IMG-LOGO

2025 පෙබරවාරි මස 14 වන සිකුරාදා


මියගිය නැන්දම්මා භූතයෙක් වෙලා ගෙදර ඇවිත්

 

මාතලේ ප්‍රදේශයේ නිවසක අද්භූත සිදුවීම් මාලාවක් මාස දෙකක පමණ කාලයක් තිස්සේ සිදුවන බවට ලැබුණු තොරතුරක් මත අප එම නිවස සොයා ගියේ ඒ ගැන සොයා බැලීමටය.


මේ තොරතුරු ලැබී තිබුණේ මාතලේ මහ රෝහලේ වෛද්‍ය සමින්ද ජයරත්න මහතාටය.


මෙම නිවසේ සිදුවනවා යැයි පැවැසෙන මෙම අද්භූත සිදුවීම් ගැන සොයා බැලීමට ගිය ගමනට වෛද්‍ය ජයරත්න, වෛද්‍ය සෙනරත් වේරගම, විශ්‍රාමික මේජර් බර්ටි පෙරේරා සහ මාතලේ නිදහස් චින්තකයින්ගේ සංගමයේ සාමාජික ධම්මික විජේසූරිය යන මහත්වරු සහභාගි වූහ.


වෛද්‍ය වේරගම සහ වෛද්‍ය ජයරත්න යන මහත්වරුන් අද්භූත යැයි සමහරු පවසන මෙවැනි සිදුවීම් ගැන කාලයක් තිස්සේ සිට පර්යේෂණ කර එහි සත්‍යතාවය පහදාදීමේ නිරතව සිටින විද්වතුන් දෙදෙනෙකි. 


අල්මාරියේ දමා ඇති ඇඳුම් වැටේ එල්ලා ඇති ඇඳුම් පැළඳුම් ගිනිගෙන පිළිස්සීම, පිඟන් වීදුරු පාවී යාම, බත් මුට්ටියට කෑම බෙදා ඇති පිඟන්වලට වැලි වැටීම, නිවසේ සවිකර තිබෙන විදුලි බුබුළු හිටි හැටියේ ගැලවී බිම පතිතවීම, පත්තුකර ඇති පොල්තෙල් පහන් එක්වරම පාවීයාම සහ නිවසට ගල් මුල් ගැසීම වැනි එකවර අදහාගත නොහැකි අද්භූත සිදුවීම් මාස දෙකක පමණ කාලයක් පටන් සිදුවන බව අපට කිව්වේ එම නිවසේ අයිතිකරු ය.


අද්භූත සිදුවීම් ඇතිවන බව කියන මේ නිවස පිහිටා ඇත්තේ මාතලේ අලුත් පාරේය.


නිවෙස් හිමියා ඔහුගේ බිරිඳ හා බාලවයස්කාර ඔවුන්ගේ දියණිය මේ නිවසේ පදිංචිව සිටිති.


“මම කුලී වැඩ කරල කීයක් හරි හොයාගෙන තමා බිරිඳ හා දරුවා ජීවත් කරන්නේ. දුව ඉස්කෝලේ යනවා. ගෙදර තිබුණ ඇඳුම් පැළඳුම් සේරම පිච්චිලා. දැන් අපට තියෙන්නේ මේ ඇඳගෙන ඉන්න ඇඳුම් විතරයි. අනිත් ඒවා සේරම පිච්චිලා. ගෙදර තියන පුටු පවා ගිනිගෙන පිළිස්සෙනවා. ගෙදර බත් උයන්න බැහැ. බත් මුට්ටියට වැලි වැටෙනවා. භූමිතෙල් පවා බත් මුට්ටියට දාලා තිබුණ වෙලාවල් තිබුණා. තේ ටිකක් ගෙදර හදාගෙන බොන්න ක්‍රමයක් නැහැ. වතුර උණු කරන කේතලය ලිපේ තියෙද්දි පෙරළෙනවා. සමහරදාකට කේතලය ළිපේ තියලා වතුර උණු කරද්දි කේතලයට මිරිස් කුඩු හරි කහ කුඩු හරි දාලා. මාස 2ක් විතර තිස්සේ ඉඳලා ගෙදර උයන්නේ නැහැ. තේ හදාගෙන බොන්නේ නැහැ. අහළ පහළ ඉන්න මහත්තුරු නෝනලා තමා අපි තුන් දෙනාට කන්න බොන්න දෙන්නේ. ඒ ගොල්ලෝ නොහිටින්න අපි කන්න බොන්න නැතිව මැරිලා මහත්තයෝ”


