වසරකට වරක් එළඹෙන මහනුවර දළදා පෙරහර හෙවත් ඇසළ පෙරහර උත්සවය මෙරට ජනතාවට දැන් නැරඹිය හැකිය. මෙම අවස්ථාව උදාවන තෙක් බලා සිටියේ ශ‍්‍රී ලංකාවාසීන් පමණක් නොවේ, විදෙස් රටවල ජීවත්වන බොහෝ දෙනෙකු ද ඒ අතර විය. මෙය සංස්කෘතික උත්සවයකි. මංගල්ල්‍යයකි. අපේ හෙළ උරුමයේ එක් අවස්ථාවක් නිරූපණය කිරීමකි. වර්තමාන මහනුවර පෙරහරින් නිරූපණය වන්නේ අපේ මුතුන් මිත්තන්ගේ කලා කුසලතාය. ඔවුන් තම ජීවිතයේ පණ මෙන් රැකගෙන පැමිණි අතීත ශ‍්‍රී විභූතියයි. විශේෂයෙන්ම වෙස් නැටුම සහ වෙස් ඇඳුම දැක ගත හැක්කේ ශ‍්‍රී ලංකාවේදීම පමණි. මෙහි ඇති කනගාටුව නම් මෙම අනගි කලා නිර්මාණ මේ වන විට අපෙන් ඈත් වෙමින් පැවතීමය. එය ආරක්ෂා කර ගැනීම ගැන සිතන්නේ වෙස් නර්තනයේ නියැළි කලා ශිල්පීන් කිහිප දෙනෙකු පමණි. වගකිව යුතු අයට ඒ ගැන, වගේ වගක් නැති සෙයකි... ඒ නිසා මහනුවර පෙරහරේ රජ කාලේ සිට පැවත එන නර්තනය ගැන සොයා බැලීමට අප අදහස් කළෙමු.   


වංශ කතා පුවත්වලට අනුව දළදා පෙරහර ආරම්භ වී ඇත්තේ හතරවැනි සියවසේදීය. එනම් දළදා වහන්සේ ශ‍්‍රී ලංකාවට වැඩම වූ කාල වකවානුවේදීය. කිත්සිරි මේඝවර්ණ (ක‍්‍රි.ව. 301-328) රජු දළදා වහන්සේ රාජකීය දළදා මන්දිරයේ සිට අභයයුත්තර (අභයගිරි) විහාරයට පෙරහරින් වැඩමවා ප‍්‍රදර්ශනය කළ අතර, ඒ සඳහා පූජා විධි පවත්වන ලෙස අණ කළේය. මේ නියමයට අනුව දළදා වහන්සේ අභයගිරි විහාරයට පෙරහරින් වැඩමවා ප‍්‍රදර්ශනය කිරීමේ පිළිවෙත පස්වෙනි සියවස දක්වා නොනැසී පැවති අයුරු පාහියන් හිමියන්ගේ විස්තරයෙන් පැහැදිලි වෙයි. ක‍්‍රි.ව. 5 වෙනි සියවසේදී පමණ ලංකාවට වැඩම කළ පාහියන් හිමියන් අනුරාධපුර යුගයේ දළදා වහන්සේ හා බැඳුණු සංස්කෘතියක් පිළිබඳව කදිම වාර්තාවක් තබා ඇත. විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාවේ දළදා පෙරහර පිළිබඳව සටහනක් තබා ඇති ප‍්‍රථම විදේශිකයා වනුයේද උන්වහන්සේය.   


