වාස්තු විද්‍යාඥ සහ නගර නිර්මාණ සැලසුම් විශේෂඥ දේශබන්ධු ආචාර්ය සූරත් වික්‍රමසිංහ යනු මෙරට ගොඩනැගිලි නිර්මාණ හා සැලසුම් කලාවට නව සංකල්ප රැසක් බිහිකළ පුරෝගාමී චරිතයකි. එමෙන්ම ශ්‍රී ලංකාවේ වාස්තු විද්‍යඥයින්ගේ සංගමය මෙන්ම වෘත්තීයවේදීන්ගේ සංගමය බිහිකිරීමටද පුරෝගාමී වූ චරිතයකි. ඔහු ගොඩනැගිලි නිර්මාණ සැලසුම් ක්ෂේත්‍රයට පිවිසියේ අද මෙන් මෙම ක්ෂේත්‍රය නවීකරණය වී තිබුණු සමයක දී නොවේ. නමුදු අනාගතය ගැන තුන්කල් නුවණින් යුතු දැක්මකින් කටයුතු කළ ප්‍රවීණයෙකි. ඒ නිසාම ඔහුට අභියෝගයක් වූයේ ඔහුම පමණකි.   


‘ජීවිතයක් ලැබීමම අභියෝගයක්’ යන්න ඔහු විශ්වාස කරන දහම වේ. ඒ නිසා ජීවිතය හමුවේ ඇති අභියෝග ජය ගැනීමට තමා සතු දැක්ම බෙහෙවින් වැදගත් වන්නේ යැයි ඔහු සඳහන් කරයි අනාගතය ගැන වූ දැක්ම නිසාම දේශබන්ධු ආචාර්ය සූරත් වික්‍රමසිංහ ක්ෂේත්‍රයේ තව දුරටත් බැබළෙන චරිතයක්ව වැජඹෙමින් සිටී. අභියෝග ජයගත් මිනිසුන්ගේ කතා පෙළට අද සටහන් වෙන්නේ ඔහු ගැන වූ කතාවය.   


සුරත්ගේ මවගේ ගම අගලවත්තය. තාත්තා ගම්පහ ප්‍රදේශයේය. සුරත් පවුලේ දෙවැනියා වූ අතර අක්කා, නැගණිය සහ මලණුවන් දෙදෙනා ඔහුගේ පවුලේ අනෙකුත් සාමාජිකයෝ වූහ.   


සූරත් පාසල් ගමන ඇරඹියේ කොළඹ විශාඛා බාලිකා විද්‍යාලයෙනි. පිරිමි ළමුනට 5 ශ්‍රේණිය දක්වා උගෙනීමේ අවකාශය එවකට බාලිකා විදුහල් පරිශ්‍රයේ තිබිණි. කුඩා කාලයේ සිටම ක්‍රීඩා අංශයට බෙහෙවින් ළැදිව සිටි සුරත්ගේ එකම අරමුණ වී තිබුණේ පහ ශ්‍රේණියේ සමත්වීමෙන් පසුව කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත්වීමටය. එහෙත් තැපැල් සේවයේ නිලධාරියකු වූ පියෙකුගේ මෙන්ම ගෘහණියක වූ මවකගේ දෙවැනි දරුවා වූ සුරත්හට රාජකීයට ඇතුළත් වීමේ ගමන සිහිනයක්ම විය.   


