනී යන බව විදෙස් මාධ්‍ය පවසයි.

ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ සමීපතම සහායක කාදිනල් වික්ටර් ෆර්නැන්ඩස් විසින් මෙම දිනපොත් සටහන් එක්රැස් කර 'ද ප්‍රයිවෙට් ඩයරි ඔෆ් පෝප් ෆ්‍රැන්සිස්' යන නමින් මෙම ග්‍රන්ථය ලෙස ප්‍රකාශයට පත් කර ඇත. පිටු 160කින් සමන්විත මෙම ග්‍රන්ථයට 1992 වසරේ දෙසැම්බර් මාසයේ සිට 2024 වසරේ අගෝස්තු මාසය දක්වා උන්වහන්සේ තැබූ දිනපොත් සටහන්වලින් තෝරාගත් කොටස් ඇතුළත් බව පැවැසෙයි.

තම ජීවිත කාලය තුළ අවස්ථා තුනකදී යක්ෂයා දුටු බවට විශ්වාස කරන බව ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 2021 වසරේ ජනවාරි මාසයේ තැබූ සටහනක සඳහන් වෙයි. ඉන් එක් අවස්ථාවක් පාප් ධුරය දරමින් සිටියදී වතිකානු නිලධාරීන් සමග පැවති හමුවක් අතරතුර සිදුව ඇති බව ද පැවැසෙයි. 2018 වසරේ ජුනි මාසයේ තැබූ දිනපොත් සටහනක තමන් නිරයේ පිවිසුම දුටු බවත්, ඉන් දැඩි බියට පත්ව ජපමාලය පවා අතට ගත් බවත් ෆ්‍රැන්සිස් සිය දිනපොතේ සඳහන් කර ඇත.