කිත්සිරි මේඝවර්ණ රජුගෙන් පසුව දළදා වහන්සේට පූජා පැවැත් වූ රජවරුන් කිහිප දෙනෙකුන් ගැන සඳහන් වෙතත්, ඔවුන් ඒ දවස කළ පෙරහරක් ගැන කිසිදු තැනක සඳහන් වන්නේ නැත. වංශ කතාවල සඳහන් නොවූ පමණින් එම කාලයේ පෙරහර පැවැත්වූයේ නැතැයි යන්න නිගමනය කළ නොහැකිය. ඊට හේතුව වනුයේ මහා වංශයේ දළදා පුවත් දක්වන්නේ අල්ප වශයෙන් බවත්, පාහියන් හිමි දුටු දළදා පෙරහර ගැන පවා මහාවංශ කතුවරයා සඳහන් කොට නැති බවත්, කුඹුරුගමුවේ වජිර ස්වාමිපාදයන් වහන්සේගේ ‘‘දළදා ඉතිහාසය සහ සංස්කෘතිය” පොතෙහි සඳහන් කර තිබීම නිසාය. අනුරාධපුර, පොළොන්නරුව, දඹදෙණිය යුගවල පමණක් නොව දළදා වහන්සේ වැඩසිටි බොහෝ ස්ථානවල පැවති දළදා පෙරහර ගැන සඳහන් වුවද, නර්තන අංග ගැන විස්තර සඳහන් නොවේ.   

 

උඩරට නර්තන ඉතිහාසය   
උඩරට නර්තන ඉතිහාසය ආරම්භ වන්නේ, එක්තරා අවස්ථාවක පණ්ඩුවාසුදේව රජුට ඇති වූ අමනුෂ්‍ය දෝෂයක් නැති කිරීම පිණිස ආරම්භ කළ නර්තන විශේෂයක් වශයෙනි. එයට කොහොඹා යක්කම යන නම ද ව්‍යවහාරයේ පවතී. ඉන්දියාවේ සිට පැමිණි මලය තුන් කට්ටුව විසින් ශාන්තිකර්මයක් (කොහොඹා කංකාරියක්) සිදු කරන ලදී. එම ශාන්තිකර්මයෙන් පසුව රජතුමාට සුව විය. ඉන් පසු මලය රජුගේ සර්ව ආභරණයෙන් අඩක් (කොටසක්) ශ‍්‍රී ලංකාවේ තෝරා ගන්නා ලද ජන කොටසකට දායාද කෙරේ. (පසුව ඔවුහු වෙස් නර්තන ශිල්පියෝ වූහ.) එයට හේතු වන්නේ නැවතත් එවැනි උවදුරක් පැමිණියහොත් සුවපත් කිරීමට බලවරමක් සහිත ඇඳුමක් ලබා දීමේ අදහසිනි. එම ඇඳුමේ කොටස් වෙස් නර්තනයේ ඇඳුම ලෙස අද දක්වා භාවිත කෙරේ.   


ඒ ආකාරයෙන් කොහොඹා කංකාරිය නැටිය හැකි වෙස් නර්තන පරම්පරා ගණනක් ඈත අතීතයේ ලංකාව පුරා විසිරී සිටියහ. විදේශීය ආක‍්‍රමණවලින් පසු සහ නොයෙකුත් වෙනස් වීම් හමුවේ, එම පරම්පරාවල් වෙස් නර්තනයෙන් දුරස් වී ගොසිනි. ඉන්පසු උඩරට රාජ්‍ය සමය වන විට ඉතිරි වන්නේ අමුණුගම, තිත්තපජ්ජල, නිත්තවෙළ සහ තල්ගහගොඩ යන නර්තන පරම්පරා කිහිපය පමණි. ‘‘සුරඹා” ලෙස හඳුන්වනු ලබන්නේ එම නර්තන පරම්පරාවල මුතුන්මිත්තෝය. නිත්තවෙළ, ගල්ලෑල්ලෙ, අමුණුගම, තිත්තපජ්ජල සුරඹා ගුරුන්නාන්සේලා ඉන් ප‍්‍රධානය. මොවුන් පිටර් සුරසේන නර්තන ශිල්පියාගේ ආචාර්යවරයෝය. මහනුවර ලේවැල්ල ගංගාරාම විහාරස්ථානයේ ඇති සෙල්ලිපියක දෙවෙනි රාජසිංහ රජතුමා සුරඹාවරුන්ට සැලකිය යුතු ආකාරය පිළිබඳ සටහනක් යොදා තිබේ. එපමණක් ද නොව මෙම රජතුමාගේ අණබෙර කණ්ඩායමේ ප‍්‍රධානියා, ප‍්‍රධාන මඟුල් බෙර වාදකයා ද සුරඹාවරයෙකි. මෙයින් අදහස් වන්නේ වර්තමානයේ දළදා පෙරහරේ වෙස් නර්තනයේ යෙදෙන නර්තන ශිල්පීන්ගෙන් බොහෝ දෙනෙක් රජුන්ට සේවය කළ පරපුරක හිමිකරුව බවය. එවන් අය රජ දවස පෙරහරෙහි ගමන් කළහ.   

