දැනට වසර 11 ක් ගතවූ ඇෆ්ගන් යුද්ධය මෑතකදී සිට අලූත් මුහුණුවරක් ගෙන ඇති බව පෙනේ. ඒ වසර 2014 වන විට රටේ ආරක්‍ෂක කටයුතු භාරදීම සඳහා නේටෝ හමුදාව විසින් පුරුදු පුහුණු කරන ඇෆ්ගන් හමුදාවේ සාමාජිකයින් නේටෝ හමුදාවේ පුහුණු කරුවන්ට හා සාමාජිකයින්ට එල්ල කරන ප‍්‍රහාර ක‍්‍රමක‍්‍රමයෙන් උත්සන්න වීමය. පසු ගිය සිකුරාදා ඇෆ්ගන් හමුදාවේ සාමාජිකයින් විසින් එල්ල කරන ලද ප‍්‍රහාර දෙකකින් ඇමරිකන් භටයින් තිදෙනෙක් හා තවත් නේටෝ භටයින් තිදෙනෙක් මිය ගියහ. ඉන් පසුව මේ සතියේ සඳුදා එල්ල කළ එවැනිම ප‍්‍රහාරයකින් තවත් ඇමරිකානු භටයෙක් මිය ගිය බව වාර්තාවේ. මෙම ප‍්‍රහාර පිළිබඳ වගකීම තලේබාන් සංවිධානය විසින් භාරගත් නමුත් සමහර නිරීක්‍ෂකයින් පෙන්වා දෙන ආකාරයට ඇෆ්ගන් හමුදා භටයින් හා නේටෝ හමුදා භටයින් අතර පවතින සංස්කෘතිකමය වෙනස්කම් හා ගොඩ නැගෙන පසමිතුරුභාවය මෙවැනි පහරදීම්වලට මූලික හේතුව වේ. නේටෝ හමුදාවේ බි‍්‍රගේඩියර් ජනරාල් ගුන්ටර් කුට්ස් ජනමාධ්‍යකරුවන්ට පැවසූ ආකාරයට 500,000 ක් පමණ වන ඇෆ්ගන් හමුදා භටයින් අතර මෙවැනි දේට යොමු වන්නේ ඉතාමත් සුළු පිරිසක් නිසා මෙම සිද්ධිය බරපතළ කාරණයක් නොවේ. එහෙත් දිනෙන් දින උත්සන්න වන මෙම ප‍්‍රවණතාව සුළුකොට තැකිය නොහැකිය. තමන් සමග එකට සටන්බිමේ සිටින          නේටෝ සගයන්ට පහරදී මරා දැමීමට          ඇෆ්ගන් භටයින් පෙළෙඹෙන්නේ ඔවුන්          අතර පවතින සංස්කෘතිකමය වෙනස්කම්වලට අමතරව දේශපාලන හේතූන්ද නිසා විය හැකිය. ඇමරිකා එක්සත් ජනපදයේ නායකත්වය යටතේ ත‍්‍රස්තවාදය පිටු දැකීමේ අරමුණෙන් ගෙන යන මේ යුද්ධය ඇෆ්ගන් වැසියන්ගෙන් බහුතරයක් තම දේශපාලන හෝ ආර්ථික සංස්කෘතික අවශ්‍යතා මත කෙරෙන්නක් ලෙස දකින්නේ නැත. නේටෝ හමුදා මෙහෙයුම් ක‍්‍රියාත්මක වන්නේ තලේබාන් හා අල්කයිඩා  සටන්කරුවන් පරාජය කිරීමට පමණක් නොව එම ප‍්‍රදේශවල ජීවත්වන සාමාන්‍ය ජනතාවද තම සතුරන් සේ සලකාය. ගුවන් ප‍්‍රහාර එල්ල කිරීමේදී තලේබාන් සටන් කරුවන්ට වඩා මිය යන්නේ සාමාන්‍ය වැසියන්ය. රට පුරා මතු වූ විරෝධය නිසා මෙවැනි ප‍්‍රහාර සීමා වුවද ගැටුම්වලදී සාමාන්‍ය ජනතාව මරණයට පත්වීමත් ඔවුන්ගේ නිවාස ඇතුළු දේපොල විනාශයත් සම්පූර්ණයෙන්ම නතර වූයේ නැත. මේ නිසා එක්සත් ජනපදයේ අනුග‍්‍රහයෙන් ජනාධිපති තනතුරේ සිටින හමීඞ් කර්සායිට පවා නේටෝ හමුදාව එල්ල කරන ප‍්‍රහාරවලින් සාමාන්‍ය ජනතාවට සිදු වන හානි අවම කරන ලෙස එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටීමට සිදුවිය. වඩාත් වැදගත් වන්නේ නිලට එරෙහිව කොළ (Green on Blue) යනුවෙන් හඳුන්වන මෙම ප‍්‍රහාර වැළැක්වීමට හෝ අවම කිරීමට උපාය මාර්ගයක් තවමත් නේටෝ හමුදාව සතු නොවීමය. මූලික වශයෙන් නේටෝ භටයින්ට ඇෆ්ගන් හමුදා භටයින් විශ්වාස කිරීමට නොහැකි තත්ත්වයක් පවතින නිසා පුහුණු කිරීමේ හා උපදෙස් දීමේ කටයුතු අවබෝධයකින් යුතුව කළ නොහැකි බව පෙනේ. නිදසුනක් වශයෙන් දකුණු ඇෆ්ගනිස්ථානයේ හෙල්මන්ඞ් ප‍්‍රදේශයේ පසුගිය සිකුරාදා ඇමරිකන් භටයින් තිදෙනෙකු මරා දමන ලද්දේ ඔවුන්ට රාත‍්‍රී කෑමට කළ ආරාධනයක් නිසාය. සිය රාමසාන් උපවාසය නිමකළ ඇෆ්ගන් පොලිස් අණ දෙන නිලධාරියෙක් ඇමරිකානු භටයින්ට රාත‍්‍රී කෑමට ආරාධනය කළේ සිය මිත‍්‍රත්වය හා සහයෝගීතාව තර කර ගැනීමටය. එහෙත් එහි ගිය ඇමරිකන් භටයින් සිව් දෙනෙකුට ඔහු සංග‍්‍රහ කළේ තුවක්කුවෙනි. ප‍්‍රහාරයට ලක් වූ භටයින් තිදෙනෙකු එතැනම මිය ගිය අතර සිව් වැන්නා බරපතළ ලෙස තුවාල ලබා ඇත. අනෙක් ප‍්‍රහාර සිදු කර ඇත්තේ මේ ආකාරයට එකට මෙහෙයුම්වල යෙදෙන නේටෝ භටයින් ඉලක්ක කරගෙනය. පසුගිය සතිය අවසන් වන විට මෙවැනි ප‍්‍රහාර 27 කින් ඇමරිකානු සහ නේටෝ භටයින් 37 ක් මරුමුවට පත්විය. 2011 වසරේදී ප‍්‍රහාර 11 ක් එල්ල වූ අතර ඉන් 35 දෙනෙකු මිය ගියහ. හෙල්මන්ඞ් ප‍්‍රදේශයේම තවත් සිද්ධියකදී ඇෆ්ගන් පොලිස් භටයෙක් ඔහුත් සමග සිටි තවත් පොලිස් භටයින් 10 දෙනෙක් ඝාතනය කළේය. මෙවැනි වාතාවරණයක ඇමරිකානු සහ නේටෝ පුහුණු කරුවන්ට ඇෆ්ගන් හමුදා භටයින් පුහුණු කිරීම විශ්වාසයක් ඇතිව කළ හැකි කාර්යයක් නොවේ. 2014 දී නේටෝ භටයින් ඉවත් කර ගැනීමට ඇමරිකානු ජනාධිපති ඔබාමා සැලසුම් කළද පුහුණු කරුවන් ලෙස සැලකිය යුතු භට පිරිසක් දිගටම ඇෆ්ගනිස්ථානයේ රඳවා තැබීමට ඔහු අදහස් කෙළේය. ඊට අමතරව ඇමරිකා එක්සත් ජනපදයේ උපාය මාර්ගික අවශ්‍යතා සඳහා විශේෂ භට කණ්ඩායම් රඳවා ගැනීමට ඇෆ්ගන් රජයත් සමග ගිවිසුමක්ද අත්සන් කර ඇත. මුලදී මෙවැනි