විශ්වයට සීමාවක් නෑ. ඒ ආකාරයටම මිනිසුන්ගේ උත්සාහයත් සීමාවක් නොමැතිව තිබිය යුතුයි. තත්ත්වය කොතරම් අයහපත් වුණත් අපේක්ෂාවන් ඉටුකරගන්න කුමක් හෝ මාර්ගයක් තිබෙනවා. ජීවිතය පවතින තුරු බලාපොරොත්තු තිබෙනවා යැයි පැවසූ ලෝක ප‍්‍රසිද්ධ විද්‍යාඥ ස්ටීව් හෝකින් ජීවිතයෙන් සමුගත්තේය. 


විශ්වයේ සම්භවය, එහි ආරම්භය, කළු කුහර, විශ්වයේ ව්‍යුහය, කාලය සහ අවකාශය අතර සම්බන්ධතාව වැනි කරුණු විග‍්‍රහ කළ බ්‍රිතාන්‍ය ජාතික භෞතික විද්‍යාඥයකු සහ ගණිතඥයකු වන ස්ටීවන් හෝකින් කොතරම් බාධක කම්කටොලු සහ දුර්වලතා පැවැතියද ජීවිතය පවතින තාක් කාලයක් සිය අපේක්ෂාවන් අත් නොහැරිය යුතු බව ක්‍රියාවෙන්ම සමස්ත ලෝකයා හමුවේ සනාථ කළ අපූරු මිනිසෙකි. 


හෝකින් ජීවත්ව සිටිය දී ම ඔහුගේ ජීවිතය අළලා සැකසුණු "The Theory of Everything" චිත‍්‍රපටයෙන් මෙම අපූරු චරිතය පිළිබඳ මනාව විග‍්‍රහ වෙයි. 


1942 වර්ෂයේ ජනවාරි 08 වැනිද‌ා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් හි දී ෆ‍්‍රෑන්ක් හෝකින්ට දාව ස්කොට් ජාතික ඉසබෙල් වෝකර් මහත්මියගේ කුසින් උපත ලද ස්ටෙපන් විලියම් හෝකින්ගේ පවුලේ සොහොයුරියන් දෙදෙනෙකි. ඔක්ස්ෆර්ඩ් සරසවියේම ඉගෙනුම ලබා විවාහ වී සිටි ඔහුගේ දෙමාපියන් වෙනත් දරුවකු ද පුත් තනතුරේ තබා හදාවඩා ගැනීම හේතුවෙන් හෝකින්ට තවත් සොහොයුරකු එකතුව සිටියේය. 


හෝකින්ගේ පියා ඖෂධ පිළිබඳ ගවේෂකයකු වූ අතර මව ඉසබෙලා සමාජ විද්‍යාව හා දේශපාලන ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂඥවරියක වූවාය. 


පියාගේත් මවගේත් අභිප‍්‍රාය වූයේ සිය පුතු ස්ටෙපන් වෛද්‍ය විද්‍යාවට යොමු කිරීම වුවද ස්ටෙපන් ඒ සඳහා වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. ඔහුගේ සිත නිරන්තරව ම යොමු වූයේ ගණිතය හා භෞතික විද්‍යාව කෙරෙහිය. 
ඔහු ඉගෙනුම ලැබූ ශාන්ත ඇල්බන් පාසලේ දී කැපී පෙනෙන දක්ෂතා දක්වා නැත. සෑම විභාගයකින් ම පන්තියේ අවසන් ළමුන් තුන් හතර දෙනා අතර සිටින හෝකින් වයස අවුරුදු 17 දී ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළුවීමේ අවස්ථාව හිමිකරගත්තේය. ඒවන විට වෙනදාට වඩා ඔහුට විෂය කරුණු අවබෝධ කරගැනීමේ හැකියාව වර්ධනය වී තිබිණි. 


ඉතා අඩුවෙන් පොත පතට අවධානය යොමු කළ ස්ටෙපන් සිය මිතුරන් සමඟ කාලය කා දැමීමට වඩාත් ප්‍රිය කළ බවයි, ඔහුගේ සමකාලීනයන් පවසන්නේ. විශ්වවිද්‍යාලයේ දී භෞතික විද්‍යාව පිළිබඳ ඉතා දැඩි උනන්දුවක් දැක්වූ ස්ටෙපන් තම අධ්‍යාපනික අභ්‍යාස සඳහා වැය කළ කාලය ද ඉතා සීමිතයි. කෙසේ වෙතත් අධ්‍යාපනය ගැන අඩු උනන්දුවක් දැක්වූ ඔහු 1962දී භෞතික විද්‍යාව පිළිබඳ ප‍්‍රථම පන්තියේ ගෞරව උපාධියක් හිමිකරගත් ඔහු ක්‍රේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් සිය පශ්චාත් උපාධිය හැදෑරීමට කටයුතු කළේය. 


මෙහි දී ඔහු සිය පශ්චාත් උපාධි විෂය ලෙස විශ්වයේ සම්භවය පිළිබඳ හැදෑරීමට කටයුතු කිරීම ඔහුගේ ජීවිතයට පමණක් නොව සමස්ත විශ්වයටම වැදගත් අවස්ථාවක් බවට පත්විණි. 


ක්‍රේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටිය දී ස්ටෙපන් හදිසියේ ම ගැටලු රැසකට මුහුණ දෙන්නේ අනපේක්ෂිත ලෙසින්. හිටි හැටියේම සිය සිරුරේ සමබරතාව ගිලිහී යන ස්ටෙපන් ඇතැම් අවස්ථාවල දී බිම ඇදවැටෙන්නට විය. තවත් අවස්ථාවක ඇවිදමින් සිටිය දී පය පැකිළී ඇද වැටෙන ඔහු කතා කරන විට වරින් වර වචන පැටලීම්වලට ද මුහුණ දීමට සිදුවිය. මෙය අනපේක්ෂිතව සිදුවන්නක් වවු ද ඔහු ඒ ගැන කිසිවෙකුට නොපවසා සඟවාගෙන සිටීමට ගත් උත්සාහයන් අපමණයි. 


ඔහු එය කොතෙක් සැඟවුව ද ඖෂධ පිළිබඳ පර්​ෙ ය්ෂකයකු වූ පියාට සඟවන්නට හැකි වූයේ නැත. අවසානයේ මේ තත්ත්වය දැනගත් ස්ටෙපන්ගේ පියා ඔහු වෛද්‍යවරයකු වෙත යොමු කළේ සිය පුතුට යම් රෝගයක් වැළඳී ඇති බව අවබෝධ වූ බැවිණි. 


දීර්ඝ පර්​ෙ‌ය්ෂණ රැසක් සිදුකෙරිණි. ස්ටෙපන්ගේ සිරුරේ පටක පවා පරීක්ෂාවට ලක්කළ වෛද්‍යවරු ඔහුගේ සිරුරේ එක්ස්රේ සටහන් ද සියුම්ව පරීක්ෂා කළහ. දීර්ඝ පරීක්ෂණ රැසක් අවසානයේ වෛද්‍යවරුන්ගේ මතය වූයේ ස්ටෙපන් හෝකින් Amyotrophic Lateral sclerosis (ALS) නමැති සිරුරේ පේෂි චලනයට උපකාරී වන මොළයේ ෙසෙල මියයාමේ අති දුර්ලභ රෝගයකට ගොදුරු වී ඇති බවයි. 


වෛද්‍යවරුන්ගේ මතය වූයේ ස්ටෙපන් හෝකින් වසර දෙකකට හෝ තුනකට වඩා වැඩි කාලයක් ජීවත් නොවනු ඇති බවයි. වෛද්‍යවරුන්ගේ ප‍්‍රකාශය සියලු දෙනාට කම්පනයක් ඇති කළ ද ස්ටෙපන් නොසැලී සිටියේ තම සිතේ කැකෑරෙමින් තිබූ සිහිනයක් මල්ඵල ගන්වා ගැනීමේ අපේක්ෂාවෙන්. ඒ වන විටත් ඔහු ෙසෙද්ධාන්තිකව විග‍්‍රහ කරමින් සිටි විශ්වයේ ආරම්භය හා කළු කුහර පිළිබඳ නව මතය යථාර්ථයක් බවට පත්කර ගැනීමේ අපේක්ෂාවයි. 


“මම සාමාන්‍ය මනුස්සයෙක්. මට කිසිම ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. නමුත් මේ රෝගය තිබෙන බව දැනගත් මොහොතේ සිට මගේ ඒකාකාරී ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. කරන්න දෙයක් අලුතෙන් ඇති වුණා” සිය ජීවිතය ගැන පසුව හෝකින් එසේ කියා තිබිණි. 


