පසුතැවිල්ල

(වැරදි කළ අයගේ පශ්චාත්තාපය)

ජීවිතය වනාහී විග්‍රහ කොට ලිවිය හැකි පොතක පරිච්ඡේදයක් නොවන්නේය. අකුරු එකිනෙක ගලපමින් අරඹන ජීවිත පොතක කතාව කොතැනින් කෙළවර කළ හැකි දැයි කාටනම් කිව හැකිද? ආදරය, සෙනෙහස, දයාව, කරුණාවෙන් සුසැදි ඒ ජීවිත කතාන්දරය තුළට වෛරය, ක්‍රෝධය, පළිගැනීම වැනි හැඟීම් ජනිතවෙන්නේ කවර මොහොතකදැයි සිතීමට බැරිය.  


අපේ ජීවිතය යනු අපේ සිතුවිලිය යනුවෙන් මහා දාර්ශනික මාකස් අවුරලියස් සඳහන් කොට ඇත. සිතුවිලි මතින් ඇරැඹි ඒ ජීවිත කතාන්දරය අවසානයේ ඛේදාන්තයක් නම්?  


වැලිකඩ මහ උළුගෙදර තුළ ප්‍රබල චරිතයක් වුණු නිමල් මාමා ගේ ජීවිත පොතේ කතාන්දරය ද එවැන්නකි.  


කොහොමද නිමල් මාමා?  


බැලූ බැල්මට සිල්වත් පෙනුමකින් යුතු ඔහු සිනාමුසු මුහුණකින් යුතුව මට පිළිතුරු දුන්නේය.  


හොඳින් ඉන්නවා මිස්. බොහොම හොඳින් ඉන්නවා.  


නිමල් මාමාට මෙහේ ඉන්න කවුරුත් ආදරෙයි වගේ?  


අපොයි ඔව්. මෙහේ ඉන්න හැමෝම මට ආදරෙයි. කට පුරා නිමල් මාමා කියලයි කතා කරන්නේ. අවසර ගෙන මා අසල තිබූ බංකුවෙන් හිඳගනිමින් ඔහු කීවේය.  


දැනට වයස අවුරුදු 56 ක් වූ ඔහු 2007 වර්ෂයේදී වැලිකඩ බන්ධනාගාරය වෙත එන්නේ, මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වූ චෝදනාවට මරණීය දණ්ඩනය නියම වෙමිනි. මේ වෙන විට වසර 12 ක කාලයක් වැලිකඩ මහ උළුගෙදර දිවිගෙවමින් සිටින හෙතෙම, තම ජීවිත අන්දරය මා වෙත ඉදිරිපත් කරනු ලැබුවේ සිත තුළ උපන් පහන් සංවේගයකින් යැයි මට සිතුණි.  


මට කුරුණෑගල මහාධිකරණයෙන් තමයි මේ දඬුවම නියම වුණේ. මගේ ගම පොතුහැර. මගේ පවුලේ මාත් එක්ක සහෝදර සහෝදරියෝ අටක් හිටියා. තාත්තට තිබුණා ස්වර්ණාභරණ අලෙවිසලක්. දැන් වගේ බිස්නස් ඒ කාලේ තිබුණේ නෑ. ඒත් අපි නොකා නොබී ඉඳලා නෑ. ආර්ථික ප්‍රශ්න නම් ගොඩක් තිබුණා.  


නොපෙනෙන ඈතක නෙත රැඳවූ ඔහු අවුරුදු පනහක පමණ අතීතයකට ගියේය. තමන්ට වැලිකඩ මහ උළුගෙදර සදාතනික නිවහන ලෙසට නම්වීමට මුල පිරූ ඒ සිදුවීම පිළිබඳව හෙතෙම සිය මතකය අවදි කළේය.  
අපේ වත්තට අල්ලපු වත්තේ සයිඩර් විකුණුවා. ඒ කියන්නේ දැං භාෂාවෙන් නම් කසිප්පු. ඒවා විකුණුවේ අපේම ඥාති කෙනෙක් වෙච්චි හීන්අප්පු මාමා.  