 

වෙස් නැටුම් දළදා පෙරහර ආරම්භයේ දක්නට නොලැබේ.   

මේ වන විට මහනුවර නර්තන පරම්පරාවල ඉතිරි වී සිටින වැඩිහිටි නර්තන ශිල්පීන් වශයෙන් තිත්තපජ්ජල සුරඹා ගුරුන්නාන්සේගේ දරුවන් දෙදෙනා වන තිත්තපජ්ජල සුමනවීර සහ සමරවීර ද, නිත්තවෙල පරම්පරාවේ පිටර් සුරසේන ද, අමුණුගම පරම්පරාවේ ආචාර්ය වෛද්‍යවතී රාජපක්ෂ ද සඳහන් කළ හැකිය. කෙසේ වෙතත්, දළදා පෙරහර ආරම්භයේදී වෙස් නැටුම් තිබී නැති අතර, නයි අඩි නැටුම් තිබී ඇත. එදවස රජුන් ඉදිරිපිට පවා නටා ඇත්තේ නයි අඩි නැටුම වේ.   


ක‍්‍රි.ව. 1815 වසරේ කන්ද උඩරට රාජ්‍යය ඉංග‍්‍රීසින්ට යටත් වීමෙන් පසු දළදා පෙරහර පැවැත්වීමට හා තේවාව ඉටු කිරීමට මහත් බාධා එල්ල විය. කලා ශිල්පීන්ට මෙන්ම භික්ෂූන් වහන්සේලාටත් විවිධ දුක් ගැහැටවලට මුහුණ දීමට සිදු විය. ක‍්‍රි.ව. 1818 කැරැල්ල නිසා නැවත පෙරහර ආරම්භ වන්නේ ක‍්‍රි.ව. 1828 මැයි මස 29 වෙනිදාය. මෙම දළදා පෙරහරේ නැට්ටුවන් හා බෙර වාදකයන් ගමන් කළ බවක් සඳහන් වුවත්, වෙනත් නර්තන වාදන ගැන විස්තරයක් හමු නොවේ. කෙසේ වෙතත් එවකට පැවති පෙරහරවල කළගෙඩි නැටුම් නටමින් ගමන් කළ කාන්තාවන් නිසා පෙරහර අලංකාර වී තිබෙන බව පොත්පත්වල සඳහන් වේ. දළදා පෙරහර හා සතර දේවාල පෙරහර ආරම්භයේ පටන් කාන්තා නැටුම් දක්නට ලැබී ඇත්තේ පත්තිනි දේවාල පෙරහරේ පමණක් බව ද වැඩිදුරටත් සඳහන් වේ. ක‍්‍රි.ව. 1828 වසරේදී ඇරඹුණු ඇසළ පෙරහර, ක‍්‍රි.ව. 1915 ඇති වූ සිංහල මරක්කල කෝලාහලය නිසා නවතා දමන තෙක් අඛණ්ඩව පැවැත්විණි. නැවත පෙරහර ආරම්භ වන්නේ ක‍්‍රි.ව. 1919 වසරේදීය. එදා ආරම්භ වූ පෙරහර අද දක්වා පැවැත් වෙයි.   