අප ගෙට ගොඩවුණ ගමන්ම ගෙදර අයිතිකාරයා කියාගෙන ගියේය.


භූතයා සමහර දවස්වලට ගේ ඇතුළේ මුත්‍රාකර යන බවද ඔහු කීය. ඇඳුමක් පැළඳුමක් නැහැ. ඇඳිවත විතරයි ඉතිරිවෙලා තියෙන්නේ. ගෙදර තිබුණ බඩු මුට්ටු පොළොවේ ගහලා. පිඟන් ටික පොළවේ ගහලා. මම බොරු නෙවේ කියන්නේ. මේ බලන්න කැබිනට් එකේ වීදුරු පිඟන් ගොඩක් තිබුණා. නමුත් ඒවා එකක්වත් නැහැ. බිඳිලා ගිහින් යැයි කියමින් නිවෙස් හිමියා අපව කැබිනට් එක ළඟට කැඳවාගෙන ගොස් පෙන්නුවේය. මේ ප්‍රශ්නය නිසා අපි හොඳටම අසරණ වෙලා යැයි ද ඔහු අප සමඟ කීය.


මේ වගේ දේවල් අද්භූත අදහාගත නොහැකි දේවල් සිද්ධවෙන්නේ ඇයිද කියන එක ගැනද ඔහු අප සමග පැහැදිලි කළේය.


මුලින්ම රෑට ගල් දෙක තුන ගෙට වැටෙන්න පටන් ගත්තා. ගහන කෙනෙක් හොයා ගන්න බැහැ. ඊට පස්සේ තමා අනෙක් දේවල් සිද්ධ වෙන්න පටන් ගත්තේ. අපි දේවාල කිහිපයකට ගියා. කපුවන් කිව්වේ භූත දෝෂයක් නිසා මේවා වෙනවා කියා. මගේ අම්මා මීට අවුරුදු 4 1/2කට විතර කලින් මියගියා අම්මාගේ භූත අවතාරය මේ වගේ දේවල් කරනවා කියා සමහර කපුවන් කිව්වා. තවත් කපුවෙක් කිව්වේ භූත බලපෑමක් නිසා නෙවේ කවුරු හරි ගෙදරට බන්ධනයක් කරලා ඒකෙ බලපෑමට වෙනවා කියා කිව්වා. තවත් කෙනෙක් ගෙදරට ඇවිත් පරීක්ෂා කර බැලුවා. එයා කිව්වේ ගෙදර හදද්දි දෝෂ තියනවා. ඒ නිසා තමා මේ සේරම කරදර කියා. දොර ජනෙල් හා උළුවහු කිහිපයක් ගලවා ඉවත් කරලා දැම්මාම මේ සේරම ප්‍රශ්න ඉවරයි කියා. ගෙදරට ලොකු ආරක්ෂාවක් දාන්න ඕනෑ කියාත් ඔහු කිව්වා.


දැන් මහත්තයෝ එක එක්කෙනා එක එක දේවල් කියනවා. මට තේරෙන්නේ නැහැ මොනවා කරන්නද කියලා. මට ඕවට වියදම් කරන්න සල්ලිත් නැහැ. මම කුලී වැඩ කරලා ජීවත්වෙන කෙනෙක්. කොහොම වුණත් මේ ප්‍රශ්නෙ හින්දා අපි හොඳටම අසරණවෙලා. මහත්තයලා අපේ ගෙදරට ආපු එක හොඳයි. කොහොම හරි මේ ප්‍රශ්නෙ විසඳලා දෙන්න. පිං සිද්ධවෙයි කියා නිවසේ හිමිකරු අපත් සමග කියා සිටියේ බලාපොරොත්තු සහගතවය. 