පහ ශ්‍රේණියෙන් පසුව ඊළඟට රාජකීය විද්‍යාලයේ සිට අධ්‍යාපනය ලැබීමට නම්, විභාගයකට මුහුණ දිය යුතු වුණා. ඊට පෙර එවැනි වාතාවරණයක් තිබුණේ නැහැ. නමුත් අවාසනාවකට අප රාජකීයයට ඇතුළත් විය යුතුව තිබුණු වසරේදී අලුත් ක්‍රමයක් හඳුන්වා දී තිබුණා. විභාගයක් පවත්වා එයින් සමත් වූ අය පමණයි හය ශ්‍රේණියට ඇතුළත් කර ගත්තෙ. ඒත් ඒ වන විට ක්‍රීඩාව ජීවිතයම කරගෙන සිටි නිසා මට ඒ විභාගය ගැන උනන්දුවක් තිබුණෙ නැහැ. මම ඒ විභාගය අසමත් වුණා. මගේ ජීවිතයේ පළමුව මට දැනුණ අභියෝගය එයයි. රාජකීයට යාමේ බලාපොරොත්තු සුන් වූ මට ඊළඟට ලැබුණේ ඊට අල්ලපු වැටේ පිහිටා ඇති තර්ස්ටන් විද්‍යාලයයි. අද මෙන් පිහිනුම් තටාක, ක්‍ර්‍රීඩාංගණ, ක්‍රීඩාගාර, ගොඩනැගිලි කිසිවක් එදා තර්ස්ටන් විද්‍යාලය සතු වුණේ නැහැ. තර්ස්ටන් විද්‍යාලයේ අංකුර අවධිය වූ එදා ඊට අයත් වුණේ පොල්අතු ඇතිරූ වහල සහිත කුඩා ස්ථානයක් පමණයි. එම පරිසරයට ගියාම මට ඇති වූ වේදනාව මෙතෙකැයි කියා කිව නොහැකි දෙයක් වුණා. ලොකු කලකිරීමක් ඇති වුණේ. ලොකු පාසලකට ආසාවෙන් උනන්දුවෙන් ඇතුළත්වීමට පෙරුම් පුරා බලා සිටින ළමයකුට අද ද එලෙසින් සිදු නොවිය යුතු බව මගේ අදහසයි. මේ කලකිරීම සහ පසුබෑම එද‌ා මාව වඩාත් ධෛර්යමත් කළා. ‘දැන් ක්‍රීඩා කළා ඇති, මම මගේ ජීවිතය ගොඩනගා ගත යුතුයි’ යන්න අධිෂ්ඨාන කර ගත්තා.   


නොලැබීම් අහිමිවීම් යනු එක අතකට ජීවිතය තවත් තැනකින් පටන් ගැන්මකට නව මාවතක් වන්නේය. සුරත් ඒ නව මාවතට පිවිස එතැන් සිට අධ්‍යාපන කටයුතු හොඳින් කළේය. පාසල් සමයේ අවසන් කඩඉම් වූ ජ්‍යෙෂ්ඨ විභාගය හොඳින් සමත්විණි. සරසවි පිවිසුම ගැන එතරම් උනන්දු නොවූ ඔහුගේ සිත යොමුව තිබුණේ වාස්තු විද්‍යා අංශයට යැයි සඳහන් කරයි.   


එවකට ඒ විෂයය අලුත් විෂයයක් වුණා. චිත්‍රකර්මයට තිබූ දක්ෂතාව නිසා තව දුරටත් මගේ හිත කිව්වේ වාස්තු විද්‍යා අංශයෙන් ඉදිරියට යා යුතුය කියලයි. ගෙදරිනුත් ඒ වෙනුවෙන් මට ලැබුණේ ලොකු සහයෝගයක්. එතැන් සිට ආයතන තුන හතරකට පුහුණුව සඳහා ගියා. එවකට වාස්තු විද්‍යා අංශයේ ප්‍රකට සමාගමක්ව තිබූ සෙල්වරත්නම් සහ පෙරේරා සමාගමේ වසර දෙකහමාරක් විතර කටයුතු කිරීමේ අවස්ථාව ලැබුණා. මුලින්ම වැටුප ලෙස මට සතයක්වත් ලැබුණෙ නැහැ. පසුව ටිකෙන් - ටික සැලකිය යුතු වැටුපක් ලැබුණා. මේ සල්ලි මම ඉතිරි කර ගත්තා. දෙවනුව සේවය කළ සමාගමේ මම වැඩ කළේ සැලසුම් අංශයේ. රුපියල් තුන් හාරසීයක මාසික වේතනයක් ලැබුවා. මේ විදියට කටයුතු කළ මගේ ඊළඟ අභියෝගය වුණේ එංගලන්තය බලා පිටත්වීමයි. ඒ වෙනුවෙන් තමයි ලැබුණු මුදල් පොදිගහ ගත්තෙ. එංගලන්තයට යාමට අඩුව ගෙදරින් ලැබුණා.   
ඉනික්බිතිව ජීවිතය ඉදිරියේ පෙළගැසී තිබූ අභියෝග ජයගැනීමේ මාවතට පිවිසි ඔහු නැව් නැග්ගේය. එංගලන්තයට යාම ස්වකීය අරමුණ වී තිබිණි. එවකට ශ්‍රී ලාංකිකයනට එංගලන්තය බලා යාමට සිදුවූයේ නැව් මගිනි. ඉන් පෙර කිසිදාක නැවකින් එලෙස සංචාරයේ නොයෙදුණු ඔහුට ඒ චාරිකාව ගෙන දුන්නේ තවත් අපූරු අත්දැකීමකි.   