වර්තමාන ඇසළ පෙරහරේ ප‍්‍රධාන තැනක් ගන්නා වෙස් නැටුම එකතු කළේ එවකට (ක‍්‍රි.ව. 1919) දියවඩන නිලමේ තනතුර හෙබ වූ පී.බී. නුගවෙල මහතාය. මෙය මුලදී ජාතික නැටුම් කලාවට අයත් අංගයක් නොවීය. පන්තේරු නැටුම ද එදා ඇසළ පෙරහරේ අනිවාර්ය අංගයකි. පන්තේරු නැටුම ගොයම් කැපීමේ නැටුමක් ලෙස හැඳින්වේ. පෙරහරේ ගමන් කරන නයියඩි නැටුම ද පන්තේරු නැටුමට සමානය. මෙය විෂ්ණු කතරගම දේවාලවල දක්නට ලැබේ. මීට අමතරව ලී කෙළි, උඩැක්කි, සවරං, චාමර, රබන් ආදී දේශීය නැටුම් රාශියක් ද පෙරහරට එක් වී තිබුණි. මෙවන් ක‍්‍රීඩා උඩරට නැටුම් යන පොදු නාමයකින් එදා හැඳින්වුණි. ඊට අමතරව කාවඩි, කඩු, වලස්, හනුමන්තා ආදී නැටුම් ද පෙරහරේ ගමන් කර තිබේ. මේවා එදා පෙරහරට එක්ව තිබූ අලුත් අංගයෝ වෙති. ඒවා ගමන් කරන්නේ ද දේවාල පෙරහර සමගය. බෙර, දවුල්, තම්මැට්ටම් වාදකයන් හා නළාකරුවන් විශාල පිරිසක් ද වූහ.   


ක‍්‍රි.ව. 1919 වසරේදී දළදා පෙරහරට වෙස් නර්තනයෙන් සම්බන්ධ වූ යද්දෙස්සන් තිදෙනෙකි. ඒ නිත්තවෙල සුරඹා, ගල්ලෑල්ලෙ සුරඹා, ඇඹුල්පේරුවේ සිංදුවා යන නර්තන ශිල්පීහුය. එදා බෙර වයා ඇත්තේ තිත්තපජ්ජල සිවුරංගා ගණිතසාර සහ මාලගම්මන රංකිරා ගුරුන්නාන්සේය. ඔවූහු ප‍්‍රථම දළදා පෙරහරේ නර්තන ශිල්පියෝය.   

 

 


මහනුවර දළදා පෙරහර ආරම්භය  
වර්තමාන ඇසළ පෙරහරේ ආසන්න ඉතිහාසය ආරම්භ වන්නේ මහනුවර යුගයෙනි. මහනුවර යුගයේදී එය දළදා පෙරහරක් වශයෙන් නොව, සිවු දේවාල පෙරහරක් වශයෙන් පටන් ගෙන තිබේ. දෙවියන් උදෙසා පැවැත්වෙන දේවාල පෙරහරක් ලෙසින් සංවිධානය වී පැවති ඇසළ පෙරහර රටේ සංස්කෘතියට අනුරූප වන අයුරින් සකස් වූයේ 18 වැනි සිය වසේදී කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු දවසය. මේ සඳහා වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ උපදේශකත්වය සහ මඟ පෙන්වීම හේතු විය. එතැන් සිට මේ දක්වාම දළදා පෙරහර සතරමහා දේවාල පෙරහරට ඉදිරියෙන් ගමන් කෙරේ.   