වෛද්‍යවරුන් දෙදෙනෙක් භූතයෙක් සැරිසරන බව කියන නිවසට ඒ ගැන සොයා බැලීමට ආ බව ආරංචි වී අසල්වාසින් පිරිසක්ද පැමිණියේ ඇත්තෙන්ම සිද්ධවෙන්නේ මොකක්ද කියන එක ගැන දැන ගැනීමටය.


නිවසේ සිදුවනවා යැයි කියන අද්භූත සිදුවීම් නිසා තමන්ද ඉමහත් සේ බියට පත්ව සිටින බව අසල්වාසින් වෛද්‍යවරුන් දෙදෙනා සමග කියා සිටියේ මොකක් හරි කරලා මේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමිනි.


“ඇත්තටම කියනවා නම් මේ මොකද වෙන්නේ කියා අපිට හිතාගන්නවත් බැහැ. උන්නු ගමන් පිඟන් කෝප්ප පාවෙලා යනවා. පුටු ගිනි ගන්නවා. පොල් තෙල් පහනක් පත්තු කරලා තිබ්බොත් ඒක පාවෙලා ගිහින් බිම වැටෙනවා. මේ හින්දා අපිත් හොඳටම බයවෙලා ඉන්නේ” යැයි එම පිරිස වෛද්‍යවරුන් දෙදෙනා සමග පැවැසූහ.


නිවසේ අයිතිකරු වෛද්‍යවරුන් දෙදෙනා සමග තව දුරටත් මේ ගැන කරුණු කාරණා හෙළි කරමින් මෙසේ පැවැසීය. 


“මම දවසක් පහළ ගෙදර මහත්තයලාගේ වත්ත සුද්ධ කර කර සිටියේ. බිරිඳ එක පාරටම ඉක්මනට දුවලා එන්න ගෙයි ඇතුළේ මොකක්දෝ ගිනි ගන්නවා කියා කෑ ගැසුවා. එතකොට දුව ඉස්කෝලේ ගිහින් හිටියේ. මම කර කර හිටිය වැඬේ නවත්තලා ගෙදරට දිව්වා. මම ගිහින් බලද්දි සාලයේ තිබුණ ප්ලාස්ටික් පුටුවක් පිළිස්සෙනවා. මම ඉක්මනට වතුර ගහලා ගින්න නිවා දැමුවා”
පිළිස්සී ගිය පුටුවක්ද ඔහු අපට පෙන්වීය. 


ඇඳුම් පැළඳුම් එල්ලා තිබූ ස්ථාන ද ඔහු අපට පෙන්වා සිටි අතර ඇඳුම් එල්ලා තැබූ ඒ තැන්වල බිත්ති කළු පැහැ ගැන්වී තිබෙන අයුරු අපට දැක ගැනීමට ලැබිණි.


බිත්තියේ ඇඳුම් එල්ලීමට ඇණ ගසා සවිකර ඒවා එල්ලා තිබූ ඇඳුම් පැළඳුම්වලටද භූතයා ගිනි තබා ඇති බව ගෙදර අයිතිකාරයා අපත් සමග කියා සිටියේ බියමුසු හැඟීමෙනි.


“ඇඳුම් ඇඳගෙන ඉද්දි එහෙම කවමදාවත් ඒ ඇඳුම් එක පාරටම ගිනි අරන් පිච්චිලා නැත්ද?” ඒ වෛද්‍යවරුන් දෙදෙනා නැගූ ප්‍රශ්නයකි.