ඔහුගේ ජීවිතයට අපූරු ශක්තියක් එක් වූයේය. රෝගය හඳුනාගැනීමට පෙර 1963 වර්ෂයේ දී පැවැති උත්සවයක දී හමුවූ ජේන් වයිල්ඩ් නමැති තරුණිය සමඟ ස්ටෙපන් ප්‍රෙ‌්මයෙන් බැඳී සිටියේ මේ රෝගය හඳුනාගැනීමටත් පෙර දීය. නමුත් රෝගයත් සමඟ තම ජීවිතය අකාලයේ අවසන් වන බව දැන සිටි ස්ටෙපන් ජේන් මඟහරින්නට වූයේය. නමුත් ජේන් සිය ආදරවන්තයා අමතක කළේ නැත. ඔහුගේ අපූරු මානුෂීය ගුණාංගත් දක්ෂතාවත් හොඳින් හඳුනාගෙන ප්‍රෙ‌්‍මයෙන් වෙළී සිටි ඇය ඔහු හා විවාහ වීමට තීරණය කළේ ස්ටෙපන් ඉක්මනින්ම ජීවිතයෙන් සමුගනු ඇතැයි දැන දැනම ඔහුගේ ඉදිරි කෙටි ජීවිතයේ දී ශක්තියක් වීමේ අභිලාෂයෙනි. 


විවාහය සිදුවූයේ 1965 වර්ෂයේ දීය. විවාහයත් සමඟ ජේන් සිය ජීවිතය ස්ටෙපන් වෙනුවෙන් කැප කළාය. වසර දෙක තුනකින් මියයනු ඇතැයි වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරන ලද තම සැමියා ජීවත් කරවීමේ වගකීම ද ඔහුගේ අධ්‍යයන කටයුතු වෙනුවෙන් සහයවීමේ වගකීම ද සිය හිස මතට ගත් ජේන් ඔහුට සිය පළමු දරුවා 1967 දී බිහි කළාය. ඒ රොබට් හෝකින්ය. සිය සැමියාගේත් ආදරණීය පුතුගේත් සියලු කටයුතු සිය දෑතින්ම ඉටුකරමින් මහත් වෙහෙසකාරී ජීවිතයකට හුරුපුරුදු වූ ජේන් යළි 1969 දී ලුසී නම් දියණියකට ද උපත දුන්නාය. 

 

 

විශ්වය පිළිබඳ පර්යේෂණ කළ රොජර් පෙන්රෝස්ගේ සොයා ගැනීම් කිහිපයක් ඔස්සේ සිය බුද්ධිය ඉදිරියට මෙහෙයවන ස්ටෙපන් හෝකින් විශ්වයේ ආරම්භය, තාරකාවක අවසානය සහ කළු කුහර නිර්මාණය වන ආකාරය ගැන නවතම සංකල්පයක් මේ අතර ඉදිරිපත් කිරීමෙන් ලෝකයේ සියලුම විද්‍යාඥයන්ගේ අවධානය තමන් වෙත යොමු කරගැනීමට සමත් වූයේය. 1969 දී ඔහුට සිය ජීවිතය ගෙවා දැමීට සිදුවූයේ රෝද පුටුවකය. රෝද පුටුවේ සිටින ස්ටෙපන්ට සියලු සාත්තු සප්පායම් කළ ජේන් ආර්ථික දුෂ්කරතා රැසකට ද මුහුණ දී සිටියාය. ස්ටෙපන්ගේ නව සංකල්ප ඉදිරිපත් කිරීමත් සමඟ ඔහුගේ ආර්ථිකය ශක්තිමත් වන අතර ඔහු තමන් වෙනුවෙන්ම සුවිශේෂී වූ රෝද පුටුවක් නිර්මාණය කරගැනීමට සමත් වූයේ ජේන්ගේ වැඩ කටයුතු ද පහසු කරමිනි. 


1973 ස්ටෙපන් සිය පළමු පර්යේෂණ ග‍්‍රන්ථය වූ The Large Scale Structure of Space-Time ප‍්‍රකාශයට පත් කළේය. එතෙක් විශ්වාස කළ පරිදි කළු කුහර තුළ පවතින්නේ රික්තයක් නොවන බවත්, තාරකාවක් පිපිරීමේ දී ගුරුත්වාකර්ෂණ බලයෙන් මිදී යාමේ හැකියාවක් ඇති බවත් ඔහු සනාථ කිරීමට සමත් වූයේ ලෝකය පුරා විද්‍යාඥයන් රැසක් ඉදිරියේය. 


