ජේ.ආර්. යන ජනප්‍රිය නාමයෙන් හැඳින්වුණු ඔහු දශක හතරක් පුරා විහිදී පැතිරී පවත්නා කීර්තිමත් දේශපාලන චරිතයක් උරුම කරගත් සුවිශේෂ පුද්ගලයෙකි.   


ජේ.ආර්. ජයවර්ධන මහතා 1988 දී විශ්‍රාම ලබන අවස්ථාව වනවිට ඇතැම්විට ලොව එවකට ජීවත්ව සිටි ජනතාවගේ කැමැත්තට අනුව බලයට පත්වුණු වෘද්ධතම රාජ්‍ය නායකයා ලෙස පිළිගැනිණ.   


ජාතික නිදහසට පෙර හා පසු යුගය පසු කළ ඔහුගේ දේශපාලන ගමන් මග 1943-1988 කාල පරාසය තුළ විහිදී පැතිරී යන ශ්‍රී ලංකාවේ දේශපාලනයේ හරස් කැපුමකි.   


1977 ජුලි මස අග්‍රාමාත්‍ය පදවියට පත්වීම සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා ලෙස පත්වීම දක්වා වූ වීර චාරිකාව යනු ඔහුගේ නොසැලෙන ආත්ම ශක්තිය හා අසමාන බුද්ධිය විදහාපාන කැටපතක් බඳුය.   
1947 අගෝස්තු මාසයේ දී පැවැත්වුණු මැතිවරණයේදී ඩී.එස්. සේනානායක මහතාගේ නායකත්වයෙන් දියත් කළ ඡන්ද සටනින් පසුව එක්සත් ජාතික පක්‍ෂය ජයග්‍රහණය කළේය. අභිනව රජයේ මුදල් ඇමැතිවරයා ලෙස ජයවර්ධන මහතා පත්විය. එවකට පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් අතර ලාබාලතම මුදල් අමාත්‍යවරයා වූ අයුරින්ම හෙතෙම ඩී.ඇස්. සේනානායක, ඩඩ්ලි. සේනානායක අගමැතිවරු යටතේ අය වැය වාර්තා හතක් ඉදිරිපත් කළ ලංකාවේ ළාබාලතම මුදල් ඇමැතිවරයා වීම ද විශේෂත්වයකි. එම වසරේ දී මුදල් ඇමැතිවරයා ලෙස ඉදිරිපත් කළ අයවැය වාර්තාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම අයවැය කතාවයි. එහි ප්‍රමිතිය සහ ආකෘතිය වසර 30ක කාලයක් පුරා මුදල් ඇමැතිවරු විසින් නොකඩවා අනුගමනය කරන ලදී.    


1945 දෙවෙනි ලෝක යුද්ධ සමයේ දී පරමාණු බෝම්බය හෙළීම නිසා හිරෝෂිමා සහ නාගසාකි නගරවල ලක්‍ෂ ගණනක් ඉතා බිහිසුණු මරණයකට ගොදුරු විය. එම ඛේදවාචකයේ කළු පැල්ලම මකා දැමීම සඳහා සැන්ෆ්‍රැන්සිස්කෝ සාම සම්මුතිය අත්සන් කෙරිණි. එහි දී පෙරවරු 11ට කතාව ඇරැඹූ ජයවර්ධන මහතා විනාඩි 15ක පමණ ඉතා සංක්ෂිප්තව කතාවක් කළේය.   


සම්මේලනයේ රජ කතාව වූයේ ඔහුගේ දේශනයයි. ඉතා මෘදු ස්වරයකින් සිය දේශනය අරඹා හඬ උස් පහත් කරමින් ඔහු තම තර්කය නියෝජිත පිරිසගේ සිත් තුළට කාවදින ලෙස ව්‍යක්තව සිත් ළගන්නාසුලු ආකාරයකින් ඉදිරිපත් කළේය.  


