සිංහල රාජපරම්පරාව ඉකුත්ව ගොස් නායක්කාර් නම් වූ ඉන්දියානු සම්භවයකින් පැවත ආ පිරිසකට උඩරට රාජධානියේ පැවැත්ම ලැබීමත් සමගම අවසන් පාලකයා බවට පත්වූ ශ්‍රී වික්‍රම රාජසිංහයන්ගේ ක්‍රියා කලාපය හැඳින්විය හැකි වනුයේ උන්මන්තයකු හැසිරුණු විලාශයකිනි. මුළුමහත් කන්ද උඩරට  ජනතාවගේ අතිශය සම්භාවනාවට පාත්‍ර වූ කැප්පෙටිපොළ මහ දිසාවගේ ශෝචනීය සිදුවීමට මූලික වු ශ්‍රී වික්‍රම රාජසිංහ  මෙරටින් තුරන් කර දැමීමට එවකට සිටි සිංහල ප්‍රධානීන් වූ අධිකාරම්වරුන් දිසාවෙවරුන් ගත් ප්‍රයත්නයෙහි ප්‍රතිඵල නෙලා ගනු ලැබුයේ එවකට බි්‍රතාන්‍ය පාලනයේ ක්‍රියාකරුවන්ය. 


මෙහි ප්‍රතිඵලය 1815 මාර්තු 02 වැනිදා නීතිගත කෙරුණ උඩරට ගිවිසුමයි. මෙම ගිවිසුමට එදා රජෙකු නොවු හෙයින් උඩරට ජනතාව වෙනුවෙන් අත්සන් කළ අධිකාරම්වරුන් එකොළොස් දෙනෙකි. ඇහැලේපොළ, මොල්ලිගොඩ, පිළිමතලාවේ, මොනරවිල, රත්වත්තේ, මොල්ලිගොඩ (කනිෂ්ඨ) දුල්ලෑවේ, මිල්ලව, ගලගම, ගලගොඩ යන අධිකාරම්වරුන්ය.


අහම්බෙන් හදිසියෙන් මෙරට එදා කන්ද උඩරට රාජ්‍යයේ මහාමාත්‍යයන් වූ මෙම පිරිස මෙකී ගිවිසුමට අත්සන් කිරීමට පෙරාතුව එහි සඳහන්ව තිබු එක් එක් වගන්තියක් පිළිබඳව දින ගණනක් සති ගණනක් කතා බහ කළ බවට ඓතිහාසික සාක්ෂි ඇත්තේය. 
බි්‍රතාන්‍ය රජයේ මහරජාණන් හා රාජප්‍රතිනිධි වෙනුවෙන් රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා මෙම ගිවිසුමට අත්සන් තැබූ අතර සාක්ෂිකරුවන් වූයේ ජෝන් ඩොයිලි සහ  සදර්ලන්ඞ් (නියෝජ්‍ය මහලේකම්) වරුන්ය. 


මෙම ගිවිසුම අත්සන් කරනු ලැබූයේ කොන්දේසි 14කට යටත්වය. පළමු වගන්තියෙන් දැක්වුණේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ක්‍රෑර දුර්දාන්ත පාලනය ගැනය. දෙවැන්න ඔහු රජ පදවියෙන් පහ කරන ලද බවත් ඔහුගේ පවුල් අය සහ සතර වරිගයේ නෑයන්ට සදහටම සිංහාසනයේ අයිතිය අහිමි කළ බවත් උඩරට ප්‍රදේශවල අයිතිය ගැන මලබාර් වංශයට තිබූ අයිතිවාසිකම් අහිමි අවලංගු කර දැමූ වගත් කියන ලද අතර 3 වැනි වගන්තියෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ  රජුගේ පිරිමි නෑයින් උඩරට රජයේ සතුරන් ලෙස හන ගසා ඔවුන්ට බි්‍රතාන්‍ය ආණ්ඩුවේ අධිකාර පත්‍රයක් නැතිව උඩරටට ඇතුළුවීම  තහනම් කෙරිණ.


