දකුණු ආසියාවේ වයස්ගතම මාතාව ලෙස සැලකුණේත් ඇයයි

 

 

අපේ රටේ අභිමානය ලෝකයට අර​ෙගන ගිය දකුණු ආසියාවේ වයස්ගතම මාතාව ලෙස සැලකුණ අරණායක, ගැවිලිපිටියේ කිරි උක්කු මාතාව පසුගිය 1 වැනි දින (දෙසැම්බර් 1) මෙලොවින් සමුගත්තාය.   

ලංකාදීප ඉරිදා පුවත්පතට අප ඇය ගැන මුලින්ම කීවේ, පසුගිය 2014 වර්ෂයේදීය. එම පුවත්පත දුටු ක‍්‍රීඩා උපදේශකවරයෙක් ඇය සොයා අරණායක මෙම මාතාව ජීවත් වූ නිවසට පැමිණ එම නිවසේ ඇයගේ දරුවන් සමග සාකච්ඡා කොට මෙම මාතාව සමස්ත ලංකා ප‍්‍රවීණයන්ගේ ක‍්‍රීඩා උළෙල සඳහා තෝරා ගනු ලැබුණි.

වයස 110 සහ 115 අතර වයස් කාණ්ඩවලින් පැවත්වූ හෙල්ල සහ යගුළිය දැමීමේ ඉසව්වලින් ඇය ගිනස් වාර්තාවක්ද පිහිටුවීමට ක‍්‍රීඩා පුහුණු කිරීම් කටයුතු සිදු කරයි. එම ක‍්‍රීඩා පුහුණුවෙන් පසුව ඇය අපේ පුංචි ලංකාවට අභිමානයක් ගෙන එමින් එම වයස් කාණ්ඩයෙන් ගිනස් වාර්තාවක් පිහිටුවන්නේ කෑගල්ල ප‍්‍රදේශයටම කීර්තියක් ගෙන දෙමිනි.   


මිය යන තෙක්ම නිරෝගී සුවයෙන් සිටි ඇය වෙනුවෙන් තබන අවසන් සටහන අප මෙවර එක් කරන්නට සිතුවේ මෙතෙක් මෙවැනි කාන්තාවක අපට හමුවී නොමැති හෙයිනි. වයස අවුරුදු 117 ක් ජීවත් වූ කෑගල්ලේ මාවනැල්ල බුලත්ගමුවේ උක්කු අම්මාද මිය යන විට දකුණු අාසියාවේ සිටි වයස්ගතම මාතාවක් වී තිබීම විශේෂත්වයකි. ඇය මිය ගියේ 2014 පෙබරවාරි 06 වැනිදාය. මෙම මාතාවන් දෙදෙනාම කෑගල්ල ප‍්‍රදේශයේ අය විමත් සුවිශේෂී සිද්ධියකි.   


කිරි උක්කු මාතාව පිළිබඳව අප මුලින්ම රටට කීවේ 2014 වසරේදීය. එවිට අැයට වයස 112 කි. මේ වසරේ ජුනි මාසයට ඇය​ෙග් වයස 115 ක් වන අතර ඇය නිරෝගී සුවයෙන් නිවසේ සිටින විට ඇය බැලීමට අපි එහි ගියෙමු. එදා ඇයට සුළු රෝගී තත්ත්වයක් තිබෙන බව ඇය බලාකියා ගත් ඇයගේ දරුවෝ අප සමග පැවසූහ. නින්ද නොයෑම, නිතරම කියවන ගතිය මෙන්ම හිතුවක්කාරී ස්වභාවයක් ඇයගෙන් පෙන්නුම් කළත් යහපත් මට්ටමකින් ජීවිකාව පවත්වාගෙන ගියේ අාගමික වත්පිළිවෙත් පවා නිවසේදී සිදු කරමිනි.   


මිය යන තෙක් අරණායක ගැවිලිපිටිය ග‍්‍රාමයේ පදිංචි වී සිටි ඇගේ නිවස පසුගිය වසරේ නාය ගිය සාමසරකන්ද පෙ​ෙනනමානයේ පිහිටා ඇත. දරුවන් ​ෙම් මාතාව වෙනුවෙන් පසුගිය ජුනි මාසයේ දීර්ඝායු පතා පිරිත් සංජ්ඣානාවක් නිවසේ පැවැත්වීමට කටයුතු කර තිබුණි. මේ මාතාව ජීවත් වී සිටි කාලයේදී අප සමගම කතා කරන ලද බොහෝ දේවල් අප මෙලෙස සටහන් කරන්නට සිතුවෙමු.   