“ශ්‍රී ලංකාවේ අප ආක්‍රමණයට ලක් වූයේ නැතත් ගුවන් ප්‍රහාර, අග්නිදිග ආසියා හමුදා මූලස්ථානය යටතේ යෝධ බල ඇණි නතර කර තැබීම සහ මිත්‍ර රටවලට අවශ්‍ය ස්වභාවික රබර් ලබා ගැනීමට තිබුණු එකම රට වූ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය විනාශ වී යන පරිදි කිරි කැපීම නිසා අපගේ ආර්ථිකයට කරන ලද හානියට වන්දි ලබා ගැනීමට අපට අයිතියක් තිබෙන නමුත් එසේ වන්දි ඉල්ලීමට අපට බලාපොරොත්තු නැත.   
ආසියාවේ ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවගේ ජීවිත උත්තරීතර තත්ත්වයට පත් කළ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ඉගැන්වෙන පරිදි “වෛරයෙන් වෛරය නොසංසිඳෙන බවත් අවෛරයෙන් වෛරය සංසිඳෙන බවත්” අපගේ විශ්වාසය වීම ඊට හේතුවයි.   


ජයවර්ධන මහතා සිය කතාව අවසන් කළේ මෙසේයි.   


“මේ ගිවිසුම වනාහි පරාජිත සතුරකුට සාධාරණය ඉටු කරන්නා වූ ඉතාමත් උදාර වූ සම්මුතියකි. අපි ජපන් ජනතාවට අපගේ සුහදතාවයේ හස්තය දිගු කරන අතරම අද අප අවසාන පිටුව ලියා මනුෂ්‍ය ඉතිහාසයේ මේ පරිච්ඡේදය අවසන් කොට හෙට අලුත් පිටුවක් ලිවීම ඇරැඹීමත් සමඟ ජපන් ජනතාවටත්, අපටත් එක්සත්ව එක්සිත්ව සාමයෙන් හා සමෘද්ධියෙන් නොඅඩු මිනිස් ජීවිතයේ උත්තරීතර වින්දනය භුක්ති විඳීමට වාසනාව උදාවෙතැයි මම විශ්වාස කරමි.” 

 
ඔහු වේදිකාවෙන් ඉවත් වී ගොස් ඇත්තේ එතෙක් එම සමුළුවේ දෙසවන් අගුළු වැටෙන තරමට රැව් දුන් ඔල්වරසන් හඬ මැද්දේය.   


සැන්ෆ්‍රැන්සිස්කෝ “ක්‍රොනිකල්” පුවත්පත සම්මේලනයේ කෙටිම දේශනය වූ ජයවර්ධන මහතාගේ කතාව වාර්තා කරමින් එම කතාව අවසානයේ නැඟුණ අත්පොළසන් හඬින් සමුළුව පැවැත්වුණු ඔපෙරා රඟහලේ ශ්‍රවණාගාරයේ දොර ජනෙල් පවා කම්පනයට පත් වූ අයුරු වැඩිදුරටත් විස්තර කළේය.   


ඔපෙරා රඟහලේ ප්‍රවේශ ශාලාවට පිවිස තම නියෝජිත කණ්ඩායම සමීපයට යෑමට ඔහු උත්සාහ කරන විටදී විවිධ ජාතීන්ට අයත් නියෝජිත පිරිස් අතට අත දෙමින් සිය සතුට පළ කරමින් ආචාර සමාචාර දැක්වූහ. ඇතැමෙක් සමරු පොත් රැගෙන ඔහුගේ අත්සන ලබාගැනීමට තරගයක යෙදුණේය. එම අවස්ථාව මගහැර යාමට ආයාසයක් දැරූ ඔහුට තම දූත පිරිස සමඟ එක්වීමට ආරක්‍ෂක නිලධාරීන්ගේ සහාය අවශ්‍ය විය. ඔහුගේ දේශනයට ඉතා සාවධානව සවන් දෙමින් සිටි ජපන් අගමැති ෂිගෙරු යොෂිඩා දෙනෙතින් ගලන කඳුළු බිඳු පිසලන අයුරු දැකගැනීමට හැකි විය.   