4 වැනි වගන්තියෙන් බි්‍රතාන්‍ය ආණ්ඩුවේ බලය පිටපත් කරවූ අධිකාරම් ආදී තනතුරුවලටද බලතලවලටද ජනතාවට ඔවුන්ගේ දේපළ හා අයිතිවාසිකම්වලටද පැරණි සිරිත් පරිදි ආරක්ෂාව ඇතිව සිංහලේ ප්‍රදේශවල  ආණ්ඩුව ඉංග්‍රීසි  රජුට  යටත් වූ බවද ඒ ‘ආඥාව’ ආණ්ඩුකාවරයාද ඔහු විසින් පත් කරන ලද මුලාදෑනින් විසින්ද ක්‍රියාත්මක  කෙරෙන බවද ගිවිස ගැණුනි. උඩරට මුලාදෑනි හා ජනතාව අදහන බුද්ධාගමටත්, දේවාලගමත් කඩ නොකර පවත්වමින් සංඝයා හා විහාරාදිය රැක ගැනීමට 5 වන වගන්තියෙන් පොරොන්දු විය. 6 වැනි වගන්තියෙන් කියැවුණේ එතෙක් තිබූ දඩුවම් ක්‍රියාකාරකමක් ලෙස පැවති ශරීර අවයවයන් කැපීම තහනම් කරන බවකි. 


ඉංග්‍රීසි ආණ්ඩුකාරයාගෙන් බලය ලත් ඔප්පුවක් නැතිව මරණ දඩුවම නොපැවැත්විය හැකි බවට 7 වැනි වගන්තියෙහි සඳහන් විය. අට වැනි වගන්තියෙන් සිංහලේ වැසියන්ගේ සිවිල් සහ අපරාධ නඩු විසඳීමේ බලය ලත් රදළවරුන් වෙතම තබන බවද සඳහන්ය. 9 වැනි වගන්තියෙන් සිංහල නොවන අය සඳහා වූ නඩු විසඳීමේ බලය ඒජන්තවරයාට දෙන බවද මිනී මැරුම්වලදී ආණ්ඩුකාරයා විසින් නියම කෙරෙන කොමසාරිස්වරුන් ඒවා විභාග කරන බවද හේවායන් විත්තිකරුවන් වූ නඩු විසඳිය යුත්තේ  යුද්ධ නඩු මාර්ගයෙන් බවද සඳහන්විය. 


10 වැනි වගන්තියෙන් යුද්ධ ගමන්වලදී සුළු කාලයකට ප්‍රකාශ කළ ආඥාවරයා ගිවිසුමේ වගන්ති වලංගුව පවතින බවත් 11 වැනි වගන්තියෙන් සිංහලේ රාජකීය ආදායම් බි්‍රතාන්‍ය රජයේ ඒජන්තවරුන් යටතේ එකතු කරන්නටත් අවසන් වගන්තිය වූ  12  වැන්නෙන් උඩරට ප්‍රදේශවල වෙළෙඳාම දියුණු කිරීමාදිය පිණිස පියවර ගැන්ම සඳහන්විය. 


බැලූ බැල්මට 1815 මාර්තු 02 වැනිදා අත්සන් කළ උඩරට ගිවිසුම එතරම් සමීක්ෂණයකට බඳුන් කළ නොහැක්කක් ලෙස පෙනී යයි. එහෙත් එහි යථාර්ථය පරම්පරා කිහිපයක් විසින් මහ පොළව සතු සශ්‍රීකත්වය එයට අනුබල දුන් නිශ්චිත කාල වකවානුවේ බවභෝග සම්පත්තිය ලබාදෙන්නට දළඳා හාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාදය ලද අධිකාරම්වරුන්ට වැටහිණි. 


ඉංග්‍රීසින්ට විරුද්ධව මහා යුද ගින්නක් ඇවිලීමට ඉංග්‍රීසි පාලනයේ ආරම්භයත් සිටම වෙඩි බෙහෙත් සුදානම්ව පැවතිණ. වසර තුනක් ගතවිය. යළි සිංහලයෝ සංවිධානය වන්නට වූහ. එහි අවසන් වෙඩි මුරය 1848දී ගිගුම් දුණි. 


මෙය අපගේ දේශයේ සිදුවූ ඓතිහාසික යුග මෙහෙවරකි. එය විද්වතුන් විසින් නව පරපුරකට කියාදිය යුත්තකි. 

රත්රන් මැඩ දැමූ කවනිය

 


එහෙත් සිංහලයේ අභිමානය උරුම කරදුන් ජාතික වීරවරයන් ජාතිද්‍රෝහීන් ලෙස නීතිගත කළ එංගලන්ත පාලකයන් කළ වික්‍රමය නිදොස් කරන මහඟු උත්තම පූජාවක් කරන්නට සැරසෙද්දී එකී ගිවිසුමට අත්සන් කළ මේසය පුටුව මෙතෙක් රැකගෙන සිටි අස්ගිරි මහ වෙහෙර පාර්ශ්වය පිළිබඳව පුවත් සටහන් දකින විට යළි අපේ අභිමානය උතුරා යන්නට විය. 