දිනපතා සවස් යාමය වෙන විට මත්පැනට ලොල් වූ ගමේ පිරිස හීන් අප්පුගේ නිවස වටා රොක්වෙන්නේ සවුදිය පිරීම සඳහාය. ටිකෙන් ටික රාත්‍රිය ළඟාවෙන විට ඒ පැත්තෙන් ඇසෙන අසැබි වදන් සහ නොහොබිනා කතාන්දරවලට නිමල්ගේ මෑණියන් සිටියේ දැඩි කෝපයෙනි. එවන් එක්තරා දිනෙක ඇය හීන්අප්පුගේ ඉඩම මායිම වෙත යන්නේ ඉවසා දරාගත නොහැකි වූ තැනය.  


මොන කරුමයක්ද මේ. ඔතන ඕක කරන්නේ නැතුව වෙන තැනකට අරගෙන පලයංකෝ. මට ගෑනු දරුවෝ ඉන්නවා. ඊට මදිවට මගේ කොල්ලෝ තුන්දෙනා හදාගන්න ඕනෑ. අද ඉවර වෙයි, හෙට ඉවර වෙයි කියලා හිතුවා. කුණුහරුප අහගෙන අපි කොහොමද ඉන්නේ?  


එහෙත්, හීන්අප්පු ද ඒ වෙනවිට මත්වතුර යහමින් සප්පායම්ව සිටියේය. තම ව්‍යාපාරයට අකුල් හෙළන ඇය පිළිබඳව හීන්අප්පු දුටුවේ යක්ෂණියක ලෙසිනි. ඔහු දන්නා හැම පරුෂ වචනයකින්ම ඇයට සංග්‍රහ කළේය. ඔහුගේ තනි නොතනියට රැස්ව සිටි කිහිප දෙනෙක්ද එක්කාසු වූහ.  


​ෙම් කාලගෝට්ටිය කුමක්දැයි බැලීමට මිදුලේ සෙල්ලම් කරමින් සිටි නිමල් ද ආවේය. ඒ වන විට පාසලේ හත් වැනි ශ්‍රේණියේ ඉගෙන ගනිමින් සිටි නිමල්ට මේ බණින්නේ අපේ අම්මාට නොවේදැයි තේරුම් ගැනීමට අපහසු වූයේ නැත. දුව ගොස් අම්මාගේ චීත්ත රෙද්දේ එල්ලුණද තමන්ට අම්මා වෙනුවෙන් කළ හැක්කක් තිබේදැයි ඔහු කල්පනා කළේය. ගෝරණාඩුව අවසන් වෙන්නේද නැත. බීමත් පිරිස අම්මාට කැත වචනයෙන් බැණ වදී. වහා බිමට පාත්වූ නිමල් අතට අසුවන ගල්කැට වලින් හීන්අප්පු මාමා දෙසට දමා ගසන්නට වූයේය. වහා ක්‍රියාත්මක වූ නිමල්ගේ මෑණියන් තම පුතු වළක්වමින් ඔහු බදාගත්තාය.  


මේ බලපං, කවදා හරි මේ ළමයි ලොකු වෙනවා. එතකොට මතක තියාගනින් උඹට වෙන දේ. ඒ නිසා මෙතනින් ඈතට ගිහින් ඕක කරපං. ඇය මෙසේ සඳහන් කළේ නිමල්ගේ හිසට අත තබාගෙනය.  


මට අද වගේම මතකයි අම්මා මගේ ඔළුවට අත තියලා ඒ කියපු දේවල්. එදා ඉඳලා මගේ ඒ දේවල් මගේ ඔළුවේ පැළපදියම් වුණා.  


එතැනින් ආරම්භ වූ මේ අවුල වසර ගණනක් පුරා දිවයමින් පොලිසිවල ළතැවෙමින් දිගින් දිගටම ඇදී ආවේය.  


එක දවසක් තාත්තා කඩේ වහලා ගෙදර එද්දි හීන්අප්පු මාමා හොඳටම බීලා වියගහකින් තාත්තට ලේ එනකල් ගහලා. තාත්තව ඉස්පිරිතාලේ අරගෙන ගියාට පස්සේ මමයි අයියලා දෙන්නයි මල්ලියි මග රැකගෙන ඉඳලා හීන් අප්පු මාමාට ගහලා පැනලා ආවා. අදටත් අපේ අම්මා ඒක දන්නේ නෑ. එතකොට මගේ අයියලා දෙන්නාට අවුරුදු 18 ක්වත් වෙලා නෑ.  


මේ ආරවුල නවත්තලා දාන්න පවුලේ වැඩිහිටියෝ කවුරුත් මැදිහත් වෙලා උපදෙස් ලබාදුන්නේ නැද්ද?  