ජයවර්ධන මහතාගේ කතාව එතැන් සිට සියල්ලන්ගේම හදවත සසල කිරීමට හැකි යුක්ති සහගත සිතුවිලිවලින් පොහොසත් කතාවක් විය. ඉන් පසුව බොහෝ කාලයක් යනතුරු ජපානයේ කෘතවේදීත්වය ශ්‍රී ලංකාවට ලැබීමට හේතුවක් වූයේය. ඉන් වසර 25කට පසුව ජයවර්ධන මහතා ශ්‍රී ලංකාවේ අගමැති ධුරයට හා ප්‍රථම විධායක ජනාධිපති   පදවියට පත්වීමෙන් පසුව රූපවාහිනී ජාලය, ජයවර්ධනපුර නවීන රෝහල, කොළඹ වරාය සංවර්ධනය කිරීමට වැනි ආයතන පරිත්‍යාග ලබාදෙමින් කළ ගුණ දැක්වීමට ජපානය අමතක කළේ නැත.   


ජේ.ආර්. ජයවර්ධන මහතා පිළිගැනීමට විශාල පිරිසක් ගුවන්තොටුපොළට රැස් වී සිටි ආකාරය දැකීමෙන් ඔහු විමතියට පත් විය. ජයග්‍රහණය මොන තරම් ශ්‍රේෂ්ඨ වූවත් එය පසුපස පැමිණීමට හැකි අතුරු අන්තරා පිළිබඳව ජයවර්ධන මහතාට ඉව වැටුණේය. එම අවස්ථාවේදී කෙටි ප්‍රකාශයක් කළ හෙතෙම “මා ආපසු පැමිණ සිටින්නේ ඉතාම සාර්ථක අයුරින් මගේ වගකීම ඉටු කිරීමෙන් පසුවය. මා එය කළේ අගමැති වෙනුවෙන්, එතුමාගේ උපදෙස් අනුව එතුමා මට පැවරූ කාර්යයයි.”   


ජූනියස් රිචඩ් ජයවර්ධන මහතා අගමැතිවරු කිහිපදෙනෙක් යටතේ තමා උපන් මවුබිමට අවංකව සේවය කළේය.  


ඩී.ඇස්. සේනානායක සහ ඩඩ්ලි සේනානායක මහත්වරු යටතේ මුදල් ඇමැතිවරයා ලෙස ද ශ්‍රීමත් ජෝන් කොතලාවල අගමැති යටතේ කෘෂිකර්ම හා ආහාර ඇමැතිවරයාගේ කාර්යය භාරයත් නැවත 1965-70 ඩඩ්ලි සේනානායක මහතාගේ රජයේ රාජ්‍ය ඇමැතිවරයා ලෙස ද කටයුතු කළේය. 1943-1956 දක්වා රාජ්‍ය මන්ත්‍රණ සභාවේත්,   


පාර්ලිමේන්තුවේත් කැලණිය ආසනය නියෝජනය කළේය. ඩඩ්ලි සේනානායක කැබිනෙට්ටුවේ මුදල් ඇමැතිවරයා ලෙස වගකීම දරණ අතරතුරදී ශ්‍රී ලංකා මහ බැංකුව ගොඩනැගීමෙහිලා ඉතා වැදගත් කාර්යය භාරයක් ඉටු කිරීමට සමත් වූයේය. බ්‍රිතාන්‍යය විශේෂඥයන්ගේ සහ උපදේශකයන් කෙරෙහි විශ්වාසය නොතබා ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථාපිත කිරීමේදී ඇමෙරිකානු විශේෂඥයන්ගේ සේවය ලබා ගැනීමට කටයුතු කළ නිසා “යැංකි ඩිකී” ලෙස අනවර්ථ නාමය ද පටබැඳුණි.   


ශ්‍රීමත් ජෝන් කොතලාවල කැබිනෙට්ටුවේ කෘෂිකර්ම හා ආහාර ඇමැතිවරයා ලෙස සිටියදී අතීතයේ සිට පැවැත එන විචිත්‍රවත් සංස්කෘතික ඉසව්වක් වන “වප් මඟුල” උත්සවය ලංකාව පුරා සංවිධානය කිරීමට කටයුතු කළේය.   


අපනයන සංවර්ධන මණ්ඩලය, පොස්පේට් සමාගම, ඇතුළුව ලංකා කාර්මික සංවර්ධන පර්​ෙ‌ය්ෂණ අමාත්‍යාංශය වැනි ආයතන රැසක් ජාතියට දායාද ලෙස ලැබුණේ ජයවර්ධන මහතාගේ උත්සාහය සහ කැපවීම නිසාය. 1965-70 දක්වා රාජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කරන විටදී ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය පිළිබඳ මූලික සැලසුම් ඉදිරිපත් කරමින් විධිමත්ව සංචාරක ව්‍යාපාරය පවත්වාගෙන යාමට රට යොමු කළේය.   