කන්ද උඩරට රාජධානිය පිහිටුවීමත් සමගම දළදා වහන්සේට කළ යුතු පුද පූජා හා තේවා රාජකාරි ඉටු කිරීම සඳහා අවශ්‍ය නර්තන හා වාදන ශිල්ප පරම්පරා කන්ද උඩරට මහනුවර අවට ගම්මානයන්හි පදිංචි කරවා ඔවුන්ගේ නඩත්තුව සඳහා රජවාසලින් ගොඩ ඉඩම් ලබා දෙන ලදි. එපමණක් ද නොව ඔවුන් විසින් ඉටු කෙරිය යුතු රාජකාරියේ ස්වභාවයද සඳහන් කර එම රාජකාරි ඉඩම හේවිසි පංගුව, බෙර පංගුව, හොරණෑ පංගුව, සිංගාරක් පංගුව, හක්ගෙඩි පංගුව ආදි වශයෙන් නම් කර ලබා දී තිබේ.   


රොබට් නොක්ස් (ක‍්‍රි.ව. 1600- 1618) ලංකාවේ වාසය කළ කාලයේ ඔහු විසින් නරඹන ලද ඇසළ පෙරහර ගැන තොරතුරු ඔහුගේ ඓතිහාසික වාර්තාවේ සඳහන් කර ඇත. එහි යෝධයන් මෙන් සැරසුණු යක් නළුවන් නැටූ බවද, බෙර, දවුල්, තම්මැට්ටන් වැයූ බව ද, පුරුෂයන්ගේ නැටුම් හා කළගෙඩි නැටුම් තිබූ බවද සඳහන් වේ. තවද විවිධ ක‍්‍රීඩා කරමින් කාන්තාවන් තිදෙනා බැගින් අත් අල්ලාගෙන නටන ස්ත‍්‍රීන් පෙරහරේ ගිය බව ද වැඩිදුරටත් සඳහන් කර තිබේ. එහෙත් දළදා කරඬුව වැඩමවීම පිළිබඳව එහි සඳහන් නොවේ. ඔහු මෙරට ජීවත් වූ කාලය ගැන සලකා බැලීමේදී ක‍්‍රි.ව. 1618 ට, වසර කිහිපයකට පෙර ඇසළ පෙරහරට දළදා පෙරහර සම්බන්ධ වූ බවක් පෙනෙන්නට නැත. එහි සඳහන්ව තිබෙන්නේ සතර මහා දේවාල පෙරහර ගැනය.   


ඓතිහාසික ලේඛනවල සඳහන් වන පරිදි කිර්ති ශ‍්‍රී රාජසිංහ (ක්‍රි.ව. 1747-1780) රජතුමා මුල් වරට දළදා පෙරහරට සතර මහා දේවාල පෙරහර එකතු කර දළදා පෙරහරට පිටුපසින් එකී දේවාලවල පෙරහර ගමන් කිරිමට නියෝග පනවා ඇත.   


රජ දවස සිට වර්තමානය දක්වා නර්තනය ගලාගෙන පැමිණි ආකාරය ගැන විමසීමට පීටර් සූරසේන (77) මහතා සම්බන්ධ කර ගත්තෙමු. ඒ මහතා දළදා මාලිගයේ පෙරහර කරඬුව සමඟ දියවඩන නිලමේට ඉදිරියෙන් යෙදෙන නර්තන කණ්ඩායමේ නායකයා වශයෙන් වසර ගණනක් කටයුතු කර ඇත. ඔහු දැන් විශ‍්‍රාම සුවයෙන් ජීවිතය ගත කරයි.   


රජ දවස පැරණි සම්ප‍්‍රදායානුකූල වෙස් නැටුම, හේවිසි, බෙර, උඩැක්කි, පන්තේරු වැනි නර්තන අංගයන් පමණක් ඇසළ පෙරහරට එක් වී තිබුණ බවත්, වර්තමානයේ මෙන් ලී කෙළි වැනි අංග දක්නට නොලැබුණ බවත් සූරසේන මහතා පැවසීය.   


