අපේ දුක

 

සුළු කර්මාන්තකරුවන්ට රජය විසින් සහනාධාර ලබා දුන්නත් පපඩම් කර්මාන්තයට කුඩම්මාගේ සැලකිලි දක්වන බව එම නිෂ්පාදකයෝ සඳහන් කරති. බොහෝ සුළු කර්මාන්තකරුවන්ට බැංකු ණය පහසුකම් ලබා ගැනීම, අමුද්‍රව්‍ය සඳහා බදු සහන සලසා දීම ඇතුළු සහන රාශියක් රජය විසින් සලසා දී ඇතත් පපඩම් නිෂ්පාදකයින්ට අවශ්‍ය සහනාධාර ලබා නොදීමෙන් ඔවුන් දැඩි අසීරුතාවන්ට සහ මූල්‍ය අර්බුදයන්ට මුහුණ පා සිටින බව ඔවුහු තවදුරටත් සඳහන් කරති.  


රජය විසින් නොබෝද‌ා උදු පිටි, උඳු ඇටවලට පනවන ලද බදු මුදල මේ වන විට කුඩා පපඩම් නිෂ්පාදකයින්ට මරු පහරක් වී අැත.  


මීගමුව, අනුරාධපුරය, යාපනය, කළුතර, ඔරුගොඩවත්ත, තොටළඟ ආදී නගරයන්හි දහදහසකට වැඩි ජනතාවක් පපඩම් කර්මාන්තයේ නියැළෙමින් ජීවත් වන අතර පවතින අසීරුකාරී තත්ත්වයන් හේතුවෙන් ඔවුන්​ෙග් ජීවිතවලට ඉතාම ඛේදනීය ඉරණමක් අත් වී අැත.  


බලයට පත්වන සෑම ආණ්ඩුවක්ම පොරොන්දුව වන්නේ ස්වයං රැකියාවන්ට අතහිත දීමයි. එය කවදත් වචනයන්ට පමණක් සීමාවෙමින් පවතී. පපඩම් නිෂ්පාදකයින් මුහුණ දී ඇති ඉරණම ගැන ඔවුන් දැක්වූ අදහස් මෙසේය.  


පපඩම් නිෂ්පාදක ඉක්බාර් මහතා:-  


මම අවුරුදු 50 තිස්සේ පාරම්පරිකව කරන්නේ මේ රස්සාව. මේ කර්මාන්තයේ මේ තරම් ලොකු අර්බුද තිබුණේ නැහැ. අපට තිබුණු සම්පත්වලින් අපි රැකියාව කළා.  
 රජය විසින් දරාගන්න බැරි තරමේ බදු පැනවීමත් එක්ක අපි මේ කර්මාන්තය කරගෙන යන්නේ හරිම අමාරුවෙන්. උඳුපිටිවල බද්ද එක පාරටම පසුගිය දවස්වල 100% කින් වැඩි කළා. ඒක ඇහුවම අපේ ඇස් දෙකට කඳුළු ආවා.  


අපි උඳු පිටි ගන්​ෙන් ඕස්ට්‍රේලියන් එක. මොකද ඒකෙ පාට ලස්සනයි. ලංකා එක කළුයි. අපිට පපඩම් කිලෝවකින් රු. 40 වගේ ලාභයක් තමයි ලැබෙන්නේ. දවසකට ගැහැනු කෙනෙක් වැඩ කළොත් 1200 ක් දෙන්න ඕන. පිරිමියෙක් වැඩ කළොත් 2000 ක් දෙන්න ඕන. මේකට දරන වියදම් සැරයි. ඒත් ලාබය අඩුයි. උඳු පිටිවල බදු මිල අඩු නොවුණොත් පපඩම් හදන්න වෙන්නේ පාන්පිටි විතරක් භාවිත කරලා. එහෙම වුණොත් නියම ප්‍රමිතියට අපිට වෙ​ෙළඳපොළට පපඩම් දෙන්න බැරිවෙනවා.  


 අමුද්‍රව්‍යවලට සහනයක් දෙනව නම් සුවඳට රසට පපඩම් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒත් අපේ මහන්සියට ආද‌ායම ලැබෙන්නේ නැත්නම් මේ කර්මාන්තය දිගටම අපට කරගෙන යන්න අමාරුයි.  


පපඩම් සේවිකා අනුෂා මහත්මිය  


මම මේ රැකියාව කරන්​ෙන් අවුරුදු දහඅටේ ඉඳලා. අපි දවස් කුලියට තමයි ඇවිත් වැඩ කරන්නේ. දවසට රු. 1000, රු. 1200 වගේ මුදලක් ලැබෙනවා. මේ කර්මාන්තය කරනකොට ගොඩක් මහන්සි වෙන්න ඕන.  