1948-52 දක්වාම මුදල් අමාත්‍යවරුන්ගේ සම්මේලනය ජයවර්ධන මහතා නියෝජනය කර ඇත. ඒ අයුරින්ම 1948-52 දක්වා ලෝක බැංකුව සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල වැනි ආයතන සමඟ ඔහු සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේය. පසු කලෙක ඔහු රාජ්‍ය නායකයා ලෙස පත්වීමත් සමඟම එම ආයතන මගින් රටේ සංවර්ධනය සඳහා අරමුදල් ලබා ගැනීමට පෙර පවත්වාගෙන ගිය සම්බන්ධතාව ඉතා වැදගත් විය.


1960 දී ජුලි මැතිවරණයේදී බහු ආසනයක් වූ දකුණු කොළඹ මන්ත්‍රීවරයා ලෙස ජයවර්ධන මහතා පත්විය. 1970 පැවැත්වුණු මැතිවරණයේදී එතුමා ආසනය රැකගත් නමුත් එක්සත් ජාතික පක්‍ෂය පරාජයට පත් විය. නමුත් පක්‍ෂයේ නායකත්වය භාර ගන්නා ලෙස කළ ඇරයුම නිසා එතැන් සිට විපක්‍ෂයේ නායකයා ලෙස වගකීම දැරුවේය.   


1970-77 කාලය රටට අඳුරු කාලපරිච්ඡේදයකි. රට විශාලා නුවර සිරිය ගත්තේය. ජනතාව ඇවිදින ඇටසැකිලි බඳු විය. කපු කටිමින් මෝස්තර රටා මැවූ ජාතියකට විළි වසා ගැනීමට රෙදිකඩක් ගැනීමට පෝලිමේ සිටීමට සිදුවීමට තරම් අප රට දුගී බවට පත් වී තිබුණේය. පෙරදිග ධාන්‍යාගාරය ලෙස විරුදාවලිය ලද රටක වැසියෝ බත් උලක් සොයමින් කුණු බක්කි අවුස්සන පිරිසක් බවට පත් වූහ. රැකී රක්‍ෂා හිඟවීම නිසා 1971 දී දකුණේ තරුණයන්ට අවි අතට ගැනීම පවා සිදුවිය. තරුණ තරුණියන් විශාල පිරිසක් ඝාතනයට ලක් විය. ලංකාවේ ඝාතන සංස්කෘතිය එතැනින් ආරම්භ විය. 

 
ජයවර්ධන මහතා පක්‍ෂය ප්‍රතිසංවිධානය කොට පක්‍ෂයට නව ජීවයක් ලබා දීමට කටයුතු කළේය. පවුල් බලය, පවුල්වාදය, පවුල් පාලනය පක්‍ෂය තුළින් ඉවත් කර දැමුවේය. පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා පක්‍ෂ සාමාජිකයන් තෝරා ගැනීමේදී කුලය, ආගම, සමාජ තත්ත්වය වැනි මතිමතාන්තර පිටුදැකීය. තරුණ පිරිස සඳහා ඉදිරියට පැමිණීමට අවස්ථාව ලබාදුන්නේය. එක්සත් ජාතික පක්‍ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයක් බවට පරිවර්තනය කොට ගම්බද ගොවියා සහ නාගරික කම්කරුවා නගාසිටුවීමට ක්‍රියා කළේය.   


ශක්තිමත් පක්‍ෂ ශාඛා තරුණ සංවිධාන කාන්තා සංවිධාන පිහිටුවා නව ජීවයක් ප්‍රබෝධයක් පක්‍ෂ ශාඛාවලට මෙන්ම කොළඹ පක්‍ෂ මූලස්ථානයට ලබාදුන්නේය. එතුමාට රටේ විධායක තනතුරට ළඟාවීමට දැඩි ආයාසයක් දැරීමට සිදුවිය. පුවත්පත් නිදහස සීමා කිරීම පාලන කාලය දීර්ඝ කරගැනීම වැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන්ට විරුද්ධව ක්‍රියා කිරීමටත් ජනතාවගේ කැමැත්ත පළ කිරීමට අවස්ථාව උදා කිරීමට නියම කලට මැතිවරණ පවත්වන ලෙස සමගි පෙරමුණු පාලක පන්තියට බලකිරීම සඳහා ජයවර්ධන මහතා අනුගාමිකයන් සමඟ සත්‍යග්‍රහ කළේය.