“නැහැ, කවමදාවත් මේ වෙනකම් මමයි බිරිඳයි දුවයි ඇඳගෙන හිටිය ඇඳුම් භූතයා පිළිස්සුවේ නැහැ. ගලවලා දාලා තියන ඇඳුම් තමා භූතයා පුච්චන්නේ” 


වෛද්‍යවරුන් ඇසූ ප්‍රශ්නයට නිවෙස් හිමියා දුන්නේ එහෙම පිළිතුරකි.


“බිරිඳ ගෙයි ඇතුළේ තනියම ඉන්නකොට තමා මේ හැම දෙයක්ම වෙන්නේ. එයා ගෙයින් පිට ඉන්නකොටත් මේවා වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවේ බිරිඳ මාත් එක්ක ගෙයි ඇතුළේ ඉන්නකොටත් මේ වගේ දේවල් වෙන්නේ නැහැ” යැයි නිවෙස් හිමියා කියා සිටියේ වෛද්‍යවරුන් දෙදෙනා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය.


මාස දෙකක් තිස්සේ මේ ගෙදර අද්භූත දේවල් කරන භූතයා කවුරුන්ද කියන එකට අපිට කදිම හෝඩුවාවක් අපට ගෙදර අයිතිකාරයාගෙන් දැන ගැනීමට ලැබුණා යැයි වෛද්‍යවරු දෙදෙනා පැවැසූහ.


“ඔව් මටත් හිතාගන්න පුළුවන් භූතයා කවුද කියන එක” යැයි අපිත් සමග මේ ගවේෂණයට එක්ව සිටි විශ්‍රාමික මේජර් බර්ටි පෙරේරා මහතා ද කියා සිටියේය.


අසල්වැසි කාන්තාවක් අප සමග මෙසේ කීවාය.


ඇය රජයේ රැකියාවක නිරතව සිටින තැනැත්තියක් වන්නීය.


“මේ ගෙදර අයට බත් උයන්න බැරි නිසා මම බත් උයලා මේ ගොල්ලන්ට දෙන්න අරගෙන ආවා. ඒ ගෙදර ඉන්න අක්කා එයාගේ දුවට පිඟානකට බත් බෙදලා දුන්නා. දරුවා බත් කටක් කටට දාගන්නවත් එක්කම කිව්වා බත් කන්න බැහැ වැලි තියනවා කියා. මට අදහාගන්න බැරිව ගියා. බත් එකේ වැලි. මමත් හොඳටම බය වුණා. අන්න ඒ නිසා තමා මම මේ භූත කතාව විශ්වාස කරන්නේ”
අප එහි ගිය පසු භූත කරදරයක් තිබෙන බව කියන නිවසට රොක්වූ පිරිස් කියා සිටියේ මේවා සිදුවන්නේ මිය ගිය කෙනෙකුගේ බලපෑමක් නිසා බව ය.


මේ පවුලේ අයගේ ඥාති සහෝදරයෙක්ද පුන පුනා කියා සිටියේ මේවා සියල්ල භූතයකුගේ ක්‍රියා යැයි කියාය.


“ගෙදරට ගල් වැදුන නිසා මමයි තව යහළුවෙකුයි වහලයට නැගලා එළිවෙනකම් හිටියා. වෙන කවුරු හරි කෙනෙක් කරන දෙයක්ද කියා බලන්න. අපි දෙන්නා වහලයට නැගලා ඉද්දිත් මහ රෑ ගල් දෙක තුනක් වහලයට වැදුණා. අන්න ඒ නිසා තමා මේක භූතයකුගේ වැඩක් කියා මම විශ්වාස කරන්නේ”


ඒ තරුණයා අප සමග කියාගෙන ගියේ බිය මුසු හැඟීමෙනි. 


වෛද්‍ය සමින්ද මහතා මීට කලින් වතාවකද නිවසට විස්තර සොයා බැලීමට ගොස් තිබිණි.