මේ අතර සංගීත ගුරුවරයකු වූ ජොනතන් හෙල්යර් ස්ටෙපන්ගේ නිවසට පැමිණ වරින් වර ස්ටෙපන්ටත් ජේන්ටත් උපකාර කළේ පවුලට ශක්තියක් වෙමිනි. ස්ටෙපන් දැඩි සේ ඔත්පළව රෝද පුටුවක් මත සිටිය දී ජේන් යළි ගැබ් ගැනීම ස්ටෙපන්ගේ හා ජේන්ගේ ඥාතීන්ට පුදුමයක් වූ අතර ජොනතන් කෙරෙහි සැකයක් මතුවීමට ද එය හේතු වී තිබිණි. නමුත් 1979 දී උපන් ජේන්ගේ තෙවැනි දරුවා තිමොති තම දරුවකු බව ස්ටෙපන් හොඳින්ම දැන සිටි කරුණකි. මේ බව ස්ටෙපන්ගේ චරිතය ඇසුරින් නිර්මාණය කෙරුණු චිත‍්‍රපටයේ දී ඉතා කලාත්මක අයුරින් ඉදිරිපත් කරන්නට එහි අධ්‍යක්ෂවරයා කටයුතු කර තිබුණේ ස්ටෙපන්, ජේන්, ජොනතන් සහ තිමොති සිව් දෙනාටම සාධාරණය ඉටුකිරීමට බව චිත‍්‍රපට විචාරකයන්ගේ ද අදහසයි. 


මේ අතර ස්ටෙපන්ගේ කතා කිරීමේ හැකියාව ද ඔහුට අහිමි වන මුල් කාලයේ දී ඔහු කියන දේ තේරුම් ගැනීමට හැකි වන්නේ ජේන් හා ඔහුගේ සමීපතමයන් කිහිප දෙනෙකුට පමණි. 


ඉතාමත් අපහසුවෙන් කතා කරමින් සිටි ස්ටෙපන්ට කතා කිරීමේ හැකියාව සම්පූර්ණයෙන්ම අහිමි වූයේ 1985 වර්ෂයේ දීය. හදිසියේම රෝගාතුරව දැඩි අසාධ්‍ය තත්ත්වයට පත්වන ස්ටෙපන්හට නිව්මෝනියා රෝගය වැළඳී තිබිණි. වෛද්‍යවරුන්ගේ මතය වූයේ ඔහු ජීවත් කරවීම අසීරු වනු ඇති බවයි. එසේ වුව ද ඔහුගේ ශ්වාසනාලය විවෘත කළ වෛද්‍යවරු ස්ටෙපන්ට ප‍්‍රතිකාර කර ඔහුගේ ජීවිතය බේරාගැනීමට සමත් වූහ. මේ ශල්‍යකර්මයේ ප‍්‍රතිඵලය වූයේ ස්ටෙපන්ට කතා කිරීමේ හැකියාව මුළුමනින්ම අහිමි වී යාමයි. 


කතා කිරීමේ හැකියාව සම්පූර්ණයෙන්ම අහිමිවීමට පිළියමක් ලෙස පරිගණකයකින් ටයිප් කර සිය අදහස් දැක්වීමේ ක‍්‍රමය භාවිතයට ගත්තේය. එදා පටන් මියයන තුරුම ඔහුගේ රෝද පුටුවේ පරිගණකයක් සවිකර තිබුණේ ස්ටෙපන්ගේ අදහස් ප‍්‍රකාශ කිරීමේ අවශ්‍යතාව වෙනුවෙනි. 


කෙසේ වෙතත් ජේන් සිය ජීවිතයම තමන් වෙනුවෙන් කැප කිරීමෙන් පත්ව ඇති පීඩාව තේරුම් ගන්නා ස්ටෙපන් 1990 දී ඇගෙන් වෙන්වීමට කටයුතු කරන ලද්දේය. ස්ටෙපන්ගෙන් වෙන් වූ ජේන් සංගීත ගුරුවරයා වන ජොනතන් හෙල්යර් සමඟ විවාහ වූවාය. ස්ටෙපන් තමන්ට උපස්ථාන කිරීමට පැමිණි එලියන් මේසන් සමඟ 1995 දී විවාහ වූ අතර පසුව 2006 දී ඇයගෙන් ද වෙන්වූයේය. 