මුලින්ම අපට යාමට සිදුවුණේ ඉන්දියාවේ බොම්බෙ නගරයට. බොම්බෙට යාමට දින තුනක් ගතවුණා. අද තිබෙන නවීනතම නෞකා වගේ සැපපහසු නෞකා එද‌ා තිබුණේ නැහැ. නැව පැද්දීම වැඩියි. ඔළුව කැරකෙන්න ගත්තා. කෑමක් - බීමක් පිරියාවකින් ගත නොහැකි තරම්. ටිකෙන් ටික මේ වාතාවරණයට සහ පරිසරයට මුහුණ දුන්නා. ඉමක් කොනක් නොපෙනෙන මහා සාගරයේදී දැනුණ පාළුව - අපමණයි. නමුත් ආපසු හැරීමක් තිබුණෙ නැහැ.   

 

 

අපි රැගත් නෞකාව එංගලන්තය බලා යාමට දින 21 ක් ගත කළා. නැවේ ගමනේදී බියක් ඇති නොවුණේ සරසවිවල ඉගෙනීම සඳහා යන තවත් ශිෂ්‍යයින් 30 ක් පමණ සිටි නිසයි. ඒ අතර මගේ හොඳම මිතුරෙකුත් හිටියා. පාළුව මකා ගන්න අපි නැවේදි සිංදු කිව්වා. අපි මේ යන්නෙ අපේ රටට කවදාහරි අභිමානයක් ගෙන දෙන පරිදි කටයුතු කරන්නයි යන සමගි දාමය අපට තිබුණා. එකිනෙකා සමුගෙන තම තමුන් ඇතුළත්වීමට නියමිත සරසවි වෙත යොමු වුණා. මම ගියේ බර්මින්හැම් ස්කූල් ඔෆ් ආකිටෙක්චර් සරසවියටයි.   


වාස්තු විද්‍යාව ගැන හැදෑරීම සඳහා එලෙසින් බර්මින්හැම් සරසවියට ඇතුළත් වූ සුරත් උපාධිය වෙනුවෙන් හැදෑරීම් කරමින් සිටියදී මාස හයකට පසුව තාවකාලිකව එය නතර කර දැමීය. උපාධිය පසුවට තබා රැකියාවක නිරත වී සෑහෙන මුදලක් හරි - හම්බකරගත් බව පවසයි. ඒ අතරවාරයේදී නිවාඩු සමයේදී ඔහු කළේ මුළු යුරෝපයේම සංචාරය කිරීමය.   