“මහත්තයා එන්න ටික වෙලාවකට කලින් අපේ නෝනට භූතයා ගලකින් ගසා තිබුණා. එයා කොන්ද අල්ලාගෙන ගල් පාරක් මගේ කොන්දට වැදුණා ඉවසන්න බැහැ වේදනාව කියා ඇය හැඬුවා. ගල් පාර වදිනවා අපි කවුරුත් දැක්කේ නැහැ” කියමින් නිවසේ හිමිකරු භූතයා දමා ගැසුවා යැයි කියන තරමක ලොකු ගල් කැටයක් පෙන්වා සිටියේය.


වෛද්‍ය සමින්ද ජයරත්න මහතා ඇයට ගල වැදුනා යැයි පැවැසුනු ස්ථානය සියුම් ලෙස පරීක්ෂාකර බැලීමේදී එවැනි ගල් පහරක් ඇයගේ කොන්ද ප්‍රදේශයට වැදී නොමැති බව පෙනී ගොස් ඇත.


ඒ බව පසුව වෛද්‍යවරයා අප සමග කියා සිටියේය. 


වෛද්‍යවරුන් දෙදෙනා යළිත් වරක් නිවසේ අයිතිකරු සමග කතා බහ කළේ වැඩි විස්තර දැන ගැනීමේ අපේක්ෂාවෙනි.
“බිරිඳ මේ ගෙදර ඉන්න කැමැති නැහැ. දැන් ටික කාලයක ඉඳලා මේවා විකුණා දමා එයාලාගේ මහගෙදරට යමු කියා මට නිතරම ඇවිටිලි කරනවා. එයාගේ අක්කා කෙනෙක් දවසක් අපේ ගෙදර ආපු වේලාවේ බිරිඳ එක්ක නංගියේ මේ ගෙදරයි ඉඩමයි කාටහරි විකුණලා දාලා අපේ මහ ගෙදර වරෙන් කියා කියනවා මටත් ඇසුණා” යැයි නිවෙස් හිමියා වෛද්‍යවරුන් සමග පැවැසීය.
නිවසේ අයිතිකරුගේ බිරිඳ සමගද වෛද්‍යවරු කතාබස් කර විස්තර විමසා සිටීමට අමතක නොකළහ.


“මගේ නැන්දම්මා මීට අවුරුදු 4 1/2කට විතර කලින් මියගියා. මම නම් හරියට කියන්න දන්නේ නැහැ. දේවාලවලට ගියාම සමහර කපු මහත්වරුන් තමා කිව්වේ මගේ මියගිය නැන්දම්මා භූතයෙක් වෙලා ඇවිත් මේ වගේ දේවල් කරනවා කියා” ඇය වෛද්‍යවරුන් සමග කියා සිටියාය.


මේ කාන්තාව සමග වෛද්‍යවරු සෑහෙන වේලාවක් කතා බස් කරමින් විස්තර විමසා සිටියහ.


මේ සියලුම දේවල් අනිවාර්යයෙන්ම මිනිස් ක්‍රියාකාරිත්වයක ප්‍රතිඵලයක් බව අවධාරණය කරන්න කැමැතියි. මේවා මාස දෙකක කාලයක් තිස්සේ සිදුකරන්නේ කවුද කියන එක අපි පැහැදිලිවම සොයා ගත්තා. මෙය මියගිය කෙනෙක් භූතයෙක් වෙලා ඇවිත් කරන දෙයක් නෙමේ. මියගිය කිසිම කෙනෙක් භූතයෝ වෙලා එන්නේ නැහැ.


වෛද්‍යවරුන් දෙදෙනා රැස්ව සිටි පිරිසට පැහැදිලි කර දුන්නේ ඔවුන්ගේ සිත්සතන්වල පැවැති සැක සංකා සහ බිය තුරන් කිරීමේ අරමුණු ඇතිවය.


