පෘතුගීසින් ලංකාව ආක්‍රමණය කරන විට ලක්දිව කෝට්ටේ, මහනුවර හා යාපනය වශයෙන් ප්‍රධාන රාජධානි තුනකට දේශපාලනිකව බෙදී පැවතිණ. යාපනය රාජධානිය තුළ යටත් විජිත පාලන සමයේදී විශේෂ වූ සමාජ සංස්කෘතික වෙනස්කම් සැලකිය යුතු ප්‍රමාණයක් යාපන වැසියන් වෙත අවශෝෂණය විය. පෘතුගීසි වාර්තා, පැරණි මූලාශ්‍ර, සිංහල දෙමළ සෙල්ලිපි හා කාසි මගින් යාපනය රාජධානිය පිළිබඳව වැදගත් තොරතුරු රාශියක් ගෙනහැර දක්වයි. යාපන අර්ධද්වීපය දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ආසන්නයේ පිහිටා තිබිම හේතුකොට යාපන ප්‍රදේශය වෙත සංස්කෘතික බලපෑම් ඉතා වේගයෙන් සම්බන්ධවිමේ ප්‍රවණතාවක් පවතී. මෙම ලිපියේ අරමුණ වන්නේ යාපන කොටුව තුළ මෑත දී සිදුකළ පුරාවිද්‍යාත්මක කැණීම් මඟින් ලැබී ඇති ප්‍රතිඵල විස්තර කිරීම සහ එහි කතෝලික දේවස්ථානය සංචාරක ආකර්ශනයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ ඇති වැදගත්කම විස්තර කිරීමයි. 


පෘතුගීසි ආක්‍රමණය සමඟ එම පාලන කාලය තුළදී යාපන අර්ධද්වීපයේ පැවති හින්දු, බෞද්ධ ආගමික ස්ථාන, පරිපාලන මධ්‍යස්ථාන, ජනාවාස ඇතුළු තවත් ​ෙබහෝ උරුම අංග රාශියක් විනාශයට පත්විය. මෙහි ප්‍රතිඵලය වූයේ පෘතුගීසින් ඇතුළු යටත් විජිතවාදි යුරෝපීය ජාතික ලන්දේසි සහ ඉංග්‍රීසි පාලකයන් විසින් තම පරිපාලනය පහසුවෙන් ගෙනයාම සඳහා අවශ්‍ය ආගමික ස්ථාන පරිපාලන මධ්‍යස්ථාන, ජනාවාස ඇතුළු ඒ ඒ රටවල ගෘහ නිර්මාණ ශිල්පීය සම්ප්‍රදායයන් පිළිඹිඹු කරන ස්ථාන කරනු ලැබීමය. එම නව ගොඩනැගිලි බොහෝ වශයෙන් පැරණි වාස්තුවිද්‍යා ගොඩනැගිලි විනාශ කිරීමෙන් පසුව එම භූමිය මත ඉදිකරන ලදී. මෙවැනි සමාජ වෙනස්වීමේ පසුබිම සමඟ යාපන අර්ධද්වීපය තුළ කතෝලික සහ ප්‍රොතෙස්තන්න ආගමික පරිසරයක් සහ යාපන වැසියන්ගේ ජීවන ශෛලිය තුළ අධ්‍යාපන, භාෂාව, කලාව, උත්සව ආදියේ වෙනස්කම් සහිත දැවැන්ත පරිවර්තනයක් ඇතිවිය. 


ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ යුරෝපීය ජාතිකයන් විසින් බලකොටු ඉදිකිරිම සිදුකරන ලදී. එය විස්මයජනක සුවිශේෂී වාස්තුවිද්‍යාත්මක නිර්මාණ ලෙස දැක්විය හැකිය. 


ක්‍රි.ව. 1600-1700 පමණ වන විට ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම විසින් ලංකා වෙරළ තීරය වටා මෙම බලකොටු සැළසුම් කරන ලදී. මෙම බලකොටු නිර්මාණය මගින් ලන්දේසි යටත් විජිත පාලනය අපේක්ෂා කළේ මධ්‍ය කඳුකරයේ සිංහල රාජ්‍යයෙන් සහ බ්‍රිතාන්‍ය තර්ජනයෙන් ආරක්ෂා වීම සඳහා ඔවුන්ට විරුද්ධව නැගී එන බලපෑම්වලින් ආරක්ෂා වීමටය. තවද, ආනයන - අපනයන වෙළෙඳ කටයුතු ආරක්ෂාකාරීව සිදුකිරීමට මෙම බලකොටුව ඔවුන් යොදාගෙන ඇත. 

