කුරුණෑගල කලින් කලට කුමන හෝ දෙයකට ප්‍රසිද්ධියක් උසුලයි. රටටම බලපා තිබෙන කොරෝනා වසංගතය පැතිරයාම සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කය පසුගිය දිනවල රට පුරාම කාගෙත් දැඩි කතාබහට ලක් විය.   


කොරෝනා වෛරසය ආසාදනය වීම වැළැක්වීම සඳහා මුළු රටටම ඇඳිරි නීතිය පනවා තිබූ අවස්ථාවක කොරෝනා වසංගතය ජනතාවට යම් තරමකට අමතක කරමින් කුරුණෑගලින් තවත් අපූරු සිදුවීමක් වාර්තා විය. මේ පුවත ඇසූ බොහෝ දෙනෙක් සිතුවේ කොරෝනා අස්සේ එය ජනතාව නොමඟ යැවීමට ගොතන ලද පුවතක් බවය.   


කොරෝනාවෙන් බැට කා සිටින ඇතැමුන් එසේ සිතුවද කුරුණෑගලින් අහඹු ලෙස මතුවූ මේ පුවත සත්‍යයක් ලෙස අනාවරණය කරගත හැකි වුවහොත් සැබෑවටම එය රට කලඹන සේම අපේ රටේ ඉතිහාසය අලුත් මානයකට රැගෙන යා හැකි සුවිශේෂි අවස්ථාවක් වනු නොඅනුමානය.   
කුරුණෑගල තෝරයාය නම්වූ ප්‍රදේශයෙන් ඉපැරැණි බවට සැක කරන ජීවියෙකුගේ බවට අනුමාන කෙරෙන පොසිලයක් හමුවීම ඒ අපූරු පුවත විය. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මෑත කාලයේ මෙවැනි පොසිලයක් හමුවීමක් පිළිබඳව වාර්තා වී තිබූ ප්‍රථම අවස්ථාවද මෙය වීමත් විශේෂත්වයකි.   
කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ තෝරයාය නාරම්පොළ ප්‍රදේශයේ ගෙවත්තක සිදු කළ කැණීමකදී මෙම පොසිලය හමුවී තිබුණි. එම ස්ථානයට කුරුණෑගල නගරයේ සිට ඇති දුර කිලෝමීටර් හතරකට පමණ ආසන්නය. පරිසරයට ආදරය කරන ජනතාව අතර ඉතා ප්‍රසිද්ධ බඩගමුව රක්ෂිත වනාන්තර ප්‍රදේශය පසුකර මීටර් දෙසීයක පමණ දුරක් ගියවිට හමුවන තෝරයාය මුස්ලිම් විදුහල ඉදිරිපිටින් ආරම්භ වෙන නාරම්පොළ මාර්ගයේ තවත් මීටර් පනහක පමණ දුරක් ගියවිට මේ පොසිලය ඇති ස්ථානය හමුවේ. 

 
පොසිලය හමුවූ ඉඩමේ හිමිකරු මිල්ටන් සෝමරත්න මහතාය. ඔහු කුරුණෑගල පිහිටි වයඹ පළාත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාරවරයෙකු ලෙස සේවය කරමින් සිටියි.   
සෝමරත්න මහතා ඔහු දැනට පදිංචි මෙම ඉඩම මීට වසර 15 කට පමණ ඉහතදී මිලදී ගෙන ඇතත් එහි නිවෙසක් ඉදිකර ස්ථිර පදිංචියට පැමිණ ඇත්තේ මීට වසර 8 කට පමණ ඉහතදීය. තම ගෙවත්තේ වැසිකිළි වළක් කැපීමේදී මෙම පොසිලය හමුවූ බව සෝමරත්න මහතා පැවසීය.   


‘‘පසුගිය 26 වැනිදා තමයි වැසිකිළි වළ කපද්දී මේ පොසිලය හම්බ වුණේ. වළ අඩි තුනක් පමණ ගැඹුරට කපාගෙන යනකොට කුඩුගල හම්බ වුණා. තවත් අඩි පහක් හයක් පමණ ගැඹුරට කුඩුගල කඩාගෙන යද්දී ඊළඟට දුඹුරු පාට මැටි සමග පස් තීරුවක් හම්බ වුණා. ඒ පස් තීරුව කඩලා ඉවත් කිරීමේදී තමයි මේ පොසිලය දැක ගන්නට ලැබුණේ.’’   