මෙම නිවසේ ඇතිවන සිදුවීම් මාලාව අද්භූත බලවේගයක් හෝ භූත බලවේගයක් හෝ නිසා සිදුවන්නක් නොවන බව අප කළ සොයා බැලීම්වලදී සාධක සහිතව සොයා ගත්තා. මේ සියල්ලක්ම මෙතෙක් කල් සිදුකර ඇත්තේ මේ ගෙදර සිටින කාන්තාවයි.
යම් අයෙක් මෙවැනි දේවල් සිදුකරන්නේ ඇයි දැයි කියන එක විමසා බැලීමේදී හේතු දෙකක් තිබෙනවා. එක් හේතුවක් නම් පවුලේ සාමාජිකයන්ගේ සහ අසල්වාසීන්ගේ අවධානය ලබාගැනීමට සචේතනිකව සිදු කරන දේවල්ය. අනෙක් සාධකය වනුයේ ගෘහ ජීවිතයේ සහ සමාජයේ තමන්ට සිදුවන ගැටලුකාරි තත්ත්වයන්වලින් මිදීමට මෙවැනි දේවල් සිදුකරන බවය. මේ නිවසේ සිටින කාන්තාවට ඇතිවී ඇති කිසියම් මානසික ගැටළුවක් මත මෙවැනි දේවල් සචේතනිකව සිදු කරනවා. ඇය මෙවැනි දේවල් කරන්නේ කාවත් අනතුරට දමන්න හෝ රවටන්න නොවේ. ඔවුන් දැනට පදිංචිව සිටින ප්‍රදේශයෙන් ඉවත්ව යාමට දරන අහිංසක ප්‍රයත්නයක්. කවුරුත් ඇයට අනුකම්පා කළ යුතුයි. කිසිම කෙනෙක් ඇයගේ හිතට වැරැදි අදහස් දමන්න කිසිසේත්ම හොඳ නැහැ යැයි ගවේෂණය අවසානයේ වෛද්‍ය සමින්ද ජයරත්න මහතා කියා සිටියේය.


මෙම කාන්තාවට අවශ්‍ය උපදේශනයක් ලබාදීමට මාතලේ මහ රෝහලේ මානසික උපදේශන සේවයට කැඳවාගෙන එන ලෙස වෛද්‍යවරයා ඇයගේ සැමියාට උපදෙස් දුන්නේය.


මෙවැනි අද්භූත සිදුවීම් ගැන දැනුම් දුන්නොත් ඒවායේ ඇති සත්‍ය අසත්‍යතාවය ගැන සොයා බැලීමට පැමිණීමට සූදානම් බව වෛද්‍යවරු දෙදෙනා පවසති.


මේ කටයුත්ත සඳහා කිසිදු මුදලක් අය නොකරන බවද වෛද්‍යවරු දෙදෙනා පෙන්වා දුන්හ.

සටහන - ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ඡායාරූප - බර්ටි පෙරේරා



අදහස් (4)