‘‘මට ලෝකය දැක ගැනීමේ ආසාවක් තිබුණෙ. ඒ හැරත් - අලුත් දේ දැක ගන්න වගේම, සොයා යන්න ආසයි. ගොඩනැගිලි ඉදිරිකිරීම් හා සැලසුම් කිරීමේ නවීන ක්‍රමවේදයන් දැන ගැනීම මගේ නොතිත් ආසාව වුණා’’   
එකී අදහස් පෙරදැරීව සුරත් ඊළඟට ප්‍රවේශ වූවේ ලන්ඩන් සරසවිය වෙතය. ලන්ඩනයේදී වෙස්මිනිස්ටර් සරසවියෙන් උපාධිය තෙක් ඉගෙන ගන්නා අතරේ ජීවිතයේ විවිධ අත්දැකීම්වලට මුහුණදීමටද ඔහුට සිදුවිණි.   
‘අද වගේ නෙවෙයි. ඒ දිනවල කළු - සුදු භේදය තිබුණා. කල්ලන්ව ගණන් ගන්නෙ නැහැ. සුදු ජාතිකයින් ඔවුන් සිටින තැන්වලදී කෑමකටවත් ගියේ නැහැ. හැබැයි මට ඒ බෙදීම තිබුණෙ නැහැ. මා දිහා ඔවුන් ඒ ආකල්පයෙන් බැලුවෙත් නැහැ. වෙස්මිනිස්ටර් සරසවියේදී අන්තිම වසරේ ඉගෙනුම ලබද්දී මට ශිෂ්‍යත්වයකුත් හිමිවුණා. ඒ නිසා මගේ වැඩ කටයුතු තවදුරටත් පහසු වුණා. උපාධිය ලබා සිටි මා එක් දහස් නවසිය හැට පහේදී විතර නැවත මව් රටට පැමිණියා. ඒ එනවිට ගෙදරින් විවාහය සූදානම් කරලයි තිබුණෙ. ඇය මට බොහෝම කැමති වුණා. මටත් ඇය දුටු මුල් වතාවෙම ඇය කෙරෙහි සිත ගියා. 1965 විවාහ වී ඉන්පසු නැවත එංගලන්තයට ගියා. එහිදී රැකියාවක් කළ මා 69 වසරේ අන්තිමට ලංකාවට ආවා. ඇවිත් මුලින්ම සේවය කළ සෙල්වරත්නම් සහ පෙරේරා ආයතනයට ගොස් රැකියාව කළා. පසුව වික්‍රමසිංහ ඇන්ඩ් මන්ක් මගේ ජ්‍යෙෂ්ඨ හවුල්කරු සමග වැඩ කරමින් බොහෝ අත්දැකීම් ලැබුවා. මේ විදියට කටයුතු කරමින් සිටි මගේ දැක්ම වුණේ ආයතනයක් පටන් ගැනීමයි. ඊළඟට මා ඉදිරියේ වූ ලොකුම අභියෝගය වුණේ එයයි.   


තමුන්ගේම ආයතනයක් ස්ථාපිත කිරීමට ප්‍රයත්න දැරූවද එය හිතන තරම් ලෙහෙසි පහසු දෙයක් නොවුණි. ඒ හැරත් හැත්තෑව දශකය මුල පැවැතියේ සංවෘත ආර්ථිකයකි. පෝලිමේ සිට සියල්ල කර ගැනීමට දුෂ්කර වූ බව ඔහු සිහිපත් කරයි. ගොඩනැගිලි ද්‍රව්‍ය සහ අලුත් උපකරණ පවා ගෙන ඒමේ තහංචි එදා පැනවී තිබිණි. මේ සියල්ල කල්තියාම දුටු සුරත් එංගලන්තයේ සිට මෙරටට පැමිණීමට පෙර අනාගතයේදී තමාගේම ආයතනයක් වෙනුවෙන් උපකාරී වන බොහෝ දේ රැගෙන විත් තිබිණි.   


ඔහුගේ නොනිමි ආසාව වූයේ අලුත් දෙයක්, අලුත් හැඩයක් ශ්‍රී ලාංකීය වාස්තු විද්‍යා අංශයට හඳුන්වාදීමටය. අද සුරත් වික්‍රමසිංහ සමාගමය ලෙස ඉදිකිරීම් හා සැලසුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතනයක් ලෙස වැජඹුණද, එදා එය පටන්ගෙන ඇත්තේ, රොස්මිඩ් පෙදෙසේ ගරාජයකදීය. එංගලන්තයේ සිට ආර්ථිකව ශක්තිමත් වී මෙහි පැමිණි ඔහු ඒ වන විට කිරුළපන පෙදෙසේ නිවසක්ද, එවකට අගනා රථයක් වූ පර්ජෝ 404 රථයක ද හිමිකම් කීය. තමාගේ රිද්මය අනුව තමාගේම ආයතනය සඳහා තැනක් සොයා ගිය ඔහුට කොළඹ - 07 රොස්මිඩ් පෙදෙසේ නිවසක ගරාජය හිතට අල්ලලා ගියේය. ඒ අනුව කුලියට ගත් එම ස්ථානයට ඔහු නව රටාවක් ලබාදුන් අතර, අන් අය පුදුමයට පත් කරවමින් ඔහු අපූරු කාර්යාලයක් එතැන නිර්මාණය කළේය. මෙහි සේවයට සිටියේ ඔහු සමග තවත් සැලසුම් ශිල්පියකු සහ රියැදුරු පමණි.   