​ෙමම විශිෂ්ට මාතාව ඉපදී ඇත්තේ 1902.06.04 දිනයේදීය. නමින් පේඩිගේ අනුලාවතී ලෙස හැඳින්වුවත් මුල් කාලයේ, ඇගේ නම කිරි උක්කු නම් වන බව ඇය අපට පැවසුවාය. ගිය වසරේ (2016) උපන් දිනය දා ඇයගේ සුවදුක් විමසන්නට අප එහි ගිය මොහොතේ වෙනදා මෙන්ම ළෙන්ගතුකමින් මේ මාතාව කතාවට වැටුණාය. එහිදී ඇයගේ මතකයන් අප සමග පැවසුවේ මෙසේය.   
මට තිබුණු නම කිරි උක්කුයි. දැන් නම අනුලාවතී. මේ නම වෙනස් කළේ මෙහෙමයි. මම තරුණ කාලයේ කෑගල්ලේ ඩිස්පෙන්සරියක් තිබුණා. එ්කේ වැඩට ගියාට පස්සේ මාගේ නම හොඳ නැහැ කියලා තමයි වෙනස් කළේ. ඩිස්පෙන්සරියට එන ලෙඩ්ඩුන්ට උපස්ථාන කරන්න, බෙහෙත් කලවම් කරන්න වගේ දේවල් තමයි මට තිබ්බේ. සමහර වේලාවට රෝගීන්ගේ කැත කුණු අදින්න පවා වෙනවා. මාසයම වැඩ කරපුවාහම වැටුප රුපියල් 10ක් තමයි හම්බ වෙන්නේ.   

ඉස්කෝලේ ගියේ මාවනැල්ල හෙම්මාතගම පාරේ තියෙන තල්ගමුව පාසලට. ඒ දවස්වල අපිට ඉගැන්නුවා ක්‍රිස්තියානි ආගම. ඒ දවස්වල ආගම්කාර පාසල් තමයි තිබුණේ. තල්ගමුව ඉස්කෝලෙදිත් එහෙමයි. ළමයි සියයක් විතර හිටියා. එක දවසක් ආගමේ මහත්තයෙක් ඇවිල්ලා ආගම කියලා දෙනවා. අනික් දවස්වලට ඉගෙන ගන්නවා. ඉස්කෝලේ යන්නේ ගෙදර ඉඳලා පයින්ම තමයි. මොකද ඒ දවස්වල බස් තිබුණේ නැහැ. මිනිස්සු ගමන් ගියේ කරත්තවලින්. අශ්ව කරත්තත් තිබුණා. ඒවාගේ ගොඩාක් වේලාවට සුද්දෝ තමයි ගමන් ගියේ.   


 ඒ දවස්වල ගම්වල ධුරයලා කියලා කට්ටියක් හිටියා. මුලාදෑනියෝ කියලත් කට්ටියක් හිටියා මතකයි. සමහර දේවල් මට මතකත් නැහැ. දැන් අවුරුදු කියද්ද? කියා ඇය අපගේ මූණ දෙස බැලුවාය. ඇය ඒ දුර අතීතයේ තිබූ වෙ​ෙළඳ වටපිටාව පිළිබඳවත් සඳහන් කළා. ඒ වකවානුවේ රට සුදු අධිරාජ්‍යයට යටත්ව තිබූ කාලයේ ප‍්‍රසිද්ධ වෙ​ෙළදාම් නගරයක් වූයේ මාවනැල්ල හිඟුල නගරයයි. වර්තමානයේ මාවනැල්ල නගරයේ සිට කිලෝමීටර් 2 ක් පමණ ගිය පසු මෙම නගරය හමුවනු ඇත. අදටත් මෙහි පැරණි ගොඩනැගිලි කිහිපයකින් යුක්තව තිබෙනු දැක ගැනීමට හැකියාව ඇති අතර බොහෝ දුරට ඒවා ඒ වකවානුවේ ඉදිකළ ගොඩනැගිලි බව සිතිය හැකිය.   


ඇය ජීවත් වූ නිවසේ ගෙදර අවශ්‍යතා සඳහා පැමිණිය යුත්තේ මෙම වෙ​ෙළඳ නගරයට වන අතරම සියලුම භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථානයක් වූයේ හිඟුල නගරයයි. සුදු මහතුන්ගේ තේ වතුවල වැඩ කරන බොහෝ දෙනා කරත්තවල පටවාගෙන තේ රැගෙන හිඟුල නගරයට පැමිණි බව ඇය පවසයි. තමන්ද ඩිස්පෙන්සරි රස්සාවෙන් ඉවත් වීමෙන් පසු මව සමග තේ වතුවලට ගොස් තේ දලු නෙලූ බව සඳහන් කරන ඇය මෙසේද පැවසුවා.   