 

 

මෙම සමාජ හා සංස්කෘතික පරිවර්තනය තුළ යාපන කොටුව නිර්මාණය වීම වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකිය. මෙය යාපන නගරයේ සිය දකුණුදිග වෙරළ යාබද වූ කලපුව ආසන්නයේ පිහිටා ඇත. ක්‍රිස්තු වර්ෂයෙන් 1618 දි පෘතුගීසින් විසින් ප්‍රථම වරට චතුරස්‍රාකාර හැඩයකින් යුතුව මෙය ඉදිකරන ලදි. පසුව 1658 දී ලන්දේසීන්ගේ ආක්‍රමණය සමඟ යාපන කොටුව පංචාස්‍ර හැඩයක් සහිත නව මාදිලියකින් විශාල කොට ඉදිකරන ලදී. බ්‍රිතාන්‍ය පාලන සමයේ දී ලන්දේසි කොටුව සඳහා වු වාස්තුවිද්‍යා ආකෘතිය සඳහා සමහර වෙනස්කම් සිදුකරන ලදී. 


අක්කර 62කින් සමන්විත මෙම කොටුවේ පිට පවුර අඩි 30ක් පමණ උසකින් යුක්ත වේ. ඊට අදාළ බිත්තිවල පතුළ අඩි 40ක පමණ ගනකමකින් යුක්තය. කොටුව වටා ගමන් කරන ගැඹුරු දිය අගල, අාරක්ෂක අට්ටාල, නිරික්සුම් කුලුන, වෙඩි තැබීම ස්ථාන ආදිය මෙහි කැපිපෙනෙන වාස්තු විද්‍යා ලක්ෂණ ලෙස දැක්විය හැකිය. ඉහත අංග ද ඇතුළුව සතුරන් ඉතා පහසුවෙන් නිරීක්ෂණය කිරිම සඳහා පිට බිත්ති සකස් කිරීමේ දී ඉහළ සිට පහළට ඇළ වූ ස්වභාවයකින් ඉදිකර ඇත. එබැවින් යටත්විජිත ඉතිහාසය තුළ යාපනය කොටුව සඳහා වැදගත් ස්ථානයක් හිමි වේ. එය වූ කලී යටත් විජිතවාදී ක්‍රියාදාමය හේතුකොටගෙන ආසියාව තුළ ඉදිකරන ලද විශාලතම බලකොටු අතරින් එකක් ලෙස සැලකිය හැකිය. 


පරිපාලන මධ්‍යස්ථානය, යුදමය භටාගාර, ප්‍රොතොස්තන්ත දේවස්ථාන, රජයේ ගොඩනැගිලි, බන්ධනාගර සංකීර්ණ සහ අනෙකුත් ගොඩනැගිලි ආදිය මෙහි දක්නට ඇත.. විශේෂයෙන් පෘතුගීසි වාර්තා අනුව යාපන කොටුවේ සිට සැතපුම් දෙකක් පමණ දුරස්ථ ප්‍රදේශයක සිට මුරභට සේවා ස්ථාන පිහිටුවා තිබූ බව වාර්තා වේ. මෙයින් තහවුරු වන්නේ යාපන කොටුව පරිපාලන සහ යුදමය යන ද්විත්ව ක්‍රියාකාරී මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වූ බවයි. පසුගිය තිස් අවුරුදු යුදමය වාතාවරණය හේතුකොටගෙන යාපන කොටුවේ පිටත පෙනුම මෙන්ම කොටුව අභ්‍යන්තරයේ වූ ගොඩනැගිලි විනාශයට පත්විය. යුදමය තත්ත්වය අවසන් වීමෙන් පසු යාපන කොටුවේ පිටත පෙනුම සංරක්ෂණය කිරීම නෙදර්ලන්තය රජයේ ආධාර යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පසුගිය කාලයේදී වැඩකටයුතු සම්පූර්ණ කෙරී තිබේ. කෙසේ වෙතත් කොටුව අභ්‍යන්තරයේ වූ ගොඩනැගිලි යුද්ධයෙන් විනාශ වූ පසු සංරක්ෂණ කටයුතු ආරම්භ නොවි පැවතුණි.