ගිවිසුමක් අත්සන් කිරීමට ජනාධිපති හමීඞ් කර්සායි කැමැත්තක් නොදැක්වුවද ඇමරිකානු ආධාර ලබා ගැනීමේ කොන්දේසියක් ලෙස ආරක්‍ෂක ගිවිසුම ඉදිරිපත් වූ විට ඔහුට විකල්පයක් තිබුණේ නැත. එහෙත් ඇමරිකානු භටයින්ට ඔවුන් පුහුණු කළ ඇෆ්ගන් භටයින්ගෙන්ම ප‍්‍රහාර එල්ලවීම නිසා කාබුල් පාලනයත් සමග ඇතිකරගන්නා ගිවිසුම නිසාම ඇමරිකානු සහ නේටෝ හමුදාවලට සුරක්‍ෂිතව කටයුතු කිරීමට තත්ත්වයක් නොමැති බව පෙනේ. ඉන් ඇතිවන අන්තරාදායක තත්ත්වය වන්නේ සැලසුම්කර ඇති ආකාරයට 2014 දී නේටෝ හමුදා ඉවත් කර ගැනීමෙන් පසු ඉමහත් වියදමක් දරා පුහුණු කරන ඇෆ්ගන් හමුදාවට රට සුරක්‍ෂිත කිරීමට අසීරුවීමය. ඇෆ්ගනිස්ථානයේ නිරිතදිග ප‍්‍රදේශයේ තලේබාන් බලය සුන්කර දැමීමට ජනාධිපති ඔබාමා ඇමරිකන් භට සංඛ්‍යාව 130000 දක්වා වැඩි කළ නමුත් එම ප‍්‍රදේශයේ පාලනයේ ස්ථාවරභාවයක් දැකිය නොහැකිය. එක්සත් ජනපදයේ සහායෙන් පිහිටුවන ලද ප‍්‍රාදේශීය පාලනය ප‍්‍රාදේශීය නගරවලින් ඔබ්බට විහිදෙන්නේ නැත. එවැනි තත්ත්වයක් යටතේ නේටෝ හමුදා ඉවත් කර ගැනීමත් සමග කාබුල් පාලනයට සිය ආධිපත්‍යය පවත්වා ගැනීමට හැකිවේද යන්න සැක සහිතය. මේ තත්ත්වය සැලකිල්ලටගත් රුසියාව, එක්සත් ජනපද හමුදා ඉවත් කර ගැනීමට පෙර ස්ථාවර පාලනයක් පිහිටුවීම එක්සත් ජනපදයේ වගකීමක් බව අවධාරණය කළේය. එහෙත් එය පහසු කටයුත්තක් නොවන බව දැනටමත් පැහැදිලිය. නේටෝ හමුදාවෙන් පුහුණු කළ ඇෆ්ගන් හමුදාව සහ පොලීසිය විශ්වාසය රුඳවිය නොහැකි බලවේගයක් බව දැනටමත් ඔප්පු වී ඇති නිසාය. ඒ අනුව නේටෝ හමුදා ඉවත්කර ගැනීමට සහ ඇෆ්ගනිස්ථානයේ  තමන්ට අවනත රාජ්‍යයක් බිහි කිරීමට ඇති අනෙක් ක‍්‍රියාමාර්ගය වන්නේ තලේබාන් සහ අනෙකුත් සටන් කණ්ඩායම් සමග බලය බෙදා ගැනීමේ වැඩ පිළිවෙළකට එළැඹීමය. ඇත්තෙන්ම අවස්ථා කීපයකදීම එවැනි උත්සාහ ගත් නමුත් ඒ කිසිත් සාර්ථක වූයේ නැත. තලේබාන් නායකයින් හා එක්සත් ජනපද නියෝජිතයින් අතර කටාර්හිදී සම්බන්ධතා ඇතිකර ගැනීමට උත්සාහයක් ගත් නමුත් එය ඉදිරියට ගියේ නැත. ඊට හේතුවූයේ එක්සත් ජනපද නියෝජිතයින් හා තලේබාන් සංවිධානය අතර පැවති මත භේද පමණක් නොවේ. තමා හෝ තම නියෝජිතයින් සම්බන්ධකර නොගෙන ඇති කර ගන්නා එකඟතාවකට සහාය නොලැබෙන බව ජනාධිපති