      
1977 දී පැවැත්වුණු මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්‍ෂය ලැබූ ජයග්‍රහණය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ සිදු නොවුණු සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේම නොවූ විරූ ජයකි. එදා ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් තරග වැදුණු එක්සත් ජාතික පක්‍ෂය ආසන 160න් 140ක්ම ජයග්‍රහණය කළේය.     


ජූනියස් රිචඩ් ජයවර්ධන මහතා මේ රටේ නායකයා ලෙස පත් වූ දා සිටම එතුමාගේ මූලික අභිප්‍රාය වූයේ තරුණ තරුණියන්ට වැඩි වැඩියෙන් රැකියා ලබාදීමය. එදා  ලුණුගම්වෙහෙර ව්‍යාපාරය විවෘත කළ අවස්ථාවේදී “මගේ රජයේ ප්‍රධාන ප්‍රතිපත්තිය පළමුවත් දෙවනුවත් තෙවනුවත් රැකියා සම්පාදනය කිරීමයි” යනුවෙන් පැවැසීමෙන් තවදුරටත් ඔහුගේ අභිප්‍රාය ජනතාවට හෙළි කළේය.   


කඩිනම් මහවැලිය යටතේ ඉදිකළ කොත්මලේ, රන්දෙනිගල, වික්ටෝරියා, රන්ටැඹේ හා මාදුරු ඔය විශාල ජලාශ යෝජනා ක්‍රම, කටුනායක සහ බියගම නිදහස් වෙළෙඳ කලාප, උදාගම් සංකල්පය, ප්‍රධාන නගරවල සිදු කළ සුවිසල් නගර සංවර්ධන සැලසුම්, නිදහස් වෙළෙඳ ප්‍රතිපත්තිය අනුගමනය කළ විවෘත ආර්ථික ක්‍රමය, මහපොළ සහ ස්වර්ණභූමි වැඩපිළිවෙළ ආදිය 1977 ජයවර්ධන රජය බලයට පත්වීමෙන් පසුව ආරම්භ කළ දැවැන්ත සංවර්ධන යෝජනාවලින් කිහිපයක් පමණි. එක්සත් ජාතික පක්‍ෂය වත්මනදී ලංකාවේ තිබෙන විශාලතම වෘත්තීය සමිති සංගමය වන ජාතික සේවක සංගමයට මග පෙන්වමින් වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම පිළිබඳව කටයුතු කරනු ලබයි.   


1978 පෙරබවාරි මාසයේ සිට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වශයෙන් සෑම රටක් සමඟම සබඳතා පවත්වාගෙන යාමට එතුමාට හැකි විය. හවානා නුවරදී පැවැත් වුණු නොබැඳි සමුළුවේදී කැස්ත්‍රෝ ද හිරහිතෝ අධිරාජ්‍යයා ජපානයේ දී මුණගැසිණි. ඒ අයුරින්ම විවිධ අවස්ථාවලදී දිවයිනට පැමිණ සම්භාවනීය අමුත්තන් ඇතුළු සෙසු රටවල නායකයෝ එතුමා කෙරෙහි දැක් වූ සුහදතාව සහ ශ්‍රී ලංකාව කෙරෙහි දැක් වූ මිත්‍රශීලී බව ප්‍රකට කළහ.   
මහජාතීන්ගේ කඳවුරුවලට නොබැඳි පිළිවෙතක් අනුගමනය කිරීම නොබැඳි ව්‍යාපාරයේ දර්ශනයයි. ඒ අනුව වඩා ප්‍රායෝගික ප්‍රජාතන්ත්‍රවාදී රාමුවකට සුදුසු පරිදි රාජ්‍ය නායකයන් සමඟ සම්බන්ධතා ගොඩනගා ගැනීමට එතුමා සහජ දක්‍ෂතාවක් පෙන්නුම් කළේය. ජුනියස් රිචඩ් ජයවර්ධන මහතා ශ්‍රද්ධා සම්පන්න බෞද්ධයෙකි. දියුණු අවබෝධයකින් යුතුව බුදු දහම හැදෑරූ දේශපාලකයෙකි. සංඝරත්නයේ අවශ්‍යතා පිළිබඳව පුළුල් වැටහීමක් තිබුණු පාලකයෙකි.   


