නව සන්ධාන රජයක් පිහිටුවීමේ අරමුණින්, ඊශ්‍රායල ප්‍රධාන විපක්ෂ නායක ගාඩි අයිසන්කොට් ඊයේ (26) නව සන්ධාන රජයක් පිහිටුවීම සඳහා ‘ඊශ්‍රායල් අවර් හෝම්’ පක්ෂයේ නායක ඇවිග්ඩෝර් ලිබර්මන් සමග නව ගිවිසුමකට අත්සන් තැබීය.

‘ඊශ්‍රායල් අවර් හෝම්’ යනු දක්ෂිණාංශික පක්ෂයකි. ගාඩි අයිසන්කොට් නායකත්වය දෙන්නේ මධ්‍යස්ථ මතධාරී ‘යෂාර්’ නමැති දේශපාලන පක්ෂයටය. දීර්ඝ වශයෙන් පැවැති සාකච්ඡාවලින් පසු, ගාඩි අයිසන්කොට් සහ ඇවිග්ඩෝර් ලිබර්මන් අතරේ එකගතාවක් ඇති කර ගැණුනු බවත්, ඒ අනුව, රජයක් පිහිටුවීමට එක් වීමට ඇවිග්ඩෝර් ලිබර්මන් කැමැත්ත පළ කළ බවත් ඊශ්‍රායල මාධ්‍ය පවසයි.

පසුගිය ඔක්තෝබරයේ පැවැති ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතතරය හිමි නොවිණි. බහුතරය සඳහා ආසන 61 ක් දිනා ගැනීම කළ යුතුය. සන්ධාන රජයක් පිහිටුවන්නැයි ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග්, එම වගකීම පැවැරුවේ, ප්‍රධාන විපක්ෂ නායක ලෙස මැතිවරණයට ඉදිරිපත් වුණු අයිසන්කොට්ටය.

කිසිදු පක්ෂයකට බහුතරය නොමැති වුවත්, පසුගිය නොවැම්බර් 10 වැනිදා ඊශ්‍රායල පාර්ලිමේන්තුව දිවුරුම් දීම සිදුවූයේ නව රජයකින් තොරවය. ඔක්තෝබර් 27 පැවති මහ මැතිවරණයෙන් බහුතරය අහිමි වුවද ලිකුඩ් පක්ෂ නායක බෙන්ජමින් නෙතන්යාහු තවදුරටත් භාරකාර අගමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටී.

දින 28 ක වරමක් යටතේ රජයක් පිහිටුවීම සඳහා අයිසන්කොට් හට දෙසැම්බර් 6 වන දින දක්වා කල් ඇති අතර, අවශ්‍ය නම් දින 14ක අතිරේක කාලයක් ඉල්ලා සිටීමට ද ඔහුට හැකියාව පවතී. 

අයිසන්කොට් එසේ කිරීමට අපොහොසත් වුවහොත් නෙතන්යාහුට ඒ සඳහා අවස්ථාව හිමිවනු ඇත. කිසිවෙකුටත් රජයක් පිහිටුවීමට නොහැකි වුවහොත් ලබන වසරේදී තවත් මැතිවරණයක් පැවැත්වීමට සිදුවනු ඇත.
ආසන 120 කින් යුත් ඊශ්‍රායල පාර්ලිමේන්තුව හැඳින්වෙන්නේ ‘නෙසට්’ සභාව යනුවෙනි. 

දක්ෂිණාංශික ලිකුඩ් පක්ෂය ප්‍රමුඛ අන්ත දක්ෂිණාංශික සහ ඕතඩොක්ස් පක්ෂ සන්ධානය සතුව ආසන 53ක් පවතී. අයිසන්කොට්ගේ මධ්‍ය- දක්ෂිණාංශික යෂාර් පක්ෂය සහ ලිබර්මන් ඇතුළු සෙසු හවුල්කාර පක්ෂ සතුව ආසන 48ක් ඇත.