 

 

ස්මාරක හා ගොඩනැගිලි අධ්‍යයනය යාපනය කොටුව ඇතුළු තදාශ්‍රිත ප්‍රදේශය තුළ සිදුවී තිබුණද සංස්කෘතික ඉතිහාසය පිළිබඳව පුරාවිද්‍යා අධ්‍යයන කටයුතු ඉතා අවම මට්ටමක පැවතුණි. එහෙත් කන්තරෝදෙයි, මාන්තායි, පොම්පරිප්පු යන ස්ථානවල පුරාවිද්‍යා කටයුතු සිදුවී තිබුණත් සවිස්තරාත්මක වාර්තා ප්‍රකාශයට පත්​ නොවීම බලවත් අඩුවක් ලෙස පවතී. රඝුපති විසින් සිදු කෙරුණු භූදර්ශනය සමීක්ෂණය අනුව ස්ථානීය ව්‍යාප්තිය ආනයනය කළ මැටි බඳුන් ඇතුළු කාලානුක්‍රමික අනුපිළිවෙල පිළිබඳ සැලකියයුතු අවබෝධයක් ලබාදීමට සමත් වී අැත. 


සංස්කෘතික අනුපිළිවෙළ විමර්ශනය කිරීම සහ පශ්චාත් අාපදා තත්ත්වය තේරුම් ගැනීඹ සඳහා වූ පුරාවිද්‍යාත්මක කැණීම් කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදල, බ්‍රිතාන්‍යයේ ඩරම් විශ්ව විද්‍යාලය සහ යාපනය විශ්ව විද්‍යාලය සම්බන්ධීකරණය මගින් ​ෙකාටුව අභ්‍යන්තරයේ යුදමය තත්ත්වය නිසා විනාශයට  පත්ව ඇති කතෝලික දේවස්ථානය, ජන වාසස්ථානය සහ බන්ධනාගාර ගොඩනැගිල්ල අසල සිදුකරන ලදී. 

විශේෂයෙන් යාපන කොටුව තුළ වූ බොහෝ ගොඩනැගිලි ආදිය යුදමය තත්ත්වය නිසා විනාශයට පත්ව ඇත. පශ්චාත් ආපදා පුරාවිද්‍යා ක්‍රියාවලිය තුළ එම විනාශ තත්ත්වය වාර්තාගත කිරීම මගින් සුන්බුන් ඉවත් කිරීම සිදුකරනු ලැබීය. 
මෙම කැණීම ලන්දේසි දේවස්ථානයේ ඊසාන දිග කොටසෙහි සිදුකරන ලදී. මෙම සුන්බුන් ඉවත් කිරීමේ දී පැරණි භාවිත කළ ද්‍රව්‍ය නැවත ගොඩනැගිලි සංරක්ෂණය සඳහා භාවිත කිරීමට හැකියාව පවතී. විශේෂයෙන් කොරල් පර, ලන්දේසීන් විසින් ආනයන කරන ලද ගඩොල් ආදිය දැක්විය හැකිය. සුන්බුන් ඉවත් කිරීමෙන් පසුව අදාල දේවස්ථාන ගොඩනැගිල්ලේ ආකෘතිය විමර්ශනයට ලක් කළ හැකිය. සුන්බුන් ඉවත් කිරීමෙන් පසු මෙහි ඇතැම් අත්තිවාරම් කොටස් වෙත ද යුදමය තත්ත්වය හේතුවෙන් බලපෑම් සිදුවී ඇති ආකාරය හඳුනාගැනීමට හැකිවිය. කෙසේවෙතත් සංස්කෘතික අනුපිළිවෙළ සොයාබැලීම සඳහා කතෝලික දේවස්ථාන ​ෙවත කැණීම දීර්ඝ කළ නමුදු පූර්ව යුරෝපීය යුගයට අයත් සංස්කෘතික සාධක හමු නොවීය. 