ඔහු වැඩිදුරටත් මෙසේද කීය.. දළදා පෙරහරේ ප‍්‍රධාන වෙස් කණ්ඩායම් හතරක් සහභාගී වුණා.. ඉන් ප‍්‍රධාන කණ්ඩායම් දෙක වනුයේ දියවඩන නිලමේතුමා ඉදිරිපිට සහ කරඬුව වැඩමවන ඇතා පිටුපස කණ්ඩායම් දෙකය. දකුණු පස නිත්තවෙල පීටර් සුරසේන පරම්පරාවද, වම්පස ඥානදාස රාජපක්ෂ චිත‍්‍රාරත්න වේරපිටිය සහ සංජීව වේරපිටිය කණ්ඩායම ද, ඇතා ඉදිරිපිට කාරිය කරවන කෝරාල (කාරිය කෝරාළ) ගේ දකුණු පස මාලගම්මන ද, වම් පස ඉහළවෙල පාරම්පරික වෙස් කණ්ඩායමද ගමන් කරනවා ඇත. මෙහි ඇති විශේෂත්වය නම් කරඬුවේ පිටුපස කණ්ඩායම ගජගා වන්නමේ තාලයට නර්තනයේ යෙදෙමින් ගමන් කිරීමය.   


ලංකාවේ පවත්වන වෙනත් පෙරහරක දැක ගත නොහැකි ආකාරයෙන් ගජගා වන්නමේ විලම්භ ළයට ගමන් කරන කණ්ඩායම් දෙක වනුයේ අමුණුගම සහ නිත්තවෙල නර්තන කණ්ඩායමයි. ලංකාවේ පවත්වන වෙනත් පෙරහරවලදී මේ ආකාරයේ නර්තනයක් දැක ගත හැකි වන්නේ නැත. මේ නිසා මෙම නර්තන කණ්ඩායම්වල ශිල්පීන්ට පැවරෙන විශේෂ රාජකාරියක් නම්, නිලමේතුමා සහ ශිල්පීන් අතර සම්බන්ධතාව පවත්වා ගැනීම, නර්තනයේ ගෞරවය ආරක්ෂා කර ගැනීම සහ ඒ දෙක සමබරව පවත්වා ගැනීමය. එහි වගකීම ප‍්‍රධාන ශිල්පීන් දෙදෙනාට සහ බෙර වාදකයන් දෙදෙනාට පැවරේ.  


දළදා පෙරහරේ වෙස් නර්තනය ආරම්භ වන්නේ දළදා මාලිගයේ මහ වාහල්කඩ ඉදිරිපිටදීය. ඇතා පෙළගැසුණ පසු කාරිය කරවන කෝරාල පැමිණේ. ඉන් පසු නැටුම් කණ්ඩායම් දෙක එකතු වේ. අවසානයේ දියවඩන නිලමේතුමා පැමිණ, නැකත් වේලාව පැමිණෙන තුරු, දළදා මාලිගයේ මහ වාහල්කඩ නැවතී සිටියි. ඉදිරියෙන් ඇති අත් පන්දන් දෙක පත්තු කිරීමත් සමඟ නිලමේතුමා වාහල්කඩින් පහළට බසිනවා ඇත. ඒ සමගම නර්තන ශිල්පීන් සහ යද්දෙස්සන් පෙළ ගැසේ. වර්තමානයේ අමුණුගම ඥානදාස ශිල්පියාණන්ගෙන් පැවත ගෙන එන පරම්පරාව නියෝජනය කරන චිත‍්‍රාරත්න වේරපිටියද, අනෙක් පස නිත්තවෙළ පරම්පරාවෙන් පැවත ගෙන එන සුසන්ත සූරසේන යන ප‍්‍රධාන ශිල්පීන් දෙදෙන විසින් සෙසු ශිල්පීන්ට ආචාර කරනු ලැබීමද සිදු වේ. නිලමේතුමා නර්තන ශිල්පීන් ඉදිරියට පැමිණි පසු ප‍්‍රධාන නර්තන ශිල්පීන් සහ බෙර වාදන ශිල්පීන් දෙදෙනා බැගින් ගොස් එතුමාට ආචාර කරනු ලැබේ.   


