එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, අබුඩාබිහි පිහිටි න්‍යෂ්ටික බලාගාරයක් ආසන්නයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් බලාගාර පරිශ්‍රයේ ගින්නක් හටගත්තේය. ඩ්‍රෝන යානා ප්‍රහාරයෙන් සහ ගින්නෙන් කිසිවකුටවත් තුවාල සිදුව නොමැති අතර ප්‍රදේශයේ විකිරණ මට්ටම් කෙරෙහි ද ඉන් කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බව බලධාරීහු පවසති.

සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අබුඩාබි මාධ්‍ය කාර්යාලය ප්‍රකාශ කර සිටියේ, අල් දෆ්රා කලාපයේ පිහිටි ‘බරකාහ්’ න්‍යෂ්ටික බලාගාරයේ අභ්‍යන්තර සීමාවෙන් පිටත පිහිටි විදුලි ජනක යන්ත්‍රයක මෙම ගින්න හටගෙන ඇති බවය.

ඩ්‍රෝන ප්‍රහාරය හේතුවෙන් හටගත් මෙම ගින්න පාලනය කිරීමට වහාම පියවර ගැනුණි. සියලුම පූර්වාරක්ෂක ක්‍රියා මාර්ග අනුගමනය කෙරුණි.

එමිරේට්ස් ෆෙඩරල් න්‍යෂ්ටික නියාමන අධිකාරිය ද ප්‍රකාශ කර ඇත්තේ, මෙම ගින්න හේතුවෙන් න්‍යෂ්ටික බලාගාරයේ ආරක්ෂාවට හෝ එහි අත්‍යවශ්‍ය පද්ධතිවල ක්‍රියාකාරීත්වයට කිසිදු බලපෑමක් සිදුව නොමැති බවය. බලාගාරයේ සියලුම ඒකක මේ වන විට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව ද පැවැසෙයි.

ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කළේ ඉරානය ද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තහවුරු වී නැත. එමිරේට්ස් රාජ්‍යයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන්නේ ඉරානයයි.