මම ආසාවෙන් මෙතැන තෝරා ගත් නිසාදෝ මට නිවාස තුනක ඩිසයින් කිරීමේ ඇණවුම් ලැබුණා. ටිකෙන් ටික මේ ආයතනය දියුණු වෙන්න පටන් ගත්තා. මෙම අංශයේ ශිෂ්‍යයින් පුහුණුවට අප වෙත ආවා. ඉන්පසුව සේවක පිරිසත් දවසින් - දවස වැඩිවුණා. තව තවත් ව්‍යාපෘති ලැබෙන්න ගත්තා. මේ විදියට තමුන්ගේම ආයතනයක් පටන් ගැනීම ලොකු අභියෝගයක් වුණා. ඒත් ඒ අභියෝගයට පිටුපා ගියේ නැහැ.   


එංගලන්තයේ සිටියදී නිරන්තරයෙන්ම මට සිහිපත් වුණේ ලංකාව. මගේ පවුලේ අය. ඒ නිසා ආපසු වෙනත් විකල්ප මාර්ග කරා ගියේ නැහැ. ඒ දිනවල වාස්තු විද්‍යා අංශය අද මෙන් ප්‍රචලිතව තිබුණේ නැහැ. එවැනි වාතාවරණයක් යටතේ මට වැඩ එන්න පටන් ගත්තා. නමුත් තැනින් තැන කාර්යාලය පවත්වාගෙන යාම දුෂ්කර වූ නිසා එයින් හෙම්බත්ව සිටි අපි තවත් මහල් ගොඩනැගිල්ලකට ආයතනය ගෙන ගියා. ආයතනයේ වැඩ සඳහා කොටසක් වෙන් කළා. අනෙක් කොටස අපේ පදිංචියට තෝරා ගත්තා. වැඩ ලැබෙන්නේ වාසනාවට යැයි බොහෝ දෙනා විශ්වාස කරති. එහෙත් සුරත් වික්‍රමසිංහ හට එකිනෙක ව්‍යාපෘති ගලා ආවේ අනාගතය කෙරෙහි වූ දැක්මට අනුව ඔහු කටයුතු කළ නිසාය. කෙටියෙන්ම කිවහොත් මෙරට වාස්තු විද්‍යා කලාවට නවමු ආලෝකයක් ගෙනදීමට ඔහු පුරෝගාමී චරිතයක්ම වීය. ඔහුගේ නිර්මාණශිලීත්වය වඩාත් දීප්තිමත් වන්නේ 77 න් පසුව ඇති වූ විවෘත ආර්ථිකයත් සමගය. රජය විසින් දියත්කළ ඇඟලුම් ක්ෂේත්‍රය ඇතුළු බොහෝ ව්‍යාපෘති සඳහා සැලැසුම්කරණය සහ වාස්තුවිද්‍යා කටයුතු සිදු කළේ ඔහුගේ ආයතනය විසිනි. ලංකා බැංකු ගොඩනැගිල්ල, කොමර්ෂල් බැංකුව, ඩාර්ලි පා​ෙර් ඇති ගිනි නිවන හමුද‌ා මූලස්ථානය සහ ඊළඟට නිවාස 576 කින් සමන්විත වූ වික්‍රමසිංහපුර සැලසුම්කරණය ඇතුළු කටයුතු සියල්ල සිදු කළේ ඔහු විසිනි. මෙම නිවාස සැලසුම් රටාව ගැන එවකට ජනපතිව සිටි ආර්. ප්‍රේමදාස මහතා බෙහෙවින්ම සතුටට පත්වී සිටි බව ඔහු කියයි.   