ඉන්පසු සිදු කෙරෙන්නේ මඟුල් බෙර වාදනය කිරීමයි. එම මඟුල් බෙර වාදනය ආරම්භ වන්නේ ප‍්‍රධාන මඟුල් බෙර වාදන ශිල්පීන් දෙදෙනා සහ ප‍්‍රධාන වෙස් යද්දෙස්සන් දෙදෙනා ඇතුළු සතර දෙනාගේ සම්බන්ධතාවෙනි. මඟුල් බෙර වාදනය කරමින් දළදා වහන්සේට සහ නිලමේතුමාට වන්දනාමාන ද සිදු කරමින් පසුව ආලත්ති පදය නමැති ශාස්ත‍්‍රීය නර්තන කොටස රඟ දක්වනවා ඇත. ඉන්පසු නර්තන කණ්ඩායම් දෙකෙහි වැඩිහිටි ප‍්‍රධාන යද්දෙස්සා තානම පිරීම සිද්ධ කෙරේ. එයින් අදහස් කරන්නේ පෙරහරේ ගමන් තාලය ගජගා වන්නමේ තාලය පුරණු බවය. එම තාලය පිරීමෙන් අනතුරුව, අනෙක් කණ්ඩායම එම තානම නැවත ගායනා කරති. ඒ සමඟම ගජගා වන්නමේ ළයාන්විත පෙරහරේ ගමන් තාලය බෙර වාදන ශිල්පීන් වාදනය කරනවා ඇත. ඉන්පසු මාත‍්‍රා නැටීම හෙවත් පෙරහරේ වෙස් නැටුම් ආරම්භ වේ. එම තාලය පෙරහරේ ගමන් තාලය වශයෙන් දිගටම පවත්වා ගෙන යන අතර පෙරහර අඩක් හමාර කළ විට නැතිනම් පෙරහරේ භාගයක් ගිය පසු ගමන් තාලය වෙනස් කරනු ලැබේ.   


ගමන් තාලය වෙනස් කර ගන්නවා යනුවෙන් අදහස් කරන්නේ, ගජගා වන්නමේම ඉක්මන් තාලයට ගමන් කිරීමයි. එනම් මාත‍්‍රාව වේගයෙන් පුරා ගැනීමයි. එය ගජගා වන්නමේම තවත් තාල කොටසකි. එයට හේතුව වනුයේ නැකතට ගෙවදිය යුතු බැවින් ගෙවදීම ඉක්මන් කිරීම සඳහාය. එය විලම්භ ළයෙන් මධ්‍යම ළයට ගමන් කෙරේ. මෙම තාල දෙකම භාවිත කරමින් පෙරහර නර්තනය සිදු කරනු ලබනවා ඇත. මෙහිදී වෙස් නර්තන කණ්ඩායමේ සාමාජීකයෙකුට එම තාලය වෙනස් කිරීමට හැකියාවක් නැත. එය සිදු කරනු ලබන්නේ ප‍්‍රධාන ශිල්පියාම පමණි. කිසියම් හෙයකින් තාලය වෙනස් නොකළොත් ආරම්භ තාලයෙන්ම ගෙවදීම සිදු කෙරේ. කෙසේ වෙතත් අඩුම තාලයට යන කොටස නර්තනයේ යෙදීම අමාරුය. එසේ වුවත් ලස්සනම කොටසද එය ම වේ. රජ දවස සිට අද දක්වා එම චාරිත‍්‍රය නොවෙනස්ව පවත්වා ගෙන එයි.   