මියගිය නැන්දම්මා භූතයෙක් වෙලා ගෙදර ඇවිත්

saman Thursday, 27 April 2017 08:03 PM

වෛද්‍යතුමන්ලාගේ විෂය පිළිබඳව තිබෙන විශේෂඥ දැනුමට ගරු කරමි, ප්‍රණාමය පුදකරමි එවගේම අභියෝගයටද ලක්නොකරමි.මම හිතන හැටියට මෙතුමන් සියළු දෙන බද්ධ වියයුතුයි, අන්‍යාගමිකනම් මාගේ ප්‍රකාශය නොසලකා හරින්න. ඔබතුමන්ලා සෙසු බාහිර විෂයන් ඉගෙන ගන්නවා වගේම තම ආගමත් ඉගෙන ගන්න. ඔබතුමන්ලා නොදන්නවා වුනාට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ යම්තරමක් යුධ කෝලාහල නිසා අනතුරු, විපත් වලට ලක්වෙනවාද, භාර්යාවන්ට සැමියන් අහිමි වනවාද, ස්වාමියන්ට භාර්යාවන්, දරුවන් ඥාතීන් , හිතෛශීන්, දෙමාපියනට දරුවන්, දරුවන්ට දෙමාපියන් අහිමිවෙනවාද ඒ හා සමාන පිරිසක් මේ ලෝකයේ මිනිසුන්ට අමනුෂ්‍ය බලපෑම නිසා , අමනුෂ්‍ය උවදුරු නිසා ආබාධවලට ලක්වෙන්න සිදුවෙනවා, පූර්ණ අකර්මණ්‍යතාවයට ලක්වෙනවා, විශාල වශයෙන් ජීවිත හානි සිදුවෙනවාය කියා. ඒවා සිදුවන්නේ ඉතාමත්ම සූක්ෂම විදිහට මේවා අහන්න දකින්න අපගේ ඉන්ද්‍රියයන් දියුණු නැහැ, නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ආකාරයට හිත දියුණු කරපු උතුමන්ට දකින්න පුළුවන්. දක්ෂ යකැදුරනට මන්තර බලයෙන් යම් ප්‍රමාණයකට දැනගන්න පුළුවන්. මනෝ විද්‍යාව ඇතැම් අයගේ ඇතැම් මානසික රෝග සුවකරන්න සමත්. නමුත් හොයන්න,විමසන්න මානසික රෝග සහ අමනුෂ්‍ය

:       0       8

saman Friday, 28 April 2017 08:10 AM

නමුත් හොයන්න, විමසන්න මානසික රෝග සහ අමනුෂ්‍ය රෝග කියන්නේ දෙකක්. අපේ රටේ ඉතාමත් දක්ෂ මනෝ වෛද්‍යවරයෙක් සිටියා මේ වනවිට ජීවතුන් අතර නැති නිසා නම නොකියමි. අපි හැමෝම එතුමාගේ දක්ෂභාවයට ගරුකළා. නමුත් එතුමා පවා පටලවාගෙන සිටියා මේ මානසික රෝග සහ අමනුෂ්‍ය රෝග කියන්නෙ එකක්ය කියලා. ඔබතුමන්ලාට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළදෙය තහවුරු කරගන්න ඔබතුමන්ලා ගොඩාක් විශ්වාස කරණ බටහිරින් නිදසුනක් දෙන්නම්. එඩ්ගා කේසී කියන්නේ අසාමාන්‍ය බුද්ධි මහිමයක් පැවැති කෙනෙක් සසරේ පිනකට දියුණු හිතක් තිබුණු කෙනෙක්. මෙයාට හැකියාවක් තිබුණා කෙනෙකුගේ ආත්ම භාව ගණනාවක් පසුපසට බලන්න. ඒ හැකියාව තුලින් එතුමා තහවුරු කරලා පෙන්වනවා පෙර අසවල් ආත්මභාවයේදී අසවල් ආකාරයේ අයහපත් දෙයක් කරලා තිබෙනවා එහි ප්‍රතිඵලයක් ලෙස තමා මේ ආකාරයෙන් මේ ආත්මභාවයේ අනිටු විපාකයක් විඳින්නේ කියලා. ඔබතුමන්ලා දන්නවානේ හිරු නොබසින අධිරාජ්යයේ රාජමාළිගාව බකිංහැම් මාළිගාවෙත් ඔයවගේ අමනුෂ්‍ය බලපෑම් තිබුණා ඒ මියගිය රජවරුන්ගේ භූත ආත්මවල බලපෑමෙන් බව එඩ්ගා කේසී පෙන්වා දුන්නා. පසුකාලයේදි අපගේ ස්වාමීන්වහන්සේලා ගෙන්වලා පිරිත් සජ්ජායනය කරවලාගෙන එයින් අත්මිදී තිබෙනවා.