අපේ කිරි අම්මා නිතරම කිව්වා ඕවා අමතක කරන්න කියලා.  


කාලය ඉගිළ ගියේ නිමල්ලා තව තවත් උස් මහත් තරුණයන් බවට පත්කරමිනි. නිමල්ගේ වැඩිමහළු ස​ෙහා්දරයින් දෙදෙනා රැකියාවන් උදෙසා කො​ළොම්පුරයට සේන්දු වූ අතර දෙමාපියන්ද සමග තවත් හයදෙනෙක් නිවසේ ජීවත්වූහ.  


එක දවසක් මං ඉස්කෝලේ ඇරිලා ගෙදර එද්දි අපේ පාර හරහා වැටක් බැඳලා තිබුණා. ගෙදර යන්න පාරක් නැතිවුණා. හීන්අප්පු මාමා එතැන එළවළු කොටුවක් පටන්ගත්තා. අපට ඉස්කෝලේ යන්න වුණේ ඈත පාරකින්. එදා මම ගෙදර එද්දි කම්බිවැට පනින්න ගිහිල්ලා මගේ ඉස්කෝලේ අඳින කලිසම ඉරුණා. මම අඬාගෙන ගෙදර ආවා. අම්මා මගේ ඔළුව අතගාලා මගේ හිත හැදුවත් මම ඇඬුවේ මම ඔය මිනිහව මරනවා මරනවාමයි කියලා. පහුවදා අපි ඉස්කෝලේ ගියේ වෙන පාරකින්. එදා ඉස්කෝලේ යද්දි නංගිව බල්ලෙක් කෑවා. අපේ ලොකු අයියා එදා ගෙදර ඇවිත් හිටියේ. ලොකු අයියා ගිහිල්ලා බල්ලව මැරුවා.  


තම දරුවන් මේ වෛරක්කාරයාගෙන් ගලවා ගන්නේ කෙසේදැයි නිමල්ගේ මව සිතන්නට ඇත. ඔයාලා වැරදි වැඩ කරන්න එපා. ඒ පව් එයාලා පිටින් යයි. දරුවන් වෙනුවෙන් දෙවියන් යැදූ අෑ එසේ කියන්නට ඇත.  
අපේ බාප්පා අපිට මේ අය කරන අසාධාරණේ බලන් ඉන්න බැරිව ලොරියක් අරගෙන අපේ පාර දිගේ ඇවිල්ල එළවළුකොටුව පොඩි පට්ටම් කරලා පාර හදලා දුන්නා. එදා අපේ අම්මා කිව්වා මේ කෝන්තරය ඉවර කරගන්න නම් බුලත් අතක් දීලා මාමාට වැඳලා සමාව අරගෙන එන්න කියලා. අපි ගියා. බුලත් දීලා වැඳලා සමාවෙන්න කිව්වා.  


එහෙත් හීන්අප්පු මාමා එතැනින්ද නොනැවතී නිමල්ගේ සහෝදරියක විවාහ පත් වන දිනයකදීද මනාල පාර්ශ්වය වෙත ගතු කියමින් විවාහය බිඳ දැමීමටද සූදානම් වී තිබිණ.  


ඊට පස්සේ මම රට ගියා. ක්රේන් ඔපරේටර් කෙනෙක් විදිහට. මගේ අක්කලා දෙන්නම ගුරුවරු වුණා. මල්ලි පොලිසියේ සේවයට ගියා. එක නංගි කෙනෙක් ඉතාලියේ පදිංචියට ගියා එයාගේ මහත්තයත් එක්ක. අනිත් නංගි කොළඹ පදිංචියට ගියා. මම රටවල් හතරක රස්සාව කළා. මට හොඳට සල්ලි තිබුණා. මම විවාහ වුණේ අපේ ගෙවල් ළඟ කෙනෙක් එක්ක. දෙවැනි වතාවේ මම රට ඉඳලා එද්දි තමයි මම එයාව දැක්කේ. එයාගේ ගෙදරින් මට පොල් ඉඩම් අක්කරයක් දෙන්න සූදානම් කරලා තිබුණා. ඒක තිබුණේ හීන් අප්පු මාමාගේ ඉඩම කිට්ටුව. ඒකටත් එයා බය වුණා මම ඒ ඉඩම ගනී කියලා. මේ ආරවුල් නිසාම මම ඒ ඉඩම මට එපා කිව්වා.  