 


දළදා පෙරහරේ තවත් විශේෂයක් වනුයේ උඩරට නර්තනයේ පමණක් යෙදීමය. ලංකාවේ අනෙකුත් පෙරහර දළදා පෙරහරෙන් වෙනස් වනුයේ ඒවායේ උඩරට, පහතරට, සබරගමු සහ මිශ‍්‍ර වූ නර්තනයන් පවතින නිසාය. එහෙත් තවම මහනුවර දළදා පෙරහරෙහි පිරිසිදු උඩරට නැටුම් සම්ප‍්‍රදාය නැතිනම් උඩරට නර්තන කලාව පමණක් දැක ගත හැකි වීම ද සඳහන් කළ යුතුව තිබේ.   


කුඹල් සහ රන්දෝලි පෙරහරේ දළදා පෙරහරේ නර්තනයේ වෙනසක් සිදු නොවේ. කුඹල් පෙරහරේ වෙස් නර්තනයේ යෙදෙන්නේ දළදා පෙරහරේ පමණි. එහෙත් කුඹල් පෙරහරේ දේවාල පෙරහරවල වෙස් නර්තනයේ යෙදෙන්නේ නැත. නයියණ්ඩි නැටුම පමණක් දක්නට ලැබේ. රන්දෝලි පෙරහරේ දේවාල පෙරහරේදී වෙස් නැටුම් කණ්ඩායම් සහභාගී වේ.   


වෙස් ඇඳුම සහ වෙස් නැටුම යනු දෙකක් නොව එකකි.   
සාම්ප‍්‍රදායික වෙස් ඇඳුම (සඟළ) සඳහා භාවිත කරන රෙද්ද යාර අටක් දිගය. කොහොඹා කංකාරියේදී සඟළ යෑදිම යනුවෙන් කොටසක් සඳහන් වේ. එම රෙදි කොටස පුජා කර ස්ත්‍රෝත‍්‍ර ගායනා කිරීමෙන් අනතුරුව සඟළ ඇඳිම සිදු කෙරේ. මෙම කොටස වර්තමාන වෙස් නැටුම් සම්ප‍්‍රදායෙන් ඉවත් වී ගොසිනි. පිටර් සුරසේන මහතා එය ආරක්ෂා කර ගත් අවසාන ශිල්පියා බව ඔහුගේ පුත් සුසන්ත සඳහන් කරයි. ‘‘කොට්න් ඕගන්දි” රෙද්ද වෙස් සඟළ සඳහා භාවිත කෙරේ. ඒ මඟ යමින් ඔහුගේ ගෝලයෝ ද යාර අටක සඟළ භාවිතයට ගෙන තිබීම සතුටට කරුණකි. දළදා පෙරහරේ මෙම සම්පූර්ණ ඇඳුම, භාවිත කරනු ලබන්නේ නර්තන ශිල්පීන් හතර දෙනකු පමණි. ඒ සඳහා විනාඩි හතළිස් පහක පමණ කාලයක් වැය කළ යුතුව තිබේ. වර්තමානයේ බොහෝ දෙනෙකු විසින් වෙස් නැටුම සඳහා භාවිත කරනු ලබන සඟළ මසා නිම කර (රෙඩිමේඩ්) ගත් එකකි.   


දළදා පෙරහරේ අලංකාරය සඳහා පමණක් නොව අපේ අතීත ශ‍්‍රී විභූතිය ද, වෙස් නර්තනයේ අනාගතය ද, එවන් ‘‘රෙඩිමේඩ්” සඟළ පැලඳීමෙන් සඳහටම නැති වී යනු ඇත. එම දිනය එතරම් ඈත නොවේ...   


ස්තුතිය - නිත්තවෙළ නර්තන පරපුරේ පිටර් සුරසේන, සුසන්ත සුරසේන, ජානක සුරසේන සහ මහනුවර හිටපු ක‍්‍රීඩා උපදේශක ජේ.බී. හේරත් යන මහත්වරුන්ට.

සටහන සහ ජායාරූප 
සිසිර කුමාර බණ්ඩාර