හමීඞ් කර්සායි අවධාරණය කෙළේය. එහෙත් ජනාධිපති කර්සායි සමග ඍජු සාකච්ඡාවකට තලේබාන් සංවිධානය සූදානම් නැති බව ඔව්හු අවස්ථා කීපයකදීම ප‍්‍රකාශ කළහ. ඇෆ්ගන් රජයේ මූලිකත්වයෙන් ඇරුඹූ සාම ප‍්‍රයත්නය ව්‍යර්ථ කළේ එහි ප‍්‍රධානි බර්නුඞීන් රබානි ඝාතනය කිරීමෙනි. කෙසේ වුවත් දැනට උත්සන්න වෙමින් පවතින නිලට එරෙහි කොළ ඝාතන රැල්ලෙන් පැහැදිලි වන ආකාරයට එක්සත් ජනපදය ප‍්‍රමුඛ නේටෝ රටවලට ඇෆ්ගනිස්ථානයෙන් ගෞරවාන්විතව පිටව යෑමට සුදුසු උපාය මාර්ගයක් තවමත් සකසා ගැනීමට හැකිව නැත. ඔවුන් මහත් වියදමක් දරා ගොඩනැඟීමට අදහස් කරන ඇෆ්ගන් හමුදාව ඔවුන්ටම තර්ජනයක් විය හැකිය. ගොඩ නගන හමුදාවේ විශ්වාසය තහවුරු කිරීමට යොදාගත් එක උපාය මාර්ගයක් වූයේ තලෙබාන් සංවිධානය පදනම් වී ඇති පෂ්ට‍්‍රන් ජන කණ්ඩායම අලූත් හමුදාවෙන් හැකිතාක් දුරට බැහැර කිරීමය. පෂ්ට‍්‍රන් ජන කණ්ඩායම රටේ මුළු ජන සංඛ්‍යාවෙන් සියයට 40 ක් වුවද සන්නද්ධ සේවා තුළ ඔවුන්ගේ නියෝජනය සියයට හයක් පමණි. එහෙත් එයද සාර්ථක නොවන බව මෙම ඝාතනවලින් පැහැදිලිය. මීට වසර 11කට පෙර එක්සත් ජනපදයේ ජනාධිපති වූ ජෝර්ජ් බුෂ් ඇෆ්ගනිස්ථානය ආක‍්‍රමණය කළේ අල් කයිඩා නායක බින් ලාඩන්ට රැුකවරණය ලබා දුන් තලේබාන් පාලනය පෙරළා දැමීමට පමණක් නොවේ. තමන් විසින්ම පුරුදු පුහුණු කළ තලේබාන් සංවිධානය තවදුරටත් හිතවත් සගයකු නොවන බව දක්නට ලැබුණ නිසාය. ජනාධිපති බුෂ්ගේ දේශපාලන අරමුණ වූයේ තමන්ට හිතවත් පක්‍ෂපාති පාලන ක‍්‍රමයක් එහි ස්ථාපිත කිරීමය. එහෙත් දශකයකට වැඩි කාලයක ඇවෑමෙන් එය සාර්ථක කර ගැනීම අසීරු කටයුත්තක් බව පැහැදිලිය. ඇෆ්ගනිස්ථානයට ස්ථාවරත්වය හා සුරක්‍ෂිතභාවය ළඟා කර ගත හැකි වන්නේ පැහැදිලි දේශපාලන විසඳුමකින් වුවත් එවැන්නක් යෝජනා කිරීමට එක්සත් ජනපදයට හැකියාවක් හෝ  ඕනෑකමක් නැත. එම යථාර්ථය ඔවුන් මුහුණදීමට සූදානම් නොවන්නේ නම් එක්සත් ජනපදයට නැවත වරක් වියට්නාම ආදර්ශය සිහිපත් කිරීමට සිදුවනු ඇත.
සටහන:-  මහින්ද හත්තක
ඇෆ්ගනිස්තාන තලේඛාන් ප‍්‍රහාරයකින් මරුමුවට පත් වූ ඇමෙරිකානු භටයෙක් තලේඛාන් සටන්කරුවෙක් ඬේවිඞ් කැමරන්ගේ ඇෆ්ගනිස්තාන සංචාරයේදී ඇෆ්ගනිස්තාන ජනපති කර්සායි නේටෝ ට‍්‍රක් රථ පෙලකට ප‍්‍රහාරයක්