මේ අතර නිමල්ගේ සහෝදරයකුගේ විවාහ මංගල්‍යයකදීද නැවත මේ කෝන්තරය අලුත් වී තිබිණි. එහි අවසානයේ හීන්අප්පු මාමා මග රැකගෙන සිට අවුත් නිමල්ට තඩිබාන්නේ හරක් ඉන්නකිනි.  


මට තුවාල වුණා. මාමා ගහලා දිව්වා. ඒ වෙද්දි මට වයස අවුරුදු 42 යි. හීන් අප්පු මාමාට 67 ක් විතර ඇති. මගේ පුතාට වයස අවුරුදු 05 යි. මගේ තුවාලවල වේදනාව අමතක කරන්න මට බැරිවුණා.   


මගේ යාළුවෙක් හිටියා. මම එයා එක්ක පොඩි අඩියක් ගැහුවා. ඒ වෙද්දි මගේ තිබුණ නරකම පුරුද්ද තමයි ඒක. මම ​ගොඩාක් මත්පැනට ඇබ්බැහි වෙලා හිටියා. එහෙම වුණේ නැත්නම් අද මම මෙතැන නෑ. ඒ ජරා පුරුද්ද නිසයි අද මට මෙහෙම වුණේ.  


එක හුස්මට තම සිතුවිලි වචන බවට පෙරලූ නිමල්. මා සමග දොඩමලු වූයේ තවත් කාලයක් පුරා හිතේ සඟවාගෙන උන් සිතුවිලි ධාරාවන් ද සමගය.  


එදත් මම යාළුවා එක්ක අරක්කු ටිකක් බීලා ඉතිරි ටික ඉණේ ගහගෙන ගෙදර එන්න ආවා. ඒ එන මගදි හීන් අප්පු මාමා අපේ ඉස්සරහට ආවා. එයත් ආවේ අපට බැණගෙනමයි. ඒත් එක්කම මගේ යාළුවාගේ ඉණේ තිබුණ පිහිය මගේ අතට ආවා. දෙපාරක් හිතන්නේ නැතුව හීන් අප්පු මාමාගේ පපුවට පිහියෙන් දෙපාරක් අනින්න මහ වෙලාවක් ගියේ නෑ. අන්තිමට මම බයවුණා. පපුව අල්ලගෙන කෑගහගෙන වැටෙන මාමා දිහා මම බලාගෙන හිටියේ පුදුම බයකින්. මොනවා හරි වෙයිද කියලත් මම යාළුවාගෙන් ඇහුවා. ඒ වෙද්දි මගේ වෙරි මතය හිඳිලා තිබුණා. ඇත්තටම මාමාට පිහියෙන් ඇන්නේ මම ​ෙනාවෙයි. මගේ යාළුවා. එයා පිහිය මගේ අතට විසිකළා. ඒත් මම මේ බව පොලීසියට කිව්වේ නෑ. වෙන්න තියෙන දේ වුණා. ඒ වෙද්දි මගේ බිරිඳ දෙවැනි දරුවා ලැබෙන්න හිටියේ. මේ සිදුවීමෙන් එයා කම්පනයට පත්වෙලා අපට ඒ දරුවා නැතිවුණා.

  
අද වෙන විට නිමල්ගේ වැඩිමහලු පුත්‍රයා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකි. තම ආදරණීය පියාණන් සිපිරිගෙය තුළ සිර වී ජීවිතය නිමවෙන තුරුම එහි රැඳී සිටිනු දකින්නට ඔහු පව් කර ඇතුවා සේය.  


අදත් පුතා ආවා. ඈතට වෙලා බලාගෙන ඉන්නවා මගේ දිහා. ඊට පස්සේ ළඟට ඇවිත් අප්පච්චි, බුදුසරණයි කියලා යනවා. ඒ ඇස්දෙකේ කඳුළු මට හොඳට පේනවා. අද ඒ දරුවා විඳවන්නෙත් මම එදා කළ වැරැද්ද නිසයි. තාමත් මගේ පුතාගේ බලාපොරොත්තුව එයාගේ අප්පච්චි ගෙදර එයි කියලා. දැන් එයාට වයස අවුරුදු 25 ක්.  නිමල් යාන්තමට සිනහ සැලුවේය. පියෙකුගේ සෙනෙහස අබියස එය නොමැතිව ළතැවෙන තම දරුවා වෙනුවෙන් ඒ වියළී ගිය සිනහව ජනිතවෙන්නට ඇතැයි මට සිතිණි.  