 අපි පාන්දර ආවම රෑ වෙලා තමයි වැඩ ඉවර වෙන්නේ. මේ රැකියාව ගෑනු අයට කරන්න අමාරු රස්සාවක්. ඒත් කරන්නේ අපිට වෙන ජීවත්වෙන්න ක්‍රමයක් නැති නිසා. මම විවාහකයි. මහත්තය නැහැ. පුතෙක් ඉන්නවා එයා පාසල් යනවා. රජයට කියන්නේ අමුද්‍රව්‍යවල බදු මිල අඩු කළොත් අපේ මහන්සියට සරිලන සාධාරණ වැටුපක් ලබාගන්න පුළුවන් කියලා.  

 

 


සේවක  අබ්දුල්ලා මහතා  


අවුරුදු 20 ඉඳලා කරන්නේ මේ රස්සාව. එක එක දවසට ලැබෙන්නේ එක එක ගණන්. නිශ්චිත දවස් පඩියක් නැහැ. වැස්ස දවසට පඩිය ඇත්තෙම නැහැ. මම කරන්නේ පපඩම් වේළන එක. මම විවාහකයි. දරුවෝ තවම පාසල් යනවා. වියදම ඉතාම සැරයි. අසනීපයක් හැදුණොත් එද‌ාට බඩගින්නේ. එද‌ාට කඩෙන් ණයට බඩු අරගෙන තමයි වේල පිරිමහගන්නේ.   


දවස් කුලිය එදාට කෑවම ඉවරයි. සතපහක්වත් ඉතුරු කරගන්න අමාරුයි. හැම අමුද්‍රව්‍යයක්ම මිල අධිකයි. පුරුදු රස්සාව නිසා මේක කරනවා. අපිට රැකියා සුරක්ෂිතතාවයක් නැහැ. මේක කළොත් තමයි බඩට බත් ඇටයක් වැටෙන්නේ. කොයි රජය ආවත් අපිට මේ දුක සද‌ාකාලිකයි.  


සේවක  අන්සාර් මහතා  


මම රැකියාවට ඇවිල්ලා අවුරුදු 35 ක් විතර වෙනවා. දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. අපි වැඩකරන විදිහට තමයි පඩිය ලැබෙන්නේ. මම උදේ වැඩට එන්නේ පාන්දර 4 ට. ලැබෙන මුදලෙන් ජීවත් වෙන්න අමාරුයි. වැස්ස දවසට වැඩ නැහැ. අවුරුදු දෙකකින් විතර පඩිය රුපියල් 200 ක් විතර වැඩි කරනවා. අපිට රැකියා සුරක්ෂිතභාවයක් නැහැ. මේ කර්මාන්තය දියුණු කරනව නම් අපිට රැකියාව කරදරයක් නැතුව කරගන්න පුළුවන්.  


 අපි ජීවත් වෙන්නේ තාවකාලික නිවාසවල, කරන්නේ තාවකාලික රස්සා. අපේ ජීවිතවල ඉදිරියක් ගැන හිතන්න බැහැ. එද‌ා වේල කන්න අපි වගේ නොමැරී මැරෙන මිනිස්සු කොච්චර ඉන්නව ද කියලා සැප පුටු රත්කරන පාලකයන්ට මේව පේන්නේ නැහැ. අපි හරියට බත් ටිකක් කන්නේ එක වේලයි.  

 

 


පපඩම් කර්මාන්තයේ නියැ​ෙළන හසන් මහතා  


මේ කර්මාන්තයට මම එනකොට මට අවුරුදු 7 යි. ඉස්සර තුන්සියයක් විතර මේ රස්සාවෙන් ජීවත් වුණා. දැන් මේ කර්මාන්තය කරගෙන යන්නේ පවුල් 3 යි. අනිත් සියලුම​ දෙනා බැරිම තැන කර්මාන්තය නතර කළා. ඇත්තටම අමුද්‍රව්‍ය සඳහා බදු සහන දෙනව නම් අපට ලොකු සහනයක්. ඉඩකඩ ප්‍රශ්නත් තියෙනවා. වහලවල් උඩ ද‌ාලා තමයි වේළන්නේ. අමුද්‍රව්‍ය මිල වැඩි නිසා අපිට සේවකයෙකුට ලොකු වැටුපක් දෙන්න බැහැ.   