‘‘එක පාරටම පස් අතරින් සුදු පාට හුනු ගල් වගේ කැබැලි මතු වෙන්න පටන් ගත්තා. ඒවා මොනවද කියලා සැක කරලා ඉන්පසුව බොහොම පරෙස්සමින් පස් ඉවත් කරගෙන ⁣යනකොට තමයි සුදු පාටින් යුක්ත මේ පොසිලය සම්පුර්ණයෙන්ම මතු වුණේ. ඒක නිකන් ඇටසැකිල්ලක් විදිහට තමයි දැක්කේ. මම මුලින් හිතුවේ මිනිස් ඇටසැකිල්ලක් වෙන්න ඇති කියලයි. නමුත් ඒකේ විසිරිලා තිබුණු කොටස් පරීක්ෂා කරලා බැලු‍වාම මට තේරුණා මේක ගොඩාක් පරණ පොසිලයක් වගේ දෙයක්ය කියලා.   


මේ නිසා මම ඒ සැකය අනුව අපේ ගමේම ඉන්න විශ්‍රාමික පුරා විද්‍යානිලධාරියකු වන උපාලි බදුගේ කියන මහත්තයාට මේ ගැන දැනුම් දුන්නා. ඒ මහත්තයා ඇවිත් මේක පරීක්ෂා කරලා බලලා කීවා මේකේ හැටියට තියෙන්නේ අස්ථි කොටස් කියලා. ඒ අනුව මේක බොහෝම ඉපැරැණි පොසිලයක් වීමටත් පුළුවන් කියලා උපාලි මහත්තයා මට කීවා. එයා මේ ගැන පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්නම් එතෙක් මේක පරෙස්සම් කරලා තියා ගන්න කියලත් මට දැනුම් දුන්නා. සෝමරත්න මහතා අපට පැවසීය.   
පොසිලය හමුවූ දින වන විට රට පුරා ඇඳිරි නීතිය තදින්ම ක්‍රියාත්මක වූ අවස්ථාවක්ද විය. එනිසාම තමන්ගේ සමීපතම හිතවතෙකුවූ කුරුණෑගල උහුමිය ප්‍රදේශයේ සිටින දයාන් බණ්ඩාර මහතාට ඔහු මේ පිළිබඳව දැනුම් දුන්නේය. මේ සම්බන්ධයෙන් ගත හැකි පියවර කුමක්දැයි සාකච්ඡා කිරීමෙන් අනතුරුව පොසිලය දැක ගැනීමට පැමිණි දයාන් බණ්ඩාර මහතා එහි පින්තූර කීපයක් ගෙන එය පුරා විද්‍යා බලධාරින්ගේ අවධානයට යොමු කිරීමේ අරමුණින් තම මුහුණු පොතේද පළ කළේය. ඒ අනුව අවශ්‍ය අරමුණ කරා යාමට ඔවුන්ට හැකි විය.   


සෝමරත්න මහතා මේ සම්බන්ධයෙන් මූලික වශයෙන් උපදෙස් ලබාගත් නාරම්පොළ ප්‍රදේශයේම වෙසෙන විශ්‍රාමික පුරා විද්‍යා නිලධාරයෙකු වන උපාලි බදුගේ මහතාගේ සහායද නිරන්තරයෙන්ම ඔහුට ලැබුණි. ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ ඒ මහතා දුරකථන මාර්ගයෙන් මෙම පොසිලය සම්බන්ධයෙන් වූ තොරතුරු පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කරන තම හිතවතෙකුට දන්වා සිටියේය. එම නිලධාරියා මාර්ගයෙන් පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා වෙතද මෙම අපූරු තොරතුර ගලා ගියේය.   
මහාචාර්ය දිසානායක මහතාගේ උපදෙස් අනුව පසුගිය 10 වැනි දින කොළඹ සිට කුරුණෑගලට ගිය පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශයේ නිලධාරීන් පිරිසක් සෝමරත්න මහතාගේ ඉඩමේ හමුවූ පොසිලය පරීක්ෂාවට ලක් කළහ. පුරා විද්‍යා කැණීම් නිලධාරිනී සුදේනී රණසිංහ සහ පුරා විද්‍යා ගවේෂණ නිලධාරිනි උදේනී වික්‍රමසිංහ යන මහත්මීන් දෙදෙනා එක්ව පොසිලය පරීක්ෂාවට ලක් කර අදාළ දත්ත ලබාගැනීම කළහ. මේ අවස්ථාවට විශ්‍රාමික පුරා විද්‍යා නිලධාරි මහතාද එක් විය.   