නිවන යනු අලෝභ, අදෝෂ, අමෝහ බව බුද්ධිමත් බෞද්ධයෝ දනිති. ජයවර්ධන මහතා ඒ මග ගමන් කරමින් මානෙල්වත්ත සඟසතු කළේය. ජනාධිපති තනතුරට පත්වීමෙන් පසුව එතුමා දඹදිව වන්දනාවට ගියේය. එම ගමනේ දී ලුම්බිණිය, බුද්ධගයාව සහ කුසිනාරා නුවර වැනි බුද්ධ පාද ස්පර්ශයෙන් පවිත්‍ර වූ සිද්ධස්ථාන වැඳ පුදා ගත්තේය.   


බුදු දහම හා මාක්ස්වාදය බෞද්ධ ලිපි, බුදුන්වහන්සේගේ දේශනා තුන, සැපත සඳහා බුදුන් දෙසූ මග එතුමා විසින් ලියන ලද පත පොතය. ජනප්‍රිය බුදු දහම නොව සැබෑ බුදු දහම පිළිබඳව තිබුණු අචල ශ්‍රද්ධාව ස්වකීය ජීවිතය පුරාවට ජයවර්ධන මහතා මෙහෙය වූ ප්‍රධාන බලවේගයයි. බුදු දහම පිළිබඳ භක්තිය පමණක් තිබෙන ශ්‍රද්ධාව නැති දේශපාලකයන් ආගම ස්වකීය පැවැත්ම සඳහා භාවිත කිරීම ගැන ජනතාව අවබෝධ කරගත යුතුය.   
1977-87 කාලය තුළ දී රටේ රාජ්‍ය නායකයා ලෙස ජයවර්ධන මහතාට මුහුණ පෑමට සිදු වූ දමිළ බෙදුම්වාදී අරගලය ජේ.ආර්. ගේ දේශපාලන පරිණතභාවයට හා කුසලතාවට එල්ල කළ ප්‍රබලම අභියෝගයයි.   
එහෙත් දමිළ හා සුළු ජන කොටස් සමඟ එකඟතාවකට එළැඹීමේ අරමුණු ඉටුකර ගැනීම සඳහා ඔහු තුළ වූ ඇප කැපවීම අඩාළ වූයේ නැත.  බෙදුම්වාදී හිංසන ක්‍රියා මගින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය, ඒකීයභාවය විනාශ වීම වැළැක්වීම සඳහා පියවර ගැනීමට ඔහු මැළි වූයේ ද නැත.   


ශ්‍රී ලාංකික දේශපාලන වංකගිරිය දිගු කාලයක් අවම අතුරු අන්තරා සහිතව තරණය කළ ජයවර්ධන ජනාධිපතිතුමා ස්වකීය අධ්‍යාත්මය පෝෂණය කරගනු ලැබුවේ බෞද්ධ දර්ශනය තුළිනි.  


“මට රකින්නට පරපුරක් නැත. තර කරන්නට බූදලයක් නැත. ඔටුණු පලඳවන්නට කුමාරයෙක් හෝ කුමාරිකාවක් නැත. මට රකින්නට ඇති පරපුරත් තර කරන්නට ඇති බූදලයත් ඔටුන්න හිමි කුමාර කුමාරිකාවනුත් රටේ මහජනතාවයි.” එම ප්‍රකාශය ලොව වෙසෙන ඕනෑම දේශපාලනඥයකුට වලංගු වන ප්‍රකාශයකි.


සැප්තැම්බර් මස 17 වැනි දින එතුමාගේ උපන් දින සැමරුම නිමිත්තෙනි.

 

 

 

ජයන්ත කන්නන්ගර   
ඌව පළාත් සභා මන්ත්‍රී   
හාළිඇළ එක්සත් ජාතික පක්‍ෂ ප්‍රධාන සංවිධායක