මෙහි ජීවමාන ආදර්ශයක් සුරක්ෂිතව රැකගෙන සිටින මහනුවර ශ්‍රී දළඳා මාලිගයෙහි හිටපු දියවඩන නිලමේ නෙරන්ජන් දුල්ලෑව ප්‍රියදර්ශන විජයරත්න මහතා සතුව පැවති බව මම පෞද්ගලිකව දැන සිටියෙමි. ඔහු හමුවට මා ගමන් ගත්තේ රඹුක්කන මීදුම වලව්වේ සිටියදීය. ඒ මෙයට දින කිහිපයකට එපිටදීය. හදිසි ශල්‍යකර්මයට භාජනය වී විවේකීව හිටියද පරණ දැන හැඳුනුම්කම නිසාම ඔහු තම හත්වැනි පරම්පරාවේ අධිකාරම් ධුරය දැරූ වලපනේ දිසාව සතු බල තේජස මෙන්ම සිය දුල්ලෑව පරපුරට අයත් අධිකාරම්වරුන් එදා හැඳ සිටි රාජාභරණ කට්ටලයට අයත් වූ කවනිය නම් වූ රත්තරන් නූලෙන් වියන ලද යාර 09ක් පමණ දිගැටි වටිනා වස්ත්‍රයද පෙන්වීමට කාරුණික විය. 


මේ කවනිය ඇඳගෙන තමයි 1815 ගිවිසුමට අධිකාරම්වරු ඉංග්‍රීසි ආණ්ඩුකාරය ළඟට ගියේ. ඒක දිග ඉතිහාසයක්. 1842 ඉඳල 1848 වෙනකම් ඒ දෙවැනි පරම්පරාවෙ දුල්ලෑවෙ අධිකාරම් සිංහලය බේරා ගන්න බි්‍රතාන්‍යයන්ට විරුද්ධව මූලික වෙලා කටයුතු කළා.  අන්තිමට තමන්ට පරම්පරාවෙන් උරුම වුණ වලව්වත් අහිමි වුණා. අද රැජින හෝටලය ක්වීන්ස් හෝටලය තමයි ඒ වලව්ව. 


ඒ කාලෙ අධිකාරම් කෙනෙකුට රාජ්‍ය නියමයෙන් තිබුණු ආභරණ අතරෙ ඇඳට නිර්මාණය කරපු රිදියෙන් වැඩ දැමුණු වේවැලක් තිබුණා. ඒ දෙවැනි පරම්පරාව දුල්ලෑවේ අධිකාරමට ඒකත් තිබුණ විත්තිය අපි දකින්නෙ එදා පින්තූරවලින්. මේ සිතියම බලන්න. මේකෙ තියෙනව එදා දළඳා මාලිගාව ළඟ අධිකාරම්වරුන්ට වෙන්වෙලා තිබුණු වලව්. එදා පිළිමතලාවගෙ වළව්ව තමයි අද මහනුවර ජනාධිපති මන්දිරය. 


1815 මාර්තු 02 වැනිදා වලපනේ මහ අධිකාරම් මුල් ඇඳුමට අමතරව ඇඳගෙන හිටිය මේ කවනියෙ එකම උරුමක්කාරය මමයි. මගේ අප්පච්චි නිශ්ශංක විජයරත්න එයිට කලින් හිටිය අධිකාරම්වරුත් මේ පළඳනාව ඇඳගෙන තමයි දළඳා මාලිගාවෙ මහ පෙරහරට ගියේ. 


දියවඩන නිලමේ කෙනෙකුට දළඳා හාමුදුරුවො වැඩම කරන මහ පෙරහැරේ යන්න නියම වෙලා තියෙන්නේ යාර නමයක සුදු රෙද්දක්, සෝමනය, පච්චවඩම කියන යාර නමය බැගින් වෙච්ච ඇඳුම් කට්ටලයකින්. එයිට පස්සෙ තමයි යාර 09ක කවනිය අඳින්නෙ. අපේ දුල්ලෑවෙ පරම්පරාවට පින්සිද්ධ වෙන්න මගේ අප්පච්චියි මමයි විතරයි ඒ රත්තරන් වැඩ දමපු කවනිය ඇඳගෙන දළඳා හාමුදුරුවන්ට පසු ගමන් කළේ. 


ලබන සතියේ: ඇහැලේපොළගේ සිංහල අත්ඔරලෝසුව භාෂා පරිවර්තක තම්බි මුදියන්සේ තෑග්ගක් හැටියට කෞතුකාගාරයට පිරිනැමූ හැටි.

සටහන සහ ඡායාරූප 
නන්දසේන සූරියආරච්චි