සාධාරණ වැටුපක් නොලැබෙනකොට සේවකයෝ රැකියාවට එන්නේත් නැහැ. අපි සමහර වෙලාවට පාඩු විඳගෙන සේවක වැටුප් ගෙවනවා. වැස්ස දවස්වල පපඩම් වේළගන්න බැරුව ලොකු පාඩු සිදුවෙනවා. වැසි පින්නක් වැදුණත් ඒ පපඩම් ගන්න බැහැ පුස් කනවා.  


 කර්මාන්තය කරන්න එක්කෝ අපට රජයෙන් සුදුසු පරිසරයක් හදලා දෙන්න ඕන. අපිට ස්ථීර තැනක් දෙනව නම් වහලවල් උඩ ටකරන් කෑලි උඩ ද‌ාගෙන මේ දුක් විඳන්න ඕන නැහැ. අනිත් හැම ස්වයං රැකියාවකටම රජයෙන් සහන, බැංකු ණය දෙනවා. ඒත් අපිට විතරක් කුඩම්මාගේ සැලකිලි.  


 උඳුපිටිවල බදු මිල වැඩි කළ නිසා ඉස්සරහට පපඩම් හදන්න වෙන්නේ උඳුපිටි නොද‌ා. රජය කරන මේ වැඩවලින් වෙන්නේ රටේ නිෂ්පාදනය රටෙන් තුරන්​ වෙලා යනවා. අපේ රටේ නිෂ්පාදන කරන්න පුළුවන්කම තිබියදීත් ඇයි පිටරටට ආවඩන්න බලාගෙන ඉන්නේ. තාමත් පිටරටින් පපඩම් එනවා. ඒත් ඇයි අපේ රටේ ප්‍රමිතිගත දේ අපේ රටේ අගයන්න බැරි.  
 හැම රජයකින්ම කරන්නේ බොරුව. ඒ බොරුවට අපි හැමද‌ාම රැවටෙනවා. මේ රට ශීඝ්‍රයෙන් දියුණු කරන්න පුළුවන් සම්පත් තියෙන රටක්. හැබැයි ඒකේ නිසි ප්‍රයෝජනයක් ගන්න එක පාලකයෙක්වත් මේ ඉතිහාසයේ බිහිවෙලා නැහැ. ඇත්තටම අපට රජයෙන් සහන නොදුන්නොත් ලංකාවේ පපඩම් කර්මාන්තය නැතිවෙන එක වැඩි ඈතක නැහැ.  

 

 


නිෂ්පාදිකා ලීලා මහත්මිය  


මම අවුරුදු 40 ක් තිස්සේ කරන්නේ පපඩම් හදන රස්සාව. ඉස්සර පිටි මිශ්‍රණය හැදුවේ අතින්. දැන් ඒවට යන්ත්‍ර තියෙනවා. ගෑනු අපට පිටි අනන එක කරන්න හරිම අමාරුයි. පිරිමි කෙනෙක් ගත්තොත් දවස් කුලිය වැඩියි. වැස්ස කාලෙට දැන් වේළගන්න අවන් තියෙනවා. ඒවා ලක්ෂ 4, 5 වගේ මුදලක් වෙනවා.   


ඇත්තටම මම අවුරුදු ගානක් කරපු රස්සාව කරන්න අමාරු නිසාම මම රැකියාව නතර කළා. දැන් රොටි ටිකක් පුච්චලා ඒක විකුණලා ජීවත්වෙනවා. අපිට බැංකු ණයක් දෙන්නේ නැහැ. බැංකු සහනයක් හරි දෙනව නම් අපිට මැෂින් එකක් ගන්න ඒක ලොකු පිනක්. අමුද්‍රව්‍යවල බදු මිල වැඩියි. ස්වයං රැකියා කරන හැමෝටම රජයෙන් සහන දෙනවා. ඇයි අපේ කර්මාන්තයට විතරක් මෙහෙම කරන්නේ?  


දැන් මේ රැකියාවෙන් ජීවත් වුණ අය රැකියාව අතැරලා වෙනත් කුලී රස්සාවල් කරනවා. ඡන්ද කාලවලට ඇවිල්ලා මොනවද ඕනෑ කියලා ලියාගෙන යනවා. ඡන්දෙන් පස්සේ බල්ලෙක්වත් අපි දිහා බලන්නේ නැහැ. කොටස් වශයෙන් ගෙවීමේ ක්‍රමයට හරි අපිට මැෂින් එකක් ගන්න ක්‍රමයක් තමයි අපි ඉල්ලන්නේ. මොන ආණ්ඩුව ආවත් අපි හැමදාම මේ වළේම තමයි. දියුණු වෙන්න අපිට රජයෙන් කිසිම සහනයක් දෙන්නේ නැහැ.

 

 

නදීශා අතුකෝරළ  
ඡායාරූප - චානුක කුලසේකර