පුංචි සන්ධියේ මගේ ඔළුවට ආපු වෛරය තරහව තමයි අද මාව මෙතැනට ගෙනාවේ. ඒ වෛරී හැඟීම්වලට නරක පුරුද්ද වෙච්චි මත්පැන් මුහුවෙලා මාව මෙතැනට ඇදලා දැම්මා. එදා මම බීලා හිටියේ නැත්නම් අද මට මෙහෙම වෙන්නේ නෑ. මම මගේ ගමට පන්සලට ගොඩාක් ළඟින් ආදරය කළ කෙනෙක්. මට මේ දේ වුණා කිව්වාම මුළු ගමක්ම ඇඬුවා. ඒ අය මාව බලන්න ආවා. ජීවිතය වරදින්න යන්නේ එකම එක තත්පරයක් විතරයි.  
නිමල් මාමාට ජීවිතේ වැරදුණාද?  


එක පැත්තකින් මට වැරදුණා, මගේ නරක පුරුද්දක් නිසා. අද මම පසුතැවිලි වෙනවා. ඒත් එක පැත්තකින් මගේ හිත සතුටින් පිරිලා.  


හිර ගෙදරක් ඇතුළේ මොන සතුටක්ද මාමේ?  


මම මේ හිර ගෙදර දහම් පාසල් ගුරුවරයෙක්. දහම් පාසල් අවසාන ශ්‍රේණිය, ධර්මාචාර්ය දක්වා මම ඉගෙන ගත්තේ හිර ගේ ඇතුළට ඇවිල්ලා. අද මම මේ හිරගෙදර පවත්වන බෝධි පූජා පිංකම් වලදී පවා මූලිකත්වය අරගෙන වැඩකරනවා. හාමුදුරුනමක් නැත්නම් මම එතැන ගන්නවා. ඒ වගේම භාවනා වැඩසටහන් මෙහෙයවන්නේ මමයි.  


කොහොමද ඒ තැනට ආවේ?  


මම හිරගෙදරට ආවේ 2007 දී. මුලින්ම හිටියේ බෝගම්බර හිරගෙදර. එතැනදි උපේක්ෂා මෙහෙනින් වහන්සේ මෙහෙය වූ දින 10 ක භාවනා වැඩමුළුවකට මම යොමුවුණා. ඊට පස්සේ ඒ වගේ 11 ක් කළා. මම එදා සිට මේක කරගෙන ගියා.  


වසර 20 කට අධික සිරදඬුවම් නියමව සිටින රැඳවියන් වෙත ලැබෙන නිවාස නිවාඩුව නිමවා යහපත් කල්ක්‍රියාවෙන් සිටින අයගේ දඬුවම් කාල සීමාව තීරණය කිරීම සඳහා (ලයිසන් බෝර්ඩ්) පිහිටුවා ඇති මණ්ඩලයට රැඳවියන් යොමු කිරීමට පෙර දින 10 ක පුහුණුවක් සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙයි.  


මෙම වැඩසටහනේ නියමුවා වෙන්නේද නිමල් මාමාය.  


මම මේ වගේ වැඩමුළු 39 ක් කරලා තියෙනවා. ඒකෙන් කෙරෙන්නේ පුද්ගල සංවර්ධන වැඩසටහනක්. මගෙන් ඉගෙන ගෙන එළියට ගිය අය දහස් ගාණක් ඉන්නවා. සමහරු පිටරටවල රැකියාවක් කරනවා. ගොඩක් අය හිරගෙදරින් යන්නේ මාව බදාගෙන අඬලා.  


මරණීය දණ්ඩනය නියම වෙච්චි මාමා අපට එළියට යන්න ප්‍රාර්ථනා කරනවා. කියලා ඒ අය කියනවා. මම ඉතාමත් නිරෝගී කෙනෙක්. මම නිර්මාංශයි. ගොඩක් අය තමන් කරපු වරද පිළිගන්නේ නෑ. මම නම් මම කළ වරද පිළිගන්නවා.  


නිමල් මාමාගේ තව මොනවද තියෙන බලාපොරොත්තු?  