අඩි 7 ක් පමණ දිගින් සහ අඩි 3 ක් පමණ ප්‍රමාණයකට කපා ඇති වළ තුළ මෙම පොසිලය දිස් වෙන අතර තව දුරටත් වළේ කැණීම් කළහොත් ඊට වඩා ගැඹුරට සහ දෙපසට මෙය විහිදී ඇතැයි අනුමාන කරන බව පොසිලය පරීක්ෂාවට ලක් කළ සුදේනී රණසිංහ මහත්මිය පැවසුවාය. හුනු ගල් වලට සමාන ආකාරයට ඉතා දැඩි ලෙස ඝනීභවනය වී තිබෙන මෙම පොසිලයේ කොටස් ඉතා බරෙන් යුක්ත බවද ඇතැම් විට මේවා උරග ගණයේ සත්ත්වයෙකුට අයත් ඉපැරැණි පොසිලයක් විය හැකි යැයි අනුමාන කරන බවද රණසිංහ මහත්මිය සඳහන් කළාය.   


පොසිලය සහ එය හමුවූ ස්ථානය නිරීක්ෂණය කොට ලබාගත් දත්ත විශ්ලේෂණයකට ලක්කර මහාචාර්ය සෙනරත් දිසානායක මහතාගේ උපදෙස් අනුව මෙම පොසිලය සම්බන්ධයෙන් වන ඉදිරි පියවර ගන්නා බවද පැවසූ රණසිංහ මහත්මිය ඉදිරියේදී සිදු කරනු ලබන කැණීම් කටයුතු වලින් පසුව මෙය සත්ත්වයෙකුගේද නැත්නම් මිනිසෙකුගේද කියා අනාවරණය කරගත හැකි බවද පැවසූ ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කරන තෙක් වැලි ස්ථරයක් යොදා පොසිලය ආරක්ෂා කිරීමට පියවර ගත් බවද සඳහන් කළාය.   
වැසිකිළි වළ කැණීමේදී පොසිලයෙන් ගැලවී තිබූ කොටස් රැසක් සෝමරත්න මහතා එකතු කර ඉතා සුරක්ෂිතව තබා ඇති ආකාරයද දැකගත හැකි විය. ඒවායෙහි කොටස් කීපයක් එකිනෙකට පිළිවෙළකට තැබූ විට මිනිස් කශේරුකාවකට සමාන අස්ථි කොටසක් නිර්මාණය වන ආකාරයද දුටුවෙමු.   