මේ වනවිට පරිගණක නිර්මාණ ශිල්පියකු විසින් නිපදවා තිබූ යතුරුපුවරුවක් භාවිත කර පරිගණක තිරයක් මත වචන සකසා එය බවට පත්කිරීමේ උපකරණයක් ඔහුගේ භාවිතයට ගැනිණි. ඔහු "A Brief History of Time" රචනා කරන්නේ සම්පූර්ණයෙන්ම මේ උපකරණය භාවිතා කරමිනි. 


ඇල්බර්ට් අයින්ස්ටයින්ගෙන් පසුව ලෝකයේ බිහි වූ බුද්ධිමත් ම පුද්ගලයා ලෙස අවිවාදිතව පිළිගැනෙන ස්ටෙපන් හෝකින් වසර 76ක් ආයු වළඳා පසුගිය බදාදා මියගියේ වෛද්‍ය විද්‍යාවට ද අභියෝග කරමිනි. වසර තුනක උපරිම කාලයක් ඔහුගේ ජීවිතය පවතිනු ඇතැයි වෛද්‍යවරුන් කියා සිටියේ ඔහු 21 වැනි වියේ සිටිය දීය. 


ක්‍රේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ලුකෙක්සියානු මහාචාර්ය ධුරය වසර 30 කාලක් හෙබවූ ස්ටෙපන් හෝකින් අයිසෙක් නිව්ටන්ගෙන් පසු එම ධුරය දැරූ එකම පුද්ගලයා ද වෙයි. 


සිරුරේ මාංශ පේශී ක්‍රියාකාරීත්වයට හේතු වන ස්නායු මියයාමෙන් අංශභාග රෝගයට ගොදුරු වූ ස්ටෙපන් හෝකින් විසින් සිය රෝගයටද අභියෝග කළ අපූරු පුද්ගලයෙකි. 


අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයත්, ක්වොන්ටම් වාදයත් එකට ගැලපීමේ උත්සාහයක නිරත වූ හෝකින් ආලෝකය නිකුත් නොවන අභ්‍යාවකාශයේ කලු කුහරවලින් ද කිරණ නිකුත් වන බව සනාථ කරන ලදී. අද ඒ කිරණ හෝකින් විකිරණය ලෙස විද්‍යා ලෝකයේ හඳුන්වයි. 


විද්‍යාත්මක සිද්ධාන්ත ඉදිරිපත් කරමින් විද්‍යා ලේඛකයකු ද වූ හෝකින් විසින් රචිත "A Brief History of Time" කෘතිය ලෝකයේ වැඩිපුරම අලෙවි වන ග‍්‍රන්ථයක් ලෙස පිළිගැනේ. එහි පිටපත් ලක්ෂ 100ට වඩා අලෙවි වී ඇති බව ද පැවැසේ. 


ඔහුගේ ජීවිත කතාව පදනම් කරගනිමින් The theory of everything චිත‍්‍රපටය 2014 නොවැම්බර් මාසයේ දී තිරගත කරන ලදී. එඩී රෙඩ්මින් ස්ටෙපන්ගේ චරිතයට පණ පොවන අතර ජේන්ගේ චරිතය නිරූපණය කරන්නේ ෆෙලිසිටි ජෝන්ස් විසිනි. මේ චිත‍්‍රපටයේ ස්ටෙපන්ගේ ළමා කාලය, විශ්වවිද්‍යාල ජීවිතය, විවාහය, රෝග තත්ත්වය මෙන්ම ඔහුගේ පර්යේෂණ පිළිබඳවත් තොරතුරු ඇතුළත්ව තිබේ. කෙසේ වෙතත් ස්ටෙපන්ගේ චරිතයට පණ පෙවූ එඩී 2015 දී හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය ද දිනා ගත්තේය. 


ලෝකයේ කීර්තිමත් විද්‍යාඥයකු වූ ස්ටෙපන් හෝකින්හට බ්‍රිතාන්‍යයේ රැජින විසින් පිරිනැමූ නයිට් නාමය ද ඔහු ප‍්‍රතික්ෂේප කර තිබිණි. 


ජීවිතයේ මිනිසකුට මුහුණදීමට සිදුවන දුක්ඛ දෝමනස්සයන්ට අභියෝග කරමින් ලෝකයට අපූරු සිද්ධාන්ත රැසක් ඉදිරිපත් කළ මේ විශ්මයජනක විද්‍යාඥයා ලෝකයෙන් සමුගත්ත ද ඔහු ඉතිරි කර ගිය මතකය සදා අනුස්මරණීය වනු ඇත.

 

 

 

 

 

සජීව විජේවීර