:       0       6

saman Friday, 28 April 2017 09:48 AM

ඔබතුමන්ලාට ගොඩාක් වැදගත්වෙවි අන්තර්ජාලයෙන් එඩ්ගා කේසි පිළිබඳව සොයා බලන්න. එවගේම භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනය විෂේශයෙන්ම අමනුෂ්‍ය උපද්‍රව පිළිබඳව ගෞරවණීය බලංගොඩ ආනන්ද මෛත්රීය මහා ස්වාමීන්වහන්සේගේ, අතිපූජ්ණීය බෙල්ලන ඥානවිමල මහා ස්වාමීන්වහන්සේගේ, පූජණීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ වටිනා ග්‍රන්ථ රත්නයන් තිබෙනවා පරිශීලනය කර බලන්න. තව අවශ්‍ය තරම් දේශනා අන්තර්ජාලයේ තිබෙනවා හැකිනම් ශ්‍රවණය කරන්න.

:       0       7

ජේ. ඒ. අයි. විජිතලතා Saturday, 29 April 2017 11:13 AM

මට දැන ගැනීමට අවශ්‍යයි මගේ මවත් හිටපු ගමන් වෙව්ලන්නට පටන් ගන්නවා, කොන්ද කැක්කුම් එනවාලු, අතක් කැක්කුම් එනවාලු, ඊට පස්සෙ මහා හයියෙන් අඬලා හිනාවෙනවා.ඇයි එහෙම වෙන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

තක්සලාව

පළමු වතාවට ඇන්ටාක්ටිකාවේ උසම කන්ද තරණය කළ ශ්‍රී ලාංකිකයා
2025 පෙබරවාරි මස 11 22 0

ඇන්ටාක්ටිකාව තරණය කිරීම යනු ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. ඒත් හිමාලය තරණය කළ ඔහුට එය තවත් අභියෝගයක් පමණක් වුණි.


සොබාදහමට ආදරය කරද්දී අපේ ජීවිතවල ආතතිය අඩු වෙනවා
2025 පෙබරවාරි මස 11 23 0

හුදකලාව සොබාදහම විඳින්න කැමති බොහෝ දෙනා අතරේ තමන්ගේ ළබැඳි සමීපතමයන් සමගින් ඒ හෝරාවන් බෙදාහදා ගන්නට කැමති වූ ඔහු - අද සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය සංචාරකයන


දකුණට ආවොත් යන්නම ඕනැ නිල්වැල්ලේ නිල් දුපත
2025 පෙබරවාරි මස 10 66 0

කුණු වෙරළ තීරයේ පිහිටි සුන්දර වෙරළ තීරයන් අතුරින් Blue Beach Island නිල්වැල්ල වෙරළ තීරයට හිමිවන්නේ සුවිශේෂි තැනකි.


කඳු නගින්න කෑම්පින් කරන්න කැමතිද ? එහෙනම් මේ කතාව ඔබට ...
2025 පෙබරවාරි මස 10 27 0

නිවර්තන පාරාදීසයක් වන ශ්‍රී ලංකාවේ දර්ශනීය කඳුහෙල් මෙන්ම, විශ්මය ජනක ගිරිශිඛර කන්දක් මුදුනට ළඟා වීමත්, ඒ අතරතුර කඳවුරු ගසා ගෙවන රාත්‍රීන් ද ජීවිතයේ ලබ


චීනයේ සිච්කෝ පැරණි පන්නයේ ගල් ඇති රූ වීදි දිගේ දවසක්
2025 පෙබරවාරි මස 10 22 0

චීන ජනතාව අතර පවතින මතයක් වන්නේ - චීනයේ චොන්ග් චිං නගරයේ සිටිමින් සිචිකොව් (Ciqikou) නගරය වෙත නොයන්නේ නම්, අදාළ අය චොන්ග් චිං වෙත පැමිණීමෙන් පලක් නැතිය යන්නයි


ලෝකයේ පළමු පාලි - සංස්කෘත හා සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානය බිහිවූ හැටි
2025 පෙබරවාරි මස 07 31 0

“මම පුංචි මිනිහෙක් මම ඒක කරන්නේ කොහොමද” උන්වහන්සේගෙන් මම විමසුවා.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 168 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 131 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 920 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site