මේ ව්‍යාපෘති කිරීම ලෙහෙසි පහසු වුණේ නැහැ. අපට අපගේ අදහස්වලට සමහරු කැමති වුණේ නැහැ. හණමිටි අදහස් දැරූ බොහෝ දෙනා සිටියා. අලුත් අයගෙ අලුත් අදහස් එයාලට අල්ලලා ගියේ නැහැ. එදා අනුරාධපුරයේ - අපි නිර්මාණය කළ සෙන්ට්‍රල් බැංකු ගොඩනැගිල්ල අදටත් ගැළපෙන නිර්මාණයක්. හබරණ පොලිස් ස්ථානය, කොළඹ 7 ධර්මපාල මාවතේ මහල් 15 කින් පමණ සමන්විත වූ සිටි බිල්ඩින් ඇතුළු බොහෝ ව්‍යාපෘති අප කරගෙන ආවා. නිතරම අපි අදහස් කළේ එද‌ා අප සතු වූ තාරුණ්‍යයේ අත්දැකීමෙන් සමාජයට මොනවද දෙන්නේ කියන ආකල්පයයි.   


මේ සියල්ල අතරේ නගර නිර්මාණ සැලසුම් විශේෂඥ ලෙස කටයුතු කරන මා මොරටු සරසවියෙන් වාස්තුවිද්‍යා අංශයේ එකී අංශයට අද‌ාළව තවදුරටත් අධ්‍යාපනය හැදෑරුවා. අපේ ආයතනය දිනෙන් - දින සාර්ථක වෙද්දී සේවකයින්ට බෝනස් දෙවතාවක් විතර ලබාදීමට කටයුතු කළා.   


සුරත් වික්‍රමසිංහ විටෙක සිංහයකු මෙන් නැගී සිටියේ තමා සතු වූ අප්‍රතිහත ධෛර්ය සහ කැපවීම නිසාමය. 77 න් පසුව ස්වර්ණමය ලෙස ඔහුගේ ආයතනය බැබලුනු නමුදු 83 ජුලි කලබලය ඉනික්බිතිව පැමිණි රටේ අස්ථාවර බව ඇතුළු විවිධ දුෂ්කරතා හමුවේද නැගී සිටීමට හැකි වූ ආයතනයක් බවට එය පත්වීය.   

 

මෙම ක්ෂේත්‍රයේ වඩාත් දුෂ්කරම සහ නරකම කල දසාව වූයේ 2000 සිට 2010 දක්වා පමණ බව ඔහුගේ හැඟීමය. හුදෙක් වාස්තු විද්‍යාඥයකු පමණක් නොවූ ඔහු ඊළඟට ඔහුගේ දැනුම් සම්භාරය යොමු කළේ නගර සැලසුම්කරණය කෙරෙහිය. විශාල ව්‍යාපෘති ඊට අදාළව සැලසුම් කරන්නේ කෙසේද යන්න ගැන හේ සැළකිලිමත් වීය. දඹුල්ල ක්‍රීඩාංගණ ව්‍යාපෘතිය, සූරියවැව ක්‍රීඩාංගණය මෙන්ම මේ දිනවල යාපනයේ ව්‍යාපෘතියක් ලෙස ඉදිකෙරෙන ස්පෝර්ට් සිටි ගාලු මුවදොර ඉදිවෙන ITC විසල් සංකීර්ණය (මහල් 37 කින් සමන්විත) ඔහුගේ ආයතනයේ ව්‍යාපෘතින් වන අතර කොළඹ ඉදිවෙන මහල් 67 කින් සමන්විත ඇලවුණ ගොඩනැගිල්ල වන අල්ටෙයාර්හි ව්‍යාපෘති කළමනාකරණයද ඔහුගේය.   


කොළඹ හිල්ටන් හෝටලයේ නැවත ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවූයේද මෙම ආයතනයෙනි. ඔහුගේ අනාගත දැක්ම අනුව ඔහු විශ්වාස කරන්නේ පෝර්ට් සිටි සංකල්පය මෙන් මුහුදු සීමාව වැලිවලින් පුරවා ඉඩ වපසරිය ලබාගෙන නව නිර්මාණ ඉදිකළ යුතු බවය. ඊට හොඳම උද‌ාහරණය ලෙස ඔහු සඳහන් කරන්නේ සිංගප්පූරුවය.   