 

 

කෙසේ වෙතත් බන්ධනාගාර භූමිය අසල සිදුකළ පුරාවිද්‍යාත්මක කැණීම යාපන කොටුවේ සංස්කාතික ඉතිහාසය පිළිබඳ නව මානයක් එකතු කිරීමට සමත් වී ඇත. මීට වසර කිහිපයකට ඉහත දී මෙම ස්ථානය අසළ සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා වූ ඉදිකිරීමක් සඳහා පස් ඉවත් කිරීමේදී ඉන්දීය සාගරයේ වෙළඳාම් කටයුතු සිදුවූ අාකාරය තහවුරු කළ හැකි මැටි බඳුන් හමුව ඇත. කෙසේ වෙතත් ආරම්භ කරන ලද නව කැණීම මගින් ද අානයනය කරන ලද මැටි බඳුන් සොයාගැනීමට හැකි විය. විශේෂයෙන් සෙන්ටිමීටර් 60ක් පමණ ගැඹුරකින් වූ පස් ස්තරවලින් යුරෝපීය සබඳතා තහවුරු කරන මැටි වළං හමුවිය. එය යාපන කොටුවට අදාළ වාස්තුවිද්‍යා ඉදිකිරීම් සමඟ සමපාතබවක් පෙන්නුම් කරයි. මීට පහත වූ පස් ස්තර මගින් පූර්ව යුරෝපීය කාලයට අයිති පැරණි සාධක සොයාගැනීමට සමත් විය. 


පැරණි ජනපදිකයන් විසින් කුමන ආකාරයේ ක්‍රියාකාරකම් යාපන කොටුව තුළ සිදුකළාද යන සිද්ධිය පිළිබඳ චිත්‍රයක් සොයාගත් මැටි භාජන කැබලි අනුව ගෙනහැර දක්වයි. සංජානනාත්මක මැටි බඳුන් කැබලි රාශියක් රාශිභූතව පැවති ආකාරය සොයා ගැනිණි. ඒ අතර ක්‍රි.පූ. 1000 - ක්‍රි.ව. 1 කාලයට අයත් කාල - රක්ත මැටි බඳුන්, ක්‍රි.පූ. 500 ක්‍රි.ව. 200 කාලයට අයත් අළු පැහැති මැටි බඳුන් කැබලි, ක්‍රි.පූ. 200 - ක්‍රි.ව. 200 කාලයට අයත් රුලේටඩ් වළං කැබලිති, ක්‍රි.පූ. 100 - ක්‍රි.ව. 800 කාලයට අයත් ඔප දමන ලද රක්ත වර්ණ මැටි බඳුන් කැබලි, ක්‍රි.පූ. 200 - ක්‍රි.ව. 800 කාලයට අයත් සැස්සේනියන් ඉස්ලාමික මැටි බඳුන්, තවද නැගෙනහිර ආසියාව තුළ ක්‍රි.ව. 800-900 කාලය තුළ භාවිත වූ යූඒ වර්ගයට අයත් කොළ වර්ණ මැටි බඳුන් සහ ක්‍රි.ව. 1300-1600 කාලයට අයත් චීන පෝසිලේන් වර්ගය මේ අතරින් කැපී පෙනේ. මැටි බඳුන් අයත් කාලසීමාව මෙසේ වුවද ස්තර විද්‍යාත්මක කාලනීර්න ක්‍රම මගින් අදාළ සංස්කෘතික අවකාශයක තහවුරු කරගැනීම සඳහා කාබන් 14 පරීක්ෂණයට අදාළ නියැදි ලබාගෙන ඇත. මෙම මැටි භාජන යාපන කොටුව තුළින් සොයාගැනීම නිසා යටත්විජිත යුගයට පෙර සිට යාපනය කොටුව ආශ්‍රිත ප්‍රදේශයේ පැවති අන්තර්ජාතික වෙළඳ ක්‍රියාකාරීත්වයත් බටහිර සහ නැගෙනහිර ආසියා කලාපයට අයත්ව පැවති ඉන්දියන් සාගරයේ වෙළඳාම තුළ එය ඉසිලූ වැදගත්කම තහවුරු කරයි. 