“ඉස්සර අඹදෙනිවත්තේ (මාවනැල්ලට ආසන්නයේ ඇති වත්තක්) සුදු මහත්වරු දෙන්නෙක් හිටියා. එයාලා තමයි තේ වත්තෙ වැඩ කරන අය බැලුවේ සුදු මහත්තයා. එනකොට බල්ලෝ රෑනකුත් එනවා. උන් ටික සුදු මහත්තයා පස්සෙමයි. අපිට එයා කියන දේවල් තේරෙන්නේ නැහැ. ඔය අත් දෙක එහාට මෙහාට කරලා සමහර දේවල් කියනකොට අපි තේරුම් ගන්නවා. සමහර දවස්වල අපත් එක්ක හිටපු ගමේ කෙනෙකුට සුද්දා කියන දේවල් ​ෙත්රුම් ගන්න පුළුවන් කමක් තිබුණා. එයා අපිට සුදු මහත්වරු කියන දේවල් කියනවා. සුදු මහත්වරු යන අශ්වයොත් කරපටි දාලා හොඳ ලස්සනට හිටියා. අපට සුදු මහත්වරුන්ගේ වත්තේ වැඩ කරපුවාම එක් අයකුට දවසේ පඩිය රු. 1.25 යි දිගු අතීතයක මතක සටහන් ඇය දිගට දිගටම කියන්නට වූවාය.   

 

ඇයගේ විවාහය පිළිබඳ මතකය අවදි ක​ෙළමු. එහි වකවානු නම් අැයගේ මතකයේ නැති මුත් ඇය විවාහ වී ඇත්තේ පී.ජී. සේතුවා සමගයි. ඔහු ගැවිලිපිටිය ප්‍රදේශයේ අයෙක්. පසුව දෙවනගල සිට ගැවිලිපිටියේ විහාරස්ථානය අසල ​ෙකසෙල්කොටුව නිවෙසට පැමිණෙන්නට ඇතැයි සිතිය හැකිය. අනුලාවතී නොහොත් කිරි උක්කු කිරි අම්මාට දරුවන් පස් දෙනකු වන අතර එයින් පිරිමි දරුවන් දෙදෙනෙක්, ගැහැනු දරුවන් තුන් දෙනෙකු වන බව කී අතර මෙහි වැඩිමහල් පිරිමි දරුවා වන එස්.පී. ​ෙර්මන් ගුණවර්ධනට දැනට වයස 82 ක් බව සඳහන්. මේ වන විට සිව් මුණුපුරන් දැක ඇති ඇයගේ පවුලේ සමාජික සංඛ්‍යාව 120 වැඩි බවද සඳහන්.   


තම ස්වාමියා මල්වෙඩි කර්මාන්තයේ නියැලුණු අතර ඒ සඳහා විශාල ඉල්ලුමක්ද තිබූ ස්වයං කර්මාන්තයක් වූ බව කීවාය. ඇය ද එම කර්මාන්තයට උදව් වූ අකාරයත් සිහිපත් කළ අතර ඒ වකවානුවේ පවා මල් වෙඩි මංගල උත්සව කටයුතු හා ගමේ ගොඩේ තිබූ විවිධ උත්සව අලංකරණය සඳහා යොදාගත් බව සඳහන් කළාය. එම මල් වෙඩි පවා හිඟුල කඩමණ්ඩියට ගෙන ගොස් වෙළෙඳාම් කර එයින් ලබන ආදායමෙන් සුළු කොටසකින් දරුවන්ට විනෝද වන්නට නොයෙකුත් සෙල්ලම් බඩු රැගෙන ආ බව සඳහන් කළේ සිනා මුසු මුහුණෙන්ය. නමුත් ඇයගේ සහෝදරයන් පිළිබඳ ඇය කතා කළේ තරමක් වේදනා ස්වරයෙනි. ඇගේ පවුලේ සහෝදර සහෝදරියන් දහ දෙනෙකු වන බවත් ඔවුන්ගෙන් අඩකට වඩා වැඩි කොටසක් රජරට පෙදෙසට ගිය බව සඳහන් කළ අතර ඔවුන් දැනට ජීවතුන් අතර නැති බව වේදනාත්මකව පැවසුවාය. 

 

 

 

 

 

 

 

 

 

 

 

සටහන හා ඡායාරූප මාවනැල්ල හෙම්මාතගම
සමන් විජය බණ්ඩාර