මගේ අතින් මින්පසු කිසිම මිනිහෙක් මැරෙන්න එපා. තමන් කරපු වරද කවුරුන් හෝ පිළිගන්නවා නම් එයා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. මම මගේ කථාව කියලා බන්ධනාගාර භාර ඇමැතිතුමියට ලියුවා. මම මුල්ම දවසේ ජීවිතය අත්හැරියා. පස්සේ දරුවයි බිරිඳයි, අම්මයි නිසා ජීවත් වෙන්න හිතුවා. අද මගේ වෙනස ඒ අයට පේනවා ඇති. බෝගම්බරදී මට කිව්වේ භාවනා නිමල් කියලා. මෙහෙ කියන්නේ නිමල් මාමා කියලා.  


ඉතිං නිමල් මාමාට අන්තිමට කියන්න තියෙන්නේ මොනවාද?  


එදා මට වෙච්චි දේ මම හරියට පොලීසියට කිව්වා නම් අද මම ගෙදර. නීතියෙන් යම් යම් වැරදි සිදුවෙද්දි අපි වගේ අයට සහනයක් නෑ. එහෙම ක්‍රමවේදයක් අපේ රටේ නීති පද්ධතියේ නැතුව ඇති. පිරටවල නම් මේ අපේ රටේ වගේ කොරීයක තියෙන කටඋත්තරය මත පදනම් වෙලා දඬුවම් දෙන්නේ නෑ. අද මේ හිරගේ ඇතුළේ ඒ වගේ අය ගොඩාක් ඉන්නවා. ඒ සම්බන්ධයෙන් හරියට හොයලා බලලා නිසි ක්‍රියාමාර්ග ගත්තා නම් ඇත්තටම මේ බන්ධනාගාර හිස්කරලා දාන්න පුළුවන්. නිකං හිරකරගෙන කන්න බොන්න දෙන්නේ එළියේ ජීවත් වෙන අහිංසක මිනිස්සුන්ගේ සල්ලිවලින්නේ. දඬුවම් ලබාදිය යුතුයි. නමුත් ඒක ප්‍රමිතිගත කරලා. අනිත් එක දැන් අපි වරද පිළිගෙන යහපත් විදිහට වැඩදායි විදිහට ජීවත් වෙනවා. මම හිතනවා අපි වගේ සමාජගත වුණොත් ඒකෙන් රටට දැයට යහපතක් කරන්න පුළුවන් පුද්ගලයෝ කොටසක් බිහිවේවි කියලා. ඇත්තටම අපිව මේ බන්ධනාගාරේ මහත්තුරු පුනරුත්ථාපනය කරනවා. ඒ කටයුතු තාමත් වෙනවා. මොනවා වුණත් ඇත්තටම අද මම මං ඉන්න මට්ටම ගැන සතුටුවෙනවා. ඒත් මම මරණීය දණ්ඩනයට නියම වූ කෙනෙක් කියන ඒකෙන් මගේ හිතට ගැලවෙන්න බෑ මිස්....  


තමන් සිදුකළ පාපක්‍රියාවන් සම්බන්ධයෙන් අද ඔහු විස්සෝප වෙයි. පසුතැවිලි වෙයි. ඉවසීම, තිබුණනම් අද මේ මහ උළුගෙදර තම නිවහන නොවේ යැයි ඔහු කියන්නේය. ධම්ම පදයේ එන ගාථාවක කොටසකින් මේ කතා පුවත අවසන් කිරීම යෙහෙකැයි මට සිතෙයි.  


නථං කම්මං සාධු යංකත්වා අනුතප්පති  


යමක් කොට පසුතැවිලි වේද, යමක විපාකය කඳුළින් පිරුණු මුහුණින් යුතුව හඬමින් විඳින්නට වේද, එබඳු පාපකර්ම නොකිරීම යහපත්ය.  


විශේෂ ස්තූතිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ, ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරි ටී.අයි. උඩුවර, ප්‍රධාන ජේලර් ප්‍රසාද් ප්‍රේමතිලක, විනය අංශය භාර ජේලර් ගයාන් තිලකරත්න, පුනරුත්ථාපන නිලධාරී පියසිරි වටගොඩ සහ පුනරුත්ථාපන නිලධාරී ඩී.එන්.ඩී. කොස්තා යන මහත්වරුන්ට.   

 

 

 

 

නිමන්ති රණසිංහ