 

 

මෙම කැණීම් කටයුතුවලදි උපයෝගී කරගත් තවත් විශේෂ විද්‍යාත්මක ක්‍රමයක් වන්නේ භූ විහිදුම් රේඩාර් ක්‍රමය අනුව මතුපිට පොළොවෙහි සමීක්ෂණ කටයුතු සිදුකිරීමයි. එමගින් මතුපිට පොළොවෙහි යට ඉපැරිණි වාස්තුවිද්‍යා ගොඩනැගිලි කීපයක සාක්ෂි වාර්තා වී ඇත. ඒවා විශේෂ වූ ලන්දෙසි යුගයට වඩා වෙනස් වූ වාස්තුවිද්‍යාත්මක සැලසුම් පෙන්නුම් කරයි. කෙසේවෙතත් එය තහවුරු කරගැනීමට ඉදිරියේදී පුරාවිද්‍යාත්මක කැණීම් සහ කාලනීර්ණ ක්‍රම යොදාගත යුතුව ඇත. මෙම සමීක්ෂණ කටයුතු නිසා භූමිය සංවර්ධන තත්ත්ව වලට යොමු නොකොට ආරක්ෂා කිරීම සඳහා පසුබිම ගොඩනගා ඇත. 


ලෝකයේ බොහෝ රටවල ඓතිහාසික වටිනාකමක් තිබෙන ස්ථානවලට යුද්ධය ස්වාභාවික ආපදා ආදී හේතු මත විවිධ බලපැම් සිදුවී ඇත. එයින් තෝරාගත් ස්ථාන කිහිපයක් යුද්ධය හෝ ස්වාභාවික ආපදා මගින් ඇති කළ හානිය පෙන්නුම් කිරීම සඳහා සංරක්ෂණය කර ඇත. මේ අතරින් දෙවන ලෝක යුද සමයේ පරමාණු බෝම්බයෙන් විනාශයට පත් වූ කූටාකාර ගොඩනැගිල්ල විශේෂ ස්ථානයක් ගනී. 1945 දෙවන ලෝක යුද සමයේදී ඇමරිකානු මැදිහත්වීම නිසා ජපානයේ හිරෝෂිමා නගරයට අයත් ගොඩනැගිලි රාශියක් විනාශයට පත්විය. 


යුද්ධය මගින් සිදුකළ බලපෑම මානව සංහිතය වෙත සිදුකළ බලපෑම Atomic Bomb Dome ලෙස හඳුන්වන ගොඩනැගිල්ලේ යුදමය බලපෑමට හසු වූ අංග සංරක්ෂණය කිරිමේදී පෙන්නුම් කිරීමට කටයුතු කෙරිණි. දෙවන ලෝක යුද සමයේදී ජපන් පුරවැසියන් 70,000ක් පමණ මියගිය බව සඳහන් වේ. ඔවුන් අනුස්මරණය කිරීම සඳහා සහ යුද්ධයේ ආදීනව සිහිපත් කිරීමට මෙම ගොඩනැගිල්ල සංරක්ෂණය කොට ඉදිරිපත් කර ඇත. එය ලෝක සාමය පෙන්නුම් කරන බලසම්පන්න සංකේතයක් ලෙස දැක්විය හැකිය. යාපන කොටුවේ මෙම කතෝලික දේවස්ථානය සඳහා යුද්ධයෙන් ඇතිවූ බලපෑම් පෙන්නුම් කිරීම සඳහා එය සංරක්ෂණය කිරීම පිළිබඳව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අවධානය යොමු වී ඇත. 


මෙම පුරාකෘති හමුවීමත් සමඟ ශ්‍රී ලංකාව බටහිර සහ නැගෙනහිර ආසියාතික, නැගෙනහිර අප්‍රිකානු, මධ්‍යධරණී, සහ දකුණු චින මුහුද ආශ්‍රිත රාජ්‍යයන් සමඟ පැවති සේද මාවත හරහා ගොඩනැගී තිබූ අන්තර්ජාතික වෙළඳාමෙහි කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකළ බව තහවුරු කරයි. එහිදී මෙම ප්‍රතිඵල මාන්තායි, තිස්සමහාරාම, අනුරාධපුර ආදි ස්ථාන සමඟ සැසදීම් කොට යාපන කොටුව තුළ ප්‍රාදේශීය දියුණුව පරීක්ෂා කිරීමට අවකාශය සපයා ඇත. විශේෂයෙන් මෙම මැටි බඳුන් එකතුව අනුව ලෝක ව්‍යාප්ත ඉතිහාස සාධක අන්තර්ජාතික වෙළෙඳාම තුළ යුරෝපීයයන් පැමිණීමට ​ෙපර ශ්‍රී ලංකාව සිදුකළ දායකත්වය තහවුරු කරයි.