 

 

ඒ රට තුනෙන් එකක්ම තියෙන්නෙ පුරවපු භූමියයි. එනයින් ලාංකීය භූමිය අවට සාගර පරිසරයෙන් ගත හැකි ප්‍රයෝජනය ඉතා විශාල යැයි ඔහු සඳහන් කරයි. එය සංවර්ධනය සඳහා ඉතා උචිත - කාලෝචිත ක්‍රියා මාර්ගයකැයි ඔහු හඟින අතර රජයට අපූරු දර්ශනයක්ද ඉදිරිපත්කර තිබේ. එනම් වැසි ජලයෙන් ප්‍රයෝජන ගන්නේ කෙසේද යන්නය. ඒවා මුහුදට හරවා නොයා ශුෂ්ක පෙදෙස්වලට පොළව යටින් විශාල Hume (තුඹහ) නළ යොද‌ාගෙන ගෙනයා හැකි ක්‍රමය ගැන ඔහු ලිපි මගින් ප්‍රකාශ කර තිබේ.   


නමුත් ශ්‍රී ලංකාව තවමත් මේ දැවැන්තයාගෙන් නිසි ලෙස ප්‍රයෝජන ගෙන නැතැයි යන්න සඳහන් කළ යුතු කරුණකි. ඔහු මෙතෙක් කළ කී දේ ගැන පොත් ගණනාවක් ලිවිය හැකිය. එතරම්ව දර්ශනයක් ඇති චරිතයකි. ජීවිතයේදී මේ දක්වා ඔහු කළේ ගොඩනැගිලි තරමට මුදල් පොදි ගැසීමද? මේ වියතාගෙන් අවසන අපි විමසීමු.   


ජීවිතය සුවපහසුවට ගෙවීම එද‌ා වගේම අදත් මට අසීරු නැහැ. ඒත් ජීවිතය කියන්නෙ මුදල් පොදි බැඳීම නෙවෙයි. අපි අපේ විෂයයට සියයට ද‌ාහකින් අවංක වුණා. ඉදිරියටත් එහෙමයි. තාරුණ්‍යයට මා නිතරම කියන්නෙ පොත - පත කියවා දැනුම ලබා ගන්න කියායි. ඉන්පසුව ඒ උගත් දැනුම රටට ප්‍රායෝගික කරවන්න උත්සාහ ගන්න. විදේශිය රටවල් හා සසඳන විට මේ ක්ෂේත්‍රයේ නියැළී සිටින අපේ ශ්‍රී ලාංකිකයින් ලෝකයේ කාටත් දෙවැනි නැහැ. නමුත් රටවල් සමග අපට තරග කරන්න සිද්ධ වෙනවා. ඉතින් දෙවෙනි නොවන්නට තරගයක්දීම වැදගත්. වෘත්තිකයින් හැටියට අපේ තාරුණ්‍ය ගත යුතු ආදර්ශය එයයි. මම අභියෝග ජයගත්තේ මා තුළ හොඳ විනයක් මෙන්ම දැක්මක් සහ ධෛර්යයක් තිබුණු නිසයි. ඕනෑම කෙනෙකු සතුව දක්ෂතා තිබෙනවා. හැබැයි තමා වඩා දක්ෂ දේ හඳුනාගෙන එය ප්‍රායෝගික කරවීමට වග බලා ගත යුතුයි.   


නගර සැලසුම් විශේෂඥ වාස්තු විද්‍යඥ, ආචාර්ය දේශමාන්‍ය සුරත් වික්‍රමසිංහ මෙරට වාස්තු විද්‍යාඥයින්ගේ සංගමයේ, මෙන්ම වෘත්තිකයින්ගේ සංගමයේ සභාපතිත්වය දැරූ අතර කර්මාන්ත හා ඉදිකිරීම් කාර්යාංශයේ සභාපති ලෙස වසර 17 ක් කටයුතු කළේය. ඊටත් අමතරව ආසියානු වාස්තු විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති ලෙස දෙවසරක් කටයුතු කර ඇත.

 

 

 

සටහන   
සඳුන් ගමගේ