කුරුණෑගලින් හමුවූ මෙම පොසිලය නිකම්ම නිකම් හුනුගල් ස්ථරයක් විය හැකි යැයි ඇතැමෙකු සමච්චලයට මෙන් අදහස් ප්‍රකාශ කර තිබුණද මෙරට කීර්තිමත් පුරා විද්‍යාඥයෙකු ලෙස නමක් දිනා සිටින පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා ඒ සම්බන්ධයෙන් පළ කළේ මෙවැනි අදහසකි.   
‘‘කුරුණෑගලින් හමුවූ මෙම පොසිලය පරීක්ෂාවට ලක් කළ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශයේ නිලධාරීන් මට මූලික පරීක්ෂණ වාර්තාවක් ලබා දීලා තියෙනවා. එම වාර්තාවට අනුව මේ කියන ඇටසැකිල්ල සහිත පොසිලය හම්බ වෙන්නේ පොළොව මට්ටමේ සිට අඩි දහයක පමණ ගැඹුරකින්. ඒ වගේම ස්වාභාවික පස් තට්ටුවකට මේ පොසිලය සම්බන්ධ වෙලා තියෙන්නේ. මේක පස් වලට සම්බන්ධ වෙලා තියෙන රටාව අනුව පෙනී යනවා මේ පොසිලයට අයත් සතා තරමක් පැරැණි වෙන්න පුළුවන් කියලා.’’   
නමුත් අපිට තවම හරිහැටි පැහැදිලිවම කියන්න බැහැ මේ සත්ත්වයා මොකෙක්ද කියලා. හැබැයි අපි එම ස්ථානයෙන් ලබාගෙන තියෙන සාම්පලයක් අනුව පැහැදිලිවම දෙයක් කියන්න පුළුවන්. ඒ තමයි මේ පොසිලය අයිති සතා මාංශ භක්ෂකයෙක් වගේම ඉතා විශාල ප්‍රමාණයේ සතෙකු වීමට පුළුවන් කියන එක. අපි බලාපොරොත්තු වෙනවා ඉතිරි කොටසත් කැණීම් කරලා මේ සත්ත්වයා සම්පුර්ණයෙන්ම නිරාවරණය කරගෙන ඉදිරි පරීක්ෂණ කටයුතු ආරම්භ කරන්න. එතෙක් අපිට පැහැදිලිවම කියන්න අමාරුයි මේ සත්ත්වයා පාෂාණිභූත වෙලාද කියලා. යම් ආකාරයකට පාෂාණිභූත වෙලා නම් මේ සත්ත්වයා සමහර විට වසර දහදාහක් වැනි දීර්ඝ කාලයක් ඉක්මවූ පෞරාණිකත්වයක් තිබෙන්නටත් පුළුවන්. මේ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි දින කීපයේදී මේ පොසිලය සම්පුර්ණයෙන්ම නිරාවරණය කරගන්න. එවිට අපිට පුළුවන්වෙයි මේ පොසිලයට සම්බන්ධ සත්ත්වයා කුමන වර්ගයට අයත් සතෙක්ද කියලා පැහැදිලිවම නිගමනයකට එන්න ... යැයිද මහාචාර්ය දිසානායක මහතා ප්‍රකාශ කළේය.   


මෙම පොසිලය හමුවූ ස්ථානය අසලින්ම එම ප්‍රදේශය හරහා ගලා බසින බේඳුරුඔය නම්වූ කුඩා ඇළ මාර්ගයක්ද වේ. මීට අමතරව මඳක් දුරකින් ප්‍රසිද්ධ දැදුරුඔයද ගලා බසී. මේ අනුව අතීතයේදී මෙම ජල මාර්ග ආශ්‍රීතව උරග ගණයට අයත් කිඹුලෙකු හා සමාන විශාල ප්‍රමාණයේ සත්ත්වයින් ජීවත් වෙන්නට ඇති බවද එසේ ජීවත්වූ සතෙකුට අයත් ඇට සැකිල්ලක් මෙසේ හමුවන්නට ඇති බවද විශ්‍රාමික පුරා විද්‍යානිලධාරි උපුල් බදුගේ මහතාගේ නිගමනය වේ.   


ඒ අනුව මහාචාර්ය සෙනරත් දිසානායක මහතා සඳහන් කළ ආකාරයටත් නාරම්පොළින් හමුවූ පොසිලය සැබෑවටම වසර දස දහස් ගණනාවක් ඉපැරැණි පොසිලයක් වුවහොත් ⁣එය මෙරට පුරා වීද්‍යා ඉතිහාසයේද නව සන්ධිස්ථානයක් වනු නොඅනුමානය. එසේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉතිහාසයටද නව පරිච්ඡේදයක් එක්වනු ඇත.   


ඒ සියල්ල වෙනුවෙන් ස්තුතිය පුද කළ යුත්තේ පොසිලය හමුවූ ඉඩමේ හිමිකරු වන මිල්ටන් සෝමරත්න මහතාටය. මන්ද යත් ඔහු තම බුද්ධිය සහ දැනුම මෙහෙයවමින් අහම්බෙන් මෙන් හමුවූ මෙම පොසිලය හුනු ගලක් යැයි සිතා කඩා නොදමා සුරක්ෂිතව රැකගැනීම නිසාම අද අලුතින් යමක් සොයා බැලීමේ අවස්ථාව රටට උදා වී ඇත.   

 

 

සේයාරූ / සටහන
පුෂ්පකුමාර ජයරත්න